ප්‍රහසන

මැසේජ්, කැලැන්ඩර්, ලිත් සහ පොත්

0
“කුදටික්”
 
“චුහුක්”
 
“චුහුක්”
 
“චුහුක්”
 
“ඥිමුක්”
 
“කුදටික්”
“මොකද්දනේ ඔය පෝන්නෙක සයිලන් දාන්නකො. හොඳටම නිංදයාගෙන එන වෙලාවෙ.”
අපේ ගෙදර 2017 නව වසර පටං ගත්තේ ආං එහෙමයි. ඔය උඩිං තියෙන සද්ද ටික සේරම ආවේ ටෙලිපෝන් එකෙන්. අන්තිම වාක්‍ය දෙක නිකුත් උනේ අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනාගෙ කටිං.
අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත් එස්සෙම්මෙස්සෙකක් යවන්න ඕනි. එහෙම යැව්වෙ නැත්තං තරහ වෙන්න පුලුවං. ඉස්සර නං ඒ වගේ මැසේජ් එක එක්කෙනාට වෙන වෙනමම යවන්න වෙන හිංදා ටිකක් පැයක් විතර ගතවෙනවා. ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ මුල ඉඳං අගට වෙනකං එක එක නොම්බරේට වෙන වෙනම මැසේජ් යවන එක බොහොම කරදරකාරී, වෙලා ගතවෙන වැඩක්. ඔය අතරේ කිරිබත් හදන්න පොල් ගාන්න, ලිපට පිඹින්න, කෙහෙල් කොල කපන්න වගේ වැඩවල යෙදෙන්නත් වෙනවා. ඇයි ඉතිං තමුන්ට එන මැසේජ් ගෙදර හැමෝටම ඇහෙන්න කියවලා ඒවට “Esema wewa” කියලා උත්තර යවන්නත් එපෑ. එතකොට සමහරුංගේ අංක මග ඇරෙන්න පුලුවං. එහෙම උනොත් ඒ අය තරහ වෙන්නත් පුලුවං. ඒ බව තේරුං ගත්ත ටෙලිපෝන් හදන සමාගම් තමුංගේ ටෙලිපෝන් වලින් එකම මැසේජ් එක ගොඩක් දෙනෙක්ට යවන්න ක්‍රමයක් හැදුවා.
ඒ හංදා දැං එස්සෙම්මෙස් සුබ පැතුම් ඇරිල්ල හරිම ලේසියි. මුලින්ම කරන්න ඕනි කාගෙ ළඟවත් වැඩිය නැති අවුරුදු සුබපැතුම් එස්සෙම්මෙස්සෙකක් හොයාගන්න එක. ඉංග්‍රීසියෙන් තියෙන එකක් තමයි වැඩිය හොඳ. බරසාර ඉංග්‍රීසි වචන තියෙනවනං තවත් හොඳයි. ඊළඟට ඒකේ අන්තිමට තමුන්ගේ නමත් & Family කියන කොටසත් ටයිප් කරගන්න. බැඳපු අලුත ළමා ලපටි නැති අයට නං තමුං දෙන්නගෙ නං දෙකම දාන්න පුළුවං. හරියට, අර විදානෙගේ ෆේස්බුක් ගිණුම වගේ. ඊළඟට වැඩිපුර රුපියල් සීයක හමාරක කාඩ්ඩෙකක් පෝන් එකට දාගන්න.  ඉං පස්සේ මැසේජ් යවන්න ඕනි කට්ටිය තෝරන්න. මේ වැඩේට බිරිඳවත් සහභාගී කරගන්න.
“අපේ සුදුවක්කට මැසෙජ්ජෙකක් දාන්න එපා. මං එයාට කෝල් කරනව. මැසේජ් දැම්මොත් තරහ වෙයි.”
නෑදෑයන්ට කෝල් එකක් මිස මැසේජ් හරියන්නේ නෑ.
 
“පියන්තිලට යවන්නෙපා. ගියපාරත් අපි යවපු මැසෙජ්ජෙකට රිප්ලයි කලේ නෑ.”
 
“අර සක්කරවට්ටමට එහෙම යවනව නෙමෙයි. නැත්තං ආයි පටං ගනී දෙන්නගෙ කිචිබිචිය. මං දන්නැතුවේ තමුංගෙ තරම”
 
“වීල්ලෙකේ අයියට එකක යවමු නේ. ඒ මනුස්සය ඉතරයි හදිස්සියකට ඉන්නෙ.”
ඔය විදිහට මැසේජ් ලබන්න ඕනෑ අයගේ අංක ටිකට හරි ලකුණ දාලා‘ඇරපිය(send)’ ඔබන්න. මැසේජ් ටික අදාල තැන් වලට යන අතරේ ටෙලිපෝන් සමාගම පෝන් එකේ තියෙන සල්ලි ටිකට අරිනවා බලාගන්න පුලුවං.
සමහරු වෙලාව ඉතුරු කරගන්න මේ විදිහට තෝරා බැලිල්ලකිං තොරව තමුන්ගේ ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ තියෙන සේරම අංක වලට මැසේජ් යවනවා. ඒ වැඩේට ගතවෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ‘සේරටම ඇරපිය (Send to all)’ඔබපු ගමං අංක ලැයිස්තුවේ ඉන්නා සේරටෝම එක බැගින් මැසේජ් ලැබෙනවා. දැං තියෙන කඩවසම් දුරකථන වල අංක පන්සීයක් විතර තියාගන්න පුලුවං. සමහර නම්වලට අංක දෙකතුනක් තියෙන්නත් පුලුවං. එතකොට දුරකතන සමාගමට එක කඩවසම් දුරකතනෙකිං රුපියල් හාර පන්සීයක්ම ලාබයි. ඒ වගේම තමයි. අපේ ඇමතුම් ලැයිස්තුවේ තියෙන්නේ අපේ හිතවත් අයගෙ නොම්බර විතරක් නෙවෙයි. ගිය අවුරුද්දේ ගන්න බලපු කාර් එකේ අයිතිකාරයා, ට්‍රිප් එකක් ගිය වෙලාවේ නැවතුන ගෙස්ට් හවුස් එකේ එක්කෙනාගෙ නොම්බරේ, දානෙට බඩු ගත්ත කඩේ මුදලාලිගෙ නොම්බරේ, ගිය සිංහල අවුරුද්දට බඩු මදිවෙලා වැඩි ගානට බෝතල් දෙකක් ගත්ත හොර පොට් එකේ එකාගෙ නොම්බරේ, යාළුවොංගෙ පරණ නම්බර් (මේවා සමහර එව්වා කැන්සල් වෙලා ගිහිං දුරකථන සමාගමෙන් ඒ අංක වෙනත් අයට දීලා වෙන්න පුළුවං) ආදී අංක සේරටමත් මේ විදිහටම මැසේජ් එක බැගින් යනවා. දැනටමත් ඒ වගේ මැසේජ් ලැබුණු අය “මේ මොකාද මේ” කියලා කල්පනා කරනවා ඇති. ඒ වගේ මැසේජ් හත අටක් මටත් ලැබිලා තියෙනවා.
ඒ වගේම ඔබේ පෙර වැරදි තියේනං කාගෙන් ආවාදැයි බිරිඳට සනාථ කර පෙන්වන්නට බැරි ඒ වගේ මැසේජ් හිංදා ඔබව නාන කාමරේ ලිස්සා වැටෙන්නට, කොන්දට ලීයක් පෙරලීමට, කකුල ඇමැට්ටි වීමට, පුටුව පල්ලේ වැටීමට පවා ලක්වන්න පුළුවං.
ජනාධිපතිතුමාත්, ඩිජිටල් ඇමතිතුමාත් ඒ විදිහටම මැසේජ් පොදි පිටිං එවා තිබුනා. එතුමන්ලා නම් ඩුවල් සිම් පෝන්වලට මැසේජ් දෙකක්ම එවනවා. එව්වාට ආපසු සුභ පැතුං යැව්වාට බාරගන්නෙත් නෑ. එව්වාත් අපිටම තියාගන්න පුලුවං.
බුකිය පුරා බැලූ බැලූ අත සුභ පැතුං විතරමය. බුකියෙන් එන මැසේජ්වලත් ඇත්තේ සුභපැතුම් විතරමය. ඊමේල්වලත් නොයෙක් විදිහේ ආලවට්ටං දැමූ මෙගාබයිට් බර ගණංවල පින්තූර, ඇනිමේෂන් දකින්න පුලුවංය. ටෙලිපෝන් එකේ ස්කයිප්, වයිබර්, පේස්බුක්, ජීමේල්, වට්සැප්, ඉමෝ, අම්මෝ ආදී සේරමත් දමාගෙන නොටිෆිකේෂන් සක්‍රීය කරගෙන ඩේටා කනෙක්ෂන් එකත් සක්‍රීය කරගෙන හිටියා නං ඊයේ රෑ දොලහේ පටං ඔබට නින්ද යන්න විදිහක් නැතිය. ඇටිකිච්චංගේ නාද, ගෙඹි නාද, සාස්පාංවල පියන් බිමට වැටෙන සද්ද, කාටුන් සද්ද, ආදී නොයෙක් සද්ද ඇති කරමින්, “අහවලා ඔබට මැසේජ් එකක් එව්වාය”, “අහවලා ඔබේ කාල රේඛාවට පින්තූරයක් දැම්මාය”, “ආං ඒකට අහවල්ලු ලයික් කොලාය”, “එව්වාට අහවල්ලු කොමෙන්ට් දැම්මාය”, ආදී නොයෙක් කේලං කියමින් ටෙලිපෝන් එක ඔබේ නිංද කඩන්නට ඇති.
සති දෙකක් විතර කාලයක ඉඳං “වී කරේ ඕල්වේස්” සමාගමෙං “ඔබ අපේ සමාගමට රුපියල් අච්චරයි සත මෙච්චරක් හිඟපාඩු තියා ඇති නිසා තවත් ණයට දොඩන්න දෙන්නේ නැත”යි තර්ජනය කර ඇති හිංදත්, එයිටත් වඩා නිකම්ම මෝඩ වැඩක් බව දැනෙන නිසාත් මං අද කාටවත් මැසේජ් යැව්වේ නෑ. ඒ වුනාට මට ලැබෙන සුබ පැතුම් ගානේ අඩුවකුත් නෑ. එයිනුත් ඉංග්‍රීසියෙන් තියෙන සමහර එව්වායේ තේරුම ලිහාගන්න බැරි තැන මං මැසේජ් කියවිල්ල අත්තැර දාලා පොලේ ගියා.
පොලේ හත් අට තැනකම ලිතයි පොතයි දෙකම රුපියල් පනහයිය. ලිත එක්ක දෙන පොතේ ඇත්තේ 2017 එලාඑලද කියන එකයි. ඉස්සරනං ඒ පොතේ නම ටිකක් බයානක වැඩිය. මං පොඩි කාලේ ලිතත් සමග දුන්නේ
1996
ඉරණම
විසඳෙන හැටි
වගේ බයානක නමක් තියෙන පොතක්. කොච්චර බයානක දැයි කියතොත් අපේ අම්මා ඒක බලාගෙන එක එක ලග්නය අයිතිකාරයින්ගේ ඉරණම කියවනවිට සමහරුන්ට තමුංගේ ලග්නෙත් අමතක වෙනවා. ඒ පොතේ වුෂ්චික, දනු, මකර, කුම්බ ආදී එක එක ලග්නේ නමත් ඒකට අයිති සතා හෝ බඩු මුට්ටුවේ රූපෙත් ඇඳලා එයිට යටින් ටිකක් තද කලු අකුරෙන් ඒ ලග්න හිමියාට ඒ අවුරුද්දේ වෙන්න පුලුවං ලොකුම නස්පැත්තිය ලියා තියෙනවා.
වෘශ්චික
දේපල හානි
කියලා. එයිටත් යටිං ඡේදෙන් ඡේදෙට ඒ ලග්නහිමියාට අදාල අවුරුද්දේ හැදෙන ලෙඩ රෝග, වෙන්න පුළුවං නස්පැත්ති, සේරම විස්තර කරලා තියෙනවා. ඉගෙනීම, රස්සාව, කසාද, ළමා ලපටි ආදී සේරම ගැන විස්තර ඇතුව වාර්තාවකුත් වෙන්න පුලුවං විපත්ති වලට පිළියමුත් ඒවටම එකතු වෙනවා. අන්තිමට
අය- * වැය-**
ජය වර්ණය – කොළ පාට
ආදී වසයෙන් ලියා තියෙනවා. සමහර ලග්න වලට විතරක් හදිසි ධනලාභ, විභාග ජය ආදී හොඳ දේවලුත් තියෙනවා. අපේ ආච්චම්මගෙ ලග්නෙටත් එක පිට අවුරුදු කීපයක්ම විවාහ යෝග සහ දරු සම්පත් තිබුණා.
අන්තිම පිටු දෙකේ තියෙන්නේ ඒ අවුරුද්දේ රටේ වෙන්න පුළුවං නස්පැත්ති සේරම. ඒවත් කවියෙං
වාහන අනතුරු වැඩිවී සැම තැන ජීවිත දහසින් බිලිවෙනවා
ගංවතුරද, කඳු නාය යාමකින් රටට විපත් තව ඇතිවෙනවා
පියා දුවව හඳුනන්නැති තරමට සදාචාරයෙන් පිරිහෙනවා
කැරලි කෝලහල දසතින් ඇතිවී මහජන දේපොල වැනසෙනවා
ඉරණම පොත කියන්නේ ඒ විදිහට අවුරුද්දක් පුරාවට මිනිස්සුං බයකරගෙන ඉන්නා බලගතු පොතක්.
ලිත කියන්නේ ගෙදරකට ලුණු වගේම නැතුවම බැරි දෙයක්, ලංකාවෙ ප්‍රසිද්ධම “ඈපා ලිත”. අපි එකොලහේ පන්තියෙ හිටිද්දී ගනං සර් පාලිතයගෙන් ප්‍රශ්ණ ඇහුවෙත්
“ඈ පාලිත, කියනවකො බලන්න මේකට උථ්ථරේ”
කියලයි. සමහර පත්තර වලිනුත් තමුංගේ නමිං ලිත් බෙදාහැරියට කවුරුත් ගන්නේ “ඈපා ලිත”. ලිත කියන්නේ වැදගත් දෙයක් හිංදා අවුරුද්ද මාරු වෙද්දි පරණ ලිත ගලෝලා විසි කරන්නේ නැතුව අලුත් ලිත ඒක උඩිං අලවන එක තමයි සිරිත. සමහර ගෙවල්වල බිත්තියේ තියෙන ලිත් තට්ටුව දශක ගානක් පරණයි.
ලිතේ උඩිම්ම කහපාට බිත්තරයක් ඇතුලේ සැරසිලි ඇතුව “ඈපා ලිත” කියලා තියෙනවා. දැන් තියෙන්නේ “ඈපා පංචාඬඟ ලිත” කියල එකක්නෙ. ඒකට යටිං මොකක් හරි සිද්ධස්ථානෙක පොටෝ එකක් තියෙනවා. ඒකට යටිං ලොකු වගුවක තියෙන්නේ “පොහෝ පවුරුනු පිළිවෙල සහ පෙහෙවස් සමාදං විය යුතු දවස්” කියන ලැයිස්තුව. පෝය ලබන ගෙවෙන වෙලාවල් ගැන සිල් සමාදං වෙන අය, මාලු බාන අය දැනගන්නෙ ඒකෙං. පෝයට කලිං හෝ පස්සෙ දවසේ ගෙදර බිත්තර තම්බන්න හිතං ඉන්නව නං, නැතිනං ඔලුවෙ උකුණො බලන්න හිතං ඉන්නවනං ඊට කලිං පෝය ගෙවිලද බලන්නත් ඕනෑ. එව්වා බලන්නේ ඔය වගුවෙන් තමයි.
දුරුතු මස ජන 15 සිකු පුභා 03.08 න් අමාවක ලබා එමදා අභා 11.21 න් ගෙවේ සෙන සිල්
කියා අපි ඒ වගුවෙ තියෙනා නොදන්නා හරුපෙ කියවුවම දන්නා අය පෝය ලබන ගෙවෙන වෙලාවල් දන්නවා. එතකොට
“එහෙනං අද රෑට බිත්තර තැම්බුවට කමහ්නෑ. හෙට පාන්දරට පෝය ලබන්නෙ. පාන්දර තුනකුග්ගානට”
කියා කියන්නට අපේ වැඩිහිටියෝ දන්නවා.
එයිට අමතරව රිට්ටා කියා ජාතියක් ඇතත් එයිං ඇති වැඩේ මම දන්නෙ නෑ. අලුත් අවුරුදු චාරිත්‍ර සේරම තියෙන්නෙත් ඔය ලිතේම තමයි. ඉරණම පොතේ තියෙන අය වැය විස්තරෙත් ලිතේ තියෙනවා. සත් දිනට මරු සිටින දිශාව, රාහු කාලය, රජයේ සහ ප්‍රසිද්ධ බැංකු නිවාඩු, සුභ දවස්,  ආදී සේරම දේවල් දන්නෙත් ඔය ලිතම තමයි. බැරිවෙලාවත් හූනෙක් ඇඟට වැටුනත් ඒකෙ තේරුම දන්නෙත් ලිතම තමයි. ඒ හංදා ලිත කියන්නේ ලිප වගේම ගෙදරකට නැතුවම බැරි දෙයක්.
අවුරුද්දෙ මුල කඩ, බැංකු, ආයතන වලින් තමුංගේ ගනුදෙනුකාරයන්ට කැලැන්ඩර් දෙනවා. සමහරු කැලැන්ඩර් ඉල්ලලා මුදලාලිලා එක්ක වලිදාගෙන
“අපිට කැලැන්ඩරෙයක් නොදුන්නොත් අපි ආයි මේ කඩෙං ලුණු ඇටේක දෙයක් ගන්නෑ”
කියල තර්ජනය කරනවා. ඒ හංදා සමහර මුදලාලිලා තමුංගේ වැදගත් පාරිභෝගිකයන්ට කොල දොලහේ ලොකු දින කැලැන්ඩර් දෙන්නේ අනික් කැලැන්ඩර කොල්ලකාරයින්ට හොරෙන්. සමහරු කඩවල්වලට ගිහිං
“අපි හැමදාම ගනුදෙනුකරනෑයො. අපිටද්දෙන්න කැලැන්ඩ්‍රෙයක්”
කියලා තර්ජනය කරනවා. ඒ වගේ කරදර කරන අයට දෙන්නේ තනි කොලේ පහලිං පොඩියට මාස දොලහම ලකුණු කරපු පොඩි කැලැන්ඩර්. ඒවයේ පහල
නව වසරට ආසිරි
ප්‍රසන්න ප්‍රින්ටර්ස්
මරන දැන්වීම්, පන්ති කාඩ්, පෝස්ටර්, පැකැට් ලේබල්, කොටු කපන කාඩ්, ඇඩ්රෙස් කාඩ් ආදිය අච්චු ගසන්නෝ
බොක්කේ බැද්ද, අලියාවැටුන වැව.     දු.ක 074-*******
කියලා ලියල තියෙනවා. ඉස්සර නං සමහර මල් පත්තර එක්කත් කැලැන්ඩරයක් ලැබෙනවා. දෙසැම්බර් මාසෙ අන්තිම සති දෙකේ පත්තරේ ඒ ගැන කලින්ම දැන්වීමක් වැටෙනවා.
“සංගීතා වීරරත්නගේ වෛවර්ණ ඡායාරූපයක් සහිත ඔප කඩදාසියේ මුද්‍රිත කැලැන්ඩරයක් සහිතව ලබන ජනවාරි ** වැනිදා සුවඳ පත්‍රය අදම වෙන්කරවා ගන්න”
ඒ පත්තරේ මුලයි අගයි පිටු දෙක වදින කොලේ ඇතුල් පැත්ත තමයි කැලැන්ඩරේ. ඒවගේ කැලැන්ඩර එල්ලන්න බෑ. ඒවා බිත්තියේ අලවන්න ඕනි.
ඔය කොයි කැලැන්ඩරේත් දෙන්නේ රෝල් කරලා. ගෙදර ගෙනැත් එල්ලන්න කලිං කැලැන්ඩරේ දිගෑරලා අනෙක් පැත්තට රෝල් කරන්න ඕනි. ඒ වැඩේ කීප විටක්ම කරලා කැලැන්ඩරේ සම්පූර්ණ සමතලා තත්වෙට ගන්න ඕනෑ. නැතිනං කැලැන්ඩරේ යට කොටස බටකොල ආච්චිගේ කටේ යටි තල්ල වගේ ඉස්සරහට දික්වෙලා එනවා. නැත්තං මාගල වගේ රෝල් වෙනවා. මේ හිංදා සමහරු කැලැන්ඩරේ බලහත්කාරෙන් දිගාරින්න ගිහිං අන්තිමට කැලැන්ඩරේ ටකරම වගේ රැලි හිටින තත්වෙට පත්වෙනවා.
 අද අපි හාල්මැස්සො දෙසියපනහක් ගත්ත කඩෙනුත් අපිට කැලැන්ඩරෙයක් දුන්නා. මේං බලන්නකො ඒකත් එහෙමයි. මාස හයක් රෝල්වෙලා.
අපේ ගෙවල්වල පරිස්සං කරලා තියාගන්න අමාරුම දෙයක් තමයි ඉඳිකට්ට. කොතනක තිබුණත් නොපෙනෙන හිංදත්, අත පයේ ඇනෙන්න පුළුවං හිංදත්, හොයා ගන්න ලේසි වෙන්න ගෙදර තියෙන ඉඳිකටු ගහල තියන්නෙත් ලිතේ හරි කැලැන්ඩරේක හරි තමයි. කාටවත් ඒ ගැන වගක් නැතිවුනාට ඉඳිකට්ට පරිස්සම් කරගැනීම වගේම ඉඳිකට්ටෙන් ගෙදර අයව පරිස්සම් කිරීමත් ලිතෙන් සහ කැලැන්ඩරෙන් සිද්දවෙන වැදගත් සේවයක්.
බ්ලොග් ලියන, කියවන, බෙදන සැමටත් අනෙක් සියළු දෙනාටත් ලැබුවාවූ 2017 නව වසර ඵලදායී වසරක් කරමු!
සියලු හිමිකම් බ්ලොග් කරු සතුය.

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල