කෙටි කථා

කාසි

Off

“මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්…”

“ආයෙත් අහලා…. කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්”

ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන..

“දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක් කළේ නෑ. රට බීම ගෙනත් දුන්නේ ගමේ උන්ට ඉස්ම යන්ඩ බොන්ඩ! සුදුවා අරවා මෙව්වා වගේද එව්වා! අන්න මඟුල්!”

“ඔව් ඉතිං… රට වටේ ඉන්න උන්ට ගිනි පොලියට ණය දීලා බලෙන්ම වගේ ඉඩම් කඩම් ලියා ගත්තු එකාට බැරියැ ගමට බැරිනං අල්ලපු ගං තුන හතරකට කියලා මඟුල් කන්න!”

මෙච්චර වෙලා සද්ද බද්දයක් නැතිව කොනේ බැංකුවේ කෝපි කෝප්පයක් බිබී හිටපු පීටර් සීයා කියපු කතාවෙන් පස්සේ කවුරුත් මීක් නැතිව ගියා…

බබානිස්.. අවුරුදු හතරකට පස්සේ ගමට ඇවිත් හා හා පුරා කියලා ආයෙත් අහන්න උනේ ඒ මූසල නම! ගම රට අත ඇරලා ගිනි ගහන කට්ට අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි සිමෙන්ති එක්ක ඔට්ටු වෙලා හම්බ කරපු හැම තුට්ටුවම ඒ මනුස්සයාට ගිනි පොලී ගෙව්වා.

අප්පච්චි හතර අතේ ණය වෙලා වපුරපු කුඹුරු කෑල්ල පුරන් උනේ මං උසස් පෙළ ඉවර වෙච්චි ගමන්මයි.

“වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලටවත් කොහොම හරි හොඳට උගන්නමු. බබානිසා දැන් ගිනි පොලියටවත් සතයක් දෙන්නේ නෑ හිලව්වට ඔප්පුවක් නැතිව. කොහෙද ඉතිං අපි බැංකු ගානේ යන්ඩයැ! සේසතකට තියෙන්නේ මේ ගේයි ඉඩම් කෑල්ලයි තමා.”

නංගි උසස් පෙළ කරන්න කුරුණෑගල ඉස්කෝලේට ගියා. පන්ති සල්ලි… බෝඩින් සල්ලි… බස් ගාස්තු… වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. පුරන් වෙච්චි කුඹුරේ කීයක් හරි හොයන්න කියලා ගොඩ වගාවක් දාන්න වෙලට යද්දී සර්පයෙක් කාලා ඔත්පල වෙච්චි අප්පච්චි අතින් පිරවෙච්චි ගෙදර හැඹිලිය පුරවන්න උනේ මට.

“ඔයාට ගම දාල… මේ මං දාලා… කොළඹ ගිහිං ඉන්න පුලුවන්ද අයියේ…”

“වෙන කරන්න දෙයක් නෑ හිමාලි… වැල යන අතට මැස්ස ගහන්න එපැයි ඉතිං… ඇරත් වැඩි කාලෙකට නෙවෙයි. මේ ණය තුරුස් ටික ඉවර කර ගන්නකම් විතරයි.”

වැලි කෙළියේ ඉඳන් එකට හිටිය හිමාලි ඩිංගෙන් ඩිංග පපු කැවුත්තට ලං උනේ ඇවැස්ස නෑනා හින්දම නෙවෙයි.  ඒකිගේ තිබිච්චි අපූරු ලෙංගතුකම ලේ නෑකමටත් එහා ගිය උනුහුමක් ගෙනාවා. සල්ලි වල ඉඩම් කඩම් වල තිබිච්චි හයිකාරකමට නැන්දා අපේ සම්බන්දෙට කොච්චර අහු කොන් පෑවත් නිවාඩු නිස්කලංක වෙලාවක කාටත් හොරා අපි මහ නියරේ කඩාඩුව කැඩෙන වක්කඩ ළඟ මුලච්චි උනා.

උපන්තේකට මේසන් හැන්දක් අල්ලලා නැති මට අහස උසට බදින කොළඹ බිල්ඩින් වල පලංචි දිගේ බඩ ගාන්න උනා. උසස් පෙළ ඉහළින් පාස් වෙච්චි නංගි හන්තානට සින්න උනා.

බීලා ඉවර කරපු කහට කෝප්පේ කඩ ලෑලි ගොඩ උඩින් තියලා මං පාරට බැස්සා. ගම හුඟක් වෙනස් වෙලා. දූවිලි අහුරගෙන රතු පාට ලකඩ බස් එකක් දුවපු පාරට තාර කට්ටයක් වැටිලා.  හන්දියේ තොග කඩෙන් ගෙදරට ගත්තු සිල්ලර බඩු ටිකයි, ඩිස්පැන්සරියෙන් ගත්තු බේත් අප්පච්චිගේ බේත් කවරෙයි අත් දෙකට අරං මං අවුරුදු හතරකට එහා පිටමං වෙච්චි ගෙයි කඩුල්ල හොයාගෙන තාර කට්ටේ අයිනෙන් කකුල් ඉක්මන් කළා…

කොම්පැනි රබර් කෑල්ල ළඟ වංගුව හැරුණු ගමන් පාර අයිනේම බබානිස්ගේ ගෙදර. මඟුල් කාපු ඉතුරු පතුරු තාම අස් පස් වෙලා නෑ වගේ… බබානිස් ගේ ඉස්සරහ හෙන්දිරික්කා ගහ මුල බංකුවේ ඉඳගෙන සද්දෙට සිරික්කිය! අලුත ගෙනා මනමාලිත් එක්ක.

අඩියට දෙකට ඇස් වලට කටු අනින්නා වගේ වෙච්චි මනුස්සයා දෑහට නොපෙනෙන්න පහු කරන්න යද්දී ඇහැ කොනින් දැක්ක දෙයින් මං ගල් උනා!

හිමාලි!!!

 

http://naadiyaonline.blogspot.co.uk/2016/11/kasi.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල