අධ්‍යාපනික

වීදුරු ගෙම්බා : දෙපැත්තටම හරි අය

1

ගෙම්බො දන්නවනේ? පාර්ලිමේන්තු ගියාම වාසි බලල පනින අය නෙමේ මම අහන්නේ…ඒ ගති තියන මිනිස්සුත් නෙමෙයි. එයාල වගේම නොවුනත් පැන පැන යන, ලෝකේ පුරාම තෙත් පරිසරවල, වියලි පරිසරවල විසිරිලා ඉන්න සත්තු… අපි දැකල තියන කොලපාට, දුඹුරු පාට ලොකු පොඩි ගෙම්බන් වගේම උභයජීවී සතෙක් වුනත්, ගෙම්බෙක්ම වුනත් ඊට  වඩා ටිකක්  වෙනස් මේ ලියන්න යන විදුරු ගෙම්බා..

නමේ හැටියටම මේ සතා විනිවිද පෙනෙන නිසයි මේ නම වැටිලා තියෙන්නේ. බොරු පොරොන්දු විනිවිද භාවයත් නෙමෙයි.. මේ සතා ඇත්තටම විනිවිද පෙනෙනවා. එහෙම වෙන්නේ උගේ හම එහා මෙහා පෙනෙන සුළු නිසා. බඩ පැත්තට හරවල බැලුවොත් උගේ හදවත වැඩකරන හැටි, ලේ නහර, බඩවැල්, අක්මාව, බිත්තර දාන්න ළඟ නම් බිත්තර පවා පෙනෙන්න තියනව. (අපරාදේ නේද ගෙම්බාගේ ඇතුලත නිරීක්ෂණයට ගෙම්බෝ මරල කපල බලන්නේ..?)
ඒත් අපේ රටේනම් වීදුරු ගෙම්බන්ව මේ වනතෙක් හොයාගෙන නැහැ. දකුණු ඇමරිකාවේ, මෙක්සිකෝවේ, මධ්‍ය ඇමරිකාවේ හා ඇමේසන් වනයේ තමයි මේ සතුන්ව දැකල තියෙන්නේ.
දකින්නත් ලේසි නැහැ නියපොත්තක් තරම පුංචි මේ සතුන්ගේ ලොකුම ගෙම්බන් 50mm විතර වෙන්නේ. 10mm තරම් කුඩා සතුන් වැඩි හරියක් ඉන්නේ.

නිවර්තන වැසි වනාන්තරවල ජලය ආශ්‍රිතව තියන ගස් මුදුන්වල තමයි මේ ගෙම්බන් ජිවත්වෙන්නේ. ගස් වැවිල වලාකුළු වගේ ආවරණය වෙලා තියන නිසා වලාකුළු වනාන්තර කියන ඝනව වැවුණු කැලෑවල තමයි ඉන්නේ. ඒත්, මොවුන්ව ගස් ගෙම්බන් ගණයේ සලකන්නෙත් නැහැ. ගලායන දියපාරවල් උඩින් නැමුණු ගස් මුදුන්වල කොළ මත තමයි ජිවත් වෙන්නේ.
දීප්තිමත් කොළ හා ලා කොළ පාට විදුරු ගෙම්බන්ගේ හමේ කළු, සුදු, නිල්, කහ, තද කොළ තිත් පිහිටලා තියනව. මේ හම හරිම සියුම්. තද වැස්සකට වුනත් තුවාල වෙලා යනවා. ඒ නිසා තද වැස්ස අවස්ථාවලට උන් කොලවල යටි පැත්තේ ඉන්නේ.

විදුරු ගෙම්බන්ව කන්න බලාගෙන ඉන්නේ සර්පයෝ, කුරුල්ලෝ හා සමහර මාංශ භක්ෂක ක්ෂීරපායින්. ඒත් සමේ විනිවිදකම නිසා ඉන්න කොලයේ පාටම ගන්න නිසා සතුරන්ට මේ ගෙම්බන්ව දකින්න අසීරුයි. උඩින් බැලුවම අවතාර වගේ පෙනෙනවා ඇත්තේ. කොහොමත් ආරක්ෂාව පිණිස දවල්ට නොසැලී ඉන්න මේ සතුන් ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලයටයි. හිසේ පිහිටන ඉදිරියට නෙරූ විශාල ඇස් නිසා අඳුරේ වුවත් තම ආහාරය වන මකුළුවන් හා කෘමින් අපහසුවක් නැතිව හොයාගන්න පුළුවන්.

සහකරුවෙක් හොයාගන්න කාලේ වෙනකොට ගැහැණු ගෙම්බන් පහලට ඇවිත්, දියපාර අසල ගස් කොළ මතට වෙලා ශබ්ද කරන්න පටන්ගන්නවා. ශබ්ද ඇසිලා එන අය අතරින් තමන්ට හිත ගිය කෙනා තෝරගත්තට පස්සේ අනිත් අයට ලං නොවෙන්න වෙනස් ශබ්ද නගනවලු.
ඉතින් දෙන්න එකතුවෙලා සතුටින් ඉඳල බිත්තර 20-30 දානවා ඒ ශාක පත්‍රය උඩ. වෙන ගෙම්බෝ බිත්තර දාන්නේ ජලයෙනේ. අනිත් ගෙඹි බිත්තර වගේම මේ බිත්තරත්  ජෙලි වලින් ආවරණය වෙලා තියෙන්නේ. පිරිමි ගෙම්බා ළඟට වෙලා ඉඳල,  එයාව කන්න එන විලොපින්ගෙනුත් බේරිලා, බිත්තර ආරක්ෂා කරගන්නවා.

සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ වැස්ස කාලෙට ඉස්ගෙඩි එලියට එන්න ගණන් තියල. සති දෙකකින් විතර බිත්තර එකින් එක බිඳගෙන ඉස්ගෙඩි එලියට එනකොට ජෙලි ගතිය දියවෙලා යනවා. වැස්ස නැත්නම් ඒ ජෙලිවල රූටල පහල තියන වතුරට වැටෙනවා. ඊටපස්සේ අවුරුද්දක් විතර දියපාරේ ගල් යටට වෙලා ජිවත් වෙනවා. ක්‍රමයෙන් වැඩිලා, කරමල් නැතිවෙලා පෙනහළු හැදිලා, වලිගය නැතිවෙලා පාද එලියට ඇවිත් ගෙම්බෙක් බවට පත්වුනාම වතුරෙන් එලියට ඇවිත් ගස් දිගේ උඩට යනවා.

අනිත් ගෙම්බන්ට වඩා වෙනස් පරිසරයක ජීවත්වෙන මේ සත්තු ගැන පරිසරවේදීන් විශේෂ උනන්දුවක් දක්වනවා.. මේ අලංකාර සතුන් ජිව දර්ශකයක් ලෙස යොදාගන්න පුළුවන් නිසා. ඒ කියන්නේ පරිසරයේ සිදුවන වෙනස්වීම් හඳුනාගන්න පුළුවන් මේ විදුරු ගෙම්බන් නිරීක්ෂණයෙන්. ඔවුන් ජීවත්වෙන පරිසරය අනුව ගෝලීය උෂ්ණත්වය වෙනස්වීම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්ලු.

කොහොම උනත් දැනට වර්ග 60ක් විතර ඉන්න විදුරු ගෙම්බන් වර්ග කිහිපයක්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීල කියලයි ජිව විද්‍යාඥ දත්ත අනුව පෙනෙන්නේ.
ලෝකය ලස්සන කරන මේ අපුරු සතුන් මිනිස් ක්‍රියාකාරකම් නිසා නැතිවී යන එකනම් දුකක්..

උදව්:
දිරි හා ඉඟි දුන් රේණුකා විමලරත්න සොයුරිය
nationalgeographic.com
mudfooted.com
softschools.com
dailymail.co.uk

සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

උපුටා ගැනීම : https://rasudal.blogspot.co.uk/2017/02/blog-post_20.html

Related Posts

1 Comment

  1. chamikara February 26, 2017 at 11:37 am -  Reply

    මෙහෙම එකක් ගැන අහුව්වමයි

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල