කාලීන සංවාද

Tea and Tamils හෙවත් තේ සහ දෙමළු

Off
සිංහලුන් ගාවට අපේ රටේ වැඩිම ජනවර්ගය දෙමළුය. මේක ඕනිනං ‘සිංහල ජනවර්ගය හැර අපගේ රටෙහි මීළඟට වැඩිම ජන වර්ගය ද්‍රවිඩ ජනතාවයි‘ කියා ලියන්නත් පුළුවන. ඒ වුනාට අපි ඇත්තටම භාවිතා කරන්නේ දෙමළු කියා නොවේද? මං අද ලියන්නේ තේ ගහට ආත්මය බද්ධ කරගත් දෙමළු ගැනයි.
ලංකාවේ දෙමළ ජනතාව කොටස් කීපයකට බෙදේ. උතුරු නැගෙනහිර පලාත්වල ඉන්නේ ගොවිතැනක් බතක් කරගෙන, රස්සාවක් කරගෙන, සමාජයේ ඔලුව කෙලින් තියාගෙන ඉන්නා නම්බුකාර දෙමළ මිනිස්සුය. කොළඹ සහ තදාසන්න නගරවල ජීවත්වන දෙමළ මිනිස්සුද බහුතරයක් ව්‍යාපාර හිමි පෝසතුන්ය. ඊළඟට සමාජ තත්වය මදක් අඩු කොටස ජීවත්වන්නේ උඩරට වතුකරයේය. ඔවුන්ගේ බහුතරය තේ වතුවල ජීවත් වුවද, වත්තේ වැඩ කරන්නේ පවුලේ දෙමව්පියන් පමණි. දරුවන් වෙනත් රැකියා කරති. ඒ අතරින් උගත් අය රජයේ රැකියාද, පෞද්ගලික අංශයේ මධ්‍යම මට්ටමේ රැකියාද, ව්‍යාපාරද කරති. ඔවුන්ගේ පවුල්වලට වත්තේම ඉඩම් කොටසක සාදාගත් ගෙයක්ද හිමිය. ඔවුන්ට ඒ නිවසට හිමිකාරීත්වය ඇත. ඒ සියල්ලටම වඩා වටිනා ඡන්ද බලය ඇත.
මේ කොටස් එකකටවත් අසු නොවුනු දෙමළ ප්‍රජාවක් ලංකාවේ වෙසෙන බව ඔබ සමහර විට අසා නැතිවන්නට පුළුවන. ලන්ඩනයේ තේ වෙන්දේසිවල විකිණෙන තේ වර්ගවලින් අඩක් පමණ නිපදවීමට අවශ්‍ය දළු නෙලන්නේ ඔවුන් බව ඒ අවට උද්‍යානවල ‘ලාංකීය ද්‍රවිඩයින්ගේ විමුක්තිය වෙනුවෙන් උද්ඝෝෂණය කරන උගත් ද්‍රවිඩයින්‘ දන්නේද නැත. නමුත් පහතරට තෙත් කලාපයේ එවැනි දෙමළ ජනතාවක් වෙසෙති. ඔවුන් අපේ ගමේ හැඳින්වෙන්නේ දෙමළු නමිනි. සිංහල මිනිස්සු ‘සිංහලුන්’ ලෙස හඳුන්වන ලෙසම මෙතැන් පටන් මොවුන්ව හැඳින්වීමට මං ‘දෙමළු’ යන වදන යොදාගන්නේ ඔවුන්ව හැඳින්වුනේ එලෙස බැවිනි.
දෙමළු ඉන්නේ ලැයිං වලය. ලැයිං යනු අපේ රටේ ඉස්කෝල හෝල් එකක් තරං දිග එයිං බාගයක පමණ පළලින් යුත් ටකරං සෙවිලි කල ගොඩනැගිලිය. මේවා අඩි දොලහක පමණ පළලැතිව කාමරවලට බෙදා ඇත. එවැනි කාමරයක පවුලේ අට දෙනෙක් පමණ සිටීම සුළභය. ගොම මැටි ගෑ පොලවේ එක පැත්තක බිම බැඳි ලිපක උයාගෙන කෑමත් එම කාමරයේම බිම එලූ පෝරකවර කීපයක් මත එක පොදියට නිදාගැනීමත් ඔවුන්ට උරුමය. සිය එකම සේසත වන ඇඳුං කඩමාලු ටික කාඩ්බෝඩ් පෙට්ටියකත්, හැලිවලං ටික ගෙබිම මතත්, තබාගන්නා ඔවුන්ගෙන් කලාතුරකින් අයෙක් සතුව ඉඳහිට රේඩියෝ කැසට් යන්ත්‍රයක් තිබෙනු මා දැක ඇත. රාත්‍රී කාලයේ එක කුප්පි ලාම්පුවෙන් මුළු ලැයිං කාමරයම එළිය කෙරේ. බොහෝවිට ඔවුන්ගේ පොඩි ළමයි රෑ නින්දෙන් ඇහැරී ගොස් කුප්පි ලාම්පුව පෙරලාගෙන ගිනි ඇවිලී අබ්බගාත වූවෝය. නැත්නම් මිය ගියෝය.
ඔවුන්ගේ එකම ජීවනෝපාය තමුන් සිටිනා වත්තේ වැඩ කිරීමය. සමහරුන් සුළුවෙන් කුකුළන්, එළුවන් ඇති කළහ. නමුත් දෙමලුන්ගේ කුකුල් බිත්තරද අපට හිරිකිත විය. ඉඳහිට ගමේ අය ඔවුන්ගෙන් කුකුලෙක් මරවා ගත්හ. සිංහල අවුරුද්දට ඔවුන්ගෙන් එළුමස් මිලදී ගත්හ. ඔවුහු ඉඳහිට වත්තේ වැඩ නැති විට ගමේ සිංහළුන්ගේ කුලීවැඩද කළහ. සමහරු වත්තේ වැඩ මගහැර පිටස්තර තැන්වල වැඩට ගොස් හවසට වත්තෙ මහත්තයාගෙන් පිටපුරා ලාඩප්පා පොළු පාර කෑවෝය. උදේට ‘මහ ජෝඩුව’ වැඩට යාමත් අවුරුදු අටේ දහයේ ලොකු ළමයි සහ වැඩ කළ නොහැකි මහළු අය ගෙදරට වී අත දරුවන් බලාගැනීමත් කළහ. ඔවුන්ගේ නිසි වයස සපිරූ ළමයි පාසල් නොගියහ. සමහරු යන්තම් එක දෙක වසරවල් වලට පමණක් ගියහ. ඔවුන්ට දෙමළ භාෂාවෙන් පාසල් අපේ අහල ගං හතකවත් නොතිබිණි. මට මතක ඇති පරිදි මා පාසල් යන විට 1 වසරේ සිිටයේ එක දෙමළ කෙල්ලක පමණි. කරුණාවතී මිස් විමසූ විට සිය නම ‘මාරි කූරි’ යැයි ඇය කීවාය.
“මේ ලමයගෙ නම මාලු කූරිලු”
කියා ඇයත් අනෙක් ගුරුවරියෝත් අපිත් සිනාසුනෙමු. මාරි වැඩිකලක් පාසල් නොආවාය. නමුත් ‘කරුපයියා නන්දකුමාර්’ නම් තවත් සිසුවෙක් නම් හතර වසර වනතෙක් පාසල් පැමිණියේය. අපි සැමවිටම දෙමළුන් සමග එක ඩෙස් එකේ වාඩිවීමට නොකැමති වීමු. බස් එකේදිවත් අප සමග එක අසුනේ ඉඳ ගැනීමට දෙමළුන්ට ඉඩ නැත. එනිසා ‘කරුපයියා’ පිටුපස මේසයක තනිවම සිටියේය. කුණුහරුප ගැන හසල දැනුමැත්තෝ ඔහුගේ නමෙහි ඇති ‘කරුව’ ඉවත් කලෝය. අනෙක් දෙමළ ළමයි මෙන්ම කරුපයියාද අවුරුදු දොලහෙන් පමණ ඉස්කෝලේ අතහැර කුලී වැඩට යන්නට පටන්ගෙන, කසිප්පු බීමටද හුරුවී රැවුල වැඩෙන විටම ලැයිමේ කෙල්ලෙක් සමග වෙනත් වත්තකට පැන යන්නට ඇත.
මේ අතරින් සමහර දෙමළු ජංගම ජීවිතයක් ගතකළහ. තේ අක්කර තුන හතරක් පමණ ඇති ගම්වැසි සිංහලයෝ සිය ඉඩමේ කොනක පෙට්ටියක් වැනි කුඩා ගෙවල් ඉදිකර එහි දෙමල පවුල් නවත්තා ගත්හ. එවැනි දෙමල පවුල් ඉඩම් හිමියාගේ තේ ඉඩමේ වැඩද, ගෙදර වැඩද කරමින් ජීවත් වූහ. මෙවැනි දෙමළ පවුලක් වැඩට තියාගන්නා තැනැත්තා කලක් යාමේදී ඔවුන්ව එළවා දමා වෙනත් පවුලක් ගෙන්වා ගනී. බොහෝවිට එල්ල වන චෝදනා වන්නේ ‘තේ ගස් නාස්ති කිරීම’, ‘හොරකම් කිරීම’, බීගෙන කුණුහරුප කියාගෙන ගෑනියි මිනිහයි මරාගැනීම ආදියයි. නමුත් බොහෝවිට එසේ එළවන්නේ ඔවුන්ගෙන් වැඩ කරවාගෙන මාසයක් එකහමාරක පමණ පඩිය නොදී තබාගෙන එය ඉල්ලූවිට බව තතු දත්තෝ දනිති. ඒ සියල්ලේ පාඩුව විඳගන්නට වන්නේ ඒ පවුලට ණයට බඩු දුන් කඩේ මුදලාලිටය. හිටිගමන් පළවාහැරෙන මෙවැනි දෙමළ පවුල් නවතින්නේ වෙනත් ගමක එවැනිම ඉඩම් හිමියෙක් ළඟය. මෙම දෙමළ පවුල්වල කාන්තාවන්ට ඉඩම් හිමියාගෙන් අතවර නොවන්නේ දෙමළු යනු හිරිකිත ජාතියක් බව කුඩාකළ පටන් කාවද්දා ඇති නිසාය. නමුත් මා දන්නා එක්තරා ඉඩම්හිමියකු සිය ඉඩමේ වැඩ කරන දෙමළ කාන්තාවකට සිය හැඩ රුවේම දරු සම්පතක් ලබාදී ඇත. එය තමුන්ට වූ අසාධාරණයක් බව ඒ දෙමළ කාන්තාව නොසිතීමම ඔවුන්ගේ ජීවිත කතාවේ එක් පාර්ශවයක් පෙන්නුම් කරයි.

ඉහත දැක්වූ පරිදිම ‘දෙමළු’ උපතින්ම ණය වන්නෝය. ඔවුන් කෑමට අවශ්‍ය පිටි, සීනි, හාල් ආදිය මිලදී ගන්නේ අවට ඇති කඩවලින්ය. ණය පොතක ලියවෙන ඒ ණය ගෙවෙන්නේ වත්තේ පඩි දෙන දවසටය. මුලින්ම මුදලටත් ඉන්පසු රුපියල් දාහක ණය සීමාවකට යටත්වත්, ඉන් පසුව ඊට වැඩි ණය සීමාවකටත් කඩෙන් ණයට ගන්නා ඔවුන් සමහර විටෙක ලැබෙන පඩියෙන් ණය නොගෙවා වෙනත් කඩයකින් බඩු ගනිති. මේ ආකාරයට වංචා කිරීම ඔවුන්ගේ සිරිතකි.

ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටීය. දෙමළුන් කළු වන්නේ රොටි කෑම නිසා යැයි අපේ ආච්චම්මා කියයි. අපේ ගෙවල්වලට පාං පිටි ගෙනියන්නේ එහෙමත් වෙලාවක වුවත් දෙමළු එකවර පිටි කිලෝ දෙකක් තුනක් ගෙනියති.

අපේ ගමේ සිටින කවුරුත් එකිනෙකාට අමතන්නේ අයියෙ, අක්කේ, නංගියෙ, මල්ලියෙ, මාමෙ නැන්දේ, ආතෙ ආච්චම්මේ වශයෙනි. සමහර විට නම සමගම ඉහත ඇමතුම යෙදේ. නමුත් ගොවිගම කුලයට වඩා පහත් කුළවල අයටත්, දෙමළුන්ටත් නෑකම කීමක් නැත. රත්නෙ බාප්පාට ‘රත්නෙ බාප්පේ’ කියතත් ඒ වයසේම සිටින දෙමළ මිනිහෙක් වන ‘සංකර’ට අපි ‘සංකරයෝ’ කියා අමතමු. වැඩිහිටියෝද අප වැනි පොඩි අයට ‘පුතේ’ කියතත් අපේ වයසේම සිටින සංකරගේ පුත්‍රයාට ‘රාමුවෝ’ කියා අමතති. අපව හැඳින්වීමේදී ‘පංසල ගාවා සොම්පාලගෙ ලමයා’ ආදී වශයෙන් කියතත් දෙමළ ළමයෙක් දුටුවිට ‘කාගෙද මංද දෙමළ පැටියෙක්’ කියා කියති. වයසක දෙමළ මිනිසුන් ‘කංකානම’ නමින්ද, දෙමළ ගෑනු කවුරුත් ‘ආච්චි’ නමින්ද හැඳින්වේ. එබැවින් අපේ ආච්චම්මා තමුන්ට ‘ආච්චි’ යනුවෙන් අමතනු ලැබීමට නොකැමතිය. අපි කෙසේ ඇමතුවත් දෙමළුන් වැඩිහිටි සිංහල අයට ‘මාතියා’, ‘නෝනා’ යනුවෙන්ද, අපේ ආච්චම්මාට ‘ලොකු මෙනිකේ’ ලෙසද, කුඩා ළමුන්ට ‘චූටි මාතියා’, ‘චූටි මැණිකේ’ යනුවෙන්ද ඇමතිය යුතුය. අපි පාරේ යනවිට දෙමළුන් ඉඩ දිය යුතුය.

ලැයිං කාමරවල ඉන්නා පවුල් හිටි ගමන් රණ්ඩු වී කපා කොටා ගනිති. ඒවා බේරන්නේ වත්තේ මහත්තයාය. බොහෝවිට අඩුවෙන් තුවාල ලැබූ එකාට කොන්ද හරහට ලාඩප්පා පොල්ලකින් තැලීමෙන් දඬුවම් දෙනු ලැබේ. වරක් අපේ පුංචම්මාගේ කඩෙන් ණයට ගෙන ණය නොගෙවූ දෙමළෙක්ව පුංචම්මා විසින් රඹුටං ගහේ බැඳ ලාඩප්පා පොල්ලෙන් තලන ලදී. කඩේ ළඟ වටවූ සෑහෙන පිරිසක් ඉදිරියේ තැලුම් කෑ ඔහුව හදිසියේ කඩාවැදුනු අපේ මාමා විසින් නිදහස් කර යවන ලද්දේ පුංචම්මාව පොලීසි ගෙනියන බවට තර්ජනය කිරීමෙන් පසුවය. නිදහස ලැබූ මිනිහා තමුන් ලැබූ පොලු පාරවල්වල වාඩුව ගත්තේ තමුන් ගුටිකන තෙක් පැත්තකට වී බලාසිටි සිය බිරිඳ සහ ළමයින්ට තැලීමෙනි. නමුත් මේ කිසිවිටකත් දෙමළුන් පොලීසියට ගොස් ‘ඇන්ටරියක්’ දැමීමට තරම් නිර්භය නොවීය.

ඔවුන්ගේ ආගමික උත්සවයක් කියා ඇත්තේ එකකි. ඒ කුඩා දේව රූපයක් ඔවුන් විසින් සාදාගත් කුඩා දෝලාවක තබා ගෙනයන උත්සවයයි. එය දෙමළ පෙරහැර නම් වේ. මහ රෑ නවයට පමණ වත්ත පාරදිගේ ප්‍රධාන පාරට පැමිණ මහපාරේත් ටික දුරක් යන මේ පෙරහැරේ කාවඩි නටන්නෝ කීප දෙනෙක් සිටිති. දේව පිලිමයට ඉහලින් වත්තේ සිටින එකම ධනවතා වන ‘රාජා’ගේ ගෙදර තිබෙන ඩියුබ් ලයිට් එක එල්ලා ඇත. එයට කරන්ටෙක දෙන බැට්ටිය ඔහු විසින් සිය පාපැදියේ තබාගෙන තල්ලු කරගෙන යයි. ඔවුන්ගේ පෙරහැරේ ගෙනයන ටිං බෙලෙක් කැටයට අපි කවුරුත් සත පනහක් රුපියලක් දමමු. එයට වැඩි ගානක් නොදමන්නේ ‘දෙමළ දෙයියන්ට’ පඬුරු දැම්මාට පිං නොලැබෙන නිසාය.

පසුගිය යුද්ධ කාලයේදී දෙමළුන්ට නිතර ගුටි කන්නට සිදුවිය. සමහර ප්‍රදේශවල ග්‍රාමීය දේශප්‍රේමියෝ සිය ගමට හමුදාවේ කෙනෙකුගේ මෘත දේහයක් ගෙනෙන සැම විටම අසල පිහිටි වතුවලට කඩාපැන දෙමළුන්ගේ හට්ටි මුට්ටි පොලවේ ගසා දෙමළුන්ට ගුටි ඇන්නෝය. ඔවුන්ගේ කුකුළු කූඩුවල සිටි කුකුළන් මරාගෙන කෑවෝය.

දෙමළ පවුල්වල වැඩියෙන් දුක් විඳින්නේ ගැහැණුය. යන්තම් අවුරුදු දොළහ දහතුන වනවිටම කුවුරන් හෝ ‘දෙමල’ මිනිහෙක් සමග පැනගොස් වෙනත් වත්තක ලැයිමක නවතින ඔවුන් වැඩි කල් නොයාම ළමයින් පෝලිමක් හදාගන්නේ උපත් පාලන ක්‍රම ගැන නොදන්නා නිසා විය යුතුය. මෙයින් ළමයින් කීප දෙනෙක්ම කුප්පි ලාම්පුවට පිලිස්සීම, ඇලක දොලක වැටීම, ලෙඩ හැදීම ආදිය නිසා අඩු වයසින්ම මියයති. ඉතුරු ළමයින්ද අතපය හතර හයිවනවිටම කුලීවැඩට ගොස් ඇටෙං පොත්තෙන් එලියට එන කාලයේදීම කා සමග හෝ පැනයති. ඔවුන්ගේ කසාද ජීවිතද මාස දෙකතුනක්, අවුරුද්දක් දෙකකට වඩා වැඩි කාලයක් රඳන්නේ නැත. එවැනි විටක ළමයින්ද සැමියාද දමා අලුත් ‘මිනිහා’ සමග පැනයාම ‘දෙමළ’ ගෑහැණුන්ට අරුමයක් නොවේ.

‘ඉංගනේසන්ගේ ගෑනි’ වන ‘රානි’ හැමදාම වත්තේ හෝ ගමේ අයගේ කුලී වැඩ කරද්දී ඉංගනේසන් කිසි වැඩක් නොකර සිය බිරිඳගේ අතේ ඇති මුදල පැහැර ගනිමින් එයින් කසිප්පු බී ඇයටම තඩිගැසුවේය. මේ නිසා ‘රානි’ අලුත් සැමියෙක් හොයාගෙන ඔහුත් සමග පැන ගියාය. ‘ඉංගනේසන්’ තවත් ගෑනියෙක් ගෙනාවේය. දවල් දවසේ වැඩ කිරීමත්, නොකඩවා ළමයින් වැදීමත්, රාත්‍රියට ගුටිකෑමත් නිසා මට මතක ඇති කිසිඳු ‘දෙමළ’ ගැහැනියක් මෝල් ගහක් තරංවත් මහත නැත.

දෙමළුන්ගේ ගෙවල්වල කොටහළුවක්, මගුලක් හෝ අවමගුලක් වූ විට උත්සවයක් ගත් බවක් මා දැක නැත. සමහර අවස්ථාවල කලක් තිස්සේ අපි දන්නා දෙමළ මිනිහෙක් දකින්නට නොමැති විට කවුරුන් හෝ ඔහු ගැන විමසයි.

“කෝ රාජො අර උඹලෑ ලැයිමෙ හිටිය බීඩි බොන වයසක කංකානම?”

“යේ එපේ මමානේ මෙනෙිකේ. ගිය ෂුමානෙ මෙරුනා. වත්තෙම් වල්දැම්ම”

වයසට ගොස් මැරුණද, කුඩා කාලයේදී මැරුණද, ළමයි හම්බුවෙන්නට ගොස් මැරුණද, ඔවුන්ව රෙදි කඩමාල්ලක ඔතා වත්තේ පහල කොටසේ තේ ගස් නැති මූකලානක වල දමනු ලැබේ. ඒ තේ ගස් ඇති තැනක හෝ වතු ඉඩමේ ඉහලක වල දැමුවහොත් මළ මිනිය දිරායන සාරය තේ ගහට උරාගැනීමට ඉඩ ඇති නිසාදැයි මම නොදනිමි.

ඔවුන් ගැන යන්තම් හෝ කියවෙන සිංදුවක් ඇත්තේ මෙපමණය. අවාසනාවකට ඒ සිංදුවටද දෙමළුන්ගේ ජීවිතවලට වුනු දේම සිදුවී ඇත.

 

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://yanhella.blogspot.co.uk/2016/12/tea-and-tamils.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල