ප්‍රහසන

ජනාධිපතිගේ පත්තර කොල්ලා, නාවික හමුදා ප්‍රඥප්ති සංශෝධනය, අගමැතිගේ සමාව ගැනීම සහ කාඩිනල්ගේ නින්දෙන් ඇහැරීම

Off
ජනාධිපති නිල නිවසේ ඊයේ උදෑසන වූ සිද්ධියක් පිළිබඳව අප වෙත වාර්තා වී ඇත.
කැප්පෙටිපොල මාවතේ ජනාධිපති නිල නිවසේ ආලින්දයේ පරණ ඇඳි පුටුවක දිගාවී ජනාධිපති තුමෝ මහත් උනන්දුවෙන් පාර බලා හිඳියි.
 
“ෂිහ්..මේ මනුස්සය තාම නෑනෙ. මම කී පාරක් කිව්වද උදේ හය වෙනකොටවත් එන්ටෙයි කියල හිටං. කෝ කිව්වට අහනවය? මිනිහට ඕන විදිහට තමයි මිනිහ වැඩ. අපේ අගමැතිතුමා වගේම තමයි. ඇරපු අතක් නෑ. නෑයො වත්ද මන්ද…අද ආපුවහම හෙමීට අහල බලන්ට ඕන…”
 
මෙසේ තොල මතුරමින් එතුමෝ දැඩි නොඉවසිල්ලෙන් අසුනෙන් නැඟිට මිදුලට බසියි. යලි පැමිණ අසුන් ගනියි.
 
“ට්‍රීං ට්‍රීං ට්‍රීං….” ජනපති නිල නිවසේ දුරකථනය නාද වෙයි.
 
“හාමිනේ හාමිනේ ඔන්න ඔය ටෙලිපෝන් එක බැලුවනම් පොඩ්ඩක්… “
 
“මම මේ මහත්තයගෙ බත් එක බඳිනව මෙහෙ…”
 
“හරි හරි පොඩ්ඩක් ඕක බලන්නකො. මොකද දන්නෙ නෑනෙ පාන්දරම? කොයි කොලුව ගෙදර ඉන්නවද?”
 
“ඔව්..ඔව්…කාමරේ නිදි…”
 
“ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නවනං මට තියෙන ප්‍රස්න බාගයක් ඉවරයි..”
 
“ට්‍රීං ට්‍රීං ට්‍රීං……” නොනවත්වා දුරකථනය නාදවෙයි.
 
“හරි හරි හාමිනේ ඔය වැඩේ කරගෙන යන්ට. මම බලන්නංකො මේ ටෙලිෆෝන් එක”
 
දුරකථනය අසලට ගිය ජනාධිපතිතුමා රිසීවරය ඔසවයි.
 
“හලෝ… හලෝ..”
 
“හලෝ මේ ජනාධිපතිතුමාද? “
 
“ඔව්..ඔව්…ඔව්..කතාකරනවා…”
 
“ජනාධිපති තුමනි අපි මේ කතා කරන්නෙ අදද රෙන ටීවී එකෙන්..”
 
“ඔව්?”
 
“අපිට දැනගන්ට ඕන අර හම්බන්තොට වරායෙ සිද්ධිය ගැන?”
 
“මොකක්ද හම්බන්තොට වරායෙ සිද්ධිය? මම එහෙම එකක් දන්නෙ නෑනෙ…”
 
“ඔබතුමා දන්නෙ නෑ? මේ රටම දන්න සිද්ධිය? “
 
“අයිසේ මට තාම අද පත්තර කියවන්ට හම්බවුනේ නෑ. පත්තර කොල්ලා පරක්කුයි. ඌට මං විසි තිස් ගමනකට වඩා කියන්ට ඇති උදෙම්ම පත්තරේ ගෙනත් දෙන්ට කියල. මොකද තමුසෙලා වගෙ හාල් පාරුවො උදෙම්ම එක එක මඟුල් අහනකොට මම එව්වට උත්තර දෙන්ට ලෑස්ති වෙලා ඉන්ට එපයි. කොහෙද මූ මම කියන එකක් සත පහකට ගණං ගන්නෙ නෑනෙ. කැබිනට් එක තව හොඳයි…”
“ට්‍රීං ට්‍රීං ට්‍රීං”
 
“අම්මට උඩු ආයම ටෙලිෆෝන් එක වදිනව නේද? අඩේ එහෙම වෙන්ටත් බෑනෙ නේද? ටෙලිෆෝන් එකෙං කතා කර කර ඉද්දි කොහොමද ටෙලිෆෝන් එක වදින්නෙ නේද? “
 
“නෑ මහත්තය ඒ අර පත්තර කොල්ලා……” එතැනට පැමිණෙමින් එසේ පැවසූයේ ජනාධිපති තුමාගේ බිරිඳයි.
 
“ආ..එහෙමද?….හලෝ..හලෝ..හරි හරි පත්තර කොල්ලා ඇවිල්ල…ඔහොම ඉන්නවකො මම පත්තරේ බලල ඉවර වෙනකල්. තව පැය බාගෙකිං කතා කරනවා හොඳද? එතකොට මම අර හම්බන්තොට සිද්ධිය ගැන උත්තරයක් දෙන්නංකො”
 
 
************************************************
නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත්වී ඇත. මෙතෙක් නාවික හමුදාවේ මූලික කාර්ය භාරය සේ එම ප්‍රඥප්තියෙහි සඳහන්වූයේ“ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම සහ එහි වැසියන්ගේ ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරම සහ උදාර වගකීම වන්නේය” ලෙසය.
එහෙත් වෙනස් වන ලෝකයට අනුව කාලානුරූපව එම ප්‍රඥප්තිය මෙලෙස සංශෝධනය කල යුතු යැයි යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
 
“යහපාලනයට අලුත් කොන්දක් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරම සහ උදාර වගකීම වන්නේය. එළෙසම ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ හොස්ස මිරිකා එහාට මෙහාට කරකවා ඔවුන්ගේ ගෙල පෙදෙසට ව්‍යායාම ලබාදීමද ඒ සමඟම ඔවුන්ගේ මෑණියන් පිළිබඳව මතක් කොට දී මව්ගුණ සිහිකරවීමද අනුෂාංගික වගකීම් වන්නේය. ඒ මූලික වගකීම් ඉටුකිරීමෙන් පසු කාල වේලාව ඇත්නම් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආරක්ෂා කිරීමේ කටයුතු ද ඔවුන් විසින් ඉටුකරනු ලබන්නේය.”
මෙලෙස නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතේ විශ්‍රාමික යුද මානසිකත්ව නාවික හමුදා නිලධාරීන්ගේ සංසදය මඟින් බවද සඳහන් වේ.
 
*****************************************
 
1981 වසරේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයෙන් පසු යාපන පුස්තකාලයට ගිනි තැබීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමාව ඉල්ලා ඇත.
 
වසර තිස්පහක් ගතවී හෝ අගමැතිතුමාගේ මේ සමාව ඉල්ලීම විචාරකයින්ගේ ඉමහත් පැසසුමට ලක්ව ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ද ඔහු තවත් වසර තිස්පහකින් පසු එනම් ක්‍රි.ව. 2050 වසරේදී සමාව ඉල්ලීමට බලාපොරොත්තුවන බව මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
ඒ වනවිට ඔහු ජීවතුන් අතර නොසිටියහොත් මළවුන් ගෙන්වා කථාකරවන ගුප්ත විද්‍යා මධ්‍යස්ථානයකදී එම සමාව ඉල්ලීමේ මහෝත්සවය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
 
ඒ සමඟම අගමැතිතුමාගේ පසුගිය වසර දෙකකට ආසන්න කාල සීමාවේ කල කී දේ පිළිබඳව විමසා බලන කල ඔහුගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අද ජීවතුන් අතර සිටියේ නම් ඔහු මුළු මහත් ශ්‍රී ලංකා වාසී සියළු ජනයාගෙන් සමාව ඉල්ලා සිටිනුයේ කුමක් පිළිබඳවද යන්න තීරණය කිරීම දයාබර පාඨකය මම ඔබටම භාර කරමි.
 
***************************************
 
ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ගරු නායකයානන් වන අතිගරු කාඩිනල් තුමා තම ශිශිර තාරක නින්දෙන් අවදිව මහා නට්ටල් ගසක් පිළිබඳව මොනවාදෝ අපබ්‍රංස වගයක් දේශනා කොට යලි නින්දට පිවිස වදාල බව මේ අතර කතෝලික ආරංචි මාර්ග සඳහන් කොට සිටී.
අගෝස්තු මස මහා නට්ටල් ගස ඉදිකිරීම ආරම්භයට පෙර නින්දට පිවිසි එතුමා මේ පසුගිය සතියේ හදිසියේ අවදිව දුප්පතුන්ට උදව් කිරීමක් පිළිබඳව පවසා ඊට දින කීපයකට පසු යලි පවසා වදාලේ තමන්ට මිලියන දොළහ සහ මිලියන දෙසීය ටැපලුනු බවත් එබැවින් නට්ටල් ගස ඉදි කීරිම පිලිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත්ය. එසේ පවසා එතුමා යලිත් ශිශිර තාරක නින්දට සම වැදුනු බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල