කාලීන සංවාද

හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

Off

ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම් පර්යන්තයකින් කන්ටේනර් දහයක් පහලොවක් බෑවත් එම කන්ටේනර් පර්යන්තය රටේ සම්පතකි. වඩාත්ම ප්‍රයෝජනයට ගන්නා නැව්මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරායට නැව් ගෙන්නා ගැනීමට රජය අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අකාර්‍යක්ෂමතාව නිසාය. හම්බන්තොට වරායක් ඇතිබව නොදන්නා නැව් සමාගම් සහ කැප්ටන් වරුන්ට පෙනෙන ලෙස අඩුම ගණනේ හම්බන්තොට  මුහුදේ බෝඩ් ලෑල්ලක් වත් ගැසීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.

අද පවතින තත්ත්වය අනුව හම්බන්තොට වරායේ ආදායම එහි ආයෝජනය පියවීම පසෙක තිබියදී එමණයට අදාල පොලිය ගෙවීමට වත් ප්‍රමාණවත් නැති වුණත් එය චීනයට විකිණීම නොකල යුතුය. එම පොලිය සහ මුදල විදේශ මුදල් වලින් ගෙවීමට ඇති නිසා තවත් ලක්ෂයක් දෙකක් කාන්තාවන් මැදපෙරදිග යවා ණය ගෙවීම වඩා සුදුසුබව බව යහපාලනය රජයට නොතේරේ.

අද ලෝකයේ විශාලතම නිෂ්පාදකයා වී ඇත්තේ චීනයයි. එම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමත් නිමි භාණ්ඩ ඉල්ලුම්කරුවන්ට ප්‍රවාහනය කිරීමත් නිසා වානිජ නැව් වල ධාරිතාව වැඩියෙන්ම පාවිච්චි කරන රට චීනය යැයි සිතීම සාධාරණය. එමෙන්ම චීනයේ බලශක්ති අවශ්‍යතාවලට ආනයනය කරන තෙල් ප්‍රමාණයෙන් 85% වත් තමන්ට අයිති තෙල් නැව් වලින් පමණක් ප්‍රවාහනය කරන මට්ටමට යාමට චීනයේ බලාපොරොත්තුව බව කියැවේ. ලෝක ආර්ථිකයේ විශාලතම ආනයන සහ අපනයන කරු බවට පත්වී ඇති චීනයට චීනය සහ චීනය විශාල වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්නා අප්‍රිකා මහද්වීපය සහ චීනයේ නිශ්පාදන ආනයනය කරන උතුරු දකුණු ඇමෙරිකා රටවල් සහ යුරෝපය අතර මැද ඇති ලංකාවේ වරායක් චීනය විසින් ක්‍රියාත්මක කරන වරායක් කිරීම නිසා රටට වන හානිය සුළුපටු නොවේ.

2014 න් අවසන් වූ දසවසර තුල චීනයට අයත් නෞකා ප්‍රමාණය (දල ධාරිතාව මත ) තුන්ගුණයකින් වැඩි වී ඇතැයි පහත වගුව පෙන්නා දෙයි.

2014 දත්ත අනුව අළුත් වානිජ නැව් සඳහා සියළුම රටවල් වලින් තබා ඇති ඇණවුම් ප්‍රමාණයෙන් විශාලම ඇණවුම් ප්‍රමාණය තබා ඇත්තේ චීනයයි. එය 27% පමණ ප්‍රමාණයකි. එමෙන්ම එය ඊලඟට විශාලම ඇණවුම් ප්‍රමාණය තබා ඇති ග්‍රීසිය මෙන් හතර ගුණයකි. යුරෝප ආර්ථිකයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය තබා ඇත්තේ චීනෙයේ ඇණවුම් ප්‍රමාණයෙන් දහයෙන් එකකි. අනාගතයේදීත් විශාල නැව් ප්‍රමාණයක් ලෝක මුහුදු මාර්ග වල යෙදවීමට චීනය බලාපොරොත්තුවන බව  මෙම දත්ත වලින් පෙනේ. එවන් රටකට ලෝකයේ කාර්‍යය බහුලම නැව්මාර්ගයක් ආසන්නයේ ඇති වරායක් බදුදීමෙන් රට වන හානිය අතිවිශාල බව රජයට තේරුම් නොයාම පුදුමයකි.

චීන පාලනය යටතේ හම්බන්තොට වරාය ආසියානු ප්‍රදේශයේ කාර්‍යබහුලම වරායක් වීමට ඉඩ ඇත. එවිට එම නැව් සහ වරාය සේවකයන්ට ආහාර, ඉඳුම් හිටුම්, නිවාඩු නිකේතන ආදිය හම්බන්තොට අවට ප්‍රදේශවලින් සැපයීමට සිදුවීමෙන් එම ප්‍රදේශවල ආර්ථිකයට වන හානිය රජය තේරුම් ගොස් නැත.  චීන පාලනය යටතේ මෙම වරාය ආසියාවේ කාර්‍ය බහුලම වරායක් වුවහොත් විශාල විදේශිකයින් පිරිසක් එහි සේවය කරනු ඇත. එය මත්තල ගුවන් තොටුපලටද විශාල ගුවන් යානා ප්‍රමාණයක් පැමිණීමට හේතුවක් වනු ඇත. එමඟින් ගුවන් තොටුපොලටද අඩුම තරමේ වියදම උපයා ගැනීමට හැකි තත්ත්වයක් ලැබීමද රජයේ මෙම ක්‍රියාවෙන් වන හානියකි.

කාර්‍යබහුල වරායකින් ඒඅවට විශාල ප්‍රමාණයක් රැකියා ඇතිවීමට සහ ආශ්‍රිත කර්මාන්ත වලින් තවත් රැකියා ඇතිවීමද එම ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණුවීමද සිදුවීමට ඉඩ ඇත. මෙමඟින් වන්නේ මැදපෙරදිගට ගැහැණුන් යවා පිට ගැහැණුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට එම ප්‍රදේශ වල පිරිමින්ට ඇති අවස්ථාව නැතිකර දැමීමේ කුමන්ත්‍රණයක්ද ඇති බව පැහැදිලිය.

ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ලෝකයේ හිස්ම ගුවන් තොටුපොල  විරුදාවලිය ලඟකදී මත්තල ගුවන් තොටුපොලට ලබා දෙන ලදී. රජය හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් කරන්න උත්සාහ කරන්නේ එවන් ඉහල අගැයීම්  ලබාගත් රටේ සම්පත් අන්සතුකර එම විරුදාවලිය රටට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් බව මහජනතාව තේරුම් ගත යුතුය. රජය මෙම දේශද්‍රෝහී ක්‍රියාවට යොමුවීමට තවත් හේතුවක් ඇත. චීනය මෙම වරාය අවුරුදු 99 බද්දකට ලබාගත්විට එයට හම්බන්තොට චැන් චින් චුන් වරාය වැනි නමක් දීමට බොහෝදුරට ඉඩ ඇත. එවිට මහින්ද රාජපක්ෂ වරාය යන නම ලෝක වරාය නාමාවලියෙන් ඉවත්වනු ඇත. 21ක් වන සියවසේ ශ්‍රී ලංකාවේ රජ වූ එකම රජුගේ නම මෙම වරායට තිබීම ගැන යහපාලන ආණ්ඩුව තුල ඇත්තේ ඉරිසියාවක් බවත් මෙම විකිණීම කරන්නේ එමඟින් මෙම නම වරායෙන් ඉවත් කිරීමට බවත් දේශප්‍රේමී මහජනතාව තේරුම් ගැනීම වැදගත්ය.

 

– සියලු  අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://lankanian.blogspot.co.uk/2016/12/blog-post_18.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල