අතීතකාමය

කේජීබී

Off
යූක්‍රයීනයේ විනිට්සා නගර මධ්‍යයේ කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට නුදුරින් කුඩා චතුරශ්‍රයක් තිබේ. මෙම චතුරශ්‍රය අලංකාරය​. සමහරක් විට රාත්‍රී කාලයට මෙම චතුරශ්‍රයේ අභිරූපිකාවන් සක්මන් කරනවා දැකගත හැකිය​.  ඉතා තද නීති මගින් මර්ධනය කොට තිබුනද ඇතැම් විට සමරිසියන් සහකරුවන් සොයා ඇදෙන්නේ මෙම කළාපයටයි. මෙම ප්‍රදේශය අන්වර්ථව හඳුන්වනු ලැබුවේ පැරීෂ් කියාය​.
දිවා කාලයේදී මෙම පැරීෂ්  කළාපය කඩිසරය​. බොහෝ ජනයා මෙම කලාපය හරහා යන්නේ තම තමන් ගේ වැඩ කටයුතු සඳහාය​. මේ අවට ගොඩනැගිලි පැරණිය​. දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදා නිලධාරීන් ලැගුම් ගත් ගොඩනැගිලිද දක්නට තිබේ. මේ චතුරශ්‍රයේ තිබෙන එක් පැරණි ගොඩනැගිල්ලක් හඳුන්වන්නේ ෂ්ටබ් කියාය​. වරක් ටැක්සිකරුවෙක් මේ  ෂ්ටබ් ගොඩනැගිල්ල මට පෙන්වා එය කොමිතියත් ගසුදාර්ස්වින්නී බෙසපාස්නස්ත් හෙවත් කේජීබී කාර්‍යාලයක් බව කීවේය​.
මේ සිදුවීමෙන් වසරකට පමණ පසු මම අපගේ වෛද්‍ය පීඨයේ සෝවියට් සිසුවෙකු වූ ඊගර් සමග කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට ගියේ චිත්‍රපටයක් බැලීමටය​. චිත්‍රපටය නරඹා අප  පැරීෂ්  කළාපය ආසන්නයේ තිබෙන බස් නැවතුම් පළට ගියෙමු. තමන්ට මිතුරෙකු හමු වීමට තිබෙනවා කියා මට මොහොතක් රැඳී සිටින ලෙස පවසා ඊගර් ෂ්ටබ් ගොඩනැගිල්ල වෙත ගියේය​. මම ඔහු එනතුරු බස් නැවතුම් පලේ සිටියෙමි. විනාඩි විස්සකට පසු ඊගර් ආවේය​.
“මිතුරා හමු උනාද ? මම ඔහුගෙන් ඇසුවෙමි.
“ඔව් යාලුවාට  පණිවිඩයක් දෙන්න ගියේ. එයා අපේ පලාතේ කෙනෙක් හෙට ගමේ යනවා . මම කිව්වා අපේ ගෙදරට කියන්න කියලා මට සල්ලි ටිකක් තැපෑලෙන් එවන්න කියලා” ඊගර් සන්සුන්ව කීවේය​.
“යාලුවා කේජීබී ද ? මම ඊගර් ගේ දෙනෙත් දෙස බලමින් ඇසුවෙමි.
ඔහු කලබල විය “මොන කේජීබී ද ? ඒක ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශාකාවක්”
“ඊගර් උඹ මට බොරු කියන්න එපා උඹ් ගියේ ෂ්ටබ් එකට . උඹත් කේජීබී නේද ? මම එක එල්ලයේ ඔහුගෙන් ඇසුවෙමි.
ඊගර් ගොත ගැසුවේය​.
“උඹ මේ ගැන වෛද්‍ය පීඨයේ කට හොල්ලනවා නෙවෙයි” ඔහු තදින් කීවේය​.
“උඹ අපි ගැනත් රපෝර්තු කරාද ?
“උඹ ගැන මොනාද කියන්න තියෙන්නේ. මගේ රාජකාරිය සෝවියට් ශිෂ්‍යයන් ගැන වාර්තා කරන එක​”
එතකොට විදේශ ශිෂ්‍යයන් ගැන වාර්තා කරන්නේ කවුද ?
“ඒක මම දන්නේ නෑ”
ඊගර් ඇත්ත කියපන් උඹ අපි ගැනත් වාර්තා කරනවා නේද ?
“ඉවාන් මේ බලපන් (  රුවන් යන නම රුසියන් භාෂාවට පරිවර්තනය වූයේ ඉවාන් කියා බැවින්  ඔහු මට කතා කලේ ඉවාන් කියාය​) උඹලා ගැන කියන්න ඒ ඒ රට වල නියෝජිතයෝ ඉන්නවා. ලන්කාවේ කටයුතු වාර්තා කරන්නේ උඹලා අතර ඉන්න සිසුවෙක්. එයාගේ නම මට කියන්න බැහැ”
“මම ගැන මොනාද වාර්තා වෙලා තියෙන්නේ මට ඇත්ත කියපන්”
මම ඔහුගෙන් ඇසුවෙමි.
“උඹ ගැනද ? ඔහු මොහොතක් කල්පනා කලේය​. “උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියා වාර්තා කරලා තියනවා”
“ඉතින් මම බීබීසී අහන්නේ අපේ රටේ පුවත් අහන්නනේ”
“ඒ උනත් බීබීසී , ගෝලස් ඇමරිකා (VOA) රේඩියෝ සබෝදා මේවා ප්‍රති සෝවියට් ප්‍රචාරක මාධ්‍ය​.”
“ඒකට මට කරන්න දෙයක් නෑ , අපේ  රටේ යුද්දයක් තියනවා ඒ නිසා මම ලංකාව ගැන පුවත් අහන්නේ බීබීසී හරහා”
“ඒවා මම දන්නේ නෑ උඹ ගැන තියන වාර්තාවේ තිබ්බේ උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියලා නේවාසිකාගාරේ රේඩියෝවක් තියාගෙන”
“ඕන දෙයක් උඹල වාර්තා කරපන් මම රේඩියෝව දිගටම අහනවා ” මම තරහෙන් කීවෙමි .
ඉවාන් මේ බලපන් ඕක මට අදාල නෑ. උඹලගෙ සිම්ලයක් (ලංකාවේ සිසුවෙක්) තමයි ඕක වාර්තා කරලා තියෙන්නේ. ඒ නිසා කරන දෙයක් කරපන් උඹලගේ කලෙක්තීවා (ශ්‍රී ලාංකික සමූහයා) එකට ආරංචි නොවන විදිහ​ට.
මෙම සංවාදයෙන් පසු ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් ෂ්ටබ් එකට වාර්තා කල සිසුවා කවරෙක්ද කියා මම සොයා බැලුවෙමි. එසේම මේ ගැන මාගේ විශ්වාසවන්ත ශ්‍රී ලාංකික මිතුරෙකුටද කීවෙමි. ශක්තිමත් සාක්‍ෂි නොමැති වූවද අපි එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු සැක කලෙමු. ඔහුට අධිකාරත්වය සමග සබඳතා තිබුනේය​. වරක් ඔහු මගේ කාමරයට එන විට මම බීබීසී සේවයට සවන් දෙමින් සිටි බවද මට මතක් විය​. අනෙක් සිසුන් ඔහුව හඳුන්වන ලද අන්වර්ථ නාමය වූයේ බප්පා කියාය​. කෙසේ නමුත් බාප්පා ශ්‍රී ලාංකික සිසුන් බොහෝ දෙනෙකුගේ තොරතුරු ඉහලට දී තිබුනේය​.
 රටක් පාලනයේදී ඔත්තු සේවාවන් වැදගත් වෙයි. එසේම ජනයා අතර භීතිකා සයිකෝසියාවක් පැතිරවීම සඳහාද මෙම ඔත්තු සේවා යොදා ගත හැකිය​. ඔත්තු සේවා පවත්වාගෙන යාමේදී අන්‍යන් ගැත තොරතුරු දීමට සමහරක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙති. ඇතැම් අවස්ථා වලදී එකම පවුලේ සාමාජිකයන් අන්‍ය සාමාජිකයන් ගැන තොරතුරු  ඔත්තු සේවාවන් වෙත ලබා දුන් අවස්ථා වාර්තා වී තිබේ. එම නිසා මම බාප්පාගේ ක්‍රියාව ගැන මවිත නොවෙමි.
 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල