අතීතකාමය

සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව

Off

 

කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය …

වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් කණ්ඩා තරමටම වැඩ කාරයෙකු නොවීම පමණි 🙂

(ඉතින් ඔන්න දුක හිතෙන කතන්දර කියනව එහෙම නෙමෙයි, අඩුම තරමේ IT අතින් හෝ කණ්ඩා ඉන්ඩියානා ජෝන්ස්ට වඩා වැඩ්ඩෙකි ? )

මේ වෑයම එම වීර ක්‍රියා, මෝඩකම් සහ රසකතා තොරතුරු වලින් බිඳක් ඔබ හා බෙදා ගන්නටය … මෙය කණ්ඩා හටද විශේෂ ලිපියක් වන්නේ මෙහි අඩංගු බොහෝ දෑ පවුලේ උදවිය මෙන්ම කණ්ඩා හාමිනේද නොදැන සිටීමයි !

ඔටු දේශයේ දස වසක් තරම ගත කලත් කිසිඳු දිනෙක ඔටු ඔපීසියක ඔටුවන් හා ඔට්ටු වීමට සිදු නොවීම කණ්ඩා ලද මහත් භාග්‍යයකි !

එවන් සමාගම් වල රැකියාවේ නියුතු හිත මිතුරන් හා දැන ඇඳුනුම් ඇත්තවුන් විසින් ලුණු ඇඹුල් ඇතිව පවසන නොයෙක් සිනහ උපදවන, සන්ත්‍රාසජනක, පිළිකුල් සහගත, මෙන්ම ඇතැම් විට ලේ කකියවන කතා කණ්ඩා අනන්තවත් අසා ඇත්තේය ?

නමුත් කණ්ඩා රාජකාරි සඳහා බැඳුනේ යුරෝපීය ආයතනයකටය, හරියටම කියනවා නම් ඩුබායිහි (Dubai) පිහිටි ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ (Operations HQ) තොරතුරු තාක්ෂණ අංශයටය (IT Department). ඒ කණ්ඩා IT කාරයෙක් නිසාය.

මේ කොම්පැනියේ නම සිංහලයට හැරවූ කල “සුපිරි” ය … එහි සේවය කළවුන් මෙන්ම වැඩත් සුපිරිය … දිනකට පැය 12-16 ක් අතර ප්‍රමාණයක් සතියට දින 6ක් සේවයෙහි නියුතු වීම එක අපට ඉතා සුලභ හුරු පුරුදු දෙයක් විය

(දවසේ පැය අටවත් වැඩ කිරීමට බැරිව කෙඳිරි ගාන පඹයන් දුටු කල කණ්ඩාට යක්ෂාවේස වීමට මෙයත් එක හේතුවකි ? )

ප්‍රධාන වශයෙන් ජර්මන්,ස්විස් සහ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් සැදුම්ලත් පරිපාලනයක් යටතේ පවතී මෙහි සාර්ථකව සේවය කල හැකි වන්නේ කන්කෙඳිරි ගෑමකින් තොරව තම කාර්ය දැන කරන උන්හට පමණක්මය ?

මෙම ආයතනයේ මූලික වෙළඳ කටයුත්ත වුයේ ලොව පුරා දුෂ්කර පළාත් වෙත අහාර පාන, ප්‍රවාහන, ඉන්ධන සහ ආහාර සැපයීම (Catering) ආදී නොයෙක් සේවාවන් ලබා දීමයි …

ලොව බලගතුම රාජ්‍යයන්, යුධ හමුදාවන්, ගෝලීය සංවිධාන (International Organizations), රාජ්‍ය නොවන සංවිධාන (NGO), මෙන්ම හමුදා / ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් (Defence & Military Contractors) මෙම ආයතනයේ සුලභ ගනුදෙනුකරුවන් විය.

යුද්ධය වනාහි අතිශය ලාභදායී වෙළඳාමක්ය යන්න කණ්ඩා අසා තිබුනත් පළමු වතාවට අත් දැකීමෙන්ම වින්දේ සුපිරි කොම්පැණියට පින් සිද්ද වෙන්නටය … ?

සතර දෙස විහිදුන සැපයුම්කරුවන් (Suppliers) සහ භාණ්ඩ ප්‍රවාහකයින්ගෙන්ද (Transporters) සැදුම්ලත් ඉතා කාර්යක්ෂම සැපයුම් ජාලයකට (Supply Chain) සහ ප්‍රවාහන ජාලයකට (Logistics Network) කණ්ඩා සේවය කල ආයතනය හිමිකම් කියුවේය …

එක්සත් අරාබි රාජ්‍යය (UAE) ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථායක් (Logistics Hub) වීම මේ වෙළඳ කටයුතු සඳහා සඳහා කදිමට ගැලපුනේය …

එදවස සුපිරි කොම්පැණියේ ශාඛා කාර්යාල සහ පාරිභෝගික කාර්යාල/කඳවුරු රටවල් පහළවක පමණ විසිර පැවති අතර ලොව සෑම රටකින්ම පාහේ පැමිණි සේවකයින් 1,000 ක් පමණ දෙන සේවයේ නියුතු වුයේය. ඉන් 150 ක් පමණ දෙනා කණ්ඩා ඇතුළු ඩුබායි හි සේවය කලවුන්ය.

මෙවන තත්වයක් යටතේ කණ්ඩාට නොමිලයේම ලොව වටා ඇවිදීමේ වරමක් උදා වන්නේ නොසිතු නොපැතූ අකාරයටය, ලොව දියුණුතම රටවල් මෙන්ම භයානකම රටවල්ද මෙම ගොන්නට අයත් විය !

කණ්ඩා මෙම ආයතනයට එක්වීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී කණ්ඩාගෙන් විමසූ වැදගත්ම ප්‍රශ්නය වූයේ ඇෆ්ගනිස්තානය සහ බටහිර අප්‍රිකානු (Afghanistan and West Africa)රටවල සංචාරයට අකමැත්තක් ඇත්ද යන්නයි …

එකල කණ්ඩා ඇෆ්ගනිස්තානය සහ එහි තත්වය ගැන දැන සිටියත් බටහිර අප්‍රිකාව ගැන හෝ සමස්තයක් ලෙස ගත් කල අප්‍රිකාව ගැන හෝ දැනුවත්ව සිටියේ නැත.

එතෙක් රූපවාහිනී වැඩ සටහන් වලින් දැක තිබු වනජීවී වාර්තා වැඩසටහන් සහ ප්‍රවෘති වලින් දැක තිබූ සෝමාලියාවේ අරාජිකත්වය, දකුණු අප්‍රිකාවේ දේශපාලන විප්ලවය සහ ඉතියෝපියානු සාගතය වැනි සිදුවීම් හැර කණ්ඩාට අඳුරු මහාද්වීපය පිලිබඳ කිසිඳු වැටහීමක් නොතිබුනේය …

කණ්ඩා සිරි ලංකාවේ සිට ඔටුදේශයට ගොඩ බට මේ වකවානුවේ මාවිල් ආරු සොරොව්ව මැදිකරගෙන යුද්ධය නැවතත් දරුණුවටම ආරම්භ වූ අවදියයි … කණ්ඩා ඇතුළු වැසියන් උදේ වැඩට ගිය කල ගෙදර පැමිණෙන ගමන පිලිබඳ විශවාසයක් නැති වූ කාලයේ යුද්ධය යනු කණ්ඩාට නුහුරු නුපුරුදු මාතෘකාවක් නොවූයේය …

එකල කණ්ඩා යුද හමුදාවට බැඳීමට ඉමහත් කැමැත්තකින් සිටියේය, කණ්ඩාගේ පාසලේ ආදි සිසුන් බර තොගයක් එදාත් අදටත් ත්‍රිවිධ හමුදාවේ සේවය කරන්නෝය … එනිසා මෙය ඉතාමත් ලෙහෙසියෙන්ම කණ්ඩාගේ ඔලුවට වැටුණු අදහසක් වූ නමුත් කණ්ඩාගේ පියාගේ අභාවයෙන් පසු ගෙදර පැවති වාතාවරණය සහ මවගේ දැඩි අකමැත්ත මෙයට හරස් කැපුවේය …?

ඒ කෙසේ නමුත් යක්කුන්ට බිය උදවිය සොහොන් වල ගෙවල් හදන්න යන්නේ නැත … ඉතින් දෙවරක් නොසිතා කණ්ඩා ඇෆ්ගනිස්තානයට හෝ අප්‍රිකාවට ගමන් කිරීම සඳහා මනාපය පල කළේය !

කණ්ඩාගෙන් ප්‍රශ්න විමසූ මානව සම්පත් පරිපාලකවරිය (HR Administrator) මෙය කිසිසේත් අපේක්ෂා කල දෙයක් නොවන බව අගේ මුහුණෙන් මොනවට පැහැදිලි විය.නොම්මර එකේ පිස්සෙක් හමු වූ ආකාරයට කණ්ඩා දෙස බැලූ අයුරු හාස්‍යයට කාරණයකි …

පසු කලෙක කණ්ඩා සමග බෙහෙවින්කුළුපග වූ ඇගෙන් දැන ගත්තේ එදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අයදුම් කරුවන් විස්සක් පමණ දෙනා අතරින් ඇෆ්ගනිස්තානයේ නම ඇසුන සැනින් කලබල වී හීන් දහදිය දමා නැත්තේ කණ්ඩාට පමණක් බවය. එමෙන්ම කණ්ඩාට මොළේ අමාරුවක් ඇත්දෝයි සැකයක් ඇති වූ බවත් ඇය පිළිගත්තේ හඬ නගා සිනා සෙමිනි …?

මෙසේ රැකියාවට බට කණ්ඩාගේ කණ්ඩායමේ ලොව පුරා විසිරි හැත්තෑවක පමණ පිරිසක් සේවය කලෝය. ඇෆ්ගනිස්ථානයට පය නොතබා අන් කිසිම ගමනාන්තයකට ගොස් වැඩක් නැති බව කණ්ඩා සමග වැඩ කල හැම දෙනා නිතර කොලොප්පමට කියූ කතාවකි …

හේතුවකට හෝ අහේතුවකට එකල කාගේත් කතා බහට ලක් වූ ඇෆ්ගනිස්ථානයට ගොස් එහි ඇත්ත ඇති සැටියෙන් දැක බලා ගැනීමට කණ්ඩා හට වුයේ නොනිම් ආසාවකි …

එබැවින් කණ්ඩා හට කොහෙවත් නැති තද පිස්සුවක් තිබීමට බොහෝදුරට ඉඩ කඩ බොහෝ වැඩිය 🙂

රැකියාව පටන්ගෙන දෙමසක් ඇතුලත කණ්ඩාගේ සිහිනය සැබෑ වෙන ලකුණු පහළ වූයේ ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල්හි (Kabul) අප ආයතනය ආහාර සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගත් කඳවුරු කිහිපයකට නව ආහාර වේල් බෙදා හැරීමේ (Meal Issuance and Management System) මෘදුකාංග සහ උපාංග සවි කිරීමේ ව්‍යාපෘතියකට කණ්ඩා සම්බන්ධ වූ නිසාය …

අපගේ සේවා දායකයන් වුයේ එකල කාබුල් අවට ආරක්ෂක මෙහෙයුම් දියත් කල හැට දහසකට අධික වූ NATO – ISAF හමුදාංකයන්ය (North Atlantic Treaty Organization – International Security Assistance Force).

එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, හංගේරියාව, කැනඩාව, නොර්වේ, ඔස්ට්‍රේලියාව ආදී රටවල් රාශියක හමුදා භටයන් මෙම හමුදාංක වලට ඇතුලත් විය !

අවසානයේ කණ්ඩාට ඇෆ්ගනිස්තානය වෙත පිය නැගීමට සති කිහිපයක් ඇතුලත් දින වකවානු නියම විය … හැමදේටම ප්‍රථම ඇෆ්ගනිස්තාන් වීසා අයැදුම් කරලීම සඳහා ගමන් බලපත්‍රය යොමු කළ කණ්ඩා මහත් උනන්දුවෙන් ගමනට සූදානම් වුවත් වීසා ලැබේදෝ නැද්දෝ යයි කුකුසකුත් නොතිබුනාමත් නොවේ !

ඔටු දේශයෙන් පිටවී තලිබාන් දේශයට ඉගිලීම ඉදිරියට

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://kandascolumnblog.wordpress.com/2016/11/29/%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-i-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල