කාලීන සංවාද

ගෝරිල්ල‍ාගේ කනේපාර සහ වරායේ අවුල

1

ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේදී දුටුවේ අපූරු දසුනකි. අපූරු කීවාට එය අපුල දනවන දසුනකි. වරාය සේවකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබූ හම්බන්තොට වරායේ නැව් දෙකක් නිදහස් කරගැනීමට පැමිණි නාවික හමුදාව අතර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී සිටි ‘ගෝරිල්ලකු’ මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන පහර දුන් ආකාරයයි. පසුව දැනගත් පරිදි මේ අන් කිසිවකු නොව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නය!

හම්බන්තොට වරාය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. චීනයෙන් ලබාගත් බිලියන එක්දස් පන්සීයකට අාසන්න ණය මුදල්වලින් වරාය සෑදුවද පැමිණි නැවක් නොවූ අතර වරායේ තිබුනා යැයි කියූ ගල, දයාසිරි ජයසේකරගේ බඩපිනුමට පින් සිදුවන්නට කුඩුවී ගිය බව පෙනුනි. රාජපක්ෂ යුගයේදී වරාය ක්‍රමයෙන් ලාභ ලබන තත්වයට පත්වෙමින් තිබූ බව හිටපු ජනාධිපතිවරයා පැවසුවද ඇත්තටම සිදුවූයේ කොළඹ වරායට පැමිණෙන නැව්වලින් කොටසක් බලහත්කාරයෙන් හම්බන්තොටට තල්ලු කර යැවීමයි. එමඟින් උත්සාහ කලේ හම්බන්තොට වරාය ආදායම් උපදවන ස්ථානයක් බව පෙන්වීමයි. ආණ්ඩු මාරුවත් සමඟ මේ තත්වය වෙනස් වූ අතර හම්බන්තොට වරාය ලැබුවා යැයි කියන ලාභයද නැතිවිය. වරාය අධිකාරිය, ලංකාවේ පාඩු ලබන ආයතනයක් නොවුවද කොළඹ වරායෙන් ලබන ලාභය හම්බන්තොට පාඩු පියවීමට වැය කිරීමට සිදුවිය. හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය.

වරායේ තත්වය එසේ වනවිය එහි සේවකයන්ගේ තත්වය තවත් අයහපත් විය. වසර ගණනාවක් තිස්සේ රජ කුමරුවන්ට‍ බැල මෙහෙවර කල තරුණ තරුණියන් වරායේ සේවයට ගත්තේ ඔවුන්ගේ ‘වරාය රස්සා’ සිහිනය සැබෑ කරන බව පවසමිනි. එහෙත් සොච්චම් වැටුපක් හා කිසිදු දීමනාවක් රහිතව වසර ගණනාවක් සේවය කලද ‘වරාය රස්සා’ සිහිනය සැබෑ නොවූ අතර ආණ්ඩු පෙරලියෙන් පසුද කොම්පැනි සේවකයන් ලෙස රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිව සේවය කිරීමට ඔවුන්ට සිදුවිය. වරායේ කොටස් චීන සමාගමට විකිණීමේදී රැකියා සුරක්‍ෂිතභාවය ගැන යම් සහතිකයක් ලබා දුන්නද සේවකයන්ගේ අපේක්‍ෂාව වූයේ තවම දිනාගත නොහැකිව තිබූ වරාය අධිකාර‍ියේ රැකියාවයි.

දින කිහිපයකදී අවුල දුරදිග ගිය අතර මුහුදට පැනගත් සේවකයන් නැව් මාර්ගය අවහිර කිරීමත්, පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ‍වරායේ තෙල් සංචිත ගැන කියමින් රජයට අනතුරු හැඟවීමට ඔවුන් කටයුතු කිරීමත් හේතුවෙන් වරාය තමන් අතට ගැනීම හැර විකල්පයක් රජයට නොමැති විය. නාවික හමුදාව සිද්ධියට මැදිහත් වන්නේ එලෙසය.

සේවකයන් ඉවත් කර වරායේ පාලනය තමන් අතට ගැනීමේ කාර්යයේදී නාවික හමුදාවේ මැදිහත් වීම, රතුපස්වලදී පිරිසිදු ජලය ඉල්ලූ ජනතාව මර්ධනය කිරීමේදී හෝ කටුනායක ඇඟළුම් කම්හල් සේවකයන් බලහත්කාරී විශ්‍රාම වැටුපට විරුද්ධ වීමේදී හෝ හලාවත ධීවර විරෝධතාවයට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හමුදාවේ කාර්යභාරයට වඩා ප්‍රශංසනීයය. වෘත්තීය අරගල පාලනය කිරීමේදී වෛරී සහගතව කටයුතු නොකිරීම ආරක්ෂක අංශ විසින් ප්‍රගුණ කලයුතු නිපුනතාවයකි. මක්නිසාද යත් උද්ඝෝෂකයන් සමඟ පෞද්ගලික අමනාපයක් ආරක්ෂක අංශ සතුව තිබිය නොහැකි බැවිනි. ඒ අර්ථයෙන් නාවික සෙබලුන්ගේ හැසිරීම මෙවන් අවස්ථාවක පොලිසියේ හැසිරීමට වඩා සතුටුදායකය. එහෙත් කිරි කලයට ගොම දැමීමක් වූයේ නාවික හමුදාපතිවරයාගේ අනවශ්‍ය මැදිහත් වීමයි. වරාය තුල වෘත්තීය අරගලයක් කරමින් සිටි නිරායුධ පුරවැසියන් සීයක් දෙසීයක් පාලනය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා මැදිහත් වීම මැස්සෙකුට වෙඩි තැබීමට කාලතුවක්කුවක් පාවිච්චි කිරීමකි. නිල ඇඳුමක් හෝ නොමැතිව පැමිණි නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් පහරදීම නාවික හමුදාපති තනතුරෙහි තත්වය කෙලෙසීමකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් මේ වනවිට ඔහු සිටිය යුත්තේ නිල ඇඳුම් රහිතවය.

අවසාන වශයෙන් කිවයුත්තේ හම්බන්තොට වරාය සේවකයන්ගේ ගැටළුව විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම මීට වඩා ඇවැසි බවය. මේ සේවකයන් රැකියාවට පැමිණියේ කෙසේද, රැකියාවට කලින් සිටියේ කා සමඟද යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කුමක් වුවද ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ය. අවුරුදු පහක් හයක් සේවය කල ඔවුන්ට වර්තමානයේ ඇති රැකියා සුරක්‍ෂිතභාවය හෝ ලැබෙන ආකාරයේ විසඳුමක් ලබා දීමට ආණ්ඩුවට හැකි නම් එය දේශපාලන වශයෙන්ද පාඩුවක් සිදුවන දෙයක් නොවේ.

 

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය 

https://raj1st.blogspot.co.uk/2016/12/blog-post_11.html

Related Posts

1 Comment

  1. Rishi December 15, 2016 at 8:52 pm - 

    Journalists should know their limits. They are not the gods of the country. We had and have very good journalists but not everybody. SL journalists need to learn lots of things from other journalists like CNN. SL journalists should learn to ask questions from the politicians about corruptions, work as the whistleblowers but not involve to the security of the country. Unfortunately, most of those are trying to be ‘cardboard weerayo” by doing unnecessary involvements.

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල