සඳැස් / නිසඳැස්

ජීවිතය නම් එහෙමයි

Off
ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක
දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක
දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට
තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මිලිනව වැටේවී
පින්න දිලිසී මැරේවී
සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි
ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“දැන් මොකද්ද උඹේ ඕපනින් ලයින් එක..?”

ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්

“අතේ තියෙන පොත ගැන අහමු..?”

“නොදකින්…ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්…උඹ පෙරනවා කියලා අතේ මාට්ටු…”

“නෑ එහෙම වෙන එකක් නෑ…”

“නාගෙන වරෙන් එහෙනම්…”

ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට…

“එක්ස් කියුස් මී… ඔය අතේ තියෙන්නේ කවි පොතක්ද..?”

ගතවෙන්නේ කල්පයක්…ඇය නිහඬයි…

මගෙ ආත්ම ගෞරවය..? දෙවියනේ ඒක නොතියා ඉන්න තිබුන ලන්සුවක්…මගේ යටි හිත කෑගහනවා…

හිනාව නවත්තගන්න දඟලන ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න…

පලවෙනි පාඩම..! ඇගේ කතාව හෙමින්…

“ඔව්…!”

ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්…

“දෙවියනේ…ඉතින් ඒලියන්ස්ලා මෙහෙට්ට එයිද..?”

ලෝකේ තියෙන ‍බාලම පිකප් ලයින් එකකින් කෙල්ලෙක් කතාවට අල්ලගන්න පුළුවන් තැනක ඉන්න වුනු එක ගැන සාපකරමින් ජිමා නැගිටලා වෙන සීට් එකකට යනවා…තනියම කියවන උගෙන්  ඉතින් කාට පලක් ඇතිද…?

අපි දෙන්නාගේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්…

“ඔයා ආසාම කවිය මොකද්ද..?”

මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක…

“Sic Vita”

ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව…

Sic Vita

කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්…

එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්…

සිතුවිලි වලට හඬන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්…

මිතුරිය.., නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්…

Sic Vita

Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring’s gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.

by Henry King

පිංතූරය ගත්තේ මෙතැනින්

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල