කාලීන සංවාද

දිඹුලාගල දෙසට හැරෙමු !

0
උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර‍ වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන නම් ප්‍රාදේශීයව බලවත් යක්ෂ ගෝත්‍රික රජතුමෙක් යක්ෂපුරයේ විසූ බවට මුඛ පරම්පරාගතව පැමිණෙන කථා පුවත් රැසකි.
විජය රජතුමාගේ ආගමනයෙන් පසු , ලංකාවේ රජ බවට පත් සය වැන්නා වූ පණ්ඩුකාභය රජතුමා ආර්යයන් සහ ස්වදේශිකයන් අතර වූ ගැටුම් සමනය කරමින් සමස්ත දිවයිනම එක්සේසත් කල පළමු රජතුමාය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 70 කි. පණ්ඩුකාභය කුමරා සහ ඔහුගේ මාමා වරුන් අතර පැවති ඝට්ටනය ඉතාම ප්‍ර‍සිද්ධ කථාවකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහිදී කියන්නට මම රිසි නොවෙමි.
පණ්ඩුකාභය කුමරාගේ (ක්‍රි.පූ 437 – 367) මාමාවරුන්ගෙන් කෙනෙකු වන ගිරිඛණ්ඩසිව කුමාරයාගේ දියණිය වන පාලි කුමරිය දිනක් තම පියාණන් ගොයම් කප්පවමින් සිටි කෙතට බත ගෙනයමින් සිටියාය. එදිනම මේ ගම්මානයට පැමිණි පණ්ඩුකාභය කුමරා සහ පිරිවර මේ කුමරිය බත් ගෙනයමින් සිටින අන්දම දැක ඇගෙන් ආහාරය පිණිස බත් ඉල්ලා සිටියේලු. කුමරිය අසල නුග ගසකින් කඩා ගත් නුග පත් වලට බත් බෙදා සියල්ලන්ටම පිළිගැන්වූ බවත් සැනෙකින් ඒ පත්‍ර‍ රත්රන් පැහැයෙන් දිස් වූ බවත් ඒ නිසාවෙන්ම පාලි කුමරිය ස්වර්ණපාලි යනුවෙන් ප්‍ර‍සිද්ධ වූ බවත් අපේ ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.
බත සප්පායම් වී මේ කුමරියත් රැගෙන දිඹුලාගල පෙදෙසට පලා ආ පණ්ඩුකාභය කුමරා හට ඇගේ පියාගේ සේනාවෙන් එල්ල වූ ප්‍ර‍තිරෝධය වර්තමාන පරාක්‍ර‍ම සමුද්‍රයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළහගල නම් ස්ථානයේදී පරාජයට පත් කල පසු මේ දෙපල නිරුපද්‍රිතව දිඹුලාගලට පැමිණ දිඹුලාගල කන්දේ පිහිටි ගල්ලෙනක් ආශ්‍රිතව සේනා රැස්කරමින් රාජ්‍යත්වයට පත්වන තුරු ජීවත් වූ බවත් එහිදී මුටසීව නමින් පුත් කුමරෙකු උපන් බවත් ඉතිහාසය පිළිබඳ සටහන් වී ඇති ඇතැම් තැනක විස්තර වෙයි.

මුටසීව යනු ක්‍රි.පූ 247 දී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විට රජකම් කරමින් සිටි දේවානම් පියතිස්ස රජතුමාගේ පියාණන්ය. මේ සියලු කථා පුවත් ගෙනහැර බලන විට දිඹුලාගල යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් සඳහන් වූ පුරවරයක් බැව් පැහැදිලි වන අතර අපේ ආදිතම මුතුන් මිත්තන් මේ පෙදෙසේ ජිවත් වන බවට සැකයක් නැත.
අතීතයෙන් වර්තමානයට පැමිණි විට දිඹුලාගල යන නාමය සවනත වැකෙන සෑම විටෙකම අපවත් වී වදාළ කිතලගම සීලාලංකාර මහ නාහිමියන් පිළිබඳ මතකය අමතක කරන්නට නොහැක. අඩු ආදායම් ලාභී ජනතාවක් වෙසෙන, දරිද්‍ර‍තාවයෙන් මෙන්ම ත්‍ර‍ස්තවාදයෙන්ද ඇති පදම් බැට කෑ මේ ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් වැඩ වාසය කල, දිඹුලාගල මහ වැද්දා යනුවෙන් සුරතල් නම් ලද උන් වහන්සේ පා ගමනින් ගම් නියම් ගම් පසු කර යමින් මේ ප්‍රදේශයට ඉටු කරන ලද කාර්යභාරය ඉමහත්ය.
”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ”
සීලාලංකාර නාහිමියන් එසේ පැවසූවේ 1982 ජූනි මස 7 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි එවකට රටේ ප්‍ර‍ථම පුරවැසියා වූ ලංකාවේ ප්‍ර‍ථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ආමන්ත්‍ර‍ණය කරමිනි. නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45000 ක් පදිංචි කරමින්, ආරාම 40 ක් පමණ ඉඳිකරමින් 1980 වන විට උන් වහන්සේ කුලදරුවන් 265 ක් පමණ සසුන්ගත කරමින් මේ කර්කශ භූමියේ මහා පව්රක් පරිද්දෙන් වැඩ සිටි සේක. පසුකළෙක මේ පවුර නොසෙල්වා ඊළාම් සිහිනය ජයගත නොහැකි බැව් තේරුම්ගත් එල් ටී ටී ඊ ත්‍ර‍ස්තයින් විසින් එල්ල කල හිත් පිත් නැති වෙඩි වරුසාවකට මැදිව 1995 මැයි 26 වැනි දින උන්වහන්සේ අපවත් වූයේ තම ශිෂ්‍ය හිමිවරුන්ගේ දිවා ආහාරයට උවමනා එළවළු රැගෙන එන්නට කොරටුවට වැඩම කර එන අතරතුරයි.
දිඹුලාගල පුරවරය එකළු කල  සීලාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු අප දැන් වසර 21 ක් පසුකොට තිබේ. ඒ අතර තුර කාලයේ ඒ පෙදෙසේ මෙන්ම සමස්ත රටේ ඇති වී ඇත්තේද විශාල විපර්යාසයකි. වර්තමාන ආණ්ඩුව පෙළ පොත් වෙනුවට පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදා දෙන්නට කොළඹ සීත කාමර වල සිට සැළසුම් සකස් කරන වකවානුවක ක්‍රීඩා භාණ්ඩයක් හෝ සංගීත උපකරණයක් මෙන්ම සංගීත ගුරුවරයකුද නොමැති පාසලක් පිළිබඳව අසන්නට ලැබුනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කන්දේගම ග්‍රාමයෙනි. මෙතෙක් මා තැබූ සටහන දැන් කියන්නට යන ඒ කථාව වෙනුවෙන් වූ පූර්විකාවකි.
අසරණ ඉස්කෝලයක් තියෙනවා දිඹුලාගල ඇතුලට වෙන්න. ඒකෙ ඉන්න මම දන්න උපාධිදාරී ගුරුවරයෙක් තමන්ගෙ පඩියෙන් භාගයක් විතර ඉස්කෝලෙටම වියදම් කරනවා ළමයින්ගෙ උවමනා වෙනුවෙන්. උඹට යමක් කරන්න හැකි නම් කියලා වැඩක් නෑ මල්ලි. සවුදියේ ඉන්දික අයියා මා වෙත ඔත්තුව දුන්නා පමණක් නොව අදාළ ගුරු භවතා සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා දෙන්නටද කාරුණීක වූවේය.
මම කල්යල් නොයවා ඔහු ඇමතුවෙමි. කථාව සහසුද්දෙන්ම ඇත්තකි. පාසලේ ක්‍රීඩා උත්සවයක් තියා ක්‍රීඩා භාණ්ඩද නැත. අපිට වොලිබෝල් දැලක් තියෙනවා…ඒ උනාට වොලි බෝලයක් නෑ. මෙහෙව් රටක පාලකයන් දිය යුතු දේ වෙනුවට ලබා දෙන්නට දත කන දෑ දෙස බැලූ විට සිනාසෙන්නද අඩන්නද කියා සිතාගන්නට අපහසුය.
අපේ ඉස්කෝලෙ කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය තමයි උතුරු මැද පළාතෙ අන්තිම කෙළවරේ තියෙන ඉස්කෝලෙ. ඒ නිසාම මේ තියෙන අඩුපාඩු බාහිර ලෝකෙට විවර වෙන්නෙ ඉතාම කලාතුරකින්. අපේ ඉස්කෝලෙ අසරණ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම්, එයාලගෙ අඩුපාඩු නැති කරගන්න දායක වෙන්න පුලුවන් නම් ඒක වචනයෙන් කියන්න බැරි තරමේ උදව්වක්.

තම වැටුපෙන් වැඩි කොටසක් මේ දරු දැරියන් වෙනුවෙන්ම වැය කරමින් පාසලේම ඇති අඩු පහසුකම් සහිත ගුරු නිවාසයක නැවතී සිටිමින් උදාර මෙහෙවරක යෙදෙන ගුත්තිල පරපුරට ආභරණයක් බඳු  මහේෂ් නැමති මේ තරුණ ගුරුභවතා මාගෙන් ලද පළමු ඇමතුමේදීම මා හට සැල කර  සිටියේ සංවේදී කටහඬිනි.

ගුරු කමට  සැබෑ අරුතක් එක් කල මහේෂ් ගුරුතුමා
සංගීතය ඉගෙනුම පිණිස ඇත්තේ තාල වාද්‍ය භාණ්ඩ කීපයක් පමණි.
අපේ ඉස්කෝලෙ දරුවන්ගෙ දෙමාපියන්ට ලොකු ලොකු රස්සා නෑ…හේන් ගොවිතැන, වැවේ මාළු අල්ලන එක නැත්තං වෙනත් පුංචි පුංචි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙලා තමයි මේ දරුවන්ව පාසල් එවන්නෙ. මේ තියෙන ආර්ථික ගැටලු වලට අමතරව සාමාජයීය වශයෙනුත් ප්‍ර‍ශ්න තියෙනවා. ගොඩාක් පවුල් වල අම්මා තාත්තා එකට පවුල් කන්නෙ නෑ. සමහර අම්මලා, සමහර තාත්තලා මේ දරුවන්ගෙන් වෙන් වෙලා වෙන වෙන පවුල් කනවා. ගැහැණු දරුවො ඉක්මනින් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඊට පස්සෙ අඩු වයසෙන් කසාද බඳිනවා. ඊට පස්සෙ දරුවන්ගෙ ප්‍ර‍ශ්න, ආර්ථික ප්‍ර‍ශ්න..එකම චක්‍ර‍යක මේ හැමෝම හැමදාම කැරකෙන්නෙ. අපිට පුලුවන් නම් එක දරුවෙක් හරි අධ්‍යාපනය පැත්තෙන් උඩට යවන්න එයා යම් දවසක මේ චක්‍රයෙන් මිදිලා ජීවත් වෙයි.
මේ කථා බහෙන් මට දැනුන සංවේදී කථාන්දරය තවත් සහෝදර බ්ලොග්කරුවන් / කාරියන් කීප දෙනෙකුටම කියන්න අවස්ථාව ලැබුනට පස්සෙ අපි හැමෝම කථා උනේ මේ සඳහාම පිහිටුවාගන්නා නැවුම් සංගමයක නමින් මේ සත්කාරය සිදු කරලා, එතැනින් පස්සෙ වර්ෂයකට එක බැගින් දිගටම මෙවැනි දුර ඈත පාසල් වෙත උපකාර කල යුතුයි කියලා.
මේ නැවුම් එකමුතුවට නමක්, බැංකු ගිණුම් අංකයක්, මේ හැමදේම සූජානම් උනේ බොහොම කෙටි කලෙකින්, මේ කාර්යයට දායක වෙලා ඉන්න බ්ලොග් කරුවන් කාරියන්ගෙන් ලැබුනෙ ඉතාම උණුසුම් ප්‍ර‍තිචාරයක්. ඒ ප්‍ර‍තිචාරය එක්ක වරින් වර මහේෂ් ගුරුතුමා එක්ක කරපු කථා බහෙන් ඒ අයට උවමනා මොනවාද කියන ගැටලුවට පිළිතුර එයාලටම දෙන්න කියලා අපි කිව්වා. පහළින් පලකොට තිබෙන්නේ ඔවුන් අපට එවන ලද ලැයිස්තුව.
මම මේ ඉස්කෝලෙට ඇවිත් වැඩි කාලයක් නෑ. මම ආවෙත් ප්‍රාථමික අංශයට, ක්‍රීඩාව ගැන මේ දරුවන්ට යමක් කියාදෙන්න කෙනෙක් නැති නිසා මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා. අපි හැදුවා ගමේ සම්පත් එකතුකරගෙන මේ පරිසරයෙදි ලේසියෙන්ම කරන්න පුලුවන් ක්‍රීඩාවක් විදියට එල්ලේ කණ්ඩායමක්. තරග වලදි හොඳ දුරක් ගියා එයාලා. මේ දරුවන්ට ආත්ම ශක්තිය තියෙනවා, ඇගේ හයිය තියෙනවා…ඒත් ඒ අයට උවමනා සම්පත් නෑ. අඩු ගානෙ ක්‍රීඩාවට ගැලපෙන සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්න වත්කමක් එයාලගෙ දෙමාපියන්ට නෑ. මේ පිට්ටනියෙ ගල් බොරළු වලට කකුල් කපාගෙන ලේ පෙරෙද්දිත් ඒවා අමතක කරලා මේ දරුවො ක්‍රීඩාවෙ නිරත වෙන්නෙ ඒ හිත්වල හිරවෙලා තියෙන ආත්ම ශක්තිය හින්දයි, ක්‍රීඩාවට තියෙන ආශාවයි නිසා.

මේ දරුවන් සතු එකම ක්‍රීඩා උපකරණය
ගායනයට දක්ෂ දරුවො ඉන්නවා. ඒත් පාසලට සංගීත බඩු වගේම සංගීත ගුරුවරයෙකුත් නැති හින්දා ඒ දරුවො චිත්‍ර‍ හරි නැටුම් හරි ඉගෙන ගන්නවා. සමහර වෙලාවට සමහර දරුවො මේ විෂයන් දෙකටම දක්ෂ නෑ. ඒත් සංගීතයට දක්ෂයි. මොනවා කරන්නද…එහෙම දරුවන්ට සංගීතය ඉගෙනගන්න මේ පාසලේදි අවස්ථාවක් නෑ. මහත්තයලා ඉස්කෝලෙ යද්දි ලැබුන අත්දැකීම් වලින් භාගයක් මේ අහිංසක දරුවන්ට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ පාසල් අධ්‍යාපනයෙ මේ තියෙන වෙනස නැති වෙන දවසක් නම් පේන තෙක් මානෙක නෑ. මහේෂ් ගුරුතුමා තවත් දවසක එහෙම කිව්වා.

මම සේවය කරන ප්‍රාථමික අංශයේ දරුවො බහුතරයක් සතියකට දවස් දෙකක් පාසලින් වේලාසන යනවා මොකක් හරි අසනීපයකට, හමේ රෝග, උදරාබාධ වගේ දේවල් ඉතාම බහුලයි. සමහර දරුවන්ට මන්ද පෝෂණ තත්වයන් පවා තියෙනවා. පොදුවෙ ගත්තම මේ ගම්මානෙ බොහෝ පිරිසකට වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවෙලා තියෙන්නෙ පානීය ජලයෙ තියෙන අඩුපාඩු නිසා. කොළඹ ඩී . එස් සේනානායක විද්‍යාලයේ පිරිසක් දැන් මාසයකට විතර කලියෙන් වතුර ෆිල්ටරයක් පාසලට ලබා දුන්නා. ඒ සත්කාර්යයට කලියෙන් අපේ පාසලේ දරුවො පිපාසයට වතුර බිව්වෙ සාමාන්‍ය නළ ජලය. මේ දරුවන්ගෙ දෙමාපියන්ටත් ඒ අයට උවමනා ප්‍ර‍තිකාර පුද්ගලිකව කරන්න තරමේ වත්කමක් නෑ. පාසලේ ඉදන් ලගින්ම තියෙන අරංගාවිල රජයේ රෝහලටත් කිලෝමීටර් 20 ක විතර දුරක් තියෙනවා.

විදුහලේ අඩුපාඩු මහේෂ් ගුරුතුමාගේ හඬින්

එහෙනම් අපි ආධාර බෙදා දෙන දවසට වෛද්‍ය කඳවුරකුත් පවත්වමු. දරුවන්ට වගේම ඒ අයගෙ දෙමාපියන්ටත්. මේ පණිවිඩය අපේ හිතවත් වෛද්‍ය මිත්‍ර‍යන්ට දැනුම් දුන්නම ඒ අය ඉතාම සතුටින් මේ සත් කාර්යයට දායක වෙන්න කැමති උනා.

අලුත් දවසක උදාව සනිටුහන් කරමින් පොළොවට මුලින්ම වැටෙන ආලෝක තීරු වලට කියන්නෙ අරුණළු කියලා. මේ අරුණළු දිහා බලාගෙන මිනිස්සු අලුතින් උදාවෙන දවස ගැන විවිධ ප්‍රාර්ථනා කරනවා. අද දවස ඉතාම සාර්ථක එකක් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. අන්න ඒ වගේ  බ්ලොග් කරුවන් / කාරියන් කීප දෙනෙක් එක්ක අපි පටන් ගත්ත අලුත් එකමුතුවට යෙදුව නමත් අරුණළු.

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය, ඒක තමයි අපේ නම. මේ අරුණැල්ල දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙ අනාගතයට නිසැකවම එළියක් වේවි. ඒ එළියේ කොටස් කරුවෙක් වෙන්න….ඒ අයගෙ හීන පාට කරන්න ලස්සන ලස්සන පාට දෙන්න මේ ලිපිය කියවන ඔබ හැමෝටම හැකියි. අපේ මේ සත්කාර්යය ගැන දැනගන්න ලැබුන මුහුණු ටීවී ආයතනය මේ වෑයම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍ර‍හය දෙන්නත් එකතු වෙලා අහවරයි.

අපේ ගිණුමට ලැබෙන රුපියලක මුදලක් වුවත් මේ අසරණ දරුවන්ගෙ බලාපොරොත්තු ඉහළ නංවාවි. නොයෙක් බාධක කම්කටොළු මැද සිදුකෙරෙන එයාලගෙ ඉස්කෝලෙ ගමනට දහස්වර ශක්තියක් වේවි. සිරා කොලුවා විදියට මම පොරොන්දු වෙනවා ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරලා මේ ගිණුමට බැර කරන මුදල විනිවිද භාවයක් ඇතුව මේ කාර්යය උදෙසා එකතු කරන බවට…ඉදිරියේදී වෙනත් බ්ලොග් කරුවන් විසින් පලකරන දිඹුලාගල සත්කාර්යය පිළිබඳ තවත් ලිපි වලදි ගිණුමේ ශේෂය පිළිබඳ ආධාර ලබාදෙන ඇත්තන්ව යාවත්කාලීන කරාවි. මේ පාසලේ තවත් බොහෝ තොරතුරු ඔබට ගෙන ඒවි.

2017 වසරේ පෙබරවාරි මස සති අන්තයකදී මේ සියළුම ආධාරයන් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත තිළිණ කරන්නයි අපි හැමෝම මේ වෙද්දි තීරණය කරලා තියෙන්නෙ. ආධාර වලට අමතරව මේ පුංචි ඇත්තො පුදුමයට පත් කරන්න තවත් වටිනා කියන දේවල් කීපයක්ම මේ එක්ක ලෑස්ති කරන්නයි අපේ වෑයම.

මුදලින් කැමති නම් මුදලින් ආධාර කරන්න. එහෙම නැතිනම් ඒ අය ඉල්ලලා තියෙන දේවල් අරගෙන දෙන්න පුලුවන් නම් එහෙම ආධාර කලත් කමක් නෑ. මේ තියෙන්නෙ එයාලා අපෙන් ඉල්ලන දේවල් කිසිදු වෙනස්කමක් කරන්නෙ නැතුව.

පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඒ ඒ වසර අනුව

මේ තියෙන්නෙ අපේ ගිණුම් විස්තර. මේ ගිණුම් අංකයට ඔබේ වටිනා ආධාර ලබා දෙන්න පුලුවන්. ද්‍ර‍ව්‍යමය ආධාරයක් ලබාදෙනවා නම් ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා 071 804 3915 දුරකථන අංකය අමතන්න.

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch

අදුරට ශාප කරමින් ඉන්නවාට වඩා එක් පහනක් හෝ දැල්වීම මැනවි යන අදහසේ සිටිමින් අප විසින් අරඹන මේ සත්කාරයේ අරමුණු ශපථ කරගන්නට අපට හැකියාව ලැබේවා. ඔබේ හැකියාව අනුව මේ කාර්යය වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර එකතු කරන්නට ඔබ සැමට පින් සිත් පහළ වේවා ! අපේ ආධාරයෙන් විකසිත වන මේ සිසු දරුවන්ගේ බලාපොරාත්තු ඔවුන්ගේ අනාගතය යහපත් ඉසව්වකට ගෙන යන්නට උපකාර වේවා !
හිතවත් බ්ලොග්කරුවනි. අරුණළු ලාංඡනය ඔබේ බ්ලොග් අඩවියේ ප්‍ර‍දර්ශනය කොට මේ සත්කාර්යයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න.

මම කාමරේ අරින සිරා කොලුවා.

පසු සටහන
සීලාලංකාර හිමි පිළිබඳ ඇතැම් විස්තර උපුටා ගත්තේ රවී ප්‍ර‍සාද් හේරත් විසින් ලියූ JR.The Mafia Type Free Thinker නැමති කෘතියෙනි. එහිමියන් පිළිබඳ ඡායාරූපය පී.බී ඉලංගසිංහයන් විසින් ගත් එකකි.

බ්ලොග්කරුවන් ලෙස අප සතු සාමාජීය වගකීම නිසි ලෙස හඳුනාගනිමින් මේ සත්කාර්යය දියත් කරන බැව් සැළකුව මැනවි.

– උපුටා ගත් බ්ලොග් අඩවිය https://siragekamare.blogspot.co.uk/2016/12/blog-post.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල