අතීතකාමය

මනුස්සකම සහ ආනන්දසිරිය

Off

දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද උන්නේය. මේ මිනිහා ‘මනුස්සයෙක්’ බව මා දැනගෙන ලගින් ආශ්‍රය කරන්නට හමුවුනේ නැත. ඒ අවාසනාවට හේතුව, මා පොඩි එකෙකු වීමය. එහෙත් මා ඔහු දන්නා විදිය ලියා තබමි. මට වෙන කරන්නට දෙයක් නැත.

ආනන්ද අය්යා මා හොර ගස්ගෙඩි හන්ගන තැන දැන සිටියේය. එහෙත් කවමදාවත් ඒ බව මට දැනගන්නට තිබ්බේ නැත. සමහර දවස්වල අකාරුණික වැහි වහින වෙලාවල මගේ දැල් පෙට්ටිය වැස්සට නොතෙමෙන්නට වහලයත් කොන්ක්‍රීට් ලෑල්ලත් අතර එල්ලා තිබ්බේ කවුදැයි මම දැන් දනිමි. මේ දැල් කූඩුවේ හොද අඹ ගෙඩියක් පුස්ඹ දෙමින් ඉදෙන විට මම ආනන්ද අය්යාට දෙන්නට අහන්නෙමි. ‘තමුසෙට කොහෙන්ද..කාගේ ගහේද..’ වෙනුවට ආනන්ද අය්යා, ‘තව ටිකක් තියල කනවා… ඔය ගහේ අඹ ඔයිට වැඩිය ඉදෙන්න ඕනේ..’ කීමම මේ මනුස්ස‍යාට හදවතක් ඇති බව දැනෙන කාරණාවකි. ඒ හදවතට පෙම්බැදි අක්කා කෙනෙකුද වූවාය. ඈ තලෙළු බව මට මතකය. යන්තම් ඡායාවක් මෙන් ඈ මට මතකය. ආනන්ද අය්යා මේ අක්කාට හදවතින්ම ආදරය කරන්නට ඇත. එහෙත් ආනන්ද අය්යා ආදරය අපටත් එකසේ බෙදා දුන්නේය. එක දිනක මාද ආනන්ද අය්යා සමග ඒ අක්කා බලන්නට රත්තනපිටිය පැත්තේ කියා මට මතක, ගෙදරකට ගියෙමි. ඒ අක්කා මාද ලග හිදුවාගෙන නොයේකුත් ප්‍රශ්න ඇසුවාය. ඒ අතරේ ‘ඔයාගේ අර අඹ කූඩෙන් මටත් එකක් එවන්නකෝ ‘යැයි කීවාය.

ආනන්ද අය්යා වෙනුවෙන් මට ඈට සලකන්නට ලැබීම සතුටකි. මම ‘හා.. මම දැන් යන්නද’ ඇසුවෙමි. අක්කා ‘හා’ කීවාය. මම අඩියක් ඉදිරියට තිබ්බා පමණි. අක්කා මා අල්ලා ගත්තාය. ”මේ මේ ඉන්න..යන්න එපා..මට අඹත් එපා..ඕං ඕගොල්ලන්ගේ අය්යට ඩෝං ගිහින් මම අඹ ඉල්ලුවා කියල..’ කියා ඈ මා අල්ලාගෙන ගෙට ගියාය. ඒ මේ මනුස්සයාගේ හැටිය. ඉන්පස්සේ ඒ ගිය ගමන සතුටුදායක එකක් නොවන තැනකට පත්වී ආනන්ද අය්යා මා කැටුව යලි ආවේය. ඒ එන අතරේ ‘ඔයාට වැඩිපුර තියනවානම් පස්සේ එකක් දෙන්න අක්කට..’ කීවේය. ඔහුට දුක හිතෙන්නට ඇත. අප දෙදෙනා ගැනම දුක හිතෙන්නට ඇත.

ආනන්ද අය්යා වැඩ කලේ රත්මලානේ බව මට මතකය. හැම පඩි දවසකටම ආනන්ද අය්යා, මගේ තුන්වැනි අය්යා සහ ඒ වෙලාවේ ඉන්නා කෙනෙකු දෙල්කද ආප්ප කඩේට යන්නෙමු. ඔහුගේ පලමුවෙනි රාජකාරිය ඒ බව මට සිතේ. බිත්තර ආප්ප, නිකං ආප්ප සහ ලුණුමිරිස් සම්බෝලය සමග අපට හොදට බඩ පිරෙන්නට කන්නට දී ප්ලේන්ටියක් සමග පැණි ආප්පයක් අරන් දීම ඔහුගේ පුරුද්දය.ඔවුන් වරු ගනන් කතා කර කර උණු උණු ආප්ප බුදිති. මම ඒ දෙතුන් දෙනා අතර බට්ටෙකු මෙන් වාඩි වී ඔවුන්ගේ කතා වලට සවන් නොදී ආප්පම බුදිමි. එක්කෝ මා රැගෙන යන්නේ මා ඒ වෙලාවට කොට තාප්පේ ලග රැදෙන නිසා බව මා සිතා සමහර දවස්වල ගෙදරට වී ඉදිමි. එහෙත් අපේ අය්යා කෙනෙකු ‘ වරෙන් ඉක්මනට ආනන්ද අය්යා බලන් ඉන්නවා’ කියා බෙරිහන් දෙන විට මා වැරදි බව වටහා ගනිමි.

මේ මට මතක, මතකයෙන් ඈත් නොවන්නට දෙන ඡායාරූපයක කතාවකි. ඒ ගෙදර අය ගැන වෙන වෙනම ලිවිය හැකිය. ඒ හැමෝම හොද මිනිසුන් වෙයි. එහත් ඒ ගැන නොලියා මේ ඡායාරූපයේ කතාව ලියමි.
එදා උත්සවයක් හෝ දානයක් හෝ ගෙදර අය එකට එකතු වූ මොහොතකි. සියලු දෙනා අහාර ගෙන නිමවී ඡායාරූපයකට පෙනී සිටින්නට එන්නැයි තවත් ‘අලංකාර’ මනුස්සයෙක් වූ මේ ලගදී මියගිය ඒ පවුලේ ලොකු අක්කාගේ මහත්තයා කීවේය. මම ඒ වෙලාවේ කෑම කමින් සිටියෙමි. මේ ගෙදර කෑම මේසය වටා සියල්ලන් එකතු විය. නැන්දා, ලොකු අක්කා මහත්තයා, දෙවැනි අය්යා, ලොකු අක්කාගේ ළමයින්, පොඩි අක්කා ඇත්ලු සියලු දෙනම මේ ඡායාරූපයට එකතු වූ අතර ඡායාරූපය ගන්නට ලැහැස්ති වී සිටියේ ආනන්ද අය්යාය. මම මා පවුලේ ලගම එකෙකු නොවන නිසා වෙනත් ඡායාරූපයකට පෙනී සිටින්නට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෑම පිගානද අතැර ලකලෑස්ති වුනෙමි. අන්තිමේ ඇරයුම ලැබිණ.

මා වම්පැත්තේ කොනට එකතු වුනෙමි. ‘මෙහාට වෙන්න…’ මට එකොන සිටි කෙනාගෙන් තල්ලුවකි. මම මැදට ආවෙමි. මැදින්ද තල්ලු කෙරුනෙන් දකුනේ කොනට ආමි. එහිද කෙනෙකු හරියට නොපෙනෙන නිසා මා තල්ලු විනි. මා නැතුව ඡායාරූපය ගන්නට සියලුම දෙනා ලහැස්තිය. එහෙත් කැමරාකරු රතු වී දත්මිටි කන්නේය. ‘ඔය ලමයවත් ඇතුලට ගන්න..’ විධානයකි. එහෙත් ගන්නා පාටක් නැත. එහි වරදක් නැත. එකල ෆොටෝ ගත්තේ දන් වගේ ආවාට ගියාට නොව කලාතුරකිනි. අනික ඒ පවුලේ අයට මා නැතුව ඡායාරූපයක් ගන්නට තිබෙන ඕනෑකම අසාධාරණ නොවේ. එහෙත් කැමරාකරු ඊට අනුමැතිය දෙන පාටක් නැත. අන්තිමේ කවුදෝ ගැටළුව නිරාකරණය කලේය.ඒ ඡායාරූපයේ හිනාවීගෙන කරට අත දමාගෙන සතුටෙන් ඉන්නා පවුලකි. ඒ අය වටවී ඇති මේසය යට බිම ඉදගෙන  සතුටෙන් හිනාවී දත්පෙන්නන පොඩිකොල්ලෙකි. ජීවිතයක අරුම ..ආනන්ද අය්යා මා අතැර ඒ ඡායාරූපය ගන්නට අකමැති වූවේය. ඔහුට ඕනෑ වුනේ මටත් එකලෙස සලකන ගෙදරක ඒ ඡායාරූපය ගන්නටය .ඒ වාගේම ඔහු එවන් සාධාරණ සමාජයක්ද පැතුවේය. ඒ සමාජය බිහිකරගන්නට සමාජ ව්‍යාපාරයකට අතදුන්නේය. මා ඡායාරූපයේ ඉදිද්දී ආනන්ද අය්යා අතුරුදහන් වී තිබේ. අතුරුදහන් කොට තිබේ.

මා මිනිහෙකි. ආනන්ද අය්යා මනුස්සයෙකි.

 

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://matahithenahatiblogger.blogspot.com/2016/11/01.html

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල