සාහිත්‍ය කළා විචාර

ශාස්ත්‍රීය ඖචිත්‍යයට හසුනොවන ජීවන ලාලසාව, ජොලිසීයා , ලලක්කා සහ අමරසිරි පීරිස්.

Off
නිර්මාණයක් සර්වකාලීන වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඖචිත්‍යය. ඔචිත්‍යය කියන්නේ සාහිත්‍යයමය ඔචිත්‍යය වගේම වින්දන ඔචිත්‍යයත් හරිම වැදගත්. මම ඉන් අදහස් කරන්නේ අපි කතා කරන ප්‍රස්තුතය එක්ක වඩාත්ම තදාත්මීයව බැදෙන සමහර රටාවන් තියෙනවා. ගණිකාවන් සම්බන්ධව ලංකාව ඇතුළෙ ලියවුණු ගීත අපමණ තියෙනවා .ඒ අතරින් වඩාත්ම කතා බහට ලක්වුණ රන් බණ්ඩා සෙනෙවිරත්න විසින් රචනා කළ ලඳුනේ ගීතය සාහිත්‍ය වැදගත් කමකින් යුක්ත භාව පූර්ණ ගීතයක්. නමුත් ඇත්තටම ඒ ගීතය ඇහෙද්දි ගණිකාවකගෙ ආත්මය නියම විදිහට මට නම් එන්නෙ නැහැ. පොඩි හයික්ලාස් මැවීමක් එන්නේ..රචකයාට ගණිකාවගෙ ආත්මය තවදුරටත් දුර බවකුත් බොරු උපාසක කමක් මවන්න යන ව්‍යාජයකුත් මට දැනෙනවා.
අමරසිරි පීරිස්ගෙ පුරුදු පුහුණු කරපු ශාස්ත්‍රීය කටහඩත් එවන් ගැහැනියක් නිරූපණ්‍ය කරන්න සමත් වෙන්නෑ. මොකද වෘතිය ගායකයෙක් කියන පරමාර්ථයෙන්ම කටයුතු කරද්දි ඒ හඩ සමාජ කටහඩක් වෙන්නෙත් නැහැ. ඒ ගැහැනුන්ට අමරසිරි පීරිස් කොහොමත් දුරස්ථයි..ඇත්තටම ළදුනේ ගීතයට රූප රචනයක් නැත් නම් ගණිකාවක් මැවෙන්නෙම නැහැ. හැබැයි ජොලි සීයගෙ බජාර් එකේ ලලක්කා කියන සිංදුවට මම හරි ආසයි.ඒකෙ මෙලෝ සාහිත්‍යයක් නැහැ. ඒත් මාළුවා ටින් කරන්නෙ නැතිව ජලාසෙ ඉන්දැද්දි පෙන්වනවා වගේ හරිම පැහැදිලි රාමුවක ලලක්කාව ගේනවා. මුඩුක්කුවක ජීවත්වන පැටලිලි සහගත ජීවිත තියෙන ගැහැනියක් ක්‍රමාණුකූල සාහිත්‍යයකින් කවදාවත් නිරූපණය කරන්න බැහැ. ජොලි සීයගෙ කටහඩ හරි අව්‍යාජයිනේ.., ඒ සරල වචන පේලි දෙක කියන කොටම මට එකපාරටම ගුනසිංහ පුරයෙ රූපරාමුවක් මැවෙනවා…

බජාර් එකේ ලලක්කා
හිත හොද අක්කා
හුරුබුහුටියි කටකාරයි
ගෑනි ලලක්කා

ඔය පේළි එක්ක පුදුම විදිහට ඒ ගෑනිව මට නම් මැවිල පේනවා. ඇය නියෝජනය කරන සමාජය, සංස්කෘතිය, ආර්ථික වටපිටාව එක්ක ඇයව ආමන්ත්‍රණය කරද්දි ඒ කට හඩ ඇය එක්ක ගැටෙන කෙනෙක්ගෙ හඩක් වෙන්න ඕන. ගණිකාවක් පන්සලක් ඇතුළෙ දි දැකලා ඇය ගැන ලියන්න පුලුවන්ද? ඇයව දකින්න ඕන ෆීල්ඩ් එක ඇතුලෙ. ළඳුනෙ ගීතයෙ තීන්නෙ පන්සලේ මල්පුදන ගැහැනියකගෙන් ගණිකාවක් මවා ගැනීම. රචකයට ඇයව දැක්ක ගමන් පේන්නෙ ගනිකාවක් විදිහටනේ.. ඇගේ පැටිකිරියනේ සිහිපත් වෙන්නේ ..නමුත් මේ රචකයා නියම සංවර මානසිකත්වයකින් හිටියනම් මේ ගෑනිගෙ හිස්ට්‍රිය පන්සල ඇතුලෙ අමතක කරනවා. එහෙනම් ඔහු ඔය ගීතය ලියන්නැ. මල් පුදන දාහක් දෙනා අතරෙ ඇයවත් උපාසක අම්ම කෙනෙක් වශයෙන් දැකල අමතක කරනවා. ඒත් ඒක කරගන්න ඔහුට බැරිවෙලා. ඒ හන්දා ළදුනේ ගීතයෙ පරිකල්පනය ගැන මට තියෙන්නෙම වීථියේ ගෑනිය ගැන මවපු ව්‍යාජ ඩමියක් කියන අදහස තමයි.හරියට අර රත්නපුරේ බට්ටිට මාධ්‍යවලින් කලා වගේ වැඩක්.නිර්මිතයක්. සමාජ ජීවිත නිර්මාණයට නැගීමේදී නිර්මිත අසාර්ථක වන අවස්ථා තියෙනවා. පළමු දේ ඒ ගැහැනියගෙ යථාව අසන්නා තුළ සැණෙන් මවන්න පුලුවන් වෙන්න ඕන .ඒ වගේම ඒ සමාජ තලයෙ ඉන්න ගැහැනියකට ඇසුනු සැනෙන් අර්ථ පරිවර්තනයක් නොකර වටහ ගන්න තරම් සරල වෙන්න ඕන.

ඇත්තටම ජොලි සීයා හෙවත් චන්දුද සිල්වගෙ ගෙ හඩ වචන ආමන්ත්‍රන සේරම අර ගෑනි හැපෙන ගැටෙන සමාජයටම බැදිච්චා.. වින්දනය කියන එක ශ්‍රාස්ත්‍රීයවම කරන්න බැරි අවස්ථා තියෙනවා. ගණිකා වෘතියම නිදසුනකට ගන්න පුලුවන්. සදාචාර විවාහයට පිටින් බොහෝ පිරිමි පිට ගෑනු හොයන් යනවා වගේ ප්‍රමිතිය කියන රාමුව කඩල දාපු තැන්වලින් අපි යම් වින්දනයක් ලබනවා. මහාචාර්යවරු මොන දේ කීවත් මට නම් වීථියේ ස්ත්‍රිය හොදින්ම නිරූපණය කළ ගීතයක් තමයි ලලක්කා..සාමාන්‍ය මිනිහා සුනිල් පෙරේරා, ජෝතිපාල, ජොලිසීයා වගේ අයව වැළද ගන්න එක හේතුවක්

තමයි සැබෑ ජීවිතය කියන එක ප්‍රතිනිර්මාණයකින් තොරව ඔවුන් බලාපොරොත්තු වෙන එක.ඒ නිසා ප්‍රබුද්ධ – අප්‍රබුද්ධ භේදයකින් තොරව මේ නිර්මාණ දෙකොඨ්ඨාසයම යම් කලෙක බාර ගන්න සිද්ධ වෙනවා. නාහෙන් අඩන ප්‍රේම ගීත නෙවේ. අව්‍යාජ සමාජ කටහඩක් වශයෙන් තියෙන නිර්මාණ. ඒවායෙන් එන්නෙ සාහිත්‍යමය සෞන්දර්යයක් නෙමේ. නමුත් ජීවිතය මැවීම කියන කාරණාවෙදි ජනප්‍රියවාදී ගායකයො විසින් සිදු කරන්නෙ සුවිශාල කාර්ය භාරයක්..

– උපේක්ෂා නුවන්ශ්‍රීනි –

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කාරිනිය සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල