කාලීන සංවාද, විශේෂ

සම්මාන උළෙලවල් අපට පංජංද….

Off

2015 සම්මාන උළෙල අහවර වෙලා ටික දවසකින් ලියන්න ගත්ත සටහන අතරමග නවතල තිබිල 2016 සම්මාන ගැන කොළඹ ගමය ලියල තියෙනව දැකල ආයෙම ලියන්න ගත්තා.

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015 අවසන් වෙලා එහි උණුසුම ටිකක් අඩු වෙන තුරු උන්නෙ එක පාරටම කට්ටියගෙ හිත් තලා පෙලා දාන්න හොඳ නෑ කියල හිතුණ නිසයි ලියන එක නවැත්තුවේ.

 

 
හැබැයි කොළඹ ගමයලගෙ, කල්‍යාණ මිත්‍රලගෙ කැපවීම දැක්කම මෙහෙම වචනයක් නොවෙයි මාගලක් ලිව්ව කියලවත් ආපස්සට යන්නෙ නෑ කියල හිතන නිසා බය නැතිව ලියනව.
 
මොන මගුලක්ද…මේක බ්ලොගකාරයන්ගෙ, බ්ලොග්කාරියන්ගෙ සම්මාන උළෙල වෙච්චි කොට.
කට කෑවත් කියන්න තියෙන දේ කියල දානව.
 
ඇරත් මේ “නොකී කතා” කියන්න තියෙන දේ කෙලින්ම කියල දාන හංද දන්න අය ඒ ගැන න පුදුම වෙන එකකුත් නෑ.
 
යෝජනා, චෝදනා වලට කලිං පොඩි  පහේ පම්පෝරියක් ගහන්නයි යන්නෙ. කෝකටත් පළපුරුද්ද වගේම සුදුසුකම් කියලම පිට්ටනියට බැස්සම ඉවරයිනෙ.
 
ඊට කලිංම කියන්නම් 2015 සම්මාන උළෙල නං මොන්ටිසෝරි ප්‍රසංගයකට දෙවෙනි නෑ. 
බය නැතිව එහෙම කියන්නෙ දැනට අවුරුදු ගණනාවකට කලිං මීට වඩා ප්‍රසිද්ධ මට්ටමේ සම්මාන උළෙලයන් සංවිධානය කරල අත්දැකීම් තියෙන නිසයි.
 
පාසල් අවදියේ පටන් ගත්තු මේ සංවිධාන වැඩ විශ්වවිද්‍යාලෙදිත් අතහැරියේ නැහැ.
 
ඊට පස්සෙ “90 පරපුරේ” වැඩ කරද්දි විවිධ උත්සව සංවිධානය කළා.
 
අන්තිමේදි 2005 අවුරුද්දෙ “ජනාධිපති සිනමා සම්මාන” උළෙලේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරමින් අනගි සම්මාන උළෙලක් පවත්වන්න පසුබිමේ විශාල වැඩ කොටසක් කළා වගේම 2004 “රයිගම් ටෙලි සම්මාන” උළෙලේ පිටපත හා ප්‍රසංග කළමනාකරණයෙනුත් දායක වුණා.
 
පොඩිපහේ පංපෝරියක් ගැහුවෙ මගේ යෝජනා වලට පොඩි තල්ලුවක් ගන්නයි, මේකත් නොකරපු දෙයක් නෑනෙ කියල හිතල එක පාරටම ඉවත නොදාන්නයි.
 
මුලින්ම  2016 සම්මාන ලිස්ට් එකේ මෙන්න මේ මාතෘකාවල මට පේන අවුල් මෙන්න:
සාහිත්‍ය කළා විචාර – ‘කළා’ යන්න ‘කලා’ විය යුතුයි. කළා කියන්නෙ කෙරුව කියන අර්ථය. භාෂාවත් නිවැරුදිව ලියන එක හොඳයි නේද?
සංචාරක හා ඡායාරුප- මේක එක category යකට දාන එක හොඳද? “සංචාරක සටහන්” හා “ඡායාරූප” කියල දෙකක් ආවොත් නරකද? කැමැත්තක්. ඡායාරුප නොවෙයි ඡායාරූප හො‍ඳේ.
සඳැස් / නිසඳැස්- සඳැස්, නිසඳැස් කියන එක “කාව්‍ය නිර්මාණ” කිව්වොත් වඩාත් අගෙයි. කාව්‍ය නිර්මාණ ඇතුළෙ ඔය දෙකම තියෙන නිසා. ආයෙ මොටද සඳැස්, නිසඳැස් බෙදීමක්.
 
තැගි එක්ක අමාරුවෙන් හරි සල්ලි ටිකකුත් දෙන්න පුළුවන් වුණ එක හොඳයි. හැබැයි ඔය දෙනව කියන 5000 මුදල හොඳම එකට ගෙඩි පිටින් පුදන්නෙ නැතිව 1,2,3 ට බෙදල දුන්නොත් නරකද? 3000, 2000,1000 වගේ වෙන්න. ගමං වියදම්වත් ෂේප් වෙන්නෙ නැතැයි.
 
දැං ඔන්න 2015 සම්මාන උළෙලෙන් ගත යුතු පාඩම් හා මගේ නිර්දේශ.
පිළිගන්න නොගන්න එක නෙළුම්යාය සංවිධායක මණ්ඩලේ වැඩක්. කුණුකූඩෙට දැම්මත් ලියන එක මගේ වැඩක්. අනෙක් බ්ලොග් ලියන්නොත් තම තමන්ගෙ අදහස් කියනව නං ඒක වැඩේ හොඳින් කරන්න අනුබලයක් වේවි.
 
1. ප්‍රධාන අමුත්තන් හැටියට දේශපාලුවන් ගේන එක මේ පාරවත් නවතමුද? අපි ඉතිහාසය පුරාම ඔය වැරැද්ද විවිධ මට්ටමින් කරනව. ඊට වඩා සමාජය පිළිගත් විද්වතෙක් හරි සම්මානිත පුද්ගලයෙක් හරි ගෙන්නුවොත් අගෙත් වැඩියි. උළෙලට ආලෝකයක් ලැබෙයි. කල්ලිවාද, පාට කණ්නාඩිවලින් බලනවත් අඩුයි. හිරිකිතයක් නැතිව උත්සව ශාලාවෙ ආඩම්බරෙන් ඉඳගෙන ඉන්නත් පුළුවන් වෙයි.
 
2. උළෙලේ අංග නම් හොඳ දැනුමකින් තෝර ගන්න වෙනව. ඒවා වඩාත් නිර්මාණශීලී වගේම උළෙලට ගැලපෙන අංග විය යුතුයි. මොන්ටිසෝරි ගොංපාට් වලින් මෙච්චර මහන්සි වෙලා කරන උත්සවේ අගේ හෑල්ලු කරන්න නරකයි.
 
3. උළෙලේ ප්‍රාසාංගික බව වඩාත් ඔප්නැංවෙනු වස් පළපුරුදු ඉදිරිපත් කරන්නන් හා කරන්නියන් තෝරා ගැනිම වැදගත්. නැත්නං සුන්දර සන්ධ්‍යාවක් ඕලාරික වෙලා යාවි.
 
4. කැමැති අයට තම නිර්මාණ ඉදිරිපත් කරන්න කියල යෝජනා කරන ගමන්ම එසේ ඉදිරිපත් නොකරන හොඳ නිර්මාණ තෝරා යෝජනා කරන්න කමිටුවක් පත් කිරීම වැදගත්. මොකද හැම බ්ලොග් රචකයෙක්ම පැනල තමන්ගෙ ලියවිලි ඉදිරිපත් නොකරන බව දන්නව. 
 
5. බ්ලොග් 5ක් නිර්දේශ කරල එයින් කෙනෙක් ඉවත් වුණොත් ඒ වෙනුවට ඊළඟට ලිස්ට් එකේ ඉන්න කෙනා උඩට ගන්නව නං හොඳයි. අවසාන 3 විනිශ්චය කරන්න ඕනෙ නිර්දේශිත 5 කින්.
 
6. අවසන් වටයට ගන්නෙ 5ක් නිසා ගියපාර වගේ ඊට වැඩි ගණනක් නිර්දේශ කරල පසුව කපල දැම්මම වැරැදි අවබෝධ ඇති වෙන්න පුළුවනි. (ගිය වතාවෙ “නොකීකතා”ට වුණා වගේ.)
 
7. තාක්ෂණය මෙච්චර දියුණු ක‍ලෙක 2016 සම්මාන උළෙල සජීවීව අපහසු නම් වීඩියෝ පටිගත කොට පසුව හෝ අන්තර්ජාලයට මුදාහැරීම පැමිණි නොපැමිණි හැමෝටම සිහිවටන වේවි.
 
8. පොදුවේ බ්ලොග් රචකයින්ගේ දක්ෂතා අගයන අවස්ථාව වෙනත් ජනමාධ්‍යද කල් තබා දැනුම්වත් කොට නිසි ප්‍රචාරයක් ලබා දීම බ්ලොග්කරුවන්ගේ හිතසුව පිණිස පමණක් නොව බ්ලොග් යනු කුමක්දැයිවත් කියවා පමණක් නොව අසාවත් නැති පිරිසක් අතරට ගෙනයාමේ උපක්‍රමයක් වනු ඇත.
 
9. සම්මාන විනිශ්චය මණ්ඩලය වඩාත් පාරදෘශ්‍ය බවින් යුතු, බ්ලොග්කරණයේ නොයෙදෙන විද්වතුන්ගෙන් සමන්විත වීම වැදගත්.
 
දැනට එපමණයි. අවශ්‍ය වුණොත් තවත් මතක් වෙන දේවල් පස්සට කියන්නම්.
 
ආ…එක කාරණයක් අවධාරණයෙන්ම කියන්න ඕනෙ.
“නොකීකතා” බ්ලොග්  සම්මාන තරඟ සඳහා ඉදිරිපත් වෙන්නෙ නැහැ. 
ඒ නිසා බොහොම ස්වාධීනව අදහස් දක්වන්න පුළුවනි. උළෙලට පෙර වගේම පසුවත්.

සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල