කෙටි කථා

ඇය එහි මෙසේද ලියා තිබිණ…

Off

 

මම ඇයව මඩ ගොහොරුවක එබීමි…
ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි…
එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය…
ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය….
මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි…
එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය හට, කුර වලින් වලින් අනිමින් ඇයගේ හදවතෙහි විශාල ආවාටයන් මතු කල හැටි මා බලා උන්නේ හැඟීමකින් තොරවය….
ඉතා අන්ධකාර, සීතල රාත්‍රීන් වල, ඇය ඉතා තදින් හුස්ම අල්ලාගෙන, හැකි තරම් පහත් ස්වරයෙන් ඉකි බිඳින්නීය…
හැඬුම්, ඉකි බිඳුම් ඇයගේ දින චරියාවේ කොටසක් වූයේ, ඇය මේ මඩ ගොහොරුව තුල ජීවත් වන්නට හුරු වූ දා පටන් බව මම දනිමි…
එහෙත්, බොහෝ කලකට පෙර මා මුණ ගැසුන අලුත, උන් හිටි ගමන් ළදැරියක සේ මහ හඬින් හිනැහුන , ඇයගේ ඒ සිනහව ඉල්ලමින් අදත් මම වෙහෙසෙමි…
එවිට ඇය ආයාසයෙන් සිනාසෙන්නීය…එහෙත් ඒ මුහුණේ ඇත්තේ දිය සිඳී ගිය ළිං පතුලක ඇති, බොහෝ නිසල අඳුරු සෙය්යාවක් පමණය…
ඉවසා ගැනීමට නොහැකි තැනකදී මම ඇයට වැරෙන් පහරක් ගසමි….මා තව තවත් ප්‍රේමය වුවමනා යැයි ඇයට තර්ජනය කරමි….
එකල මා සිතාරය වයද්දී, ඇය කොළ පුරා කුරුටු ගී ලීවාය…මා ඒ පද වලට තනු යොදා, නැළවිලි ස්වරයෙන් ඒ ගී ඇය වෙනුවෙන්ම ගැයුවෙමි…
ඇයට වුවමනා වූයේ පුතෙකි….මා වැනි පුතෙකි….ඇය විටෙක ඒ නූපන් පුතුට නොයෙකුත් නම් මුමුණමින් මා පසු පස දැවටුනාය….
ජීවිත කාලය පුරාම ඇයගේ ප්‍රේමය මටම පමණක් විඳිනු රිසියෙන් මම උපායක් කල්පනා කලෙමි ….
ඇය මා මේ මඩ ගොහොරුවේ සිර කලේ, ඇය කෙරේ තිබූ උහුලාගත නොහැකි අප්‍රමාණ ප්‍රේමය නිසාම වග පමණක් බව දන්නේ මා පමණෙකි…
ඇය දැන් බොහෝ රෝගී වී වැහැරී ගොසිනි…එකල මෙන් ඈ අතින් සුපසන් පෙම් කවි නොලියවෙයි…
මම නැවත, නැවතත් ඒ ඉපැරණි ප්‍රේමය සොයා ඇයව හැකි තාක් වෙහෙසවමි….එහෙත් ඇය කිසි දිනෙක ප්‍රේමය ඉල්ලා මා ඉදිරියේ හඬා වැලපී නැත…
මම ඇයව සියල්ලන්ගෙන්ම වෙන් කලෙමි…ඒ ඇයගේ ප්‍රේමය මට අහිමි වේ යයි ඇතිවූ අහේතුක බියෙනි…
එහෙත් වී ඇත්තේ අනෙකකි…
ඇයට ඇයවද, මට මාවද අහිමි වී ඇත…
ඇය ආයාසයෙන් සුසුම් හෙලන බව, මඩ අතරින් පිටවන බුබුළු තුලින් මම දකිමි…
ඇය ජීවත් වන්නට නිමිත්තක් සොයනවා විය යුතුය…
තැලී ඉදිමී, ඉහඳ තැබු හදවත, යන්තමින් හෝ තවාගන්නට එක සුසුමක් හෝ ඉතිරිව ඇත්දැයි සිතනවා විය යුතුය…
රාත්‍රීන් කිහිපයක්ම එක දිගට නිදි වැරූ ඇයට, කුසගින්නේම නින්ද ගොස් ඇත….
තදින් මිට මොලවා සිටි, පොඩි වූ කොල කැබලි වල ඇය කවි කුරුටු ගා තිබුණි….
එහි මෙසේද ලියා තිබිණ,
එදා මම ඔබට මුළු හදවතින්ම ප්‍රේම කලෙමි…එහෙත් අද මගේ හදවත තිබු තැන ඇත්තේ ඉතා විශාල හිස් කුහරයකි…ශිරා සහ ධමනි පමණක් එහි අපහසුවෙන් එල්ලී, සියලු රිදුම් ඉවසාගෙන හිඳියි….
ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය….
ඔබ දැන ගත යුතු දෙයක් ඇත…
ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය….
……………………………………………………………………………………………
හඳ දිහා මං බැලුව…හඳත්‍ ඇස් වහගත්ත
තරු දිහා මං බැලුව…තරුත්‍ වැට බැඳ ගත්ත
ඉර දිහා මං බැලුව…ඉරත් අද ගිනි ගත්ත
ආයෙමත් නාරින්න…මමත් ඇස් වහ ගත්ත
…………………………………………………………………………………………….
මහද මිහිදන් කෙරූ ඔබෙ සුසානය වසා
රතු සෛල කැටියක් ඝණකමට මිදී ඇත
මිනී මලකට පවා දැන් එතන තෙතක් නැත
ගන්ධබ්බ ඔබ ඉතින් එහි පැමිණ පලක් නැත…
එම්බාම් දියර ඉස රකින මල හදවතක
ප්‍රේමය ඉවත් කල යුතුමය සුපෙම්වත
නිරන්තර රිදුම් දෙන ඔබ නිදන සොහොන් කොත
උණුහුම් කරනු බැරි හීතලෙන් මිදී ඇත…
පින්තුරය:     දම්වැලකින් ගැට ගැසූ දෙඅත්
උපුටා ගත්තේ :

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල