කෙටි කථා

වීරතන්ත්‍රී වලව්වේ EN එක

1

පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට දියසෙවෙල් බැඳුණු සිංහල උළු හෙවිල්ලපු වහලයකුත් ඒ වලව්වේ තියනවා.

තාප්පය සහ වලව්ව අතර තියෙන්නේ අලුත් අවුරුදු දවසට හිස්වෙච්චි බස් ස්ටෑන්ඩ් එක පුරා රතිඤ්ඤා කෑලි විසිරිලා තියනවා වගේ හැමතැනම වේලිච්ච කොළ විසිරිච්ච වත්තක්. ඒ අතරින් පතර අරියාදුවට ඇදපු ඉදල් පාරක ලකුණු තියනවා. රෑට රෑට වවුල්ලු ගෙනත් දාපු කොට්ටම්බා ගෙඩි නම් මොකක් හරි හේතුවකට එක තැනකට එකතු කරලා තියනවා දකින්න පුළුවන්. ඉඳලා හිටලා අහල පහළ ගහක ඉන්නෙද්දී කම්මැලි කමක් දැනුණු ලේනෙක් දූවලා ඇවිත් මේ කොට්ටම්බා ගෙඩියකට හොම්බෙන් ඇනලා දත නියවලා ඇඟ නටවලා ආපහු ගහට දුවනවා. වලව්වේ බල්ලා වෙන දන්ඩෝරියා (දඩෝරියා නෙමෙයි, ඌට කියන්නේ දන්ඩෝරියා කියලා) ඔය ලේන්නු දිහා බලලා තමයි දවල්ට සාංකාව මගඇර ගන්නේ. මොකද ඌව නටවන්න වලවුවේ කවුරුත් නෑ.

වීරතන්ත්‍රී මහත්තයා නැතිවුණේ හදිස්සියෙමයි. ඒ මීට අවුරුදු 3 කට විතර කලින්. වීරතන්ත්‍රී මහත්තයා එච්චර ගමේ වැඩ වලට හොම්බ ඔබන්න ආපු කෙනෙක් නෙමෙයි. එයා තමන්ගේ පාඩුවේ හිටියා. මරණෙකට මගුලකට දානෙකට කොටහළුවකට ආවා ගියා. මූණට මුලිච්චි වෙලා කවුරුහරි සම්මාදමක් ඉල්ලුවොත් සීයයි පන්සීයයි අතර මුදලක් දුන්නා, ආපහු කාර් එකට නැග්ගා, කාර් එකටත් නොදැනෙන්න වගේ දොර වහගත්තා, පාරටත් නොදැනෙන්න වගේ යන්න ගියා.

ගමේ ගොඩක් අය වීරතන්ත්‍රී මහත්තයා එනවා කියලා දැනගන්නේ කාර් එකේ ගීතවත් හඬ ඇහුණාමයි. වීරතන්ත්‍රී මහත්තයා පාවිච්චි කළේ EN නොම්මරේ තියන ෆොක්ස්වැගන් බීට්ල් එකක්. ෆොක්ස්වැගන් සහ මයිනර් අතර වෙනස නොදන්න (සහ ඒ ගැන තුත්තිරි ඇටයක් තරම්වත් තැකීමක් නොකරන) අය ඕක වෙලාවකට පොස්සගන් කියලත්, තවත් වෙලාවකට මයිනර් කියලත් හැඳින්නුවා. හැබැයි කාර් පිස්සුව තියන කොල්ලෝ කුරුට්ටෝ දැනගෙන හිටියා ඕක ෆොක්ස්වැගන් බීට්ල් එකක් බව. කොටින්ම කියනවා නම් ‘මරු ඉබ්බෙක්’ බව.

මනෝජ් කියන්නේ ගමේ හිටපු එහෙම කාර් පිස්සෙක්. මනෝජ් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔය බීට්ල් එකට ආසයි. අවුරුදු දා හතේදී විතර දවසක් වීරතන්ත්‍රී මහත්තයා පේන්න නැති වෙලාවක පාරේ නවත්තලා තිබ්බ බීට්ල් එක අතගගා ඉඳලා මනෝජ් අතටම මාට්ටු වුණා. නාරං ගහක් අස්සෙන් බට්ටිච්චෙක් මතුවුණා වගේ එකපාරටම වීරතන්ත්‍රී මහත්තයා මතුවුණාම මනෝජ්ට අල්ලපු රටවල දෙවිවරුත් සිහිවුණා.

“මොකක්ද ඕක අතගගා කරන්නේ…?”

වීරතන්ත්‍රී මහත්තයා ඇහුවේ නිවුණු හඬකින්. මනෝජ්ගේ බය යටකරගෙන එක එක ප්‍රශ්න හිතට නැගෙන්න ගත්තා. නමුත් ඒ ප්‍රශ්න එකක් වත් වචන කරගන්න කලින් වීරතන්ත්‍රී මහත්තයා කාර් එකට නැග්ගා. යතුරට අත තියලා, ආපහු අත අරගෙන, ඒ අත ස්ටියරින් වීල් එක උඩ තියාගෙන මනෝජ් දිහා බැලුවා.

“මම මේක ගත්තේ පනස් පහේ… පඩියෙන් සල්ලි ඉතුරු කරලා…”

වීරතන්ත්‍රී මහත්තයා හෙමින් සීරුවේ ආපහු යතුර කරකවලා වාහනේ ස්ටාට් කරගෙන අගෝස්තුවේ හුළඟක පාවෙන වරාමලක් වගේ පාවෙලා යන්න ගියා.

මනෝජ් ෆොක්ස්වැගන් ගැන හොයන්න ගත්තේ එදා ඉඳන්. එදා ෆොක්ස්වැගන් ගැන කිසි දෙයක් නොදැන ඔලුවේ තැන්පත් වුණු රූප සේරම අවුරුද්දක් විතර යද්දී අලුතින් අර්ථ දක්වන්න මනෝජ්ට පුළුවන් වුණා. එදාට පස්සේ සෑහෙන කාලයක් යනකල් මනෝජ්ට වීරතන්ත්‍රී මහත්තයාගේ බීට්ල් එක එච්චර ළඟට දකින්න ලැබුණේ නෑ. ඒත් ගමේ කාර් පිස්සෝ අතර ‘වීරතන්ත්‍රී බීට්ල් එක්ස්පර්ට්’ බවට පත්වෙන්න මනෝජ්ට පුළුවන් වුණා. කවුරුහරි ඇහුවම ‘මචං වීරතන්ත්‍රී ලොක්කගේ වාහනේ මොකක්ද?’ කියලා මනෝජ් කියාගෙන යනවා, ‘පනස් පහේ, ඕවල්, එන්ජිම එක්දාස් දෙසීය සීසී, දැන් අත් සිග්නල් නම් අයින් කරලා ඒ වෙනුවට පස්සේ මොඩ්ල් ටේල් ලයිට් සෙට් එකක් දාලා, තාම රිම් කප් ටික නියමෙට තියනවා, දකුණු පැත්තේ රනින් බෝඩ් එක පොඩ්ඩක් පාත් වෙලා, සයිඩ් කන්නාඩි දෙකත් ඔරිජිනල් නම් නෙමෙයි, හැබැයි දොර ලොක් බීඩින් වයිපර් ආම් එහෙම සේරම ඔරිජිනල්’ වගේ දේවල්. කොල්ලොත් ඉතිං අවාරේ අඹ ජූස් හම්බුණා වගේ තොලකට ලෙවකකා මේ විස්තර ටික ගිලිනවා. කොච්චර ඇහුවත් උන්ට එපා වෙන්නෙත් නෑ, කොච්චර කිව්වත් මනෝජ්ට එපා වෙන්නෙත් නෑ.

කොහොම වුණත් අවුරුදු දහ අට පිරුණට පස්සේ මනෝජ්ගේ කාර් පිස්සුව ටිකක් විතර යට ගියා. ඒකට හේතුව තමයි එයා IT පැත්තට යොමුවීම. IT ගැන මහා උනන්දුවක් මනෝජ් ගේ හිතේ තිබ්බේ නෑ, නමුත් උසස් පෙළ කළාට පස්සේ ඉක්මනින් හරිහමං වෘත්තීය පාඨමාලාවකට යොමුවෙන්න මනෝජ්ට ඕනෑකම තිබ්බා.

මනෝජ් ගේ තාත්තා නැතිවුණේ මනෝජ් පුංචි කාලේ. ඊට පස්සේ අම්මා රස්සාවක් කරන ගමන් මනෝජ්ව ලොකු මහත් කළා. දැන් නම් අම්මා කරන්නේ ගෙදර ඉඳන් ඇඳුම් මහන එක. ඉතිං අවුරුදු දහ අට වුණාට පස්සෙත් අම්මට බරක් වෙන්න කැමති නැති නිසා මනෝජ් යමක් කමක් හම්බ කරන්න පුළුවන් දෙයක් තමන්ගේ වෘත්තිය හැටියට තෝරගන්න තීරණය කළා. එතකොට තමයි මනෝජ් IT පැත්තට විසිවුණේ.

මුලින් ලොකු උනන්දුවක් නැති වුණාට Programming පාඨමාලාවක් කරන්න ගත්තට පස්සේ මනෝජ් ඒකට වශී වුණා. Programming කියන්නේ හැරී පොටර් චිත්‍රපටියක් වගේ දෙයක් කියලයි මනෝජ්ට පෙනුණේ. ඉස්සර හීනෙන් වත් නොහිතපු දේවල් කොම්පියුටරයක් ඉස්සරහා ඉඳගෙන කරන්න පුළුවන් වෙද්දී මනෝජ්ට ඉගෙනීමේ වෙහෙස දැනුණේ නැහැ. ඒ නිසා Programming වලට එහා දෙයක් ගැන වදවෙන්න මනෝජ්ට ඕන වුණෙත් නෑ. හැබැයි කෝකටත් කියලා මනෝජ් ඩ්‍රයිවින් ලයිසන් නම් ගත්තා.

ඔය අතරෙ අප්‍රේල් මාසේ කිට්ටුව බක්මහ අකුණක් දෙකක් ඩෝං ගාගෙන එනකොට ගමේ කොල්ලෝ ටික තීරණය කළා අවුරුදු උත්සවයක් තියන්න. සම්මාදමේ යනවා කියන්නේ ගෙවල්වල ඉන්න කෙල්ලන්ව බලන්න තියන චාන්ස් එකක් නිසා ඔය වැඩේට කොල්ලෝ එකතු කරගන්න එක නිකං මාළු කෑල්ලක් දෙන්න පූසෙක් හොයාගන්නවා වගේ ලේසි වැඩක්.

මනෝජ් ඇතුළු ගමේ කොල්ලො ටික ඔය සම්මාදම් සංචාරේ යන අතරේ අර හොල්මනක් එනකල් බලං ඉන්න අනාගත හොල්මං බංගලාවක් වගේ තියන වීරතන්ත්‍රී වලවුවටත් කොහොමෙන් කොහොම හරි ආවා. ජීවත් වෙලා ඉන්න කාලේ වීරතන්ත්‍රී මහත්තයා මේ වගේ දේවල්වලට සුළු මුදලක් වුණත් දුන්නු නිසා කොල්ලෝ ටික ගේට්ටුව වැටුණොත් බේරෙන්න පුළුවන් ගැප් එකක් තියාගෙන ගේට්ටුව ගාවට කිට්ටු වුණා.

සාමාන්‍යයෙන් වෙනදාට නම් වලවුවේ මිදුලේ කවුරුවත් පේන්න නැහැ. ඒ නිසා කට්ටිය ඒ පැත්තට මංගැච්චුවේ එච්චර බලාපොරොත්තුවකින් නෙමෙයි. නමුත් මොකක් හරි හේතුවකට එදා වීරතන්ත්‍රී නෝනා මිදුලේ ඉන්නවා කට්ටිය දැක්කා.ගේට්ටුවට ගහන්න බය නිසා කට්ටිය උගුර පාද පාද, හයියෙන් කතා කර කර, සද්දෙට කෝල් අරං, පාරේ බල්ලන්ට සැර දදා සහ අඳුරන්නේ නැති එවුන්ටත් මහා හයියෙන් හාල්ල්ල්ල්ල්ලෝ මච්ච්ච්ච්ච්චාං කියකිය ගේට්ටුව ළඟ පැය කාලක් විතර හිටියට පස්සේ වීරතන්ත්‍රී නෝනා මේ කට්ටියව දැක්කා. ඊට පස්සේ කට්ටිය ගමේදී ඊට කලින් දැකලා නොතිබ්බ කුලී කාරයෙක් වගේ මනුස්සයෙක් ‘මොන වදයක්ද’ මූණක් දාගෙන ඇවිත් ගේට්ටුව ඇරියා.

සාමාන්‍යයෙන් ගමේදී තමන් මාර පොරවල් කියලා හිතාගෙන ඉන්න මේ කොල්ලෝ රැල වීරතන්ත්‍රී නෝනා ඉන්න තැනට ඇවිදගෙන ගියේ අඩි විස්සේ පාරක රිවස් කරන ලේලන්ඩ් බස් එකක් වගේ ස්ලෝ එකේ. එකෙක් දෙන්නෙක් පිටිපස්සේ ඉඳන් ‘යමු බං යන්න’ කියකියා කෙඳිරි ගානවා. වීරතන්ත්‍රී නෝනා කියන්නේ එහෙමට සැර පාටක් තිබුණු මනුස්සයෙක් නොවුණට දශක ගාණක් පරණ වලවුව, අක්කර ගාණක් පැතිරුණු වත්ත සහ තට්ටු ගාණක් බැඳුණු දියසෙවෙල් වගේ දසුන් හාත්පස විසිරිලා පැතිරිලා තිබුණු නිසා කට්ටිය හිටියේ අවුරුදු දා රෑ පළවෙනි රතිඤ්ඤාව ඇහිච්ච බලු පැටවු වගේ තිගැස්සිලා.

වීරතන්ත්‍රී නෝනා හිනාවකුත් නැති, තරහකුත් නැති මූණක් දාගෙන කට්ටිය දිහා බලාගෙන හිටියා. කොහොම හරි කට්ටියගෙන් එක්කෙනෙක් කොලු දහිරිය ටිකක් උඩු හිතට පොම්ප කරගෙන කට ඇරියා.

“අපි මේ අවුරුදු උත්සවයකට ආධාර එකතු කරනවා…”

කොල්ලා ඒ ටික කියනවත් එක්කම තමයි මනෝජ් වත්තේ පැත්තක ඇරලා දාලා තිබ්බ වලවුවේ ගරාජ් එක දැක්කේ. ඒක තිබුණු විදිහට නම් ඒකෙ දොර ඇරලා තියෙන්නෙත් අවුරුද්දකට විස්තර පස්සේ කියලා පැහැදිලියි. මොන මොනවදෝ කෑන් වගයක් ඉස්සරහින්ම ගොඩගහලා තිබ්බා. ඊට පිටිපස්සෙන් තිබ්බේ වේවැල් කැඩිච්ච, කැටයම් වැටිච්ච, බාගෙට දිරච්ච හාන්සි පුටුවක්. දකුණු පැත්තේ බිත්තියට හේත්තු වෙලා ටයර් එකක් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දිරපු රිම් දෙකක් විතර සංසාරේ හැටි කියාගෙන වේයන්ට හෝ කූඹින්ට වාසස්ථාන වෙලා. ඒ මදිවට ඒවට උඩින් වීල්බැරෝ එකක් මුනින් අතට බුදිකොරෝලා තිබ්බා.

මේ ඔක්කොටම එහායින්, මනුස්ස ලෝකේ සියලු කරදර කලබල වලින් එහාට වෙලා, අවුරුදු තුනක දූවිලි තට්ටුවක් නිස්සද්දව පොරෝගෙන, සමහර විට ආයේ කවදාවත් අවදි නොවෙන දිග නින්දකට වැටිලා වීරතන්ත්‍රී මහත්තයගේ බීට්ල් එක ඉන්නවා මනෝජ් දැක්කා.

එතනින් එහාට කොල්ලෝ කතා කරපු දේවල් වත්, වීරතන්ත්‍රී නෝනා ඒවට දීපු උත්තර වත් මනෝජ්ට ඇහුණේ නෑ.

කොල්ලෝ ටික ‘යමු මචං’ කියලා කතාකරද්දීත් මනෝජ්ට තමන් ඉන්නේ කොහෙද කියලා නිච්චියක් තිබ්බේ නෑ. එකපාරටම කොහෙන් කටට ආවද කියලා දන්නේ නැති වචන දෙක තුනක් කටේ තියාගෙන මනෝජ් වීරතන්ත්‍රී නෝනා දිහාට හැරිලා කට ඇරියා.

“ඇන්ටි බීට්ල් එක දෙනවද?”

කොල්ලෝ ටික කරන්ට් එක වැදුණා වගේ එහාට පැන්නේ නිකං ‘මූ අපිත් එක්ක ආවේ නෑ නෝනා, මූ පිස්සෙක්’ කියන්නා වාගේ මූණු ටිකක් හදාගෙන. වීරතන්ත්‍රී නෝනා කළු වෙලා ගියා. එයාගේ තොල් දෙක එකට තදවුණේ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටිවල ගල් දොරවල් වැහිලා සීල් වෙනවා වගේ. එයා එකපාරටම හැරිලා ආපහු වලවුව පැත්තට ගියා. කොටින්ම මෙච්චර වෙලා කොල්ලන්ගේ කතාව ඇහෙන මානේ තමන්ගේ වැඩක් කරගෙන හිටපු කුලීකාරයා පවා මනෝජ්ට ගහන්න වගේ බැලුවා. කොල්ලෝ ටික ෂේප් එකේ මනෝජ්වත් ඇදගෙන වත්තෙන් එළියට ආවා.

එදා තමයි මනෝජ් ජීවිතේ වැඩිම කුණුහබ්බ ප්‍රමාණයක් අහගත්තෙ. කොල්ලෝ මනෝජ්ට බැන්නේ තාම සිංහල ව්‍යවහාරේට බිහිවෙලාවත් නොතිබුණු ටෞකණ්ඩ හරුප වලින්…

මේ යාළුවෝ අතරින් එක පොළොස් කොට්ටෝරු යාළුවෙක් පියාඹලා පියාඹලා ගිහිං මනෝජ්ගේ ගෙදර දොරටත් කොටලා තිබ්බා. එදා මනෝජ් අම්මගෙන් අහගත්තෙ ලුණු ඇඹුල් විතරක් නෙමෙයි ගරම් මසාලාත් එක්ක.

“මම තාත්තා නැතිවුණාට පස්සේ කතාවක් අහන්නේ නැතුව උඹව හැදුවා. පුළුවන් නම් අර අහිංසක මනුස්සයට පපුවේ අමාරුවක් හදවලා ගමෙනුත් යන්න වැඩක් කරගනිං…”

අම්මා බැණුම් සංගීතේ අවසන් කළේ අන්න ඒ ඩ්‍රම් පාර ගහලා. තමන්ගේ කාර් පිස්සුව දිවියාම කෑවා තමා කියලා මනෝජ් දැනගත්තා.

වැඩේ වැඩිපුර චාටර් වෙන්න ඉඩක් නොතියා කොහාටත් කලින් අලුත් අවුරුද්ද ආවා (දැන් කොහා එන්නේ අවුරුද්ද ගිහිං අවුරුද්දකට විතර පස්සේ). අවුරුදු උත්සවේ කොච්චර නැගලා ගියාද කියනවා නං පළාතේ ආණ්ඩු පක්ෂේ ආසන සංවිධායක විතරක් නෙමෙයි අල්ලපු ගමේ ඉඳලා පළාත් සභාවට ගිය මන්ත්‍රී තුමෙකුත් ඇවිල්ලා වැලක එල්ලපු බනිස් ගෙඩියක් කාලා කතාවක් පවත්තලා රට ජාතිය බේරගන්න පොරොන්දු වෙලා යන්න ගියා.

කඹ ඇදිල්ල තිබ්බේ උත්සවේ අන්තිම හරියට වෙන්න. ඉතුරු වෙලා හිටපු එවුන් ටික දෙකට බෙදලා බලද්දී ආවෙ ඔත්තේ ගානක්. මනෝජ් මහන්සි වෙලා හිටපු නිසා කඹ අදිල්ලට ගියේ නෑ. තව එකෙක් හොයාගන්න කියලා කට්ටිය වටපිට බලද්දී ජීවිතේට දැකලා නැති වගේ හාදයෙක් මනෝජ් ළඟට ආවා. ඇවිල්ලා අව් කන්නාඩි දෙකක් මනෝජ් දිහාට දික්කරලා බොහොම ආචාරශීලීව මෙහෙම කිවුවා.

“මල්ලි, තරහ නැතුව පොඩ්ඩක් මේක තියාගන්නවද? මම මේකට යන්නම්.”

මනෝජ් කතාවක් නැතුව අව් කන්නාඩි දෙක ගත්තා. අර හාදයා හෙමින් සීරුවේ කඹ අදින්න ගියා. කඹේ යාන්තං හෙල්ලීගෙන එනකොටම තමයි ඉර කපපු බයික් කාරයෙක් දැක්ක ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් පාරට පනින තරම් වේගෙන් මනෝජ් ඔළුවට මතකයක් කඩාපැන්නේ.

“වීරතන්ත්‍රී මහත්තයගේ පුතා රට ඉඳන් ඇවිත්…!!!”

වීරතන්ත්‍රී මහත්තයගේ පුතා කියන්නේ වැඩිය ගමට හුරු මූණක් නෙමෙයි. මිනිහා ඉගෙනගත්තේ රෝයල් එකේ හොස්ටල් එකේ ඉඳන්. කැම්පස් ගියේ කැළණිය පැත්තේ නෑදෑ ගෙදරක ඉඳන්. රස්සාව කළේ එංගලන්තේ එඩින්බරා වල ඉඳන්. ඒ නිසා ගමේ අය දන්නේ වීරතන්ත්‍රී මහත්තයට පුතෙක් හිටියා, මිනිහා ගොඩ ගියා කියලා විතරයි. මිනිහගේ මුහුණවර වීරතන්ත්‍රී මහත්තයා වගේම නිසා ගමේ අය ගමේදී දැක්කම මිනිහව අඳුරනවා. එච්චරයි.

මනෝජ් කවදාවත් වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා එක්ක කතා කරලා තිබ්බේ නෑ. හැබැයි එයා කවුද කියලා මීටර් වෙච්චි ගමන් මනෝජ්ට ටික දවසකට කලින් අහගත්තු පාලි සඟිස්කුරුත සහ ගරම් මසාලා සේරම අමතක වුණා.

කඹ ඇදලා ඉවර වුණාට පස්සේ වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා වැඩි වෙලාවක් රැඳෙන පාටක් පෙන්නුවේ නෑ. මනොජ්ගෙන් ආපහු අව් කන්නාඩි දෙක ඉල්ලගෙන, කීප දෙනෙක් එක්ක හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා, පැත්තක තිබ්බ මේසේ ගාවට ගිහිං කැවුම් ගෙඩියකුත් කටට දෙකට කාලා මිනිහා යන්න පිටත් වුණා.

බිත්තියේ වහපු මැස්සෙක් දිහා බලාගෙන ඔන්න පැන්නා මෙන්න පැන්නා මූඩ් එකේ ඉන්න හූනෙක් වගේ මනෝජ් හිටියේ අර මනුස්සයා දිහා බලාගෙනමයි. එයා යන්න හදනවා වගේ දැනුණු ගමන් මනෝජ් ට්‍රැෆික් එකේ අඟල් දෙකක ඉඩක් දැක්ක ත්‍රීවීල් මල්ලි කෙනෙක් වගේ සුටුෂ් ගාලා අර හාදයා ගාවට දිව්වා.

“ආ මල්ලි..”

වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා මනෝජ් දිහා බලලා හිනාවකින් එහෙම කිවුවේ වැඩිය දිග සංවාදයක් ඇදගන්න බලාගෙන නෙමෙයි. ඒත් අතට හම්බෙච්චි රට අල ගෙඩිය ආපහු වලට දාන්න කැමැත්තක් මනෝජ් ගේ හිතේ තිබ්බේ නැහැ.

“අයියගේ නම මොකක්ද?”

මනෝජ් ඇහුවේ මාළුවෙක් අරගෙනම යන්න බලාගෙන ගඟට කිට්ටුම අත්තේ වහන පෙරේත පිළිහුඩුවෙක් වගේ.

“මම නවින්ද…”

“අයියා එංගලන්තෙලු නේද ඉන්නේ?”

“ඔවු මල්ලි, අවුරුද්දට පොඩ්ඩක් ලංකාවට ඇවිත් යන්න ආවා.”

“අයියා කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවද?”

“සති එකහමාරක් වගේ තමයි.”

“අයියා එහෙ මොනවාද කරන්නේ?”

“මම එකවුන්ටන්ට් කෙනෙක්…”

“එහෙ පරණ කාර් තියනවද අයියේ? ෆොක්ස්වැගන්, මයිනර් එහෙම?”

නවින්ද එකපාරටම මනෝජ් දිහා බැලුවා. එයාගේ කටට ආවේ නෝන්ඩි හිනාවක්.

“ආ… ඔයාද අර සම්මාදමේ ඇවිල්ලා කාර් එක ඉල්ලපු බටු ඇටේ?”

මනෝජ් ට පුළුවන් වුණා නම් හා හා හරි හාවා වගේ ගුලකට රිංගලා පියන වහගන්නවා. මනෝජ් ගේ මූණ ත්‍රීවීල් පේන්ට් එකක් ගැහුවා වගේ රතුපාට වුණා. නවින්ද කින්ඩි හිනාව මූණේ තියෙද්දීම මනෝජ් දිහා හොඳට බලාගෙන මෙහෙම කිවුවා.

“හෙට උදේ මම ගෙදර. වෙලාවක් දාගෙන දහයට විතර ඇවිත් යන්න එන්න…”

එහෙම කියලා නවින්ද එයා කුලියට ගත්තු ටොයෝටා ඇක්වා එකේ නැගලා යන්න ගියා. ලැජ්ජාව යට කරගෙන මනෝජ් ගේ හිත යටින් අර වීරතන්ත්‍රී මහත්තයාගේ බීට්ල් එකේ එන්ජිමෙන් එන භාරතීය රාගයක් වගේ සංගීතය නැගෙන්න පටන් ගත්තා.

නවින්දත් එක්ක ගිය සංවාදේ සහ හෙට නවින්දව හම්බවෙන්න වීරතන්ත්‍රී වලවුවට යන බව මනෝජ් ගෙදර ගිහිං අම්මට කිව්වේ නෑ. රෑ එළිවෙනකල් මනෝජ්ගේ ඔළුවේ සිතිවිලි වැඩ කළේ නර්බර්ග්රිං එකේ දුවන බුගාටි වේරොන් එකක් තරම් වේගෙන්. කෝස් එක කරන්න ගිය දාට පහුවෙනිදා සුජානිව දැක්ක දවසේ වත් මනෝජ්ගේ හිත ඒ තරම් නොහීලෑ වෙලා නෑ…

පහුවෙනිදා උදේ මූණකට හේදුවද, තේක බිවුවද, කෑවද වගේ කිසි දෙයක් මනෝජ්ට මතකයක් තිබ්බේ නෑ. එයා දහය වෙනකල් ඔහේ ඉන්නං වාලේ ඉඳලා දහයට පහක් තියෙද්දී එළියට බහින්න හැදුවා. එතකොට අම්මා කොහේදෝ ඉඳලා මනෝජ් ළඟට ආවා.

“අද හොරගල් අහුලන විදිහ මට එච්චර ඇල්ලුවේ නෑ. ගිහිං කතා අහන වැඩක් කරගෙන එනවා එහෙම නෙමෙයි.”

සමහර විට අම්මා හිතන්න ඇති මනෝජ් ගමේ කෙල්ලෙක් එක්ක පැටලිලා කියලා. සුජානි එක්ක තියන ගස් වටේ, කනු වටේ දිවිල්ල තාම සීරියස් දෙයක් කියලා හිතෙන්නේ නැති නිසා සහ ඕවා කියලා ගෙදරින් ගුටිකන්න බැරි නිසා මනෝජ් ඒ ගැන ගෙදරදී කෙළ බිඳක් හලලත් නෑ. ඒ නිසා මනෝජ් මොකුත් නොකියා අහසට නොදැනෙන්න පාවෙන වළාකුලක් වගේ පොළොවට නොදැනෙන්න ගෙදර වත්තෙන් එහාට මාරු වුණා.

මනෝජ් වීරත්න්ත්‍රී වලවුව ළඟට ගියේ පළවෙනි වතාවට හොරපොල් කඩන්න යන මිනිහෙක් වගේ ගහක් කොලක් දිහා වත් බලන්නේ නැතුව බිම බලාගෙනමයි. ගේට්ටුව ළඟට යනකොටම මනෝජ් දැක්කා නවින්ද මිදුලේ ඉන්නවා.

මනෝජ්ව දැක්කා විතරයි නවින්දට බකස් ගාලා හිනා ගියා. වෙලාව හරියටම දහයයි. ටෙලිකොම් එකට හරි ජාතික රූපවාහිනියට හරි කෝල් එකක් දීලා ඇහුවත් වෙලාව දහයයි කියයි. ඒ කියන්නේ දහයම දහයයි. නවින්ද ගේට්ටුව ඇරලා මනෝජ්ව ඇතුළට ගත්තා.

“මෙන්න නියම වෙලාවට වැඩකරන ශ්‍රී ලාංකිකයෙක්.” නවින්ද හිනාවෙන ගමන් කිවුවා. නමුත් ලැජ්ජාවක් හිතෙන්න ඉඩක් මනෝජ්ගේ හිතේ තිබ්බේ නෑ. කොළඹ ඔෆිස් ඇරෙන වෙලාවට මතුගම යන බස් එකක් තරමට මනෝජ්ගේ හිත මාරු කාසියක් ගහන්න ඉඩක් නැති තරමට එක එක සිතිවිලි වලින් පිරිලා.

නවින්ද මනෝජ්ව වලවුවේ ඇතුළට එක්කගෙන ගියා. කොහේ හරි ඉඳලා වීරත්න්ත්‍රී නෝනත් ආවා. ඒ පාර නම් මනෝජ්ට පොඩි බයක් ආවත් වීරත්න්ත්‍රී නෝනාගේ මූණේ කේන්තියක් තිබ්බේ නෑ. නවින්ද මනෝජ්ට ඉඳගන්න කියල කිවුවා. මනෝජ් මල් කැටයම් දාපු වේවැල් පුටුවක ඉඳගත්තා. දන්ඩෝරියාත් ඇවිත් පවුලේ සාමාජිකයෙක් විදිහට වගකීම්සහගතව පැත්තකින් ඉඳගත්තා. නවින්ද වහෙන් ඔරෝ නැතුව කෙළින්ම ප්‍රශ්නෙ ඇහුවා.

“ඔයා බීට්ල් වලට ආසද?”

සිතිවිලි වැඩකරන වේගෙට මනෝජ් ගැහෙනවා.

“ඔවු අයියේ…!”

“කොහොමද ඔය ආසාව ඇතිවුණේ?” නවින්ද අහන්නේ සීරියස් හඬින්.

“මේ වලවුවේ බීට්ල් එක දැකලා තමයි.”

“අපේ තාත්තා එක්ක කතා කරලා තියනවද?”

“එක දවසක් මගදී හම්බවෙලා වීරත්න්ත්‍රී මහත්තයා මට කිවුවා මේක ගත්තේ පනස් පහේ පඩියෙන් එකතු කරපු සල්ලි වලින් කියලා.”

වීරතන්ත්‍රී නෝනා එකපාරට ඊතලයක් වාගේ ඇහැට ආපු කඳුලක් හංගන්න අහක බලාගත්තා. නවින්ද එයා දිහා බලලා ආපහු මනෝජ් දිහා බැලුවා.

“ඔයාට දැන් බීට්ල් එකක් ගන්න ආසද?”

මනෝජ්ට එකපාරට හෙනයක් ගහනවා වගේ මතක් වුණා, වාහනයක් ගන්න තමන් අතේ සල්ලි නෑ නේද කියලා. ඒත් තමන්ම කපාගෙන තමන්ම බැහැලා තමන්ම නාමින් ඉන්න මේ මඩවලෙන් ගොඩ එන්න ක්‍රමයක් මනෝජ්ට ඒ වෙලාවේ පෙනුණේ නැහැ.

“ඔවු අයියේ..”

නවින්ද ටිකක් වෙලා කල්පනා කළා. ඊට පස්සේ බොහොම ගැඹුරු හඬකින් මෙහෙම කිව්වා.

“මල්ලි අපේ තාත්තා පාවිච්චි කරපු බීට්ල් එක නම් ඔයාට දෙන්න විදිහක් නෑ. ඒ වාහනේ තමයි තාත්තා ඉස්සරලාම අම්මව බලන්න ඇවිත් තියෙන්නෙත්. ඒ වාහනේම තමයි මේ දෙන්නා කසාද බැඳලා ඇවිත් තියෙන්නෙත්. මම ඉපදුණාම ගෙදරට එක්කන් ඇවිත් තියෙන්නෙත් ඒ වාහනේ. මම ඉස්සරලාම කැම්පස් එකට ගියෙත් මේකේ. කොටින්ම ඉස්සරලාම එංගලන්තේ යන්න එයාපෝට් ගියෙත් මේකේ. ඒ නිසා මේක නම් දෙන්න විදිහක් නෑ. හැබැයි මගේ යාළුවෙක් ගාව 5 ශ්‍රී බීට්ල් එකක් තියනවා අඩුවට. මම ඔයාට ඒකෙ ෆොටෝස් ටිකක් පෙන්නන්නම්.”

නවින්ද මනෝජ් ළඟට ඇවිත් එයාගේ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වගයක් පෙන්නන්න ගත්තා. ඒ අතරේ වලවුවේ වැඩකරන කෙනෙක් එවිත් තේකක් තියලා යනවා මනෝජ් ලාවට දැක්කා. අර ෆොටෝ වල තිබුණේ අපූරු ලා රතුපාට 5 ශ්‍රී බීට්ල් එකක්. හැබැයි ඒක ඔරිජිනල් පාට නෙමෙයි කියලා මනෝජ්ට තේරුණා. 1300 බීට්ල් එකක්, හැබැයි කනේ මයිල් නෙමෙයි. ඒකෙ ඔරිජිනල් වීල් තිබ්බේ, හැබැයි කප් ටික තිබ්බේ නෑ. බෆර් දෙක ටිකක් මලකඩ කාලා, ඒ වගේම පැසෙන්ජර්ගේ පැත්තේ සයිඩ් කන්නාඩිය තිබ්බෙත් නෑ. හැබැයි කාර් එක බොහොම සොලිඩ්. කවුරුත් ඒක ‘මොඩිෆයි’ කරන්න ට්‍රයි කරලා තිබ්බේ නැති බව මනෝජ්ට තේරුණා. නවින්ද කියපු ගානේ හැටියට කාර් එක ඉතාම වටිනවා.

මනෝජ් දිග සුසුමක් පිටකළා. තමන්ගේ හිතට දැනෙන්නේ මොනවාද කියලා එයාට තේරුණේ නෑ. නොදන්න පැත්තකට ගියාම නොදන්න ගහකොළ අස්සේ නොදන්න කෘමි සත්තු පේන්න ගන්නවා වගේ තමන්ගේම හිත දැන් තමන්ටම නුහුරු තැනක් වෙලා, තමන්ගේම සිතිවිලි තමන්ටම ආගන්තුක වෙලා කියලා මනෝජ්ට හිතුණා. ඒ නිසා හිතත් එක්ක තර්ක කරන්න යන්නේ නැතුව, සිතිවිලි වලට අවශ්‍ය දේ වචන වෙන්න මනෝජ් ඉඩ ඇරියා.

“එපා අයියේ. මට 5 ශ්‍රී එක එපා. මේ වලවුවේ කාර් එකේ වටිනාකම මට තේරෙනවා. නමුත් අයියා කවදාවත් ඕක හදන්නේ නෑ. අයියා ලංකාවේ නෑ නේ. ඉතිං මේ කාර් එක මෙතන දිරදිරා යයි. වීරත්න්ත්‍රී මහත්තයගෙයි නෝනාගෙයි ජීවිත වගේම ගමේ අපේ ජීවිතත් එක්ක මේ තරමට සමීප කාර් එකක් මෙහෙම දිරන එක අපරාදේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මට කාර් එක නොදුන්නට කමක් නැහැ, ඒත් හදලා බලාගන්න කෙනෙකුට මේ කාර් එක දෙන්න.”

එහෙම කියලා මනෝජ් නැගිට්ටා. වීරත්න්ත්‍රී නෝනාගේ මූණ මහා කුණාටුවකට පාරමී පුරාගෙන වැහි වලාකුළු තට්ටු තට්ටු ගොඩගහපු අහසක් වගේ අඳුරු වෙලා තිබ්බා. ඒ මූණ බලන්න බැරි තරම් දැවැන්ත පසුතැවිල්ලක් මනෝජ්ගේ හිතට නැගුණා. ඒ නිසා මනෝජ් නවින්දටත් නොකියා, තේ එකවත් නොබී එළියට බැහැලා යන්න ගියා.

ගෙදර ආවට පස්සේ තවත් අම්මට බොරු කියන්න මනෝජ්ට හිත දුන්නේ නෑ. ඒ නිසා මනෝජ් අම්මට ඇත්ත කතාව කිවුවා. මනෝජ් හෙමින් හෙමින් තමන්ගේ කාර් පිස්සුව විස්තර කරද්දී, වීරත්න්ත්‍රී මහත්තයාගේ බීට්ල් එක ගැන විස්තර කරද්දී, නවින්ද හම්බවීම විස්තර කරද්දී සහ වලවුවට ගිය ගමන විස්තර කරද්දී කාර් පිස්සුව ගැන මෙලෝ හසරක් නොදන්න නවින්දගේ අම්මා කඳුළු පුරෝගෙන අහගෙන හිටියා. අන්තිමට එයා වචන දෙක තුනක් ගැටහගත්තා.

“ඕවා ගන්න අපට කොහෙන්ද පුතේ සල්ලි?”

අම්ම මහලා හම්බ කරපු සේසතම programming කෝස් එක කරන්න යටකරන්න සිද්ධ වුණු බව මනෝජ්ට මතක් වුණේ එතකොටයි. දාහක් දුක්විඳලා තමන්ව හදපු අම්මව නොතකා හැරියා වගේ මහා දැවැන්ත වේදනාවකින් මනෝජ් ගෙදරින් එළියට බැස්සා. කාත් කවුරුවත් නැති තැනකට ගිහිං ඔහේ බලාගත්තු අතේ බලාගෙන පැය ගාණක් හිටියා.

මනෝජ් ආපහු ගෙදරට එනකොට හැන්දෑ වෙලා. මොකක් හරි හේතුවක් නිසා අම්මා මනෝජ් එනකල්ම නොහෙල්ලී බලාගෙන ඉන්නවා කියලා මනෝජ්ට හිතුණා. ගෙට ගොඩවෙනකොට අම්මගේ මූණේ තරහක් වත් දුකක් වත් තියනවා මනෝජ් දැක්කේ නෑ. ඒ වෙනුවට මීට කලින් දැකලා පුරුදු නැති හැඟීමක් අම්මගේ මූණේ ලියවිලා තිබුණා.

“මම ඔයාගේ යාළුවෙකුත් යවලා හෙවුවා, ඔයාව හොයාගන්න බැරිවුණා.”

“ඇයි අම්මේ…?”

“ගෙදරට පණිවිඩයක් ආවා…” අම්මා කිවුවේ බොහොම ලා හිනාවක් ඇඳගෙන. ඒ හිනාව අමාරුවෙන් ඇඳගත්තු එකක් කියලා මනෝජ්ට හිතුණා.

“කොහෙන්ද..?”

“වීරත්න්ත්‍රී වලවුවෙන්…”

මනෝජ් නුවරඑළියේ සෙල්සියස් අංශක රින විස්සේ සීතලකට අහුවෙච්චි පිනි බින්දුවක් වගේ ගල්ගැහුණා.

“මොකක්ද පණිවිඩේ?”

“ඔයා ගත්තු ගමන් විකුණන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම් වීරත්න්ත්‍රී මහත්තයාගේ කාර් එක ඔයාට දෙන්නං ලු…”

මනෝජ් අම්මට නොදැනෙන්න හිත යටින් කෑ ගහලා තප්පර තුනක් හෝ හතරක් ඇඬුවා. ඊට පස්සේ කතා කළා.

“ඕව ගන්න අපට කොහෙන්ද අම්මේ සල්ලි… මම ගිහිං සොරි කියලා එන්නම් පස්සේ.”

එහෙම කියාගෙන මනෝජ් කාමරේට ගියා. ගිහිං දොරට පිටුපාලා ඇඳේ ඉඳගත්තා. දැන් අඬන්න ගත්තොත් ඒක ලැජ්ජාවක් කියලයි මනෝජ්ට හිතුණේ. නමුත් එයා හිටියේ හිතේ තියන බර ඔහේ හිතේම තියෙන්න අරින්න පුළුවන් තත්වෙක නෙමෙයි. මෙහෙම අතරමංවෙලා ඉන්නකොට අම්මා දොර ළඟට එනවා මනෝජ්ට ඇහුණා. ඒත් මනෝජ් හැරිලා බැලුවේ නෑ. වැඩි වෙලාවක් යන්න කලින් අම්මා කතා කළා.

“හෙට ගිහිං ගනුදෙනුව හරියට කතා කරගෙන එන්න. ඊට පස්සේ මම සල්ලි දෙන්නං.”

මනෝජ් කරන්ට් එක වැදුණා වගේ විසිවෙලා ගිහිං අම්මා දිහා බැලුවා.

“කොහෙන්ද සල්ලි අම්මේ…???”

“ඔයාගේ දේකට කවදාහරි ඕන වුණොත් කියලා මම ඉතුරු කරගෙන තිබ්බා. හෙට දවල් ලොකු අම්මත් එක්ක බැංකු ගිහිං මම සල්ලි ගේන්නං.”

අම්මා එහෙම කියාගෙන යන්න ගියා.

මනෝජ් තවත් රාත්‍රියක් නින්දක් නැතුව ගෙවලා දැම්මා…

පහුවදා උදේම මනෝජ් ඉස්සර වීරතන්ත්‍රී වලවුවේ බීට්ල් එක හදපු ගරාජ් එකේ බාසුන්නැහැ හොයන්න ගියා. එයා ඉස්සර කාර් මාර්ට් එකේ වැඩකරපු කෙනෙක් ලු. පරණ බීට්ල් හදන වයසක මිනිස්සුන්ට පුරුද්දක් හැටියට ‘කාර් මාර්ට් එකේ වැඩකරපු කෙනෙක්’ කියන සිරිතක් ලංකාවේ තියන නිසා මනෝජ් මේ කතාව ඇත්තද කියලා හොයන්න ගියේ නෑ.

වලවුවේ බීට්ල් එක දෙන්න කැමති වුණා කියපු ගමන් බාසුන්නැහැගේ කට පරණ හිල්මන් එකක ඩිකියක් ඇරුණා වගේ හායි ගාලා ඇරුණා. ඒ වගේම එයා මනෝජ් ඉන්නවා කියලා ගානක් වත් නැතුව ‘වෙන දෙන්න එකෙක් හිටියෙම නැද්ද දන්නේ නෑ’ කියලා කුනුකුනු ගෑවා. ඊට පස්සේ ටවර් හෝල් යුගයේ නාට්‍යයක විරහ යාදින්නක් කියනවා වගේ වීරතන්ත්‍රී වලවුවේ බීට්ල් එක හදන්න එයා ඉස්සර මහන්සි වුණු හැටි මුමුණන්න පටන් ගත්තා. ඒ අස්සේ අලුත් පරම්පරාවට සාප කළා. අලුතෙන් එන ස්පෙයා පාට්ස් වලට තිත්ත කතාවෙන් බැන්නා. ඇන්. ඇම්. ගැනයි මැතිනි ගැනයි මොනමොනවදෝ කිව්වා. වෙන එකක් තියා ගෙවල්වල හරක් හදන්නේ නැතුව කිරිපිටි බොන එකටත් බැන්නා.

මනෝජ් ගෙයක් හොයන ගේ කුරුල්ලෙක් වගේ ප්‍රතිචාර දක්වන්නෙත් නැතුව, ගරාජ් එකෙන් යන්නෙත් නැතුව බලාගෙන හිටියා. අන්තිමට බාසුන්නැහැ ‘යමු එහෙනං ඕක බලලා එන්න’ කියලා කිවුවා. එහෙම කියලා ආවුද ටිකකුයි, පරණ කෑන් එකකුයි ගත්තා. ඊට පස්සේ මනෝජ් බොහොම ගරුසරු ලීලාවෙන් බාසුන්නැහැ එක්ක වලවුවට පියමං කළා. වලවුවට යන්න කලින් කඩේකින් පෙට්‍රල් ලීටර් තුනකුත් අරගෙනමයි දෙන්නා ගියේ.

වීරත්න්ත්‍රී නෝනා පේන්නවත් හිටියේ නෑ. නවින්ද හිටියෙත් එච්චචර ප්‍රසන්න මූඩ් එකක නෙමෙයි. ගරාජ් එක අරින්නත් කලින් නවින්ද එකම ප්‍රශ්නෙ තුන් පාරක් මනෝජ්ගෙන් ඇහුවා.

“ඔයා මේක අරං අනික් පැත්තට විකුණන්නේ නෑ නේද?”

මනෝජ් දන්න ක්‍රම තුනකට දිවුරලා නෑ කිවුවා. අලුත් ක්‍රම හොයහොයා දිවුරන්න ලෑස්ති පිටමයි මනෝජ් ආවේ. නමුත් නවින්දගේ හිත ලේසියෙන් නැමෙන පාටක් නෑ.

“ස්ටාට් වුණොත් අරං යන්න. මම හෙට දිහාට ගිහිං ට්‍රාන්සර් පේපර්ස් ටික ගෙනත් තියන්නං. ස්ටාට් වුණේ නැත්තං තියලා යන්න. නිකං ගෙනිහිල්ලා වැඩක් නෑ නේ…!”

නවින්ද කිව්වේ හීරිච්ච සීඩී එකක් වගේ ඇදෙන හඬකින්. මනෝජ් උත්තර දෙන්න ගියේ නෑ.

බාසුන්නැහැ කිසි කතාවක් බහක් නැතුව එන්ජිම බැලුවා. වයර් එහාට මෙහාට කළා. ඩිස්ට්‍රිබියුටර් එක ළඟ මොනමොනවදෝ කළා. කාබ් එකේ මොනමොනවදෝ කළා. බැට්රි එකක් ඕනේ කියල කට්ටියට කල්පනා වුණේ එතකොට. ඇක්වා එකේ බැට්රිය දෙන්න නවින්ද ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා බාසුන්නැහැ මනෝජ්ගේ ෆෝන් එකෙන් ගරාජ් එකේ ගෝලයෙකුට කතා කරලා බැට්රියක් ගෙන්න ගත්තා. බැට්රිය සෙට් කළාට පස්සේ බාසුන්නැහැ නවින්දගෙන් යතුර ඉල්ලුවා. නවින්ද ගෙට ගිහිං එන්න ගතවුණු කාලය මනෝජ්ට දැනුණේ පැයක් වගේ. දන්ඩෝරියා හොම්බ බිම ඇනගෙන තමන් දිහා බලාගෙන ඉන්නේ බලු කේන්තියෙන් කියලා මනෝජ්ට හිතුණා.

අන්තිමට නවින්ද යතුරත් අරං මතුවුණා. ඔරිජිනල් VW මාක් එක තියන යතුර දැක්කම මනෝජ්ගේ හිත කිතිකැවුණේ හරියට ඩිස්නි සුරංගනාවක් මාල ගිරා පිහාට්ටක් අරං හිතේ ගෑවුවා වගේ. යතුර අතට ගත්තම බාසුන්නැහැගේ ඇහැට කඳුළු ආවද මංදා. උන්දෑ පය අද්ද අද්ද ගිහිං යතුර දාලා කාර් එක ස්ටාට් කළා.

එන්ජිම යාන්තං හෙල්ලිලා නතර වුණා.

ඔන්න එකතකොටයි කට්ටියට පෙට්‍රල් දාන්න මතක් වුණේ. ටැංකිය දිරලද, නැත්තං මලකඩ බැඳිලද කියලා ෂුවර් නැති නිසා කෑන් එක එළියේ තියලා බටයක් දාලා තමයි පෙට්‍රල් ලයින් එක දුන්නේ. ඊට පස්සේ බාසුන්නැහැ ආයේ පාරක් යතුර දාලා එන්ජිම ස්ටාට් කළා.

එන්ජිම ආයෙත් යන්තං හෙල්ලිලා නතර වුණා. මනෝජ්ගේ මූණ ටිකක් අඳුරු වුණා. නවින්දගේ මූණ ටිකක් එළිය වුණා.

බාසුන්නැහැ ආයෙත් යතුර දාලා, ටිකක් පැඩ්ල් කරලා ස්ටාට් කළා.

නින්දෙන් ඇහැරිච්ච බලු පුංචෙක් නැගිට්ට වෙලේ ඉඳන් සෙල්ලං කරන්න දඟලනවා වගේ ජවයක් මිටට අරගෙන එන්ජිම ස්රුං ස්රුං ස්රුං ස්ස්වීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ගාගෙන ස්ටාට් වුණා.

මනෝජ්ගේ මූණ ඉරකුයි හඳකුයි පායලා ෆ්ලෑෂ් ලයිට් දෙකකුත් ගැහුවා වගේ එළිය වුණා.

හැබැයි නවින්දගේ මූණ ආයේ අඳුරු වුණා.

බාසුන්නැහැගේ මූණත් අඳුරු වුණා.

පහුවදා ඇවිත් සල්ලි ගෙවලා, පැවරුම් පත්‍රවලට අත්සන් තියලා වාහනේ අරං යන්න කතා කරගෙන මනෝජ් වලවුවෙන් පිටත් වුණා. ගෙදර ඇවිත් විස්තර ටික අම්මට කිවුවා.

පහුවදා හවස මනෝජ් යාළුවෙක්වත් අඬගහගෙන වලවුවට ගියා. අම්මට එන්න කිවුවට අම්මා ආවේ නෑ. එයා සල්ලි ටික ලෑස්ති කරලා මනෝජ්ට දුන්නා. මේ දවස් දෙකේම මනෝජ් අම්මගේ මූණ දිහා කෙළින් බැලුවේ නෑ. ඔය සල්ලි ටිකේ අලගිය මුලගිය තැන් අම්මා කීයටවත් කියන්නේ නැති බව මනෝජ් දැනගෙන හිටියා. සමහර විට එයා ඇඳුම් මහලා එකතු කරපු සල්ලි ටිකක් වෙනම ඉතුරු කරන්නැති කියලයි මනෝජ්ට හිතුණේ. නමුත් ඒ සිතිවිල්ල දිගේ දිගට ගියොත් තව හිත් වේදනාවල් ගොඩක් කියලා දැනුණු නිසා මනෝජ් එතනින් එහාට ඒ සිතිවිලි අවුස්සන්න ගියේ නෑ.

නවින්ද අවශ්‍ය ලිපිලේඛන ටික ගෙනත් තිබුණා. ඊට අමතරව මනෝජ්ට අවශ්‍ය නම් වාහනේ පවරගන්න වැඩේ එක්දින සේවාවෙන් කරගන්න පුළුවන් වෙන්න නවින්ද ලියුමකුත් හදලා තිබුණා, පවරන්නාගේ විරුද්ධත්වයක් නෑ කියලා.

මනෝජ්ට ඕන වුණේ ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න. ඒවගේම නවින්දටත් වැඩි කතාවක් කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ නෑ. නමුත් කලින් දවස් කීපයේ නවින්ද මනෝජ් ගැන හොඳට හොයලා බලලා තිබ්බ බව මනෝජ්ට ආරංචි වුණා. මනෝජ් ගමේ චාටර් වුණු චරිතයක් නොවන නිසා කාටවත් වරදක් කියන්න දෙයක් තිබ්බේ නෑ. නවින්ද ආයෙත් දෙපාරක් විතර ඇහුවේ ඕක අරං ගිහිං විකුණන්නේ නෑ නේද කියලා විතරයි. මනෝජ් සුපුරුදු විදිහට සදාචාර සම්පන්නව දිවුරලා නෑ කිවුවා.

අන්තිමට තමයි අර මනෝජ් අවුරුදු ගානක් හිතටත් හොරා දැක්ක හීනේ හැබෑ වෙන මොහොත ආවේ. ලිපිලේඛන වැඩ ටික ඉවර වුණාට පස්සේ නවින්ද මනෝජ් අතට යතුර දුන්නා. ඒ වෙනකොට බාසුන්නැහැ කාර් එක එළියට ගෙනත් තියලා ගිහිල්ලා තිබ්බා.

මනෝජ් පුටුවේ වේවැල් වලටත් හොරෙන් වගේ පුටුවෙන් නැගිට්ටා. ලිපිලේඛන ටික අතට ගත්තේ මනෝජ්ගේ යාළුවා. වලවුවෙන් මිදුලට යන්න බහින පඩියක් පඩියක් ගානේ මනෝජ්ට ඇහුණේ හදවත බම්පර් එකක් උඩින් යන ටිපර් එකක් වගේ දඩාග් දඩාග් ගාලා ගැහෙන සද්දේ විතරයි. ‘අනේ තෝ වගේ පවුකාරයෙක්’ කියන්නා වගේ දන්ඩෝරියත් නැගිටලා එහාට ගිහිං ඉඳගත්තා. වීරතන්ත්‍රී වලවුවේ දශක ගාණක මතක ගොන්නක් වලවුවෙන් ගැලවිලා අකාලේ ආපු හුළඟක ගහගෙන යන්න හදනකොට ඇතිවුණු අසරණ තුෂ්නීම්භූත නිශ්ශබ්දතාව මනෝජ්ගේ පිටට හොඳට දැනුණා. නමුත් හැරිලා බලන්න තරම් දහිරියක් මනෝජ්ට තිබුණේ නෑ. අඩු ගානේ ත්‍රීවීල් එකක් වත් පාරේ ගියේ නැති නිසා පළාතම වැහිලා තිබ්බේ මූසල නිහැඬියාවකින්. මේ ගෙවෙන්නේ තමන්ගේ ජීවිතේ සතුටුදායකම දවසක් කියලා මනෝජ්ට කොහොමටවත්ම දැනුණේ නැහැ. ඒ වෙනුවට ‘මොකක්ද මං මේ කළේ’ හැඟීමක් ටිකෙන් ටික ටිකෙන් ටික, හරියට අකාලේ නොනවත්වා වහින චුරු චුරු වැස්සකින් අඟලින් අඟල උඩට එන ගංවතුරක් වගේ මනෝජ්ගේ හිතට නැග්ගා. ඒ ගංවතුරේ අමාරුවෙන් කකුල් අද්දවාගෙන ගිහිං මනෝජ් කාර් එකට නැග්ගා. දොර වහගත්තා. ස්ටාට් කළා. තව පොඩ්ඩෙන් මනෝජ්ට යාළුවා අමතක වෙනවා.

වාහනේ එළවගෙනම යන්න ආසාවට මනෝජ් වෙන ඩ්‍රයිවර් කෙනෙක් එක්කගෙන ආවෙත් නෑ. ක්ලච් බැලන්ස් එක ගන්න සෑහෙන මහන්සියක් දරන්න වෙන බව දැනුණු ගමන් මනෝජ්ගේ හිතට ආවේ අම්මගේ සල්ලි ටික නාස්ති කළාද මංදා කියලා හැඟීමක්. නමුත් ඉස්සරලම පරණ කාර් එකක් ගත්තම හැමෝටම ඔහොම දෙයක් හිතෙන බව කවුරු හරි මනෝජ්ට කියලා දීලා තිබ්බා. ඒ නිසා හිත තදකරගෙන මනෝජ් කාර් එක වලවුවෙන් එළියට ගත්තා.

පාරේ ගිය වෑන් එකකට යන්න ඉඩ දීලා පාරට ගන්න කලින් තප්පරයක් නතර කරගෙන ඉද්දී වලවුවේ දොරකඩ ඉඳන් වීරතන්ත්‍රී නෝනා ඉකිගගහා අඬන බව මනෝජ් කන්නාඩියෙන් දැක්කා.

ගෙදරට යන්න මනෝජ්ට යන්න තිබ්බේ පොඩ්ඩ දුරයි. ඒ පොඩ්ඩ දුරට මුළු ගමම මනෝජ් වාහනේ අරං යන දිහා බලං හිටියේ හොල්මනක් බුලත් විටක් කනවා දැක්කා වගේ. ගම්මුන්ගේ ඇස්වල පිරලා තිබ්බේ බය, කුතුහලය, තෝන්තුවාව, අංජබජල්ත්වය, මොන ලබ්බක්දත්වය සහ ඕපාදූපඃපිපාසය වගේ හැඟීම් දාස් ගාණක කොක්ටේල් එකක්. ඒවට උත්තර හොයනවා වෙනුවට ජීවිතේ පළවෙනි වතාවට රියල් පොරත්වය කිලෝ දෙසිය පනහක් සහ ආතල් ලීටර් පන්සීයක් හිතේ ස්ටොක් වෙලා තියනවා කියලා මනෝජ්ට දැනුණා. යාලුවාව ගෙදරින් දාලා මනෝජ් ගෙදර ගියා. යාලුවාගේ ගෙදර අයට කාර් එක අතගාලා බලන්න ඕන කම තිබ්බත් මනෝජ්ට ඉස්පාසුවක් තිබ්බේ නෑ මේක අම්මට පෙන්නනකල්.

ගෙදරට වැටෙන පාරට හරවනකොටම මනෝජ් දැක්කා අම්මා පාර දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් තාත්තා නැතිවුණු දවසේ ඉඳලා තමන් ගොන් වැඩක් කරයි කියලා පස්සෙන්ම හිටපු අම්මා මේ වැඩේට මෙච්චර සපෝට් එකක් දුන්නේ ඇයි කියන එක මනෝජ්ට තේරුණේ නෑ. ටිකෙන් ටික වාහනේ ළංවෙද්දී අම්මගේ ඇස් දෙකෙන් කඳුළු කඩා පනිනවා මනෝජ් දැක්කා. ඒක පුතෙක්ගේ හීනයක් හැබෑවෙනවා දකිනකොට අම්මා කෙනෙක්ගේ හිතේ ඇතිවෙන සතුටින් උපදින කඳුළු බව දැනගන්න තරම් හිතක් පපුවක් මනෝජ්ට තිබ්බා. වාහනේ මිදුලේ නතර කළාමත් අම්මා වාහනේ ළඟට ආවේ නෑ. එයා ගේ ඇතුළේ ඉඳන් නොහෙල්ලී බලාගෙන හිටියා. එයාගේ ඇස් දෙකෙන් නොනවත්වා කඳුළු ආවා.

මීට කාලෙකට කලින් අම්මා එයාගේ අර්ථසාධක අරමුදලේ තියන සල්ලි ටික අරගන්න ලොකු අම්මා එක්ක දෙතුන් පාරක් කොළඹ ගිහිං ආපු බව මනෝජ්ට එකපාරටම විදුලියක් වගේ මතක් වුණා. මනෝජ් Programming කෝස් එක පටන් ගත්තු මුල් කාලේ ඒ සල්ලි ටික එකවුන්ට් එකට වැටිලා තියන බව අම්මා කිවුවා කියලත් ඒ විදුලිය අස්සෙන් මනෝජ්ගේ මතකෙට ආවා. ඒ දවස්වල සුජානි ගැන මිසක් හිතේ වෙන දේකට වැඩි ඉඩක් තිබ්බේ නැති නිසා මනෝජ් ඒ ආරංචිය ගැන හරිහමං ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ.

ඒත් එක්කම මේ දැන් තමන් එළවගෙන ඇවිල්ලා මිදුලේ නතර කරපු කාර් එක ගන්න සල්ලි ලැබුණේ කොහෙන්ද කියන එක මනෝජ්ට නිරිතදිග මෝසමේ තිරිංග නැති වැස්සකට පස්සේ පුළුන් පොදක් තරම්වත් වලාකුළක් නැති අහසක ඉඳන් එබිකම් කරන හඳක් වගේ පැහැදිලි වුණා.

ගියර් එක නියුට්‍රල් කරලා, හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා, එන්ජිම ඕෆ් කරලා, යතුර එහෙමම කටේ තියෙද්දී වාහනෙන් බහින්නේ නැතුව මනෝජ් ස්ටියරින් වීල් එකේ ඔලුව තියාගෙන ඉකි ගගහා ඇඬුවා.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

http://carpissuwa.blogspot.com/2017/01/en.html

Related Posts

1 Comment

  1. atam January 16, 2017 at 6:49 pm - 

    මේක ලස්සනයි මට නං . ඇස් තෙමුනා……හද්දා පරණ හොලන්ඩ් මහන මෙෂිමක් …අතිං පීරී ගාල කෑල්ලක් හදාගන ගොඩ දාගත්තා වාගේ

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල