දේශපාලන

දයා පතිරණ යනු ආරම්භක ලක්ෂ්‍යයකි!

Off

නජිත් ඉන්දික විසිනි

 

(මෙය ‘වමේ හඩ’ පුවත්පතේ ජනවාරි කලාපය සදහා රචිත ලිපියකි)

 

ඒ 1985 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින රාත‍්‍රියයි. බණ්ඩාරගම ‘හිරණ’ තොටුපළ අසළ පාලු අම්බලමක් පිටුපස තිබී, කශේරුකාව වෙන්වන ලෙස ගෙල කපා දමන ලද, නිරුවත් තරුණ මළසිරුරක් මුලින්ම හමුවන්නේ ඒ ආශි‍්‍රතව රැකියාව සිදුකළ තොටියෙකුටයි. එය උදුවප් පසළොස්වක පොහොය දිනයද විය. ඒ වනවිටත් මළසිරුරේ රස්නයවත් නිවී නොතිබිණි. මරාදමා තිබුණේ දයා පියසිරි හේවාපතිරණ නැමති තරුණයෙක් බව පසුව හදුනා ගැණිනි. ඒ කොළඹ සරසවියේ සුප‍්‍රකට සිසුනායකයෙකු වූ ‘දයා පතිරණ’ යි. ඝාතකයන් සැලසුම්කළ පරිදි අභිරහසක් අතුරුදහන්කිරීමක් ලෙස කාලයෙන් වැසී යාම වළකා, සිදුවූයේ කුමක්ද යන්න හෙළිදරව් කරනු ලැබුවේ එම තොටියාගේ අනපේක්ෂිත මැදිහත් වීම නිසාවෙන් දිවි ගලවාගත් කොළඹ විශ්වවිද්‍යාලයේ පී. සෝමසිරි නම් ශිෂ්‍යයා විසිනි.

 


 

සිදුවූයේ කුමක්ද?

 

දයා පතිරණ යනු කොළඹ විශ්වවිද්‍යාලයේ ‘ස්වාධීන ශිෂ්‍ය සංගමයේ’ නායකයායි. එකළ යාපනය හා නැගෙනහිර හැර අන් සියලු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සභාවල වැඩි බලය ජවිපෙ ට අනුබද්ධ ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ සතුවිය. නමුත් කොළඹ සරසවියේ පමණක් ස්වාධීන ශිෂ්‍ය සංගමයට විශාල බහුතර පදනමක් පැවතිණි.ඝාතකයන් විසින් දයා පතිරණ සහ සෝමසිරි පැහැර ගන්නේ තුම්මුල්ල, ශාන්තිවිහාර් හෝටලය අසළදීය (කොළඹ විශ්වවිද්‍යාලය අසළ). ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් ඉවත් වූ බව පවසා, ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කළ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු සමග සාකච්ඡා කිරීමට යමින් සිටියදීයි. මෙම සාකච්ඡාව තීරණය වන්නේ ඊට දින දෙකකට පෙර, කැළණිය විශ්වවිද්‍යාලයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රැස්වූ අවස්ථාවේ කොළඹ, කේ.එල්. ධර්මසිරි ගෙන් සිදුකරන ඉල්ලීමකට අනුවයි. එසේ උපක‍්‍රමශීලීව පැහැරගෙන යනු ලැබූ දයා පතිරණ ඝාතනය කරනු ලබන්නේ කෙටේරියකින් ගෙල කපා දැමීමෙනි. ගෙලෙහි බලනහර සියල්ල කැපී ගියද සෝමසිරි ඉන් දිවිගලවා ගනු ලැබිණි. බොහෝ හෙළිදරව්වීම් වලින් පසුද කාලයේ වැලිතලාවට යට කරදමා ඇති මෙම ඝාතනය අසූව දශකයේ සිදුවූ තුන්වන ශිෂ්‍ය ඝාතනයයි (1984 දී පද්මසිරි අබේසේකර හා රෝහණ රත්නායක පොලිස් වෙඩි පහරින් ඝාතනය විය). එමෙන්ම පොලිසිය හෝ හමුදාව නොමැතිව, වෙනත් දේශපාලන කණ්ඩායමක් විසින් මරාදැමූ පළමු ශිෂ්‍ය නායකයා ඔහු විය.

 

සියගණනක් කි‍්‍රයාකාරීන් ඝාතනයට ලක්වූ ඉතිහාසයක් ඇති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබදව සැලකීමේදී, වසර 30 කට පසු මෙම නිශ්චිත ඝාතනය ගැන සාකච්ඡා කිරීම ‘පරණ කුණු’ ඇවිස්සීමක් හා ‘ශිෂ්‍ය ව්‍යාපාරයේ හතුරන්’ ගේ කි‍්‍රයාවක් බවට සදහන් වූ ප‍්‍රකාශ පසුගිය දිනවල මුහුණු පොතේ සාකච්ඡාවලදී ජවිපෙ කි‍්‍රයාකාරීන් විසින් සිදුකරනු මෙම ලියුම්කරුට නිරීක්ෂණය විය. නමුත් මෙම සාකච්ඡාව හා එහි බරපතලකම නැවත පොළොව මතුපිටට ඇද දැමීම අතිශයින් වැදගත් බවත්, මේ තුළින් මතුවන ‘දේශපාලනමය යටගියාව’ හෙට දවසේදී වැදගත් වන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට හා විශේෂයෙන්ම ස්වකීය ඉතිහාසය පිළිබදවම දශක ගණනක තිස්සේ දීර්ඝකාලීන මුසාකරණයකට ලක්කර ඇති ශිෂ්‍ය ව්‍යාපාරයටම බවත් අපගේ අදහසයි.

 

 

ස්වාධීන ශිෂ්‍ය සංගමය හා දයා පතිරණ

 

ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹදී පිහිටුවන්නේ 1979 වසරේදීයි. ඒ වන විට කොළඹ මහා ශිෂ්‍ය සංගමය තුළ වැඩිබලය හෙබවූයේ ජවිපෙ, සමාජවාදී ශිෂ්‍ය සංගමයයි (1979 වනවිට දකුණේ සියලූ විශ්වවිද්‍යාලවල පාහේ ශිෂ්‍ය සංගම් බලය ජවිපෙට හිමිවී තිබිණි). ඒ වනවිට පැවති අනෙකුත් ප‍්‍රධාන ශිෂ්‍ය සංවිධාන වලින් වෙනස්ව, විවිධ වාමාංශික පක්ෂ-කණ්ඩායම් වලට අයත් වූවන්ගෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරීන් සමන්විත විය. විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ අරගලය සන්නද්ධ අරගලයක තත්වයට වර්ධනය වෙමින් පැවති එම කාලයේදී ‘ජාතික ගැටලුව’ සම්බන්දයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය දැඩි ස්ථාවරයක් දැරීය. එනම් දෙමළ ජනතාවට ‘ස්වයං නිර්ණය සදහා ඇති අයිතිය’ පිළිගැනීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. මෙහි විශේෂත්වය වූයේ මෙය මුලුගැන්වී රහසේ සිදුකළ දේශපාලනයක් නොවීමත්, ප‍්‍රසිද්ධියේ බහුතර ශිෂ්‍යයින්ගේ අනුමැතිය ලබමින් සිදුකිරීමත්ය. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතරින් වාමාංශික නැඹුරුවක් තිබූ ‘ප්ලොට්’(PLOT), ‘ටෙලෝ’(TELO) වැනි සංවිධාන සමග සබදතා ගොඩනගා ගැනීමේ සිට ජවිපෙ පවා නොසළකා හරිනලද, විශ්වවිද්‍යාල තුළ දෙමළ සිසුන්ට පමණක් බලපෑ ඇතැම් ප‍්‍රශ්නවලදී සටන් කිරීම දක්වා පුළුල් පරාසයක කි‍්‍රයාකාරීත්වයක ස්වාධීන ශිෂ්‍ය සංගමය නිරත විය. ඒ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සිදුකළ සාමාන්‍ය ශිෂ්‍ය සටන් වලට අමතරවය. යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සමග සෘජු සබදතා ගොඩනගා ගත් අතර ඒකාබද්ධ සටන් ව්‍යාපාර පවා මෙහෙයවන ලදී. විශේෂයෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ විමලරාජා චෝදනා නොමැතිව වසරක් තිස්සේ අත්අඩංගුවේ රදවා ගැනීමට එරෙහිව සිදුකළ පන්ති වර්ජනයට, යාපනය හා නැගෙනහිර සිසුන්ට අමතරව සම්බන්ද වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පමණි.

 

මේ සියල්ල තුළින් ජනප‍්‍රිය වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය 1981 නිළවරණයේදී කොළඹ මහා ශිෂ්‍ය සංගමයේ බලය දිනාගන්නා ලදී. 1982 නිළවරණයෙන්ද සියළුම පීඨවල ජයග‍්‍රහණය ලැබුවද, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශනවලට අනුව ‘ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ අශුද්ධම සන්ධානය’ හරහා එය අහිමි කරනු ලැබීය. එනම් ජවිපෙ, එජාප හා ශ‍්‍රීලනිප ශිෂ්‍ය සංවිධාන එකට එකතු වී, වැඩි ඡන්ද බලය පෙන්වා මහා ශිෂ්‍ය සංගමය පිහිටුවීමයි. ජවිපෙට සභාපතිකමද, ශ‍්‍රීලනිපයට ලේකම් ධූරයද, එජාපයට භාණ්ඩාගාරික ධූරයද වශයෙන් බෙදාගනු ලැබිණි. ඉන් පසු දයා පතිරණ ඝාතනය කරන තුරුම කොළඹ සරසවියේ වැඩි ශිෂ්‍ය බලය හිමිව තිබුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමයටයි. අප සටහන් කළයුතු වැදගතම දේ නම් දයා පතිරණ ඝාතනයට පෙර ස්වාධීන ශිෂ්‍ය සංගමය යනු අධ්‍යාපන අයිතීන් ඇතුලූ බොහෝ සමාජ අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු, අරගලය පිළිබදව ඉදිරිදැක්මක් තිබූ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කළ ශිෂ්‍ය සංවිධානයක් බවයි. ඒ 1990න් පසු යුගයේදී ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ‘ජවිපෙ තනි අශ්වයාගේ රේස් එක’ තුළදී ලියාතබා ඇති ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය බෙහෙවින් දෝෂ සහගත වන බැවිණි. අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි සටන, පද්මසිරි හා රෝහණ රත්නායක ඝාතනයට (රෝහණ රත්නායක ඝාතනය සිදුවන උද්ඝෝෂණය සංවිධානය කරන්නේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙනි) එරෙහි සටන, 1985 පුද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සටන ආදියෙහිදී පෙරමුණේ කාර්යභාරයක් සිදුකිරීමට ස්වාධීන ශිෂ්‍ය සංගමය මැදිහත් විය. එමෙන්ම ‘ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට’ යන උපායමාර්ගය මත පිහිටමින්, ජාතික විමුක්තිය ඊනියා ‘රට බෙදීම වැළැක්වීම’ ට ආදේශ කරමින්, උතුරු-නැගෙනහිර දෙමළ ජන අරගලය පිළිබදව සිංහල ස්වෝත්තමවාදී ආස්ථානයක සිට මැදිහත්වීමක් කරමින් සිටි, ජවිපෙ සිංහල ජාතිකවාදී ස්ථාවරයන්ට එරෙහිව ස්වාධීන ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය තුළ ප‍්‍රසිද්ධියේ එමෙන්ම සාර්ථකව අභියෝග කරමින් සිටියහ. මේ සියල්ලට දයා පතිරණ විසින් නායකත්වය ලබා දුනි.

 

1986 වන විට මෙම මතගැටුම ශාරීරික ගැටුමක් දක්වා පෙරලුණු අතර ජවිපෙ විසින් 1986 ඔක්තෝබර් 08 වනදා ‘දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරය’ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ විශාල ගැටුමක් ඇතිවූ බව සදහන්ය. 1985 වන විට විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව හඩනැගීම නිසා පන්ති තහනමට ලක්ව සිටි දයා පතිරණ ‘තව දුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවේය’ යන පදනමින් වැඩි ඡන්දයෙන් ‘අන්තරයෙන්’ ඉවත් කරනු ලැබිණි. පුද්ගලයෙක් ලෙස ඔහු අන්තරයට සම්බන්දවීම වැළකුණේ එසේය. මේ සියල්ලෙන් පසු එවන් ‘දේශද්‍රෝහියෙකුගේ’ ඉරණම තීරණය වූයේ එසේය. පසුකාලීනව ‘තුන්වන සතුරු හමුදාව’ ලෙස නම්කරමින් වෙනත් මත දරන වාමාංශිකයන් ඝාතනය කිරීමේ නිළනිවේදන නිකුත් කිරීම දක්වාවූ වැරදි දේශපාලන තීන්දු තීරණ වල ආරම්භක වෙඩිමුරය වූයේ දයා පතිරණ ඝාතනයයි.

 

 

ස්ටැලින්වාදය හා ජනතා විමුක්ති පෙරමුණ

 

‘ස්ටැලින්වාදය’ යන ප‍්‍රපංචය පැතිකඩවල් ගණනාවක් ඔස්සේ සාකච්ඡා කළ යුත්තකි. නමුත් මෙම සාකච්ඡාවට අදාළ වන ‘සමාජ වෙනසක් සදහා වන අරගලයේදී විවිධ මතදරන වාමාංශිකයන් අතර මතවාදී අරගලය ශාරීරික ප‍්‍රහාරයන් දක්වා පිරිහෙළීම’ ස්ටැලින්වාදයේ මූලික දේශපාලන ක‍්‍රමවේදයක් නියෝජනය කරයි. විශේෂයෙන්ම ලෙනින්ගේ මරණය දක්වා මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය සැලකීමේදී මෙම තත්වය, එනම් විරුද්ධ මත දරන වාමාංශිකයන් ඝාතනය කිරීම ක‍්‍රමවේදයක් ලෙස යොදාගැනීමක් හමුවන්නේ නැත. උදාහරණ ලෙස විප්ලවයට වසර කිහිපයකට පෙරදී හෙළිදරව්වුණු, රුසියාවේ බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ සිටි සාර්ගේ ඔත්තුකරුවෙකු වූ ‘මැලිනොව්ස්කි’ නැමැත්තා සම්බන්දයෙන් ලෙනින් ඇතුළු බොල්ෂෙවික් පක්ෂය කටයුතු කළ ආකාරය හා විප්ලවයෙන් කෙටි කලකට පසු විප්ලවීය ආණ්ඩුව තුළ බොල්ෂෙවික් පක්ෂය සමග එකට කටයුතු කරමින් සිටි ‘සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ’(එස්.ආර්.) වාම පාර්ශ්වය විසින් සූදානම් කළ බොල්ෂෙවිකයන් සමූල ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය හෙළිදරව්වූ පසු ලෙනින් ඇතුලූ බොල්ෂෙවික් පක්ෂය කටයුතු කළ ආකාරය ගැන කියවා බැලිය හැකිය (ජවිපෙ,සමාජවාදී තරුණ සංගමය විසින් පරිවර්තනය කරන ලද ‘යාකොව් ස්වෙර්දලොව්’ ගේ ජීවිතකතාව තුළ මෙම දෙවැනි සිදුවීම විස්තර කර ඇත). නමුත් ‘ද්‍රෝහී ලේබලය’ අලවමින්, බුරුතු පිටින් මිනිසුන් මරා දැමීම ඇරඹෙන්නේ ජවිපෙ න්‍යායාචාර්ය ජෝසප් ස්ටැලින් විසින් වර්ධනය කරන ලද විනාශකාරී ක‍්‍රමවේදය තුළයි.

 

 

ආරම්භක ලක්ෂ්‍යයක් වන්නේ කෙසේද?

 

දැන් මේ පිළිබදව සාකච්ඡා කිරීමේදී ලබාදෙන පිළිතුරු කිහිපයකි. පළමුවැන්න දයා පතිරණ යනු ජවිපෙ සාමාජිකයන් ඝාතනය කිරීමට රජයට ඔත්තු සැපයූවෙක් සහ මිනීමරු ‘ප‍්‍රා’ සංවිධානයේ කි‍්‍රයාකාරිකයෙක් බවයි. මෙය මුළුමනින්ම අසත්‍යයකි. ඒ දයා පතිරණ ඝාතනය සිදුවන්නේ 1986 දෙසැම්බර් මස, භීෂණකාරී තත්වය ඇතිවීමට බොහෝ පෙරාතුව වන නිසායි. ඒ තරුණයන් මහමග මරාදැමීමේ යුගයට බොහෝ පෙරාතුවයි. උදාහරණයක් ලෙස දයා පතිරණගේ මරණ පරීක්ෂණයෙන් පසු 1986 දෙසැම්බර් 17 වනදා, එය සිදුකළ හොරණ දිසාවිනිසුරු ධම්මික කිතුල්ගොඩ මහතා මෙසේ පැවසුවේය. ‘‘මගේ සේවා කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන්ගේ මරණ සම්බන්දයෙන් පවත්වන්නට යෙදුණ දෙවන මරණ පරීක්ෂණය මෙය වීම මගේ බලවත් කම්පනයට හේතුවක්’’. ඉන් පසු වර්ෂයන්ට මුහුණ දීමේදී ඔහුට කෙසේ දැනුනාදැයි අපි නොදනිමු.

 

එමෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට දයා පතිරණගෙන් පසුව පත්වූ ධර්මසිරි ඇතුළු පිරිසක්, ප‍්‍රා සංවිධානයට සම්බන්ද වෙමින් ජවිපෙ සාමාජිකයන් ඝාතනයට කි‍්‍රයාකාරීව සම්බන්ද වන්නේ 1989 වසරේයි. ගැටළුව ඇත්තේ මෙම වැරදි දේශපාලන තීන්දුතීරණ ගැන සමාලෝචනයක් අද දවසේද සිදුනොකිරීමයි. එක් එක් තීන්දුතීරණ වලට වඩා තමන් යොදාගත් මෙම ස්ටැලින්වාදී ක‍්‍රමවේදයන් පූර්ණලෙස බැහැර කිරීමේ හැකියාවක් තවමත් ඔවුන් අත්පත් කරගෙන නැත. අද දවසේද වෙනත් මත දරන වාමාංශිකයන් සම්බන්දයෙන් සිදුකරන හැසිරීම නිරීක්ෂණය කළවිට දැකගත හැක්කේ ඒ තවමත් එම ක‍්‍රමවේදයන් ඔවුන් බැහැරකර නැති නිසාවෙන් බවයි. එය ලංකාවේ වාමාංශයේ අනාගතය පිළිබදව තීරණාත්මකව බලපාන්නකි.

 

එමෙන්ම තවත් වැදගත් කරුණු දෙකකි. එකක් නම් ජාතික ගැටළුව සම්බන්දයේදී ජවිපෙ විසින් වාම මුහුණුවරකින් සිංහල ස්වෝත්තමවාදී ප‍්‍රවේශයක් ගැනීමේ දේශපාලනයට එරෙහිව මාක්ස්වාදී ආස්ථාන වල පිහිටමින් ඔහුගේ මූලිකත්වයෙන් සිදුකළ අරගලයයි. එදා දයා පතිරණ වැන්නවුන් මරාදමා යටපත් කළද වර්තමාන දේශපාලන වර්ධනයන් සලකන විට හෙට දවසේ දේශපාලනයේදී එවන් දියුණු ප‍්‍රවේශයක් සහිත තරුණ වාමාංශිකයන් වැඩි වැඩියෙන් අවශ්‍යව ඇත. විශේෂයෙන් ජාතික ගැටළුව පෙරටත් වඩා තීරණාත්මක වී ඇති තත්වයක් තුළ, පාලක ධනේශ්වර ආණ්ඩුවේ පීඩනය උත්සන්න වෙමින් හා ඊට සමගාමීව මහින්ද රාජපක්ෂගෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ පුනරාගමනයක් ප‍්‍රාර්ථනය කිරීමට දකුණ පෙළගස්වමින් ඇති තත්වයකදී දයා පතිරණලා එදා කළ දේශපාලන මැදිහත්වීම තුළින් උගතහැකි පාඩම් බොහෝ වෙයි.

 

අද ලංකාවේ ‘විශාතම වාම සම්ප‍්‍රදාය’ බවට පත්ව ඇති, සිංහල බහුතරය තුළ පහසුවෙන් ජනපි‍්‍රය වීම වෙනුවෙන් මාක්ස්වාදී උපුටනයන්ට මුවා වෙමින් සිංහල ස්වෝත්තමවාදය රකින සුළු ධනේශ්වර දේශපාලනයට එරෙහිව මාක්ස්වාදී, කම්කරු පාන්තික දේශපාලන ව්‍යාපාරයක අත්තිවාරම දැමීමට ධෛර්යය ඇති දියුණු තරුණ මාක්ස්වාදීන් වැඩි වැඩියෙන් අද දවසේ අවශ්‍යව ඇත.

 

අනෙක නම් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ දයා පතිරණ ඝාතනයත් සමග අවසන් කළ, එකිනෙකට වෙනස් වාම සංවිධාන මතවාදීව එකට ගැටෙමින්, නමුත් පොදු කාරණයකදී එක්ව සටන් කළ දියුණු සටන් සම්ප‍්‍රදාය යළිත් මතුකර ගන්නේ කෙසේද යන සාකච්ඡාවයි. මේ පිළිබදව වෙනත් අවස්ථාවක පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

 

ලිපිය අවසන් කිරීමට දයා පතිරණ සහෝදරයා විසින් මරා දැමීමට මසකට පෙර, එවකට පැවති දේශපාලන පක්ෂ පිළිබදව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පුවත්පත් වූ ‘රණහඩ’ ට ලියන ලද කතුවැකියෙන් කොටසක් මෙසේ උපුටා දක්වමු.

 

“ස්වරූපයෙන් විවිධ වුවද හරයෙන් එකම වූ ජාතිවාදයේ රැහැනින් බැදී ඇති එම දේශපාලන පක්ෂවලට අද පවතින තත්වය යටතේ නියම සටන් මාවතේ අගලක් හෝ ඉදිරියට යා නොහැකිය. එයට හේතුව වන්නේ උතුරේ ප‍්‍රශ්නය ගැන දරන ආකල්පය අද දේශපාලනයේ නිශ්චිත මිණුම් දණ්ඩක් වන බැවිනි. මන්ත‍්‍රී පදවිය පවා පාර්ලිමේන්තුව තුළ වහල් තත්වයකට වැටී තිබියදී ජාතිවාදය හැකිතාක් කරපින්නා ගෙන යැංකි ඩිකීටත් වඩා ජාතිවාදී බව පෙන්වා දකුණට වී පපුව පුම්බන දකුණේ සිංහල ඡන්ද ගරාගැනීම උදෙසා පාර්ලිමේන්තුවාදය ඔස්සේ බඩගාන ඊනියා ආණ්ඩු විරෝධී පක්ෂයනුත්, උතුරට හැරී කතා කරනවිට, එක් දිවක් හා දකුණේ කථා කරන විට තව එකක් වශයෙන් දිව දෙකක් හසුරුවන ඊනියා විප්ලවවාදීනුත් ඉදිරියට ගන්නා පියවරක් පාසා සිදුවන එකම දෙය නම්, මෙම මර්දනකාරී රජයේ ආයුකාලය මොහොතකින් හෝ දිගුවීම පමණි.’’

 

– දයා පතිරණ (1985 නොවැම්බර් ‘රණහඩ’ කතුවැකිය)

 

 

මෙය ‘යැංකි ඩිකී’ගේ බැණනුවන් ආණ්ඩුව කරන අද දවසට කෙතරම් සමපාත වන්නේද යන්න සිතා බලන්න. දයා පතිරණ යනු ඉතිහාස කතාවක් පමණක් නොව, තරුණ වාම දේශපාලන කි‍්‍රයාකාරීන් හට යම්කිසි ‘ආරම්භක ලක්ෂ්‍යයක්’ බව පැවසිය හැක්කේ එබැවිනි.

  • සියළු අදහස් හා හිමිකම් රචකයා සතුය.
  • http://akshaya.lk/index.php/component/k2/item/290-2017-01-07-18-32-35.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල