අතීතකාමය

මගේ දුක නිවන්න තාත්තා අරන් දුන් චිත්‍රකතා පොත

Off

 

මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?

සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.

වික්ටර් රත්නායක

=================================================

මගේ ජීවිතයෙත්
තාත්තා සම්බන්ධව
මෙවැනිම සිදු වීමක් තියනවා.

ඒ දවස්වල තාත්තා වැඩ කළේ
දෙනියායෙ කිරිවැල්දොළ රොක්ලන්ඩ් වත්තෙ
කොන්දොස්තර කෙනෙක් විදියටයි.

මම හය හත වසරෙ විතර ඉන්න කාලෙ
එක පාසල් නිවාඩුවකට
තාත්තා මාව ඒ වත්තට එක්ක ගියා.
ඒ ගමනෙදි වත්ත හිමිකරුවන්ගෙ
ගෙදරට ගිය බව මට මතකයි.
අලිගැට පේර කාල වමනෙ ගිය හැටිත්
එදා සිට අදටත් අලිගැටපේර
මට අප්‍රිය වීමත් මතක සටහනක්.
ඒ ගෙදර වතුර ටැංකිය,
ඒ ටැංකියට වතුර ලබාගන්න
කන්දෙ හදල තිබුණ ටැංකියෙ
ප්‍රතිසංස්කරණයකට ගිය බව
ඒ අසල ගෙදරකදි තෑගි ලැබුණ
කුණුලේ පාට ප්ලාස්ටික් කොපුවක් සහිත
මවුත් ඕගන් එක මට මතකයි.

අපි නවාතැන් අරන් හිටියෙ
වත්තෙ තියන දළු මඩුවෙ කාමරේක.

දවසක් හැන්දෑවෙ හතට විතර
තාත්තා මාත් එක්ක දළු මඩුව අසල
තාත්තගෙ මිතුරෙකුගෙ ගෙදරට ගියා.
ඒ ගෙදර “නීලා චිත්‍රකතාව තිබුණා.
පත්‍රවල පළවෙන චිත්‍රකතා
කොටස් වශයෙන් කියවා තිබුණත්
එක දිගට චිත්‍රකතා පොතක් කියවා තිබුණේ නෑ.

මම ඒ කතාව ඉතා ආශාවෙන් කියෙව්වා.
තාත්තා සතුටු සාමීචිය නිමා වෙලා
පිටත් වෙන වෙලාව වෙද්දි
කතාව කියවා ඉවර කරගන්න
මට බැරි වුණා.

පොත අරන් ගිහින් කියවන්න මම ඉල්ලුවා.
ඔවුන් දෙන්න කැමතිවුණේ නැහැ.
මගේ හිතේ දුකත් තරහත් නිසා
මම මග දිගට කළුවරේ හඬමින්
පාර දෙපැත්තෙ තේ ගස්වල කොළ කඩමින්
තාත්තා පිටුපසින් ආවා.
තාත්තා වචනයක්වත් කිව් බවක්
මට මතක නැහැ.

නිවාඩුව ඉවර වෙලා
තාත්තා මා එක්ක ගෙදර යන්න
පිටත් වෙලා ආපහු එද්දි
බස් රථය දෙනියායෙ නැවතුම් පොළේ
ටික වෙලාවකට නතර කළා.
මම ජනේලයක් ළඟට වෙලා
බලාගෙන ඉඳිද්දි
තාත්තා බස් එකෙන් බැහැලා
මම ඉන්න පැත්තෙ මහපාර පැනලා
එතන තිබුණ කඩේකට ගියා.
ඒ කඩේ එල්ලා තිබුණ චිත්‍රකතා පොතක්
අරන් තාත්තා මට ගෙනත්දුන්නා.
ඒ “බිලිපූජාව” හතරවෙනි කොටස.

මගේ ජීවිතය මූලිකවම මම ගතකරන්නෙ
චිත්‍රකතා ශිල්පියෙක් විදියට කියල
තාත්තා එදා හිතන්න නැතුව ඇති.

පාසල් යද්දි චිත්‍ර ඇඳීම
තාත්තා අනුමත නොකළත්
පත්තරවල කතා පළවෙද්දි
අහිංසක ආඩම්බරයක් විඳින්න ඇති.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

http://sansaranee.blogspot.com/2017/02/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල