අතීතකාමය

පොජෙට්ටෙක 1 – ඇල්ල බැඳිල්ල

Off

දවසක් පහලවත්තෙ කුඹුරෙ පිල්ලෑවට හෙලිකොප්පරයක් කියන ජාතියෙ එකක් එන බව කියා අපේ ගමෙං බාගයක් විතර තමුංගේ වැඩපොල සේරම පැත්තක දමා පිල්ලෑවට එක්කහු වුනේ ඒක බලන්න. ඒ කාලේ කාටවත් හදිස්සි වැඩ තිවුනෙ නෑ. වෙනදට පාවර හදන තැන පිදුරු තුනී කර තිබුනේ අපිට ඒ උඩ පිනුං ගහන්නට ආස හිතෙන විදිහට. පොලේ ලොතරැයි වෑන්නෙක වටේ සෙනග එක්කහු වෙනව වගේ සෑහෙන සෙනගක් පිල්ලෑව වටේ එක්කහු වෙලා හිටියා. තඩි ග්‍රාමසේවක රාලහමි එතන පොලවට පයිං ඇන ඇන බල බලා

“මෙතන්ට තව පිදුරු ටිකක් දාන්න”

“මෙතන මේ යට උලක්ද කොහෙද. බලන්න”

කිය කියා මිනිස්සුන්ට වැඩ පැවරුවා. මාව වඩාගෙන අම්මත් එතනට වෙලා හිටියා. තාත්තත් හිටියා. රාජාලි, කපුටො, කොක්කු ආදී කුරුල්ලො සැරිං සැරේ ඇහිල්ලා මිනිස්සුංව රවට්ටල ගියා. හැමෝම බෙලි උලුක් වෙනකං උඩ බලං ඉඳලා එපා වෙලා “කවුද කියාපු බේගලෙයද්ද කොහෙද” කියලා ආපහු යන්න හදද්දි “ගොජ ගොජ” ගාගෙන අයිස්කිරිං වෑන්නෙහෙක සද්දෙ අහසිං ඇහුනා. කෝට්ටක උලගහපු ගැටපොලහක් වගේ මොකද්දෝ එකක් ගුනදාස මාමගෙ තේ කෑල්ලෙ පොල් ගහේ කරිට්ට ගාවිං මරහඬ දීගෙන එක පාරටම මතුවුනා. ගැටපොලහෙ වගේ නෙමෙයි ඒකෙ ඔලුවෙයි නැට්ටෙයි හුලංපෙති කැරකුනා. ගුණදාස මාමගෙ කොට්ට ගහේ පුලුං ගෙඩිවල පුලුං හුළඟෙ ගියා.  ගැටපොලහ තවත් විසාල වෙලා ගොරවගෙන පිල්ලෑවට කඩා පැන්නා. මේ නං ළමයි බයකරන ‘හග්ගුඩු බිල්ල තමයි’ මට හිතුනා.

 

මං බයවෙලා අම්මගෙ උරිස්ස විකාගෙන යටිගිරියෙං කෑගැහුවා.

“ගෙදර යමාං”

පිල්ලෑවෙ හිටපු අය ලියදිවලට පැනලා ලියදිවල හිටපු අයත් එක්කම සරොං කැහැපොට ගහගෙන දුවන්න ලැහැත්ති උනා. ගැටපොලහ පිල්ලෑව උඩිං වටයක් කැරකුනා. පිදුරුගස් උඩ ගියා. අම්මා මාව කරේ තියාගෙනම ආපහු හැරිල බැලුව.

“ඔන්න ඌ මාව ගිලින්න හදන්නෙ….ඒඒඒ”

මං ආයිමත් අම්මගෙ උරිස්සට දෑතිම්ම තල තලා බිරුසන් දුන්නා.

“අර රාලාමිත්තින්නෙ. කටවහපං.”

අම්ම මගෙ කොන්මෙැද්දට එකක් තැලුවා. ගැටපොලොස් තඩියෙ සද්දෙට ඒ සද්දෙ යටඋනා. තඩි ග්‍රාමසේවක රාලහමි පිල්ලෑවෙ අයිනෙ ලියැද්දට වෙලා හිටියා. ගැටපොලහ හිමීට පාත්වෙලා අඬුදෙක බිමට තිව්වා. සෙනග ආපහු කිට්ටු උනා.  ගැටපොලහෙ පෙති කැරකෙන වේගෙ අඩු උනා. සුද්දො දෙතුං දෙනෙක් ඒකෙං බිමට බැස්සා. තව එක්කෙනෙක් කොක්කක් තියෙන පොල්ලක් ඒකෙ කොනක් ගැටපොලහෙ උඩ කැරකෙන පෙත්තෙ කොනක අමුනලා ඒකෙ අනික් කොන නැට්ටට ඇමිනුවා.

“ඇල්ල බඳිනේක බලන්නනෙ සුද්දො ඇහිල්ල තියෙන්නෙ.”

එදා හවස තාත්ත ගෙදර ඇහිල්ල කිව්වා.

************************

“අපිට විදුලිය එපා. අපේ පාඩුවේ ඉන්න දෙන්න”

කියලා මාතෘකාව දාපු එයිට යටිං පින්තූරයක් දාලා විස්තරයක් ලියපු ලිපියක් තියෙන පත්තර පිටුවක් මහ ගංවතුර කාලෙ වෙනකම්ම අපේ අම්මගෙ මහගෙදර තිබුණා. ඒ ලිපියේ පිංතූරෙ තිබුණෙ මහගෙදර වත්තෙ කොණක බෙන කොස්ගහයට අපේ ආච්චම්මයි, ආතයි, මාමයි, පුංචම්මයි, බෙහෙත් තෙල් රාජ මාමයි සීරුවෙං හිටගෙන ඉන්න හැටියි. ඒගොල්ලංට පිටිපස්සෙං කොස් ගහේ ගැටපොලොස් බුරුතු පිටිං එල්ලිලා තිබුණා. ඒ පිංතුරේ ගහගෙන ගියේ ඒ දවස්වල ආණ්ඩු පක්ෂේ මංතිරි  කෙනෙක් වෙලා හිටිය සංජීව අප්පොගෙ යාලු සුද්දො කාණ්ඩයක් බව අපේ මාමා කිව්වා.  සුද්දො ගෙනත්දීපු ටොපි වගයක් එහෙමත් මට හම්බවුනා.  ඒ පින්තූරෙ යටිං තිවුන විස්තරේ තිවුනෙත් මේ ගමේ අසරණල අහිංසක ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගමේ පාඩුවේ ඉන්න හිටින්න මිසක අයට කොයියම්ම හැටියකටවත් කරන්ටෙක ඩිංගක්වත් ඕනෑ නැති බවයි. ඒ කාලෙත් මං ඉස්කෝලෙ යන්න පටං ගත්තු කාලෙම වෙන්නට පුළුවනි.

************************

“ඔන්න මාමෙ ආයි වංගියක් ඇල්ල බඳින්න යනවයි කියන්නෙ”

ගුනොවද්දන මාමා කිහිල්ලෙ තිබුණ කපු කුඩේ අතට අරං ඒකෙ වකුටු මිටෙං අල්ලගෙන කුඩේ අගිස්ස ඉස්තෝප්පුවෙ පඩියකට තියලා “හම්මෙහ්” කියලා ඉස්තෝප්පුවට ගොඩවෙද්දි “කුඹුරු තඩිගහල හරිම හානියි” කියාගෙන නැගිටගන්නවත් පණ නැතුව තමුංගෙ කාමරේ ඇඳ උඩට වෙලා කෙඳිරිගගා හිටිය ආතවත්, මිදුලට වෙලා දිග කොල තියෙන ක්‍රෝටන් අතු රවුං කොළ තියෙන ක්‍රෝටන් ගස්වලට ‘බත්’ කරන්න උත්සාහ කරමින් හිටිය මාවත් ඉබේම ඉස්තෝප්පුවට ඇදෙනවා.

“ආ ගුනොවද්දන ලමෙයනෙ මේ. මං මේ කුඹුරු ගිහිං ඇහිල්ල නාකියාගෙන ඩිංගක් ඇලඋනා. ඉස්සර වගේ නෙමී දැං දවසක් කුඹුරු තඩිගැව්වං හරිම හානියි මටනං. අම්ප”

“මේ ගිනිකූටකේ කාටවුනත් අමාරුයි මාමෙ.”

ගුනොවද්දන මාම ආතගෙ හිත හදනව.

“ඉඳගන්නකො ගුනොවද්දන ළමෙයො ඔය ඉටිපුටුවක්කැරං. මහ්නං ඔව්වෑ ඉඳගන්න බෑ. ඉඳගද්දි පුටුව පස්සට යනව. අනිග්ගාන තුන්ටිය කැල්ල යනොව බිමෑනිල”

ගුනොවද්දන මාමත් පුටුවක් ඇදල අරං ඉඳගෙන කුඩේ බිත්තියට හේත්තු කරල තියනව.

“මං කිව්වෙ මාමෙ ඕංආයි වංගියක් ඇල්ල බඳිනොව කියන්නෙ”

“හැබෑඈ….ට”

“එහ්හෙනං.. අන්නාර ගුන්සේකර කඩේගාවා කතාඋනේ. ආපහු පාරක් මැනං ගියා කියල. මේ සැරේ යටවෙනවලු නීතිගල දිහාටම.”

“හැබ්බෑඈ…ට”

“ඔව්. අර එගොඩහ කබර පේමෙය කිව්වෙ. බදුවත්තෙ මහත්තෙය එක්ක ඔය මයින්නාපු කාණ්ඩෙ මිනිහෙක් කියල තියෙන්නෙ. බදුවත්තෙ මහත්තෙය ගුණෙයත්තෙක්ක කියල. ගුණෙය හොඳයිනෙ අර ඒබරං කලුවෑ ගෑනි එක්ක. ආං ඒ ගෑනි තමා කබර පේමෙගෙ ගෑනි එක්ක දලුකඩද්දි කියල තියෙන්නෙ. මං අර පහුගිය දාක මැණිකෙගෙ කඩේ තුනයියටේ බලුප් නැතිපාර ගියානෙ ගුංසේකර කඩේට. එතන තමා ඔය පේමෙය එහෙම කිව්වෙ ඔය කතාව.”

ගුනොවද්දන මාමා කතාව මග වැනුමත් එක්කම කියනව. අපේ ගමේ මොන කතාව උනත් එන්නේ ඔය විදිහට සංස්කාරකවරු දහ දොලොස් දෙනෙක් අතිං අත මාරුවෙලා තමයි.

“අනිච්චං අප්පෙයි”

ආතත් කම්මුලේ අත තියාගෙන කියනව.

“ඔව් මාමෙ. කොයියාණ්ඩුවට ඡන්දෙ දුන්නත් වැඩහ්නෑ. හැවෝම කියන්නෙ උං දිනුවොත් ඇල්ල බැඳිල්ල නතර කොන්නොව කියල. ඒ උනාට ඔය අපූරුවට පටංගන්නයන්නෙ.”

“ඒකනෙයැ ගුනොවද්දන. මුන්ට ඔය ඇල්ල බැඳල අහවල්ලෙහෙකට මංහාන්නෙ.”

“කරන්ටෙක හදන්නලුනෙ මාමෙ.”

“කරන්ටෙක හැදියකෑ ගුනොවද්දන ලමෙයො ඇල්ලතුරෙං.”

“ඒකනං මංද මාමෙ. ඔන්නොය මොකද්ද විපිරියාසෙයක් කොල්ල පුලුවං කියන්නෙ”

“අනෙයම්මප. අපිට මොන කරන්ටෙකදැ. ලාම්පුතෙල් කුප්පියක් තිමිනි ලාම්පුවප් පත්තු කොරගත්තං මදෑ. එලියට පහලියට යනොවනං හනසු දෙකබ්බැඳල හරි පොල්ලතු අගිස්සක්කරි බැඳගන්නොවනෙ. ආයි ඉතිං මොටදැ කරන්ටෙක. ඕං රේඩිවේක අහන්නබ්බැරියැ බැට්ටි කෑලි හතරත් තිවුනං.”

“ඒකනෙයැ මාමෙ”

“අම්ප මහ්නං කරන්ටෙක නාමෙයක්කත් නැතියුනාට කමහ්නෑ. ඔය ඇල්ල බැඳිල්ල නතර කොන්නොවනං. කුඹුරු ලියැදි ටිකයි තේ ගස්ටිකයි යටකොල්ල දාල ගෙවල් දොරොවල් ටිකත් යටකොල්ල දැම්මහං මිනිස්සු කොහෙද ඉන්නෙයම්මප?”

“කොහෙද මංද ඉපිටහකිං ඉඩං දෙනොව කියන්නෙ.”

ගුනොවද්දන මාමා විසඳුං දෙනව

“ඔය බිංඅගල් හතරද්දෙයි. ගහක්කොලක් කපාගන්න, වී කුන්නියක දෙහෙක ගොයිතැං බතක් කොරගන්න තියා මෙලෝ දෙයක් වවාගන්න ඇතෑ එහෙම.”

වෙනදට ආතගෙයි ගුනොවද්දන මාමගෙයි කටපල්ලෙං හැලෙන වචනයක් ගානෙ අහුලන මම එදා මගෑරල දාල යන්න යනව. එදා රෑට මට නිංද යන්නෙත් නෑ. ඇල්ල බැඳිල්ල කියන්නෙ මොකද්දැයි නොදන්නව උනත් ඒකෙං අපේ ගෙවල්දොරවල් සේරම නැතිවෙන බව මට තේරුං යනව.

“අම්මෙ ඇත්තදම්මෙ ඇල්ල බඳිනොව කියල එකක් කොල්ල මේ එක්කොම යටකොල්ල දානොව කියන්නෙ.”

බැරිම තැන මං අම්මගෙං අහනව.

“අනෙමංදන්නෙකහ්නෑ. පලෙයංයන්න”

අම්මට ඒවයෙ වගක්වත් නෑ. තාත්තගෙං අහන්න තමයි වෙන්නෙ. ඒකටත් එයා නොබී හිටපු වෙලාවක් වෙන්ට එපෑ. දවස් ගානකට පස්සෙ කලු මාමාව ගෝඩ හැලියක් පිටිං පොලිස්සියෙං අල්ලං ගිහිං ගමේ කසිප්පු හිඟයක් ඇතිවෙලා ඒ දවස උදාවෙනව. එතකං ඒ ගැන හිතලා මට ඉස්කෝලෙදි ගණං වලට ලැබෙන්න තියෙන දහයෙං දහය එව්වා දහයෙං හය වෙනකං පල්ලෙහා බැහැල මාව කොල තරුවෙනුත් පල්ලෙහට වැටෙනව.

“තවුසෙ දන්නවද බොලේ මේ ඇල්ල බඳිනොව කියල කියනවැයි කියන්නෙ?”

අම්මා මං වෙනුවට තාත්තට ප්‍රශ්ණෙ යොමු කරනව.

“කවුදෝයි කියන්නෙ”

“ගුනොවර්දනයිය කිව්ව කියන්නෙ”

“කාඑක්කද?”

“අපෙ තාත්ත එක්ක. මේ මූ අහං හිටිය කියන්නෙ”

තාත්තා කට උල්කරලා දොරකොඩිං එලියට “පුතුහ්ප්” කියල බුලත්කෙළ පාරක් ගහනව.

“අනෙ ඔය්යකා දන්න කෙහෙම්මල. තමිසෙලෑ තාත්තයි ඔය්යකයි දෙන්නම අමු බේගල්නෙ කියොවන්නෙ”

ආතයි ගුනොවද්දන මාමයි කියන්නෙ ඇත්ත බව තහවුරු කෙරුවෙ නැත්තං මේක මගෑරෙන බව දන්න හිංද මං ඉදිරිපත් වෙනව.

“රුවල්ලෑ සීය එක්ක කියල තියෙන්නෙ මයින්නාපු කාණ්ඩෙ. රුවල්ලෑ සීය කියල තියෙනොව ගුනේමාම එක්ක. ගුනේ මාම කියල තියෙනොව ඒබරං ආතලෑ ගෙදර කලුමාමෑ නැංද එක්ක. ඒ නැංද කබර පේමෙ මාමෑ නැංදට කියල. කබර පේමෙ මාම ගුනොවද්දන මාම එක්ක කියල.”

අම්මයි තාත්තයි දෙන්නම මා දිහා බලං ඉන්නව.

“ඒක කපුටො හද්දෙනාගෙ කැඳ හැලිය වගේනෙ. කොයික බොරු කියනවද කවුද දන්නෙ.”

තාත්තා ඒ කතාව පිලිගන්න බවක් පේන්නෑ. ඒ වෙනුවට වෙනිං කතාවක් අහන්න ලැබෙනව.

“එහෙම මුල්ලෝකෙම යටවෙන්නෙ කල්ප විනාසෙ ආවහං. ආං එතකොට මහ විසාල වැස්සක් වහිනොව. එයිං එක වැහි පොදෙයක් මේං මෙච්චර ඉතර හිටී…”

තාත්තා මෝල් ගහක් ඉතර මහතක් අත් දෙකෙං පෙන්නනව.

“ඒ විදිහට වැහැලා වැහැලා වැහැලා කුඹුරු, ඇලදොලොවල්, ගඟවල් මුහුදු එක්කොම පිරිල පිරිල පිරිල පිරිල අංතිමට කොහෙවක්ම නැතිවෙන්න පිරෙනව. එතකොට මිනිස්සුංගෙ ගෙවල් යටවෙලා යනව. ආං එතෝට දෙයියො නැවක් හදල හොඳ මිනිස්සුං ඉතරක්කේකට නග්ගෝගන්නොව. නරක මිනිස්සු ගන්නෑ. මැරිල යන්න වතුරටම දානව”

“බල්ලො, පූසො එහෙම”

බිංදුවට යන කලදසාවක් ගැන හිත හිතා මාත් අහනව.

“බල්ලො පූසොත් ගනී මා හිතේ.”

එහෙනං බිංදුවත් ඇරංම නගිනව ඒකට.

“අන්තිමට වැහැලා වැහැලා වැහැලා වැහැලා ගංවතුර ගලනොව අකනිට්ටක් බ්‍රහ්මලෝකෙට යනකං. එයිට පස්සෙ වැස්ස නැවතිලා ගංවතුර බහිනව. එතකොට ඉතුරු නැවේ හිටිය හොඳ මිනිස්සු ටික ඉතරයි. ඒ මිනිස්සු ආපහු ඇහිල්ල ගේ දොර හදාගෙන ජීවත්තෙනව. ආන්නෙහෙමයි.”

“එතෝට තාත්තෙ ඔය ලෝක විනාසෙ කවද්ද වෙන්නෙ?”

“කල්පෙ ඉවර උනහං”

“ඒක කොච්චරද්ද”

“අවුරුදු තව කෝටියෙ එයිනුක් කෝටියක්”

අන්තිමට තාත්ත කියපු කතාවත් ගුනොවද්දන මාම කියපු කතාවත් දෙකෙංම කොයික හරිද කියල හිතාගන්න බැරුව ඉඳල මට ඒක එහෙම්මම අමතක වෙනව.

ආයිමත් ඔය කතාව ඇදෙන්නෙ මං ඉස්කෝලෙට දිග කලිසං අඳින්න ඔන්න මෙන්න තියලයි. ඩෝසර දෙක තුනක් ඇවිත් මතුගම දිහාවෙනුත් රත්නපුර පැත්තෙනුත් අපේ ගමට එන්න තියෙන පාර දෙපැත්ත උලාකන්න පටං ගන්නවා.

“පාර පලල් කොන්නොවලු. වංගු සේරම කෙලිං කොන්නොව කියන්නෙ. මහ විසාල වාහන එනවලු ඇල්ල බැඳිල්ලට බඩුමුට්ටු ඇරං.”

ගම පුරා පැතිරෙනවා. පාර අයිනෙ ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු බයවෙනවා. පාරෙං දුරට වෙන්න ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු සතුටු වෙනවා.

“ඕක තමයි අපි කිව්වෙ. පාරයිනෙ ගෙවල් හදාගත්ත එවුන්ට යස මට්ටුව.”

පාර අයිනෙ ගෙවල්වල අයත් ලේසියෙං අරින්නෙ නෑ. ඒ ගෙවල්වල පිරිමි අය හැන්දෑවට බීගෙන ඇවිත් පාරට බැහැල කෑ ගහනව.

“ඕකුංගෙ ඩෝසර කටු කුලුගෙඩ්ඩෙං ගහල තල්ල දාන්නෙ. හුහ්… මට ඩෝසර ලොකුනෑ ප* (පුරුෂ ලිංගයෝ). අපි නියම ෂිංගලෙයො. පපුව ඔඳ කොල්ලො”

“ආයි දෙන්නෑ එකාණ්ඩුවකටවච්චංදෙයක්. ආණ්ඩුවට %^$*@ (සංසර්ග කරනව) මගෙ ඉඩමෙං ගල්ගැටෙයක් හරි ගැලෙව්වොත්තෙහෙම”

ටිකෙං ටික ඩෝසර් හමුදාව අපේ ගම හරහත් යනව. ගෙවල් කැඩුනෙ නැතත් පාරෙ රිසිවේසමට අහුවෙන සමහරුංගෙ තේ පඳුරු හත අටක්, ගල් වැටියක් එහෙම ගැලවෙනව. ඩෝසරේ අපේ ගම පහු කරගෙන ගියාට පස්සෙත් ග්‍රාමීය වීරයෝ පාරට බහිනව.

“පර්ර හැත්ත. මං ගෙදර නැතිවෙනකං බලාඉඳල මයෙ ගල්වැටිය ගලෝදාල. මයියනොව පොලීසි ඕකලට විරුද්දොව. මං මෙතන හිටියනං ඕකලෑ මලකඩ කැටි ටික හතර්ට නමල ගහනොව ඕකලෑ %&* (අධෝ මාර්ගයේ).”

“ඕකුන්ට හොඳස්සිද්දවෙන්නෑ. මං සීනිගම ගීං අඹරනොව ගම්බිරිස්. හැතිකරේ හැඳිගෑවිල යන්න.”

සමහරු තමුංගෙ තරහකාරයො එක්ක පැටලෙනව.

“තොපි තමයි ඩෝසරකාරයො ලව්ව අපේ ගල්වැටිය කැඩෙව්වෙ. තෝයි තොගෙ %&*&* කෙල්ලො දෙන්නයි ගවුං කොටං ඇඳං උං එක්ක හිචිබිචි ගානොව කීපදෙනහ්ම දැකල තීනව. අනේ හෙන ගහං තොපිට. තොගෙ මිනිහත් ලැජ්ජාවක් නැතුව උංට තැඹිලි කල්ල ගිහිං දුන්නයි කියන්නෙ.”

පාරවල් පලල් වුනාට බෝක්කු පාලං ආදිය පලල් නොවුන හිංදා රෑට එන වාහන කීපයක්ම පාලං බෝක්කු පල්ලෙ වැටුනට පස්සෙ

“ආන්ත්‍රාවයි. ඉදිරියෙන් මාර්ගය පටුය.”

කියලා බෝඩ් කීපයක් පාරෙ හිටවෙනවා. ගමේ හතුරෙක් වන “ඇල්ල බැඳිල්ල”ට උදව්වට ආපු මේ බෝඩ් කෑලි ටිකත් හතුරෙක් හැටියටම පිලිගන්නා ගමේ අය එකමුතුව ඒවා කඩලා, තලලා, කුඩුපට්ටං කරලා අකුල්වලට විසිකරන්නෙ“ආණ්ඩුවට” හොඳ පාඩමක් උගන්නන්න හිතාගෙනයි. ඒ පිහිටෙං අපේ ගමේම කොල්ලෙක් බයිසිකලේ එක්කම බෝක්කුවෙ මෙහා ඉවුරෙං පැනලා එහා ඉවුරෙ ඇනෙන්නේ උගත් පාඩමේ ප්‍රයෝජනය ඊළඟ ආත්මෙට ඉතුරු කරගෙනයි.

උපුටා ගැනීම: යාන් හෑල්ල බ්ලොග් අඩවිය

http://yanhella.blogspot.co.uk/2017/02/1.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල