කෙටි කථා

කෙසෙල් කැන විසින් හොරාව වැට පැන්නීම

Off

 

ගයාන් නින්දෙන් ඇහැරී ඔරලෝසුව දෙස බැලුවිට එහි පාන්දර 2.30 ලෙස සටහන්ව තිබුණා. තම පපුවට තුරුළු වී නිදන ලක්මාලිගේ ලය මඩල රිද්මයකට උස පහත් වීමෙන් ඇය තද නින්දේ බව පසක් කරගත් ගයාන් ඇයට නොදැනෙන්න ඇඳෙන් බැස්සේ නින්ද අහලකවත් නොවුන නිසා. කොපි උගුරක් සාදාගෙන සාලයට පැමිණ දුම් වැටියක් දල්වා ගත්තේ පෙර දින රැයෙහි සිදුවූ යම් සිදුවීම් පෙළෙහි නොතේරෙන තැන් කිහිපයක්ම ලෙහා ගනිමටයි. පරිසරයේ ඇති නිහඬ බව බිඳින්නට, බාදා කරන්නට කවුරුවත්ම නොමැති වීම ගැන ගයන් බෙහෙවින්ම සතුටු වුනා.

අවුරුදු 02 ට පෙර අතිනත ගත්ත ලක්මාලි හෙදියකි. මෘදු මොලොක් ගතිගුණ උපතින්ම උරුම කරගත් ඈ දඟකාරියකට වඩා කෝඩු කාර පෙම්වතියක්ම වුනා. ගයාන් බෙහෙවින්ම ප්‍රිය කලේ එයටයි. ආලිංගනයෙහි මෘදුව හැසිරෙන ඕ ගයාන්ගේ උණුසුම තවරා ගන්නට බෙහෙවින්ම ප්‍රිය කලා. එහි ආදරය අතුරුවේ ඔහුව මුසපත් කරවන නියාවෙන්ම මිස, වෙන කිසියම් දෙයක් එහි ගැබ් නොවූ බව ගයාන් හොඳින්ම දැන උන්නා. එත් පෙර දින රාත්‍රි ආලිංගනයේහි ඇයගේ හැසිරීම බෙහිවින්ම ප්‍රවේගකාරී වුනා. මින් පෙර අත් විඳ නැති තැන් ස්පර්ශ කරන්නට ගයාන්ටත් පෙර ලක්මාලි මුල් පියවර තබා තිබුණා. යම් තැනකදී ක්ෂණයකින් අගේ මුවින් පිටවූ වදනකින් ඔහුගේ හිත සසල උනේ ඈ පිළිබඳව අදහසකින් නොව මින් පෙර එය අසා ඇති හුරු පුරුදු කමක් දැනුන නිසා. ගයාන් ඒ ඔස්සේ ඉව ඇල්ලුවා.

ගයාන් සහ ලක්මාලි විවාහ වී කුලී නිවසට පදිංචියට පැමිණියේ රජයේ රෝහලක හෙදියක් වූ ඈ ණයක් ගෙන ඔහුට පිය උරුමයෙන් ලද ඉඩමේ නිවසක් තනා පදිංචි වීමටයි. එයට ගයාන්ට වඩා බෙහෙවින්ම උත්සුක උනේ ලක්මාලියි. දෙදෙනාම රැකියාවෙහි නියැලෙන් නිසාත් ලක්මාලිට රෑ වැඩ මුර අනිවාර්‍ය නිසාත් වැඩ නිමවී එන ගයාන් ඉක්මනින් ඇඳුම් මාරු කර කුස්සියට එන්නේ ඇයට උදව් කරන්නයි. එය උදව්වකට වඩා ගයාන්ගේ හිතේ ඈ කෙරෙහි වූ ස්නේහය නිසාම කල දෙයක් උනා. ඔය අතරදියි ගයාන්ගේ පියාගෙන් ඇරයුමක් ලැබුනේ ඔහු සමග පදිංචියට එන ලෙසට. ලක්මාලි එක හෙලාම විරුද්ධ වුවත් ගයාන්ගේ මවගේ වියෝවෙන් පසුව පියා තනිව ජීවත් වන නිසාත්, මුදල් ඉතිරිය නිසාත් ලක්මාලිට ගයාන්ට අවනත වන්නට සිදු උනා.

ගයාන් තවත් දුම් වැටියක් දල්වාගෙන ඉදිරි පස දොර හැර පෝටිකෝවේ ඇති පුටුවට බර වුනා. අවස්ථාවට යම් අඩුපාඩුවක් දැනුනෙන් වොඩ්කා බාගයක් හා වීදුරුවක් රැගෙන විත් නැවතත් පුරුදු පුටුවටම බර උනා.

දෙපල එක්ව රාත්‍රී කෑම වේල පිළියෙල කරමින් උන්නේ පෙර මෙන් නොව, පියාට යම් තාක් දුරකටවත් හොඳ ආහාර වේලක් පිළියෙල කීරීමට දෙදෙනාම උත්සුක උනා. ගයාන්ගේ පියාගේ අදහස වුයේ මුළුතැන්ගෙහි කටයුතු ලක්මාලිගේ දෝතින්ම පමණක් සිදුවිය යුතු බවයි. එය රාත්‍රී කෑම මේසයේදී පියාගෙන් දෙදෙනාට ඉදිරිපත් වුනා. ලක්මාලිට වඩා ගයාන් ඉන් බොහෝ තැවුනා. කේන්තිය පාලනය කරගන්නට නොහැකි උන ඔහුට පියා සමඟ බහින් බස් වුනා. ගයාන්ගේ කරුණු දැක්වීම ඉතාමත්ව සාර්ථක උනත් පියා වරද බාර ගෙන පරාජය පිළිගන්නට සුදානම් උනේ නෑ. අවසානයේ පිය විසින් නිවසෙන් පිටවීමට දැනුම් දීමෙන් පසුව රාත්‍රී කෑම වේල අවසන් උනා. ගයාන් කිසිවක් සිදු නොවූ ලෙසට හැසිරෙන්නට උත්සහ කලත් ලක්මාලි ඉන් බෙහෙවින්ම කම්පාවට පත් වෙලයි සිටියේ.

එදා කෑම මෙසේයේදී සිදුවූ සිදුවීමෙන් පසු ලක්මාලිගේ සහ පියාගේ කැලබිම හා හැසිරීම ගයාන්ට ප්‍රශ්නාර්ථ පමණක් ඉතිරි කළා. දිනක් දෙකක් නොව කිහිප දිනක්ම ඈ නියමිත වෙලාවට පෙර වැඩමුරය අවසන්ව නිවසට පැමිණ තිබුණා. පියාගේ දැනුම් දීම හකුලාගෙන තිබුණා. එයද ඔහුට දැනගන්නට ලැබුනේ ලක්මාලිගෙන්මයි. ගයාන්ගේ මල්ලිට ලියා තිබුන මහා ගෙදර ගයාන්ගේ නමටත්, ගයාන්ගේ නමට ලියා තිබුන ඉඩම මල්ලිගේ නමටත් ලියන්නටත් පියා කටයුතු කර තිබුණා. ඒ ගැන කතා කල විට ලක්මාලිගේ මුවෙහි ඇදුණු සිනහව අදටත් ගයාන්ට ආගන්තුකයි. ගයාන්ගෙන් ලද ආදරය ලක්මාලිව සෙමින් යතා තත්වයට පත් කරමින් තිබුණා. තිබු දුරස්බව දුරස්කරමින් දෙදෙනා නැවත පෙමින් වෙලුනත් පිය-පුතු සම්බන්ධතාවය පෙරටත් වඩා පලිදු වූ එකක්ම වුනා. මේ සිදුවීම් පෙළ එකිනෙක ගැලපි සිදුවන්නට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත්තා.

ඈ තමාගේ නින්ද අහිමි කර සුවට නිදන්නීය. එය ඔහුට අපුලකට වඩා ආශ්වාදයක් ගෙන දුන්නේ හිතත් එක්ක තනි වෙන්නට ලද අවස්ථාව නින්දට වඩා ආවස්ථික පිරිවැය ඉහල අගයක් ගත් නිසයි. ගයාන් මේ හිමිදිරියේ දුම් වැටි කිහිපයකටත්, වොඩ්කා වඩි 3-4 වගකියා සිටියා. හිත කොහේ කොහේ අතරමං වෙනවද කියා ඔහු දැන උන්නේ නැහැ.

පුංචි ගයාන් පාසැල් ඇරී අමතර පංති නොයා ගෙදර පැමිණියේ මවට නමස්කාර කර හෝ සමාව භජනය කරන ලෙසට ඉල්ලන්නට සිතාගෙනය. පියාගේ බයිසිකලය නිවසේ ඉදිරියේ නවතා තියෙනු දැක ගයාන්ගේ දෙපා පණ නැති බවක් දැනුණා. සෙමින් දොර විවර කර නිවසට පය තිබ්බ පුංචි ගයාන් සාලය හරහා ශබ්ද නොනැගෙන ලෙස සිය කාමරයට ගමන් කරමින් සිටියදී ඇසුණු දෙයින් බිය වුනත් පියාත් මව සමග සිටින නිසා එය ගණන් නොගත්තේය. නොතෙරෙන දෙයකට හිත වෙහෙසනවට වඩා අමතක කර දැමීම වඩා හොඳ බව පුංචි ගයාන්ට තේරි තිබුණා.

ගයාන්ටත් පෙර ඔහුගේ සිත විසින්ම ඔහුටත් නොකියා මේ සියල්ල අමතක කර දමා තිබුණා. මේ නොනිදන රාත්‍රියෙහි ඒ ගැන සිතන්නට ගයාන් බොහෝ සෙයින් වෙහෙසුණා. ක්ෂණයකින් මතුවූ මතකය ගයාන්ට අමතක නොවන අතුල් පහරක් එල්ල කලා. එදා සිය මවගේ මුවින් පිටවූ වදනම ඊයේ සිය බිරිදගේ මුවින් පිටවී තිබුණා.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://magephilosophya.blogspot.com/2017/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල