අතීතකාමය

අකාලේ සැඟව ගිය ඒ අප්‍රමාණ මිනිසා…..

Off

ඒ එකදහස් නමසිය අනූපහේ වසරේ එක්තරා දිනයක් විය. මමත් මගේ අනාගත බිරින්ඳෑත් විසල් කොළඹ නඟරයේ ගිනි ගහන මද්දහනේ ඉහින් කණින් දහඩිය පෙරාගෙන බසයක ගමන් කරමින් සිටියෙමු. අප අත ලියා අවසන් කළ නව කථාවක අත් පිටපතක් වූ අතර අප යමින් සිටියේ එය භාරදීමට දෙදෙනාටම නුපුරැදු වූ කොළඹ නඟරයේ පිහිටි පුස්තකාල සේවා මංඩලය සොයමිනි. අනුරාධපුරයේ විසූ මමද එංගලන්තයේ විසූ ඇයද බංඩා කොළඹ ගියා මෙන් බොහෝ අසීරැවෙන් තැන සොයාගෙන පිටපත බාරදී ගෙදර ආවෙමු.

ඒ මීට වසර විසි දෙකකට පෙරය. මට අද මේ සිදුවීම සිහිවූයේ ඒ අප භාර දුන් පිටපතේ වූ නවකතාව ලියූ රචකයාගේ ජන්ම සංවත්සරය අදට යෙදී ඇති නිසාවෙනි. එතුමන් වෙන කවුරැන් හෝ නොව මගේ බිරිඳගේ ආදරණීය පියාණන්ය. මගේ මාමණ්ඩියය. නමින් ඤාණවිපුල මුණසිංහ වූ එතුමන් හැරෙන්නට වෙනත් ඤාණවිපුලලා ලංකාවේ විසුවේ නැති බව නම් මම සහතිකේටම දනිමි. නම මෙන්ම වැඩද පෙන්වූ එතුමන් වැනි තවත් අයද නැතිබව මට විශ්වාසය.

දෙදාහ වසරේදී එතුමන් අකාලයේ අප හැර නොයන්නට අද එතුමන් 79 වියට එළැඹෙන්නට තිබිණි. එහෙත් රැදුරැ මරැවා ඊට ඉඩ දුන්නේ නැත.

එදා අප භාර දුන් ” මතක වස්ත්‍ර” නව කතාවට 1997 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර එය එතුමා ලියූ පළමු හා එකම නව කතාව විය.

ලේඛකයකු, පිටපත් රචකයකු මෙන්ම ඉතාම සංවේදී කලාකරැවකු වූ එතුමා කෘතහස්ත සිවිල් නිලධාරියෙකුද විය. එතුමා හෙබවූ තනතුරැ අතර පොළොන්නරැවේ අතිරේක දිසාපති, වව්නියාවේ අතිරේක දිසාපති, ලංකා දුම්රිය දෙපාර්ත මේන්තුවේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂක, ඉඩම් දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂක හා උතුරැමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් යන පට්ටන්තර පවා තිබිණි. ඒත් එතුමා ඇන්ඳේ සරම සහ අත්කොට කමිසයය. පයට ලෑවේ සෙරෙප්පු යුගලයයි. ආදරය කළේ ගමටය. ගැමියාටය. මේ තනතුරැ වලින් එතුමා පිම්බුනේ නැත.

එතුමා පොළොන්නරැව අතිරේක දිසාපති වී සිටි යුගයේ වත්මන් ජනාධිපති මෛතිපාල සිරිසේන මහතාගේ පියා එතුමාගේ ග්‍රාම සේවක තැන විය. 1995 වසරේදී පොළොන්නරැවේ පැවති සුහද හමුවකට එතුමන්ටද ආරාධනයක් ලැබී තිබිණි. එයට ඇරයුම් කොට තිබුණේ 70 දශකයේ පොළොන්නරැවේ සේවය කළ රජයේ නිලධාරින් සහ එම පවුල් වලටය. අපත් එතුමා සමඟ එහි ගියෙමු. හැන්දෑවේ බැඳපු වැව් මාළු කට ගැස්ම සමඟ පරණ අරක්කු වඩිය දෙක ආමාශගත වෙද්දී , එම හමුවට සහභාගී වූ වත්මන් ජනාධිපති තුමා, ප්‍රවීණ ලේඛක කසුරි වැනි වියතුන් මගේ මාමණ්ඩි ළඟටම විත් කතා බහ කරනු මට දැකගත හැකි වූයේ මදක් බොඳවූ දසුනිනි.

මේ සා විශාල තානාන්තර දැරැවද, ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවක සිටියද එතුමන්ගේම නිවස තනා ගැනීමට පුංචි ඉඩමක් මිලදී ගත්තේ බොහෝ පමා වීය. එමෙන්ම දහස් ගණනකට රැකියා සොයා දුන්නද තමන්ගේ එකම දරැවකු හෝ රජයේ රැකියාවකට නොදැමීය. අති පිරිසිදු සමසමාජ අදහස් හිස මුඳුනින් ඇදැහූ එතුමා උග්‍ර මානව හිතවාදියෙකු විය. පංති භේදය තඹයකට මායිම් නොකළේය. ජනාධිපතිටද කසළ සෝදන කම්කරැවාටද සැලකුවේ හා ගරැ කළේ එකම අයුරිනි.

තමන් වටේ වුන් බලතල වලින් හිස උදුම්මාගත් හිස තුළ කිසිත් නැතිවූ පුස්සන් විස්කි බොද්දී එතුමන් රියදුරන් හෝ කම්කරැවන් සමඟ එකට හිඳ බිව්වේ අරක්කුය. ඔවුන් ටයි කෝට් දමද්දී ඇන්දේ සරමය. බැනියමය. මයිල් පිරි නග්න උඩු කයින්ද ඉනට පහළින් ඇඳි සරමින්ද සිටීමෙන් එතුමා ලැබුවේ දිව්‍යලෝක සැපයකි.

හොස්ස ළඟින් මැස්සා යාමටවත් බැරි ඉතා තද කුකුල් කේන්ති කාරයෙකු වූවද එතුමා ඉතා දක්ෂ පරිපාලන නිලධාරියෙකු විය. දත්මිටි කන තරමට කේත්ති ගත් එතුමා ඉතා සංවේදීව හදවත බිඳී ගිය අවස්ථාවල කුඩා ළඳරැවකු මෙන් කඳුළු පෙරමින් හැඬු​​වේය.

ඉතිහාසය , භූගෝලය, ආගම දහම , කලාව හා සංගීතය ගැන එතුමන්ට තිබුණේ අසීමිත දැනුමකි. තදබල ඕනෑ කමකි. උනන්දුවකි. ආදරයකි. අනුරාධපුරයට එතුමා තදින්ම ආදරය කළේය. සිංහල බස මෙන්ම ඉංග්‍රීසි බසද එතුමාට අතැඹුලක් සේ විය. මා එංගලන්තයට ඒමට දැරෑ පළමු තැතේදී ප්‍රතික්ෂේප වූ මා වෙනුවෙන් එතුමා සුද්දාගේ බසින්ම සුද්දාට ” කොර” වෙන්නට ලියුම් ලියා දුන්නේය. ඒවායේ තිබූ බර වචන හා ඒවා ලියන අන්දම බහුතර සුද්දන්වත් හරිහැටි දනීදැයි මට සැක සහිතය.

සංගීතයට , සිනමාවට, නාට්‍යට, කවියට හා නව කතාවට තදින්ම ඇලුම් කළ එතුමා අති ප්‍රබල සෞදර්යෙන් අනූන වූ සැබෑ කලා කරැවකු විය. අමරදේවයන්, ගුණදාස කපුගේ, රන්බංඩා සෙනවිරත්නයන්, බුද්ධදාස ගලප්පත්ති, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බංඩාරනායක,හේමසිරි ලියනගේ හා ඩබ්ලිව් ජයසිරි ඇතුළු මෙකී නොකී නානාවිධ අති ප්‍රබල කලාකරැවන් එතුමන්ගේ මිතුරන් විය. එතුමන්ගේ නිවස ඔවුන්ගේද නිවස විය. එකට එක් වී අවසන් කළ අරක්කු බෝතල්, හිස් කළ අශෝකා වීදුරැ හා මධු විතින් සැනසුණු සනද්‍යාවන් හිසේ කෙස් ගණනට විය.

එතුමන් විසූ පාණදුර නිවසේ පැත්තකින් තනා තිබූ දෙමහල් කුටිය එතුමාගේ කලා දිවියේ කුටුම්බය විය. එහි වූ පත පොත අතර බුද්ධගජ්ජය වීය. සකස්කඩය වීය. සැළලිහිණි, ගිරා ඇතුළු සංදේශ කාව්‍යන් වීය. මහගම සේකරයන්, සයිමන් නවගත්තේගමයන්, මාටින් වික්‍රමසිංහයන්, ජී බී සේනානායකයන් ඇතුළු බොහෝ ලේකයෝ එහි විසූහ. අඩක් උරා ඉතිරි කළ සිඟරට් කොටය, අඩක් බී තැනෙක ස්ථානගත කොට තිබූ මධු විත, අඩක් කුරැටු ගෑ ලියවිල්ල හා එහෙ මෙහෙ ඇර දමා තිබූ පොත පත එහි සුලභ දසුන් විය. පසෙක වූ කැසට් රෙකෝඩරය උඩ විසූයේ ගුණදාස කපුගේය. නන්දා මාලනියය. අමරදේවයන්ය. එහෙත් සිගරට් හා අරක්කු පුසුඹ පරයා එම කුටියෙන් නැගුණේ පොත් වල නැවුම් සුවඳය. ගැලුවේ සාහිත්‍ය රසයය.

බොහෝ සංවේදී මිනිසුන් කලා කරැවන් මෙන් එතුමන්ද මත් පැනට හා සිගරට්ටුවට අසීමිතව පෙම් බැන්ඳේය. ඔවුන් බොහෝ දෙනෙකු මෙන් තමන්ට හැර අනෙක් සියල්ලන්ටම ආදරය කළේය. පුහු මාන්නය , බොරැ ආටෝපය තඹේකට මායිම් නොකළේය. කිසිවිටෙක කවුරැන් හෝ පසුපස නොගියේය.

වරක් එතුමා උතුරැ මැඳ පළාත් සභාවේ මහ ලේකම් ලෙස අනුරාධපුරයේ සිටියදී එවකට ජනාපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාව පිළිගැනීම සඳහා ගීයක් ලිවීමට එතුමන්ට සිදුවිය. ගීය මැනවින් ලියවුණි. සොඳුරැ තනුවක් යෙදුණි. ජනපති පිළිගැනීමේදී හොඳින් ගායනා වුණි. ගීතය ලියූ මගේ කතා නායකයා සතුටින් පසුවිය. එහෙත් ගතවූයේ මොහොතකි ගීය ගැන ඇගයීමක් වෙනුවට ජනාධිපති ප්‍රේමදාස එතුමන්ම සේවයෙන් නෙරපා අනිවාර්‍ය නිවාඩු යවා තිබිණි. ජනාධිපතිගේ පශ්චාත්භාගය ලොවිනා සන්ටැඹියෙකු මෙම ගීතයේ පද යොදා ඇති පිළිවෙළ ජනාධිපතිට වස් කවියක් වන බව සැල කර සිටීම මෙම හෙයියම් මාරැවට හේතුව විය. එය හරි හෝ වැරදි වුවත් උග්‍ර වාමාංශිකයෙකු වූ හා ජනපති ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ නොඉවසූ මගේ මාමණ්ඩිය මෙම ගීතය වස් කවියක් ලෙස වැරදීමකින් ලියූවාද එසේත් නැතිනම් සිතා මතාම වස් වදින්නම ලියූවාද කියා නම් මම අදටත් නොදනිමි.

මේ සා විශාල දැනුම් සම්භාරයක් හා හැකියාවක් තිබූ එතුමා මෙවැනි දේශපාලනික පළිගැනීම් නිසා බොහෝ කලකිරී සිටිබව මට මතකය. මිතුරන්සේ ළඟ වුන් බොහෝ පිරිස්ද එතුමන්ට කළේ කැනහිලිකම්ය. ඉතා දරදඩු වුවත් අතිශය සංවේදී වූ එතුමා මේ අකටයුතු වලින් බොහෝ තැවුණේය. සමහර අවස්ථාවල තමන් උපන් හොරණ කෙසෙල්හෙනාව පංසලට ගොස් සති ගණන් හුදෙකලාවේ විසීය. අවසාන කාලයේ එතුමන්ට වැළඳුණු ස්නායු ආබාධ නිසාද එතුමා බොහෝ කලකිරැනේය. සැරයටියක ආධාරයෙන් දුර්වල වූ පාද එසවීම එතුමාට තිත්ත වී තිබිණි.

මෙසේ කල් ගතවන වෙද්දී දෙදහස වසරේ ඇසළ මස 11 වෙනිදාටද පහන් විය. එදා දෛවයේ සරදමකින්දෝ ඕස්ට්‍රේලියාවේ වෙසෙන එතුමන්ගේ පාසල් මිතුරකු වසර ගණනාවකට පසු එතුමන් බැලීමට පැමිණ සිටියේය. වීදුරැ එකිනෙක ගැටිණි. පැරණි වගතුග කියැවිණි. බොහෝ සතුටින් කාලය ගතවුනි. සැන්දෑවේ දෙමිතුරෝ වෙන්වුණි. එහෙත් එය සදාකාලික වෙන්වීමක් බව අප කවුරැත් දැන සිටියේ නැත.

එදා හවස එතුමා අවසන් ගමන් යද්දී වයස වසර 62ක් වූවා පමණි. සමාජයට බොහෝ වැඩදායී මිනිසකු එලෙස අපෙන් සමුගත් අතර එතුමාගෙන් සමාජය හා අපේ රට නිසි වැඩක් නොගත් බව හා එතුමාගේ හැකියාවන්ට නිසි ඇගැයීමක් නොලැබුණු බව මම ඉතා සංවේගයෙන් පවසා සිටිමි.

අවසාන වශයෙන් මෙසේ පවසමි. එනම් ,මේ සහෘද සටහන අද ජන්ම දිනය සමරන මගේ මාමණ්ඩිය උදෙසාම නොවන අතර ඤාණවිපුල මුණසිංහ නම් වූ කොන්ද කෙළින් තබා සේවය කළ ඒ අභීත සිවිල් නිලධාරියා වෙනුවෙන්ය. ඒ සංවේදී කලාකරැවා වෙනුවෙන්ය. ඒ මානවහිතවාදී, පොළොවේ පය ගසා ජීවත් වූ අප්‍රමාණ මිනිසා වෙනුවෙන්ය. එපමණකි.

චන්දන ගුණසේකර – එක්සත් රාජධානිය

Source – facebook

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල