අතීතකාමය

අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම

Off

ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා කොයි ලෝකෙත් එහෙම තමයි. ගුවන් ගමනට විනාඩි 50යි. රත්මලානෙන් උඩට නැගලා ඉන්දියාව අස්සටම ගිහින් ආපහු හැරිලා කේ කේ එස් මුහුදු වෙරලින් ඇතුල් වෙලා තමයි පලාලි එයාර් පෝර්ට් එකට බාන්නෙ. ඉස්පිරිතාලේ එයාර් පෝර්ට් එකට ලඟින්ම තිබුනේ.

පලාලි හමුදා රෝහල ලාන්කීය ඉතිහාසයේ වැදගත් තැනක්. යාපනය අර්ධ ද්වීපයේ හිටපු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලීසියෙ සාමාජිකයින්ට තිබුනු එකම රෝහල. දස දහස් ගනන් තුවාල කරුවන්ට මෙතන ප්‍රතිකාර කරලා ඇති. දහස ගනන් ජීවිත මෙතන බේරලා ඇති. සිය ගනන් ජීවිත මෙතන මිය යන්න ඇති. මම මෙතන එක වර දැක ඇති මල සිරුරු ගණන තුන් සිය හැට ගණනක්. හමුදා සෙබලුන් සහ එල් ටී ටී ඊ දෙගොල්ලොගෙම. ඒ 2007 අගෝස්තු කිලාලි සටනෙදි. ඒ ගැන පසුව ලියමු. දැනට අපි 1997 අග භාගෙ.

පලාලි රෝහල ඉතා කුඩා රෝහලක්. වෛද්‍යවරුන් තුන් හතර දෙනෙක් හෙද කාර්ය මන්ඩලය විසි පහක් තිහක් තමයි සියලු කාරණා වලට හිටියේ. දැන් කාලේ වගේ නෙවෙයි යුද්ධ කාලෙට දේශ ප්‍රේමියෝ හිඟයි. බොහොම අඩුවෙන් තමයි සෞඛ්‍යය සේවකයන් හමුදාවට බැඳුනෙ. තුවාල කාරයො වැඩි දවසට මිදුල පුරාම දානවා. ප්‍රතිකාර කරලා ඉවර අය අවශ්‍ය විදියට ගුවනින් කොලඹට එහෙම නැත්නම් පලාලි වලම තියාගන්නවා. සුලු තුවාල සනීප වෙනකන් තියා ගන්න කන්කසන්තුරේ වාට්ටුවකුත් බෝවන රෝගීන් දාන්න වාසවිලාන් වල වාට්ටුවකුත් තිබුනා. ලඟ තිබුනු කැම්ප් වල භට නිවාස ඉවත් කරලා ලෙඩ්ඩු දාපු අවස්ථාත් තිබුනා.

ලන්කාවෙ හිටපු දක්ෂම ශල්‍ය වෛද්‍ය වරු හැමෝම වගේ පලාලි රෝහලේ සේවය කරන්න ආවා. මහාචාර්ය මොහන් ද සිල්වා, මහාචාර්ය නීල් ෆොන්සේකා, වෛද්‍ය ලලන්ත අමරසින්හ, වෛද්‍ය මයිකල් අබේරත්න, වෛද්‍ය දුලිප් පෙරේරා, වෛද්‍ය බූරාන්, වෛද්‍ය රෝයි ගුනවර්දන, වෛද්‍ය රාසරත්නම්, මහාචාර්ය රනිල් ප්‍රනාන්දු ඒ වගේ මට මතක තියෙන මහත්වරු කීප දෙනෙක්. ඒ වගේම රජයේ සේවයෙන් අයින් වෙලා තමන්ගෙ මුලු කාලයම කැප කරපු වෛද්‍ය වරයෙක් තමයි වෛද්‍ය හිරාන් පෙරේරා.

කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් විදියට මට පැවරිලා තිබුනු අමතර රාජකාරියක් තමයි සිවිල් වෛද්‍ය වරුන් නාගදීපේ එක්කන් යෑම. සතියක් ගානෙ නාගදීපේ වැද පුදා ගෙන සමන්ත භද්‍රගෙ ලෙවල් එකට ඔන්න මෙන්න ඇවිල්ලා හිටියෙ ඒ කාලෙ.

පලාලි පලමු ගමනෙදිම කැෂුවල්ටි (තුවාල කරුවන්) කන්දකට කර ගහන්න සිද්ධ වුනා. මාන්කුලමට මෙහායින් හිර වෙලා තිබුනු ජයසිකුරු මෙහෙයුම වෙනුවට කිලිනොච්චි දෙසින් ඒ 9 දිනා ගන්න හමුදාව උත්සාහ කලා. උත්සාහය අසාර්ථකයි. දින තුනක් ඇතුලත තුවාල කරුවන් දහසක් විතර අප වෙත ගෙනාවා. දින හතරක් එක දිගට ශල්‍යාගාරයේ ගත කරන්න සිදු වුනා.

මේ සටනෙදි ගෙනාපු එක රෝගියෙක් ගැන නොලියාම බැහැ. කනිෂ්ඨ වෛද්‍ය විදියට මූලික රෝගීන් වර්ග කිරීම සහ හදිසි ප්‍රතිකාර බාර වෙලා තිබුනෙ මට. අසාධ්‍ය රෝගීන් වහා ශල්‍ය වෛද්‍ය වරුන්ට යොමු කිරීමත්, ඔවුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දීමත් ඉතා ඉක්මනින් කලයුතුයි. ඒ අතරතුර ශල්‍ය කර්ම වලට සහය දීමට එක කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් යා යුතුයි. මේ රාජකාරි කරමින් ඉන්නා අතරේ රැගෙන ආ මල සිරුරු කීපයක් අතර එක් අයෙක් යන්තමින් පණ අදින බව සහයකයෙක් සැල කරා. කතාව ඇත්ත. වහා හදිසි ප්‍රතිකාර ලබාදුන්නා. බඩට වෙඩි වැදිලා බඩ වැල් එලියට ඇවිල්ල තිබුනේ. මෙවැනි රෝගියෙක් හොඳින් ප්‍රතිෂ්ඨාපනය කර මිස ශල්‍යා කර්මයකට ගැනීම අනිත් බේරා ගත හැකි රෝගීන්ට කරන අසාදාරණයක්. මේක යුධ වෛද්‍ය විද්‍යාවේ රීතියක්. නමුත් මොහුව අත හරින්න හිත් දුන්නෙ නැහැ. හැකි සෑම දේම කලා. අන්තිමේදි තීරණය කලා ශල්‍යා ගාරෙට ගෙනියන්න. ශල්‍ය වෛද්‍ය තුමා දුම්මල වරම ගත්තා. එලියෙ තව බර ගාණක් ලෙඩ්ඩු. ඒ වෙනවිට එදින තුල විතරක් ඉතා අසීරු ශල්‍ය කර්ම පහලොවක් විතර කරලා. බැගෑපත් වුනා බොහොම අමාරුවෙන් තමයි රෙසසිටේට් කරලා මේ තත්වෙට ගත්තෙ ඔපරේට් කරලා බලමු කියලා. නිර්වින්දන වෛද්‍ය රුවේයිස් හනිෆා (ඔහු අද කොලඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය වරයෙක්) සහයට ආවා.සර් අරන් බලමු. කොහොමින් හරි ඔපරේෂන් එක පටන් ගත්තා. අතරතුරේදි තුන් වතාවක් හෘද ස්පන්දනය නතර වුනා. තුන් වතාවෙම බලු බැනුම්. ඕකනේ මන් තමුසෙලාට කිව්වෙ. බලනවා තව කොච්චර එලියෙ වැඩ තියෙනවද කියලා. කොහොම හරි තුන් වතාවෙම ඉගෙන ගත්ත සෙල්ලම් ඔක්කොම දාලා පන ගැට ගහ ගත්ත. කොලඹට පටවන කොටත් අප්සෙට් එකක් තිබුනෙ නැහැ. කොයි එකටත් නමයි නොම්මරෙයි ලියාගත්ත මොකද උනේ කියලා බලන්න. මාස එක හමාරකට විතර පස්සෙ නිවාඩු ඇවිත් කොලඹ හොස්පිටල් එකට ගිහින් බලන කොට හරිම සන්තෝෂයි මිනිහ පන පිටින්. අවුරුදු විස්සකට පස්සෙ අදටත් කොහේ දැක්කත් ඇවිත් කතා කරනවා. එතකොට මටත් සන්තෝෂයි. මේ වගේ සිද්ධි බර ගාණක් මතකයේ තියෙනවා. පලවෙනි එක නිසා විශේෂයි.

මාතෘකාවෙ අසාධ්‍ය රෝගියා මෙයා නෙවෙයි. ඒ රෝගියා සහකාර වෛද්‍ය වරයෙක්. ඔහු හින්දා එලිපන්ට් පාස් ගිය පලවෙනි වෛද්‍ය වරයා වෙන්න සිද්ද වුනා. පලාලි ඉන්න අතරෙ හදිසියේම නියෝගයක් ආවා පැයකින් එලිපන්ට් පාස් යන්න ලෑස්ති වෙන්න කියලා. එච්චර කල් එලිපන්ට් පාස් වල හිටියේ සහකාර වෛද්‍ය වරුන්. එතන තමයි ලන්කාවෙ අමාරුම තැන. හුදකලා වෙච්ච කදවුරක්. කාන්තාර දේශගුණය. දවස ගානෙම ත්‍රස්ත ප්‍රහාර. කෑම හිඟය. නිවාඩු මාස ගාණකට සැරයක්. තියෙන්න ඕන ඔක්කොම කරදර එතන. සමහර සොල්දාදුවො වෙඩි තියාගත්තා මේ කඳවුරෙන් පැන ගන්න. මේ පීඩනය දරා ගන්න අමාරු වෙලා අවුරුදු දෙකක් විතර ට්‍රාන්සර් එකක් නැතුව හිටපු සහකාර වෛද්‍ය වරයා පපුවෙ අමාරුවක් කියලා චොපර් එකක් ගෙන්නලා. චොපර් එක ආපු සන්තෝසෙට ලෙඩේ අමතක වෙලා ඇම්බුලන්ස් එකෙන් පැනලා දුව ගෙන ගිහිල්ල චොපර් එකට පැනලා. පයිලට් බලනවා ලෙඩා කෝ කියලා. බලනකොට ලෙඩා තමයි දුවලා ගිහිල්ලා චොපර් එකට පැනලා තියෙන්නෙ. අන්තීමේදි විනය පරීක්ෂණයකටත් මුහුන දෙන්න වුනා. කොහොමින් හරි දම්සො පුතා නතර වුනේ එලිපන්ට් පාස් වල.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://damsoputha.blogspot.com/2016/11/2.html?showComment=1479743405705#c787420027385920014

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල