ප්‍රහසන

“රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත” නොහොත් හත්පොලේ ගාගත් රණවිරුවාගේ කතාව

Off
“රණමඟ ඔස්සේ කන්දිනඩාල් වෙත” කෘතිය ලියා එක රැයින් ජාතියේ අසහාය යුද වීරයා බවට පත්වූ අසමසම වීර පුරුෂයා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසලක් සතුරන්ගෙන් මුදාගැනීම උදෙසා තවත් විරෝදාර හමුදා මෙහෙයුමකට නායකත්වය දුන් බව අපවෙත වාර්තාවේ. “Operation Scruff of the neck නොහොත් ගලග්‍රහ මෙහෙයුම” ලෙසින් නම්කොට ඇති මේ මෙහෙයුමේදී අදාල ගත් කතුවර රණශූර සෙන්පතියා මෙවර අපොස සාපෙළ විභාගයට මුහුණදෙන දරුණු ත්‍රස්තවාදියකුගේ බෙල්ලෙන් අල්ලා සොලවා ඔහු දමනය කල බව ඇසින් දුටුවෝ පවසති. මේ සඳහා මේ රණවිරුවාට සහායවී ඇත්තේ ඔහුගේ සුහුරාණන් වන යුද හමුදාවේ මේජර් වරයෙකු වන තවත් ශූරවීර රණවිරුවෙකි.
ජාතියේ සුවයිරීබාවය සහ බවුමික අකන්ඩතාව රැකගැනීමට දිවි දෙවෙනිකොට සටන්කරනා රණවිරුවන්ට සැමදා සිදුවන ලෙස මහා වීර මේජර් ජනරාල්තුමාට ද ඉන් අනතුරුව සිදුවූයේ අලිම නස්පැත්තියකි. ඒ මොකද කියනවා නම් දේස දොරෝහී එන්ජීඕ කාක්කන් සහ ඩොලර් වලට කහින්නන් රටපුරා පතල කලේ මේජර් ජනරාල් තුමා මෙවර අපොස සාපෙල ලියන කොලු කුරුට්ටෙකුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කලා කියාය. අහෝ දුකකි! කෙදයකි!! හරියටම මේ ඊයේ පෙරෙයිදා අපේ අර ගරු කටයුතු නාවික හමුදාපති රනවිරුවානන්හට සිද්ද වුනු අලකලංචිය වාගේය. ඇරපු අතක් නැත. කපාපු පලුවය.
එම චෝදනාවන්ට පිළිතුරු ලෙස ඒ අසහාය, ජාතියේ පිනට පහලවූ රණවිරුවා ප්‍රසිද්දියේ ප්‍රකාස කලේ එම චෝදනා ආස පොලව නුහූලනා බොරු චෝදනා බවද ඔය කියන දවසේ තමන් මේ ලංකාවේවත් නොසිටි බවත්ය. එසේම තමන්ට විරුද්දව කිසිම පොලීසියකට පැමිනිල්ලක් කර නොමැති බවද එතුමෝ සිංහනාද කලෝය.
තමන් එදින උදෑසන එම විදුහලට ගියේ තමා ලියූ පොත් මිටියක්ද පොහොර උරයක දමාගෙන එම පොත් අස්සන ගසා විකිනීමට බවද සිසුන් පොත් ගැනීමට පොර කෑමේදී එක් සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා අවවාද කල බවද එසේම තමා ප්‍රබාකරන්ගේ පවා බෙල්ලෙන් අල්ලා “හොඳ මිනිහෙක් වෙයන් බොල කොල්ලෝ” කියා අවවාද කොට ඇති බවද “එහෙමයි සර්” කියා ප්‍රබාකරන් හිස නමා එම අවවාදය පිලිගත් බවත් අසහාය රණවිරුවා හැඟීම් බරව පැවසීය.
එසේ වුවද අල්ලේ පැලවෙන බොරු කිසිදු හිරිකිතයකින් තොරව ඇදබාන්නේ නම් රනවිරුවන්ටද දවසක කෙලවෙන බව ඔප්පු කරමින් අදාල ශිෂ්‍යයා විසින් කුරුඳුවත්ත පොලීසියට රණවිරුවාට විරුද්දව කල පැමිනිල්ලකට අනුව පසුගියදා එතුමා පොලීසියට කැඳවිනි.
ඒ අනුව “රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත….”යනුවෙන් නම් කෙරුනු තවත් මෙහෙයුමක් දියත් කිරීමට එතුමාට සිදුවිය. කුරුඳුවත්ත පොලීසියේදී සිසුවා සහ සිසුවාගේ මව සමඟ සමාදාන වීමට ඒ අසහාය රණවිරුවාට සිදුවිය. අහෝ දුකකි! කේදයකි!!
සමාදාන වීමෙන් පසුව පොලීසියෙන් පිටතට පැමිනි එතුමා දර්මපාල මාවතේ මාර ගහක් යට එරමිනිය ගොතා ඉඳගෙන පොත් විකිනීමට පටන් ගත්තේය. ඒ අතර එතනට පැමිනි පුවත්පත් වාර්තා කරුවන් අමතා එතුමා පැවසූයේ තමන් ජාතිය බේරාගත් රනවිරුවකු වන බවත් ඒ අනුසාරයෙන් තමන්ගේ හත්මුතු ප්‍රම්ප්‍රාවම රනවිරු ප්‍රම්ප්‍රාවක් වන බවත්ය. එසේම එම විදුහලේ ඉගෙනුම ලබන තම රනවිරු ඥාතිපුතකු හට තවත් රනවිරු නොවන සිසුවකු පහර දී ඇති බවත් ප්‍රබාකරන්ගේ බෙල්ලෙන් අල්ලා සෙලවූ තමන්ගේ ඥාති පුතෙකුට එසේ කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවත් තමන් එදා විදුහලට ගියේ ඒ පිළිබඳව යුද හමුදා කාර්ය පටිපාටිය අනුව කටයුතු කිරීමට බවත්ය.
අදාල දිනයේ තමන් රටේවත් නොසිටි බවට කලින් පැවසූයේ සංග්‍රාමික උපක්‍රමයක් ලෙසට බවත් යුද හමුදා සංග්‍රාමික උපක්‍රම පිලිබඳව නොදන්නා පෘතග්ජනයින්ට ඒ ගැන පැහැදිලි කිරීම අපහසු බවත් පැවසූ එතුමා අවසන් වශයෙන් පැවසූයේ එසේ චේතිය ගජ බින්නයක් රටටම ඇසෙන සේ ප්‍රකාස කලද තමන්ගේ කෘතියෙහි ලියා ඇති සියලුදේ සම්පූර්න සත්‍යය බවට තමන් සහතික වන බවත්ය. එලෙසම මේ සිද්දිය පිලිබඳව නුදුරු අනාගතයේදීම “රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත නොහොත් හත්පොලේ ගාගත් රනවිරුවාගේ කතාව” නමින් පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද එතුමා පැවසීය.
*******************************
නාවික හමුදාපතිගේ මාගම්පුර මෙහෙයුමදා මම පැවසූ “මහතුනි, කරුණාකර සවන් දෙන්න යුද මානසිකත්වයෙන් මිදීමට සුදුසු කාලය එළඹ ඇත” යන්න යලිත් පවසන්නෙමි. එලෙසම යුද ජයග්‍රහණයෙන් යම්තමට වසරක් ගෙවී ගිය කලක ටැබූ නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා වියුණුවෙහි පළවූ සටහනක සිරස්තලයද මේ අවස්ථාවේ සිහිපත් කරමි.
“සොල්දාදුවෝ දැන් බැහැපන් කරෙන් බිමට”
පින්තුරය: Bull Attack – A Painting by Dragan Petrovic Pavle 
හිස පහත්කොටගෙන තප්පු ලමින් ඉදිරියට දිව එන කෝපාවිෂ්ඨ වූ ගවයකුගේ සිතුවමක්
සියලු හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල