කාලීන සංවාද

මිලියන 500 යේ කෞතුකාගාරය

0

 

පසු ගිය සතියේ අපි විනෝද චාරිකාවක් සදහා පොලොන්නරුවට ගියෙමු. ඇත්තෙන්ම පොලොන්නරුවේ පෞරානික ස්ථාන නැරඹීම කොහෙන් පටන් ගෙන කොහෙන් අවසන් කල යුතු දැයි සිතාගන්නටවත් අමාරුය.
අනෙක් අය නිදාගෙන සිටියදී මම FITAPP ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ක්‍රියාත්මක කරගෙන හෝටලයෙන් පිට වී කිලෝ මීටර් තුනක් දෙවෙනි ඇල මාර්ගයේ ගොස් ආපසු බුෂේ එකේ වේලාවට හෝටලයට පැමිණියෙමි. මේ ඇල මාර්ගවල කඹරගොයින්, කුරුල්ලන්, යනාදී බොහෝ සතුන් ජීවත්වනු දැක මේ වතුර බොන මිනිසුන්ට වකුගඩු රෝග සෑදෙන බව පිළිගන්නට අපහසු නේදැයි කල්පනා කළෙමි.
ඇල දිගේ ඇලට පහලින් ඇති බොහෝ නිවාසවල පිටරට යැවීම සදහා විසිතුරු මසුන් ඇතිකරන බව පෙනුනි. එදින හවස අපි සෝමාවතිවට ගොස් එනවිට අදුරන නිවසකට ගිය විට ඒ ගෙදරත් මෙවැනි විශාල මාළු ටැංකි පොලවේ හාරා තිබෙනු දැක මෙම ව්‍යාපාරය දැන් පොලොන්නරුවේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව ඇති බව පෙනුනි.

මම උදේ ඇවිදගෙන යන විට පාරේ අයිනේ හිටවා තිබූ විශාල දැන්වීම් පුවරුවක් දැක පුදුමයට පත්වුනෙමි. ඒ එම ස්ථානයේ රුපියල් මිලියන 500 ක වියදමින් කෞතුකාගාරයක් රජයෙන් සාදන බව දැන්වීමට තිබූ පුවරුවයි.

ඉන්පසු උදේ දහයට පමණ අපි නටඹුන් බැලීමට ගියෙමු. නටඹුන් පරිශ්‍රය ඇතුලට යාමට අපගේ වාහනයට රුපියල් 50 ක් ගෙවන්නට සිදු වූ අතර, විදේශිකයෙකුට ඒ අයකිරීම රුපියල් 1500 ක් බව එතැන සිටි නිලධාරියෙකු අපට පැවසීය. විදේශිකයන් බොහොමයක් එතනට පැමිනෙන්නේ පදින බයිසිකල් කුලියට ගෙන හෙයින් බයිසිකල් කුලියට දීමද පොලොන්නරුව නගරයේ ලොකු ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේය. එතැන රාජකාරියේ සිටි නිලධාරියා අප විදේශිකයන් සගවාගෙන යන්නේදැයි විවෘත කල ජනේලයෙන් නොදැනෙන්නට බලා විදේශිකයන් වාහනයේ සිටින්නේදැයි අපෙන් ඇසීය.

ඇත්තෙන්ම පොලොන්නරුවේ නටඹුන් චමත්කාර ජනකය. ගල් විහාරය සහ ලංකාතිලකය එකල තිබූ තාක්ෂණයෙන් කෙසේ හැදුවාදැයි දැනුත් සිතා ගන්නට අමාරුය. අපේ ඉංජිනේරුවන් මෙවැන්නක් දැන් හැදුවත් ඔවුන්ට මේ තරම් සමබරව මෙවැනි ගොඩනැගිලි ගොඩනගන්නට හැකිවේදැයි ශබ්ද නගා මමම ප්‍රශ්න කරගන්නා විට වර්තමානයේ තාක්ෂනයත් සමග එසේ වරදින්නට ඉඩක් නොමැත්තේ යැයි මා සමග සිටි සිවිල් ඉංජිනේරු මිත්‍රයා කීවේ වෘතියේ ගෞරවයත් ආරක්ෂා කරගත යුතු නිසා විය යුතුය.
මෙලෙස අප බොහෝ උනන්දුවෙන් නටඹුන් බලද්දී මෙම අත්දැකීම් දේශිය සහ විදේශීය සංචාරකයන්ට වඩාත් පොහොසත් ලෙස ලබාදීමට කලහැකි කුඩා වෙනස්කම් කිහිපයක් සිතට නැගුණි.

එම පරිශ්‍රයට ඇතුල්වීමට ටිකක් ගන්නා විට එම පරිශ්‍රයේ තිබෙන, පොලොන්නරුවේ තිබෙන නටඹුන් පිළිබඳව විස්තරාත්මක සිතියමක් ලබාදීම.
පරිශ්‍රයේ තිබෙන සෑම වැදගත් ස්ථානයක් අසලම එම ස්ථානය කුමක් සදහා පාවිච්චි කලේද? ඒ මේ සංකීර්ණයට සම්බන්ධ වන්නේ කෙසේද? මෙහි තිබෙන ඉංජිනේරුමය යනාදියේ වැදගත්කම සහිතව භාෂා තුනෙන්ම විස්තර පුවරු සවි කිරීම.
නටඹුන් වලට අලාභහානි කරමින් වැවෙන ගස් සියල්ල කපා දමා නටඹුන් ආරක්ෂා කර ගැනීම.
පරිශ්‍රයේ තිබෙන තෝරා ගත් ඓතිහාසික සහ ආගමික වැදගත් කමක් ඇති ස්ථාන හැර අනෙකුත් අවශේෂ ස්ථාන ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් කිරීම. මේ සදහා ජනතාවගේ බඳු මුදල් වියදම් නොකර එක් එක් ස්ථාන විශ්ව විද්‍යාල (පෞද්ගලික හා රජයේ), බැංකු, විශාල වෙළද ආයතන, රජයේ සහ පෞද්ගලික විද්‍යාල, වලට මේවා එකින් එක ප්‍රකෘති තත්වයට පත්කර පවත්වාගෙන යාමෙන් ඔවුනට යම් ප්‍රචාරක අවස්ථාවක් ලබාදී සිසුනට මේවායේ කටයුතු වලට සම්බන්ධ වී වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම.
සම්පූර්ණ නටඹුන් පරිශ්‍රයේ භෞතික මොඩලයක් සාදා සංචාරකයන් නරඹන නටඹුන් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේදැයි යම් අදහසක් ලබා ගැනීමට ඉඩ සැලසීම.

මෙවැනි ලේසියෙන් කිසිම මුදලක් වියදම් නොකර කරන්නට දෑ තිබියදී ජනතාව ගෙන් එකතු කරන ලද බදු මුදල් වලින් මුදල් වියදම් කර කෞතුකාගාරයක් තැනීම කිසිසේත් තේරුම් ගත නොහැක. කෞතුකාගාරය මිලියන් 500 ක් වියදම් කර ගොඩ නැගුවත් ඉන්පසු එහි නඩත්තු කටයුතු වලට මාසයකට මිලියන් 10 ගණනේ වත් වියදම් කරන්නට සිදුවනු ඇත. ඒවත් ජනතාව ගෙන් උඳුරා ගත් බදු මුදල්ය.

ඇත්තෙන්ම පොලොන්නරුවේ කෞතුකාගාරයක අවශ්‍යතාවයක් ඇත්නම් කලයුතු වන්නේ එයට රජයෙන් සුදුසු තැනක ඉඩමක් ලබා දී පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවා අවශ්‍යතාවයන් සියල්ල සම්පාදනය කර කටුගෙය පුද්ගලික ආයෝජන වලින් ගොඩනංවා ගැනීමයි. දියුණු රටවල මෙවැනි දෑ බොහෝ කලක සිට සිදු වන්නේ එලෙසටය.

http://lakshmanillangakoon.blogspot.com/2016/12/500.html

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල