ඉතිහාසය, පරිවර්තන

රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය

Off

 

පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය.
ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය.

ඉංග්‍රීසීන් රජුගේ සෞඛ්‍යය වෙනුවෙන් සවුදිය පුරන ලදි. මේ නිසා රජතුමා ඉතා සතුටට පත්ව ඔවුන්ට ස්තූති කර, ඔවුන් ආහාර ගන්නා ආකාරය සතුටින් බලා සිට ඔවුන් ආහාර ගත් පසු තම කාමරය බලා ගියේය.

ඉන්පසු එක් දිනෙක තමනට ආහාරයට ලැබුනේ එලවළු 05 ක් පමණක්ය කියා රජු කෝපයට පත්ව සිටියේය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී එලවළු වර්ග බොහොමයක් කල් ගතව නරක් වී ඇති බවත් පරිභෝජනයට ගත හැකිව තිබුනේ එලවළු වර්ග 05ක් පමණක් බවත් පෙනී ගියේය. කපිතාන්වරයා හා ග්‍රැන්විල් මහතා හොඳින් කරුණු පෙන්වා දුන්නද රජුගේ කෝපයේ අඩුවක් දක්නට නොලැබිණ.

ඔහු ඉංග්‍රීසීන්ට තදින් බැණ වැදුණි. එහෙත් භාෂා පරිවර්තකයන් ඉංග්‍රීසී නිලධාරීන්ගේ හිත් නරක්වේ යැයි බියෙන් බොහොමයක් දරුණු අපහාසාත්මක වචන පරිවර්තනය නොකරන බැව් පෙණුනි.
පසුව තම කාමරයටද ගොස් බොහෝ වේලාවක් යන තෙක් ඔහු කෝපයෙන් කෑ ගසනු ඇසුණි.

පසු දින එනම් පෙබරවාරි මස 08 වන දින රජතුමාගේ කෝපය අඩු වී තිබූ අතර, ඔහුට නැවේ පසු පසට වී පිරිසිදු වාතයේ රැදී සිටීමට අවශ්‍ය යැයි දන්වන ලදි. නැවේ අවරය ඒ සදහා පිළියෙල කරන ලද අතර, රජතුමා තම පිරිවර සමග බොහෝ වේලාවක් නිශ්ශබ්දව මුහුද දෙස බලා සිටියේය. රජතුමා මෙලෙස නිතරම මුහුද දෙස බලා නිශ්ශබ්දව කල්පනා කිරිමට කැමැත්තක් දැක්වීය.

මෙලෙස මුහුදු ගමන ගෙවා වෙරළට පැමිණි රජතුමා මදුරාසි ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එහි ටවුන් මේජර් වරයා වූ කැප්ටන් මැක්ඩොනල්ඩ් විසින් පිළිගන්නා ලදි.

රජතුමා හා පිරිස ඉංග්‍රීසී ආණ්ඩුවේ නිලධාරීන් විසින් වෙල්ලෝර් ප්‍රදේශයට රැගෙන යන ලදි. එහිදී ඔහුව ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද රාජධානියන්හි රාජ්‍ය උරුමක්කරුවන් සදහා වෙන් කර තිබූ මාළිගා 05 කින් එකක නවත්වන ලදි. රාජසිංහ රජතුමාගේ මාළිගාව (මහනුවර මාළිගාව) යන නමින් හදුන්වනු ලැබීය. අනෙකුත් මාළිගයන් අතර, එම මාළිගාවල වාසය කල සිරකරුවන් ගේ නම් අනුව ‘ගුම්සූර් මාළිගය‘, ‘තිප්පු මාළිගය‘, සහ ‘පිල්කොන්ඩේ මාළිගය‘, යනුවෙන් හදුන්වනු ලැබීය.

රජතුමා හා රාජකීයයන් ලැගුම් ගත් එම මාළිගාව වෙල්ලෝර්හි බලකොටුවක් ඇතුලත පිහිටා තිබුණි. බලකොටුව ඇතුලත රාජකීය පවුලට නිදහසේ ගත කිරීමට ඉංග්‍රීසීන් විසින් ඉඩ දී තිබූ හෙයින් රජු වෙනුවෙන් බලකොටුව තුල ඔහුගේ ගමන් බිමන් සදහා දෝලා ඔසවන්නන් දොලොස් දෙනෙකුද සමග දෝලාවක්ද ලබා දෙන ලදි. රාජකීය පවුලේ පිරිස් නිදහසේ පිටතට යාම වැලැක්වීමට ප්‍රධාන බලකොටුවේ තරමක ආරක්ෂාවක් යොදා තිබුණි.

රජුගේ හා රජ පවුලේ සේවය සදහා 40 ක පමණ සේවක පිරිසක් යොදවන ලදි. ඒ අතර පුද්ගලික වෛද්‍යවරයෙකු හා කරණවෑමියෙකුද විය. එම පුද්ගලික වෛද්‍යවරයාට සහ කරණවෑමියාට මසකට රුපියල් 5.00 ගණනේ වැටුප් ගෙවූ බව සදහන් වේ.

රජුගේ හා රජ පවුලේ වියදම් සදහා ඉන්දියානු ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරන ලද අතර, 1816 අගෝස්තු මස රජුට ඔටුන්නක් සාදවා ගැනීමට හා තම බිසවනට ත්‍යාග දීම සදහා රන් ආභරණ මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටි විට, ඔටුන්න සෑදීමට අවසර නොදුන්නද ආභරණ සෑදීමට පගෝදි 500 ක් ඉංග්‍රීසී රජයෙන් ලබා දෙන ලදි.

1817 රජු සහ රාජකීය පිරිස වෙල්ලෝර් බලකොටුවෙන් නිදහස් කොට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරිය යුතු යැයි මදුරාසියේ ඉංග්‍රීසී පාලකයන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලකයන් වෙත නිර්දේශ කලත්, එය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී පාලනයට ප්‍රශ්නයක් විය හැකි යැයි කල්පනා කල එකල ලංකාවේ ඉංග්‍රීසී පාලකයා වූ ජේම්ස් සදර්ලන්ඩ් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

1818 දී රජුගේ බිසොවන් ගෙන් එක් බිසෝවක් වූ උපේන්ද්‍ර අම්මා රැජිණ මිය ගියාය. 1822 දී රජුගේ තවත් රැජිණකට දූ කුමරියක් ලැබුණි. 1829 දී තවත් රැජිණක් දූ කුමරියක් බිහි කල අතර, එම දූවරුන් හා රැජිණන් සදහා ආභරණ මිලදී ගැනීමට රජු නැවතත් මුදල් ඉල්ලා සිටියෙන් ඉංග්‍රීසී ආණ්ඩුව විසින් එම මුදල් ලබා දුනි.

වෙල්ලෝර්හි වාසය කරන කාලයේදී රජු ඉංග්‍රීසී රජයත් සමග අමනාප වූ විට, නියමිත ආහාර සහ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සිරිතක් විය. මෙලෙස සමහර විට මාස කිහිපයක් දීමනා නොගෙන සිටින විට, වෙනත් පුද්ගලයන් ගෙන් මුදල් ණයට ගැනීමට රජුට සිදුවිය. ඉංග්‍රීසී නිලධාරිවරුන්ට මෙවැනි සිද්ධීන් කිහිප වතාවකදීම නිරවුල් කිරීමට සිදු විය.

1831 දී රජුගේ මව් රැජිණ මිය ගියෙන් සොල්දාදුවන් 100 ක ආචාර පෙලපාලියක් පවත්වා පලාර් ගං ඉවුරෙහි අවසාන කටයුතු සිදු කරන ලදි.

1831 වසරේදී පළමු හා එකම පිරිමි දරුවා මොලොව බිහි වන විට, රජුගේ සෞඛ්‍යය තත්වයද අයහපත් තත්වයකට පත් වෙමින් තිබිණ. නිතරම උණ ගැනීම, නින්ද නොයාම, ආහාර අරූචිය, අත් පා ඉඳිමීම, වැනි රෝග ලක්ෂණ වලින් රජු පෙලෙන්නට විය.

රජුගේ මෙම අසනීප තත්වය නිසා ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉංග්‍රීසී නිලධාරීන් විසින් සැලසුම් කිරීමට පටන් ගත්හ. මහනුවර රජ පවුලේ සොහොන් වල විස්තර මහනුවර අවටින් ලබා ගත හැකි දැයි සොයා බලන ලදි.

එහෙත් ඒ වනවිට ආදාහන මළුව අසල තිබූ මහනුවර රජුන්ගේ සොහොන් කොත් මහනුවර, මාතලේ, දුම්රිය මාර්ගය තැනීමේදී විනාශ වී තිබූ හෙයින් සොයා ගැනීමට නොහැකි වූ පසුව, පැරණි ලියවිලි වලින් එම සැලසුම් ලබා ගෙන මේ සදහාම ඉන්දියාවේ වෙල්ලෝර්හි මිළදී ගන්නා ලද ඉඩමක සොහොන සෑදීමට කටයුතු සූදානම් කෙරිණ.

1832 ජනවාරි මස 31 වන දින රජු මිය ගිය අතර, එදිනම ඉර බැස යාමට පෙර රජුගේ ආදාහන කටයුතු හමුදා ආචාර මධ්‍යයේ සිදු කරන ලදි.
පසුව මේ සදහා මිළදී ගත් ඉඩමේ රජුගේ සොහොන හා මව් බිසවගේ සොහොන පිළිවෙලින් රුපියල් 500.00 හා 150.00 මුදලක් වැය කර සාදන ලදි.

සිංහලේ අවසාන රජුගේ පිටුවහල් කිරීම සහ පිටුවහලෙකු ලෙස ජීවිතය මෙලෙස අවසන් විය.

මෑතකදී පලාර් ගඟ අසල ඇති රජතුමාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු මිහිදන් කර ඇති සොහොන 1990 දී එකල තමිල්නාඩුවේ මහ ඇමතිවරයාව සිටි කරුණානිධි ඔහුගේම සැලැස්මකට අනුව මුතු ඇටයක් හැඩයට ඉන්දියානු රුපියල් ලක්ෂ 7 ක් වියදම් කර නැවත අලංකාරවත් කරන ලදුව, එය දැන් මුතු මණ්ඩපම් (මුතු මණ්ඩපය) ලෙස හැදින්වේ.

රජු විසින් පාවිච්චි කරන ලද ඇත් දළ වලින් සාදන ලද ඉත්තන් සහිත චෙස් ලෑල්ල සහ ඔහුගේ බූමරැංගය වෙල්ලෝර්හි කෞතුකාගාරයේ තබා ඇත.

බොහෝ විට එක් රටක රජ කෙනෙකු වෙනුවෙන් වෙනත් රටක අලංකාරවත් සොහොනක් සෑදිය හැකි මිනිස් ඉතිහාසයේ එකම අවස්ථාව මෙය විය හැක.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

පලමු කොටස
දෙවැනි කොටස
තුන්වැනි කොටස

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල