ප්‍රහසන

පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි

Off

මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්.

ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපුසෙරෙප්පු පෝස්ට්එකක් අනුව යමින්.

හොඳයි! දේශපාලනය ගැන ලිවිල්ල ටිකක් පස්සට දාලා මමත් හිතුවා සපත්තු සෙරෙප්පු පෝස්ට් එකක් ලියන්න. මොකද මේ දෙන්නාගේ පෝස්ට් කියෙව්වාම තමයි මට තේරුණේ මට ඔය මාතෘකාව ගැන තීසීස් එකක් කරන්න තරම් අදහස් තියෙනවා නේද කියලා.

කකුල තියෙන්නේ පාවහන් ඇතුවද? නැතුවද? පාවහන් නැතිනම් කකුල අන්ත අපිරිසිදුද? ටිකක් අපිරිසිදුද? අපිරිසිදු නැති පාවහන් නැති දුර්ලභ කකුලක්ද?

සෙරෙප්පු තියෙනවානම් කකුල පිරිසිදුද? පිරිසිදුව නියපොතු මැදලා දශමයක්වත් නොගෙවුණු හත්සීයේ අටසීයේ දාහේ බ්‍රෑන්ඩඩ් සෙරෙප්පු දාගෙන ඉන්න කෙනෙක් සහ අඩියට ගෙවුණු එකසිය පණහේ සෙරෙප්පු දාගත් හොඳටම අපිරිසිදු නියපොතු තියෙන මං වගේ කෙනෙක් කියන්නේ කතා දෙකක්.

 
සෙරෙප්පු නම් ආරුගම්බේ

මෑත කාලයේ පොෂ් තරුණ තරුණියන් අතර පවා සපත්තු, සැන්ඩ්ල්ස් වෙනුවට සෙරෙප්පු සහ බීච් ෂෝට් අඳින ස්ටයිල් එකක් ආවා. ඒ ආරුගම් බේ බ්‍රෑන්ඩ් එක හිට් වෙද්දී. ෆොටෝ ෂූට්, ෆැෂන් ෂෝ, ලොකු කටවුට් වලින් ආරුගම්බේ හිට් කළාට පස්සේ වේව්ස් බ්‍රෑන්ඩ් එක ගෙනාවා ඩීඑස්අයිලා. ඉතින් කොල්ලෝ කෙල්ලෝ වේව්ස්, ආරුගම්බේ සහ ඕවාට ගහපු විකල්ප සෙරෙප්පු බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න ගත්තා.

ඉතිං පොල්ගහ දදා හිටපු උඩුවාත් වේව්ස් බ්‍රෑන්ඩ් එකට මාරු වුණා. මාතලන්ලා පුංචි කාලේ වගේ නෙවෙයි. අපි වගේ සෙරෙප්පු රසිකයන්ට මේ බ්‍රෑන්ඩ් හිට් වුණ එක වාසියි. හැබැයි වේව්ස් වුණත් ගෙවුණම වැදගත්කමක් ඉතිරිවෙන්නෙ නෑ.

කියන්න යන කතාවට පසුබිම හැදුණා!

2015 මුල් කාලේ දවසක ප්‍රබල ඇමතිවරයෙකුගේ ඉන්ටවීව් එකක් ගන්න ප්‍රධානම අමාත්‍යාංශයකට යන්න සිද්ධවුණා. යහපාලන ආණ්ඩුව ඇවිත් ටික කාලෙකට පස්සේ. අන්තරාදායක අතුරු අයවැය ගෙනා දවස්වලද කොහෙද. කොහොමහරි ඇමතිවරු දැන් වගේ ෆෝන් ආන්සර් නොකරන කාලෙක නෙවෙයි. ඕන වෙලාවක ෆෝන් ආන්සර් කරලා උත්තර දෙන, විපක්ෂෙන් ආණ්ඩුවට ආපු කාලෙම වගේ දවසක. ඇමතිවරු අපෙ යාළුවො කාලෙ. උදේ හතට කෝල් කළාම දහයට වෙලාව දුන්න නිසා හදිසියේ දුවන්න සිද්ධවුණේ. ඒ වෙද්දී තිබුණු වේව්ස් දෙක සෑහෙන්න ගෙවුනු දෙකක්. ඔය බ්‍රෑන්ඩ් වල අවාසිය පොල්ගස් වගේ ගොඩක් කල් දාන්න බෑ. ඉක්මනින් ගෙවෙනවා. මාස එකහමාරයි ආයුස!

මඟදි දෙතුන් පාරක් වේව්ස් දෙකේ පටිය කැඩුණත් නොසැලී අමාත්‍යාංශෙට ඇතුල්වුණා කියමුකො.

රිසෙප්ෂන් හිටපු හැඩ කෙල්ල දිහා මමත් ගර්වයෙන් බැලුවේ මමත් ඒ වෙද්දී තනිකඩ හින්දා.

‘මොකක්ද වෙන්න ඕන?‘ මේකි ගහන්න වගේ ඇහුවෙ මගෙ කකුල් දිහා බලමින්. කකුල් ගලවලා සාක්කුවෙ දාගන්න ඇත්තං. ‘%&@$ ඇමතිතුමාව මුණගැහෙන්න‘

‘එහෙම මුණගැහෙන්න බෑ. අපොයිමන්ට් ගන්න ඕන.‘ දීපංකො උත්තර.

අන්තිමේ අර පෙන්නුවාම වැඩියෙන් ගුටිකන්න වෙන හැඳුනුම්පත පෙන්නලා උඩට යන්න ලැබුණා. ඇමතිගේ කාමරේට. හැඳුනුම්පත පෙන්නුවත් ලොකු රෙස්පෙක්ට් එකක් නෑ.

ඇමතිගේ කාමරේට එහාපැත්තේ තියෙනවා ඇමති සම්බන්ධීකරණ කාර්යාලය. ආණ්ඩුව පත්වුණ ගමං ඔයවගේ කාමර ඔක්කෝම පිරිලා තිබුණේ කළගුණ ඉල්ලාගෙන ආ අයගෙන්. මේ ඇමතිගේ ආසනේ කොළඹ නිසා සෙනඟ වැඩියි. ළඟ නේ! අනික මේ ඇමතිට වැඩිපුර හිටියේ හොඳට කිට මරපු කඩ්ඩ මරන බිස්නස් ඩයල්.

ඔය කාමරේ මට ඉඳගන්නැයි කිව්වා. කිව්වා කිව්වාමයි විනාඩි විස්සක්වත් යනකන් කිසි ප්‍රතිචාරයක් නෑ. දහයයි විස්සයි. දුන් වෙලාව පහුවෙලා.

අන්තිමේ එතැන හිටපු නිලධාරියා ලඟට ගිහින් කරදර කරන්න සිද්ධවුණා. ඇමතිගේ සෙකට්‍රිට කෝල් කළාම ඊට වඩා ඉහළ ලෙවල් එකේ රූම් එකකට, ඒ කියන්නේ ඇමතිගේ රූම් එකට ඇතුල්වෙද්දී තියෙන කාමරේට මාරුවක් ලැබුණේ සෙරෙප්පු දිහා බලමින්මයි. ඔය කාමරේට එන්නේ ඉහළ තලයේ බිස්නස් ඩයල්. අර කාමරේ වගේ නෙවෙයි. වැදගත්ම පොරවල්. එක්තරා නාලිකාවක ආන්දෝලනාත්මක දේශපාලන විවාද තියෙන ප්‍රෝග්‍රෑම් එකක ඇමතිවරුන්ව කොර කරන්න ප්‍රශ්ණ අහන ඩයල් එකකුත් ඇවිත් මගේ එහාපැත්තේ හිටියා.

ඇමතිගෙන් මොකක්ද වැඩක් කරගන්න ඇවිත්.

ටික වෙලාවකින් පොරට ඇතුලට එන්න අවස්ථාව ලැබුණා.

දැන් මම ඉඳගෙන හිටපු සැටියට එකිනෙකා එනවා. මගේ සෙරෙප්පු දිහා බලලා මූණ ඇඹුල් කරං ටිකක් ඈතින් ඉඳගන්නවා. දොර ළඟ ඉඳන් ඇමති ළඟට කට්ටියව දාන කෙනා ඒ අයට කතා කරනවා. ඒ අය ඇතුලට යනවා. ආයෙත් අලුත් අය එනවා. ඒ අය ඇතුලට යනවා. මම ඉඳගෙනම ඉන්නවා. දොර ලඟ ඉන්න ඩයල් එක මාව ඇතුලට දාන්නෙම නෑ.

මාත් ඉන්නවා.

පැය දෙකකට වඩා හිටියා. කිහිපදෙනෙක්ට කියන්න හැදුවත් මට ඇතුලට යන්න චාන්ස් එක නෑ.

ඔය ඇමතිතුමා ඉස්සර අපට ගෙදරට කතා කරනවා. අයිස්ක්‍රීම් දෙනවා. තේ දෙනවා. නෝන ඇවිත් කතාකරනවා. වැඩේ ඉවරවුණාම ඩිනර් එකට කතාකරනවා. යන්න හදනකොට වාහනේ දෙන්න ලෑස්තිවෙනවා. දැන් අපට අමාත්‍යාංශෙට කතාකරනවා. අනිත් අයට දෙන තේ එකවත් දෙන්නේ නෑ. ඒවානං ඕන නෑ. වෙලාවට ඉන්ටවීව් එක දියං අඩු ගාණෙ.

ඇමතිට කෝල් එකක් ගත්තා. ‘මිස්ට *^$&$. මං ආවේ ජොබ් එකක් ඉල්ලගෙන නෙවෙයි. මගේ වැඩක් කරගන්න නෙවෙයි. මේ වගේ පහත් විදියට සලකන්න එපා. අනික මේ රස්සාව කරන,  ඔයාල කියන ඕන දෙයක් කරන අනිත් උන්ගෙ ලෙවල් එකට අපව දාන්න එපා. ‘ මම හිටපු කාමරේ ඔක්කොටම ඇහෙන්න කියාගෙන ගියා. ‘තරිඳු ඇවිල්ලද ඉන්නෙ? මට කවුරුත් කිව්වෙ නෑනෙ.‘ ඔන්න ඒ පැත්තෙ ප්‍රතිචාරෙ.

දැං කාමරේ නිලධාරියො සෙට් එක කලබල වෙලා. මුණුමුනුව. මගෙ ළඟ හිටපු කඩු, බිස්නස් ඩයල් එක ටිකක් ළං වෙලා. ‘මීඩියාද?‘ කියල ඇහුව.

ඇමතිගෙ රූම් එකෙන් ඩයල් එකක් දුවගෙන ආව. ‘තරිඳු මහත්තයා කෝ.‘ මාව තප්පරෙන් ඇතුලට. හැබැයි වපරැහින් ඩයල් එකත් සෙරෙප්පු දිහා බැලුව.

ඉන්ටවීව් එක අවසානය ළං වෙනකොට හති දාගෙන ආපු අර ඩයල් එක ගිෆ්ට් පාර්සලයක් ඇමතිට දුන්නා. ‘තරිඳු සමාවෙන්න ඕන. මේ පොඩි තෑග්ග බාරගන්න.‘ ඇමති ඉන්ටවීව් එක ඉවර වෙලා කීවා.

‘බොහොම ස්තූතියි. හැබැයි තෑගි එපා.‘ මං එන්න ආවා. බෝඩිමේ හිටපු ලංකාවෙ ලොකුම පත්තරේ සහෝදර මාධ්‍යවේදියෙක් නං හවස බැන්න තෑග්ග බාරනොගත්ත එකට. ‘එයාට පොඩි තෑග්ගක් විසි තිස්දාහක් වටිනව මචං‘ මිනිහ කිව්වා.

මං එදා අලුත්ම ෂර්ට් එකක් ඇඳං ගියෙ. කොණ්ඩෙ ටිකක් වැවිලා රැවුල ටිකක් වැවිලා අපිලිවෙලට තියෙන්න ඇති. හැබැයි ලොකු අවුලක් තිබුණෙ නෑ. අලුත් ඩෙනිමක් ඇන්දෙ. හැබැයි සෙරෙප්පු දෙක නං පරණයි.

 
සෙරෙප්පු චාර්මත් නෑ හිටං බ්‍රෙසියර් ඇඳගත්ත ගෑණුත් දාගෙන යන්නෙ

උඩුවා හෙවත් උඩුවාගේ සටහන් at 9:26 PM

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල