‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද

ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන නොපැවෙත්වෙන ලකුණු? It always seems impossible until it’s done.- Nelson Mandela

Off
නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කතා බහ ආයෙම පටන් ගෙන ඇත… විශේෂත්වය වන්නේ මෙවර ඊට වැඩිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මතවාදීව නෙලුම්යාය සම්මාන උළෙලට එකහෙලා විරුද්ධ පාර්ශවයයි.. රසික සුරියආරච්චි මහතා පවසන පරිදි //”රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් “ලංකානිව්ස්වෙබ්” සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි. දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය “ලංකානිව්ස්වෙබ්” හි කොටසක් ලෙස හඳුනාගත් “නෙළුම් යාය” වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය..// මෙසේ මතවාදීව නෙලුම්යායට එරෙහිවන බොහෝ දෙනා බ්ලොග් ලියන, නිතර බ්ලොග් කියවන හා එමෙන්ම මීට ටික කලෙකට පෙර බ්ලොග් ලොව ජය කෙහෙළි නැංවූ (එහෙත් දැනට උපක්‍රමිකව පසු බැස ඇනෝ වෙසින් පෙනී සිටින?) අප හොඳින් දන්නා හඳුනන අපේම මිතුරු බ්ලොග්කරුවෝම වීම සතුටට කරුණකි. ඔවුනතරින් සමහරෙක් ප්‍රසිද්ධියේම තම වෑයම තනිකරම දේශපාලන උවමනාවක් බව පිළිගැනීමට තරම් කශේරුකාවක් සහිත මහත්වරුන්ද වේ. මේ බ්ලොග් හුටපටයෙන් ඔබ්බට ඔවුන් ඉතා හිතවත් හොඳ මිතුරන් පිරිසක් බැවින් මෙසේ හොඳින් හෝ නරකින් නෙලුම්යාය ජනප්‍රිය කිරීමට හා ඔසවා තැබීමට වෙහෙසීම එක අතකින් අරුමයක් නොවේ. ගැල ඉදිරියටම යන බව ඔවුන් හොඳින් දනී. දේශපාලන අරමුණු අභිබවා යමින් ඇතැම් පිරිසක් නෙලුම්යාය කර්තව්‍ය හා සම්බන්ද වූ සමහරුන්ට පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කිරීම නම් නොතරම් යැයි සිතේ. එහෙත් ගිවිසුම් නැති මේ එක පාර්ශවික ප්‍රහාරයේ භාවිත කරන නොකරන අවි ගැන කතා කිරීමට වඩා ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරකිමින් නිහඩ වීම සෑහේ.
මෙවර අප පවත්වන්නට යෙදෙනුයේ නොකඩවා පැවැත්වෙන තුන්වන බ්ලොග් සම්මාන උළෙලයි. තව තැනින් තැන කඩින් කඩ බ්ලොග් සම්මාන ප්‍රධානය කිරීම් කිහිපයක් සිදු උනද අපේ විරුද්ධ මතධාරීන්ගේම කියවීමට අනුව නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල යනු මෙදිවයිනේ ජනප්‍රියම හා විධිමත්ව පවත්වනු ලබන එකම බ්ලොග් සම්මාන උළෙලයි. මා හිතවත් බ්ලොග්කරුවන් දෙපොලක් වන ඉන්දික කොඩිතුවක්කු (සිංහයා)ගේ  හා දුෂාන් කරවිට (දුමී) ගේ සංකල්පයක් අනුව නෙලුම්යාය අවසාන වනවාත් සමඟම ඇරඹෙන ‘බ්ලොග් වසන්තය’ පාඨක සම්මාන ප්‍රධානෝත්සවය මෙහිලා කිසිසේත් අවතක්සේරු නොකිරීමට පසුගිය වර එහිද සම සංවිධායක වරයෙකු ලෙස කටයුතු කල මා නම් කිසිසේත් සුදානම් නැත. නෙලුම්යාය හා සමානවම මේ බ්ලොග් වසන්තය මගින් ඇති කරනු ලබන ප්‍රමෝදයෙන් ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශය පිරි ඉතිරි යනු දැකිය හැකිවීම බ්ලොග් කලාවට ආදරය කරන අප හැමගේ බලාපොරොත්තුවයි. එමතු නොව මේ වෙනුවෙන් ආශාව, කැපවීම හා හැකියාව ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉදිරියේදී තව තවත් බ්ලොග් ඇගයීම් හා සම්මාන ලබාදීම සිදු කරන්නේනම් ඒ සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය දැක්වීමටද මා සුදානම් බව කිව යුතුමය.
2015 මාර්තු මස 26 වන දින කොළඹ 5 ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති පළමු බ්ලොග් සම්මාන ප්‍රදානය මට සිහිවේ. එහි පසුබිම දන්නා අයෙකු ඒ හා 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිපලය අතර සම්බන්දතාවයක් පිළිබඳව සිතා ගැනීමට මැලි වනු ඇත. 2014 දෙසැම්බර් 30 දින හෝ ඊට අසන්න දිනෙක අජිත් ධර්මකීර්ති විසින් 2014 වසර සඳහා යෝජිත සම්මනලාභින්ගේ නම් ඔහුගේ කොළඹ ගමයා බ්ලොග් අඩවියේ පළකරද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පරාජයට පත්ව සිටියේ නැත. ඒ වනවිට ඔහු ලංකා නිව්ස් වෙබ් හි නෙලුම්යාය විශේෂාංගය සංස්කරණය කරමින් එම වසර තුල වඩාත් අවධානයට ලක්වූ බ්ලොග් ලිපි නෙලුම්යාය විශේෂාංගය යටතේ නැවත පළකරමින් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාව ප්‍රචලිත කිරීමේ හුදෙකලා වෑයමක යෙදී සිටියේය. 2014 බ්ලොග් සම්මාන ලැයිස්තුව ඔහු විසින් ප්‍රසිද්ධ කරන තාක් ඒ පිළිබඳව සම්මානලාභීන් හෝ බ්ලොග් වලට සම්භන්ද වෙනත් පුද්ගලයෙකු දැන සිටියායැයි මා විශ්වාස කරන්නේ නැත. පළමු සම්මාන උළෙලේදී තිබු ලොකුම අභියෝගය සම්මාන ලබා ගැනීම සඳහා බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමයි. අජිත් ධර්මකිර්තිගේ ඒ නොසැලෙන උත්සාහය නොවන්නට නෙලුම්යාය බ්ලොග් සම්මාන ප්‍රධානය මහපොළොවේ යථාර්තයක් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මා ඇතුළු බොහෝ බ්ලොග් කරුවන් නෙලුම්යාය හා එක්වන්නේ ඉන් අනතුරුවයි.
වඩා සංවිධානාත්මකව හා වැඩි සහභාගිත්වයකින් 2015 වසර සඳහා වූ බ්ලොග් සම්මාන ප්‍රධානය දෙවන වරට 2016 මාර්තු 26 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීම පවත්වන්නට හැකිවීම ඒ සාමුහික උත්සාහයේ ප්‍රථිපලයයි. ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය සලකා ජිවිත කාලයේදී එක වරක් පමණක් පුද දෙනු ලබන ‘නෙලුම්යාය විශේෂ සම්මානය’ ලබාදීම ආරම්භ කිරීම දෙවන බ්ලොග් සම්මාන උළෙලේ විශේෂත්වයයි.
2015 වසරට සාපේක්ෂව 2016 වසර ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල හැල හැප්පීම් අඩු වසරක් ලෙස දැකිය හැක. නමුත් 2016 වසර තුල සිංහල බ්ලොග් අවකාශයට එකතු වූ හා ක්‍රියාශීලි වූ සුවිශේෂී බ්ලොග් රචකයින් කිහිප දෙනෙකු නිසා බ්ලොග් අවකාශය වඩාත් අවධානයට හා ආකර්ෂණයට ලක්වීම නිතැතින්ම සිදුවිය. නෙලුම්යාය බ්ලොග් ඇගයීමේ කාර්යභාරය වඩාත් අවධානයට ලක්වන්නේත් මේ පසුබිම තුලයි.
***************************************************
2015 බ්ලොග් සම්මාන ප්‍රධානොත්සවයෙන් අනතුරුව ඒ පිළිබඳව ඉතා සාධනීය විවේචන, අදහස් හා යෝජනා රැසක් මතුවිය. මේ සියල්ල හා ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් 2016 වසර සඳහා වූ බ්ලොග් සම්මාන උළෙල සඳහා නෙලුම්යාය සංවිධායක මණ්ඩලය ලෙස අපි මේ වනවිට සයිබරයේ පෙළ ගැසෙමින් සිටිමු. සම්මාන සඳහා සළකා බැලීමේදී සමහර බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි මඟ හරි යාමේ අවධානමක් ඇත යන්න පසුගිය වර නැගුනු එක අදහසකි. එය සිදුවිය හැකි තත්වයකි. එම නිසා මෙවර අපේ හිතවත් අටම්පහුර බ්ලොග් අඩවියේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් ‘අටමා’ විසින් නෙලුම්යාය සඳහා ඔබේ නිර්දේශ ලිපි හා බ්ලොග් අඩවි ඉදිරිපත් කල හැකි ලෙස වෙනම බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර මුල් කාලයේ ඊට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබිණි. අනතුරුව අටමා ගේ මුලිකත්වයෙන් ම පසුගිය ජනවාරි 31 වන දින දක්වා තව දුරටත් ඊමේල් මගින් නිර්දේශ ලබා ගැනීම සිදු කරන ලදී. මේ ලද නිර්දේශ වලට අමතරව සියලු බ්ලොග් සින්ඩිකේටර් වල 2016.01.01 දින සිට 2016.12.31 දින දක්වා පළවූ බ්ලොග් ලිපි විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක්වනු ඇත. මේ ගතවෙන්නේ එම කාලවකවානුවයි.
සියලුම කැටගරි සඳහා විනිශ්චය මණ්ඩලයේ අවසන් නිර්දේශිත ලිපි/ බ්ලොග් අඩවි 5 (හෝ 3) තව නොබෝ දිනකින් එලි දැක්වීමට අපි සුදානමින් සිටිමු. එළඹෙන මාර්තු අවසන් සතියේ කොළඹ හෝ ආසන්න ස්ථානයක සංවිධානය කරනු ලබන සරල හා සුහදශීලී හමුවකදී 2016 වසරේ බ්ලොග් ලොව කිරුළු දරන්නෝ සම්මානයට පාත්‍ර කරනු ඇත. දිනය වෙලාව හා ස්ථානය හරියටම ඉදිරියේදී සඳහන් කරන්නෙමු.
ගැල ඉදිරියටම ගමන් කරනු ඇත!!!
ප.ලි. උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවී ඇති බැවින් නෙලුම්යාය ප්‍රචාරක කර්තව්‍යයේ යෙදී සිටන ප්‍රොෆයිල් සහ ඇනෝ මහතුන් සමඟ වූ ඉතා වටිනා හා සිත්ගන්නා සුළු වූ කොමෙන්ට් සංවාද වලට නිතර එක් වීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල