සාහිත්‍ය කළා විචාර

දෙමළ ජාතික සන්ධාන නායකයන් නිදහස් දිනයට සහභාගි වීම හා දෙමළ ජාතිවාදීන්ගේ විරෝධය

Off

දෙමළ ජාතික සන්ධානයේ නායක දෙපලක් වන සම්බන්ධන් හා සුමන්තිරන් ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගි වීම දෙමළ ජාතිවාදීන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.

‘නිදහස් සැමරුමට සහභාගී වීමට දෙමළ සන්ධානය වශයෙන් සාමූහික තීරණයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම මෙම උළෙලට සහභාගී වුවහොත්, දෙමළ ජනයාගේ අනාගතයට ඉන් බරපතල අනර්ථයක් වන බව ඊට පෙරදා අපි සම්බන්ධන් හා සුමන්තිරන්ට ඉතා පැහැදිලිව කියා සිටියා’යි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතිවාදයට පක්ෂපාතී සිංහල වෙබ් අඩවියක් වන JDS හා කියා සිටි බව වාර්තා කර තිබිණි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙසේ ද කියා තිබිණි.’අප විසින් පළකළ විරෝධය නොතකා මේ උළෙලට සහභාගී වීම ඉතාමත්ම කළකිරවන සුළුයි. දෙමළ ජනයාගේ සාමූහික අභිලාශයට විරුද්ධව කටයුතු කිරීම දෙමළ ජාතික සන්ධානයේ නායකයාට කිසිසේත් ගැළපෙන්නේ නැහැ.’

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදවීමටත්, මෛත්‍රීපාල සිරිසේන දිනවීමටත් දෙමළ ජනතාව ඡන්දය දුන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම වූ ජනාධිපතිවරණය වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කරමිනි.

දෙමළ ජාතික සන්ධානය මේ වන විට වත්මන් ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කරයි. එය නරක දෙයක් ද?

නිදහස් දින සමරුව යනු තවත් එක් කැලැන්ඩර් සැමරුම් දිනයක් මිස ගැඹුරු දේශපාලන හරයක් ඇති එකක් නො වේ. සමාජයේ මෙවැනි උත්සව තිබීම අප විසින් ඉවසිය යුතු කාරණයකි. සම්බන්ධන් මෙවැනි මඟුල් ගෙදරක ආවා ය කියන එක එතරම් කලබල විය යුතු කාරණයක් නො වේ.

නිදහස් දිනයේ ප්‍රවර්ධනය කෙරෙන සිංහලයන් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩනගන ලද සිංහ කොඩිය ගැන හා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ගැන නම් සමාජයේ වැදගත් සාකච්ඡාවක් තිබේ. කොටි සංවිධානය සිංහයා වෙනුවට කොටියා යොදාගෙන නිර්මානය කරන ලද කොටි කොඩිය වෙනුවට උතුරු පළාත් සභාවට පළාත් කොඩියක් නිර්මානය කර ගැනීමෙන් හා දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම ගීයක් නිර්මානය කර ගැනීමෙන් සිංහ කොඩිය හා ජාතික ගීය එහෙම ම තිබියදී දෙමළ අනන්‍යතාව උත්කර්ෂයට නංවා ගන්නට හැකියාව තිබේ.

දෙමළ ජනතාව විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල මූලික ආණ්ඩුව විසින් බන්දේසියක තබා ජාතික විමුක්තිය ලබා දෙන තෙක් බලා සිටීම නො වේ.

එහෙමත් නැතිනම්, ත්‍රස්තවාදය යළි පණ ගන්වාගෙන යුද්ධයෙන් ඊලාම් රාජ්‍යයක් දිනා ගැනීමට සිහින දැකීම ද නො වේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පාලනය බලයේ තබා ගනිමින් දකුණේ පාලනය අස්ථාවර කර, සිංහල සමාජය ජාතිවාදයට තල්ලු කර ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඔස්සේ ඊලාම් රාජ්‍යයක් දිනා ගැනීමේ උපායමාර්ගය ද දෙමළ හා මුස්ලිම් ජනතාව විසින් තීරණාත්මකව පරාජය කර තිබේ.

දෙමළ ජනතාව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ බලය බෙදා ගැනීමේ පවතින ව්‍යූහයන් භාවිතා කරමින් හා ඒවායේ බලතල පුළුල් කර ගන්නට අරගල කරමින් සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි. සිංහල ජනතාව ජාතිවාදයෙන් මිදෙන්නට කැමැත්තක් පළ කර ඇති මොහොතක යළි ඔවුන් ජාතිවාදය වෙත තල්ලු කිරීමට උත්සාහ නො කළ යුතු ය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් දෙමළ ජාතිවාදය තුළින් සෙවීම හෝ සිංහල ජාතිවාදී පදනමින් එයට එරෙහි වීම හෝ නවින දේශපාලනික ක්‍රියාමාර්ග නො වේ.

අප අරගල කළ යුත්තේ ලාංකීය පදනමින් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීමටයි.

වාමාංශිකයන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ කාර්යය වන්නේ සිංහල හෝ දෙමළ හෝ ජාතිවාදීන් සමග එකතු වි එක් ජාතිවාදයකට එරෙහිව වෙනත් ජාතිවාදයක් ප්‍රවර්ධනය කිරීම නො වේ.

අප කළ යුත්තේ ජාතික සීමාවන් අතික්‍රමණය කළ පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් පෙනි අරගල කිරීමයි.

සම්බන්ධන් හා සුමන්තිරන් නිදහස් උත්සවයට සහභාගි වීම ජාතිවාදී පදනමකින් විග්‍රහ කිරීම ඉතා ප්‍රතිගාමී ක්‍රියාවකි.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල