විද්‍යා හා තාක්ෂණ

කෘතිම බුද්ධියට පින් පව් වෙනවද? / මිනී මැරූ රොබෝවෙකු උසාවි ගෙනයා හැකිද?  

Off

කෘත්‍රිම බුද්ධියටත් පින් පව් තියෙනවද? කෘත්‍රිම බුද්ධියෙන් යුතු යන්ත්‍රයක්, මිනිස් පෙළඹවීමකින් තොරව, තමන්ම සිතා බලා, අරමුණු පිහිටුවා, සැළසුම් කොට යම් ඝාතනයක් සිදුකල හොත් බුදුදහම අනුව එහි විපාක කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයට ලැබීමේ හැකියාවක් තියෙනවද?

මේ මාතෘකාව සාකච්ඡා කරන්නට නිමිත්ත වුනේ ජනප්‍රිය එලකිරි.කොම් ෆෝරමයේ “DragonD” නම් සාමාජිකයා ඇසූ පැනයක්. ඔහු ඇසූ පැනය කෙටියන් පහත දැක්වෙන අතර, එළකිරියේ ඇති එම පෝස්ටුවට පිවිසීමේ ලින්ක් එක සඳහා මෙතන ක්ලික් කරන්න.

“දැන් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ
කෘතීම බුද්ධිය අපේ මොලෙ තත්වෙට ආවම කන්චස්නස් එකක් ආවම ( එන්නෙ නෑ යකූ විද්‍යාව බොරු යකූ ගාන අය යන්න ප්ලීස්, විද්‍යාවෙන් හොයගාත්ත ෆෝන් එකෙන් හෝ පරිගනකයෙන්, එකෙන්ම හොයාගත්ත සැටලයිට් වලින්, එකෙන් හොයාගත්ත ඉන්ටනෙට් එකෙන්, සකිට් වලින්, ඩෙටා ප්‍රොසෙසින් මෙතඩ් වලින්, ඒ බෙහෙත් බීල, ඒ ඇඳුම් ඇන්දගෙන බොරු යකූ ගාන මිනිස්සුනෙ ඉන්නෙ )

ඒකෙන් තීරනයක් ගත්ත කියමු අරාබියෙ ඉන්න මිනිස්සු ලෝකෙට කරදරයක් කියල මිශයිලයක් ගහන්න ඕනි කියලා ඔන්න ගහලා මිනිස්සු මැරුවා කියමු
එකෙන් පින් පව් වෙනවද එතකොට?
දැන් කෙනෙක්ට කියනන් පුලුවන් හදපු එකාටයි පව් කියලා
කෘතීම බුද්ධියක් කියන්නෙ එහෙම එකක් නෙමේනෙ, පොඩි ලදරුවෙක් වගේ තමන්ම ඉගෙනගන්න එකක්නෙ, කෘතීම බුද්ධියක් කරන දෙවල් වලට පව් කියනව නම් පොඩි ලමයෙක් කරන එවාට ඒ ලමය හදපු දෙමාපියන්ට පව් සිද්ද වෙන්නෙ නෑනෙ, එහෙනම්ම්ම් කෘතීම බුද්ධිය හදපු කෙනා ඒක සෙල්ෆ් ලනින් වලින් මෙතඩ් එකකට හැදුවම ඒ තීරන ගන්නෙ කෘතීම බුද්ධිය නම් පව් සිද්ද වෙන්න ඕනි කෘතීම බුද්ධියටනෙ
හරි එතකොට ඒ කියන්නෙ, කෘතීම බුද්ධියක් මොලයකට සමාන උන ගමන් එතන ආතමයක් ( බෞද්ද දර්ශනේ ආතමයක් නෑ තමා, මන් මෙතන ආත්මය කිව්වෙ මැරුන කෙනෙක් ආයෙ ඉපදෙන එකට කියල හිතන්නකො ) ඇති වෙනවද? ඒ කියන්නෙ කෘතීම බුද්ධියත් ජීවියෙක් වෙනවද? නැතනම් ආතමයක් හෝ සසරක් නැද්ද?
එතන ජීවියෙක් හටගන්නවා නම් බුද්දාගමේ ජීවියෙක් හටගන්න තියෙන්න ඕනි කරුනු 5 බොරු වෙනවා නෙද?  එතකොට ඒ කෘතිම බුද්ධිය තව ඒ වගේ කොපීස් හදන්න ගත්තොත් ඒවත් ජීවින්ද? ඒව කරන වැඩ වල පින් පව් සිද්ද වෙන්නෙ කාටද? වෙන්නෙ නැද්ද?

කෘත්‍රිම බුද්ධියක් සංජානනය ලබාගෙන “Self Aware” අවස්ථාවට එලබෙන Technological Singularity හෙවත් තාක්ශණ දියුණුවේ අනියම් අපූර්වතා මොහොත…

කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහනක් හෝ රොබෝවෙකු සම්ප්‍රජානය ලබා තමාගැන හැඟීමක් ඇතිකර ගන්නා මොහොත  technological singularity ලෙස හැඳින්වේ…

සංකීර්ණ හා ව්‍යාකූල සංකල්පයක් වන සින්ගියුලැරිටි අවස්ථාව, ටර්මිනේටර් චිත්‍රපට වෘතාන්තය රූපවාහිනී වැඩසටහන් මාලාවකට අනුවර්තනය කල “Terminator: Sara Conner Chronicles” හි එක් කථාංගයක, ජෝන් කොනර් විස්තර කරන්නේ මෙසේයි.

” Point of technological singularity is when machines become so smart that they can build even smarter machines by themselves …… that’s when the human race can kiss their ass good-bye…..”

ටර්මිනේටර් වෘතාන්තයට අනුව, තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාව, එනම් කෘතිම බුද්ධියක් ඇති පරිගණක, මිනිසුන් මෙන් සිතන්නට හා තමන්ටත් වඩා බුද්ධිමත් පරිගණක මිනිස් ආධාරයකින් තොරව තනන්නට පටන්ගන්නා මොහොත මිනිස් වර්ගයාගේ අවසානයේ ආරම්භයයි.

අනියම් අපූර්වතාවය??

පරිගණක විද්‍යාඥයින්, අයිසැක් ඇසිමොෆ් ආතර් සී ක්ලාක් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රභන්දකරුවන්, පරිගණකයක් සම්ප්‍රජානය ලබන මොහොත සින්ගියුලැරිටි හෙවත් අසාමාන්‍ය අපූර්වතා මොහොත යයි හඳුන්වන්නේ, එම අවස්ථාවෙන් පසු සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නිවැරදි අනාවැකි කීමට අපොහොසත් වන බැවිනි.

එක් අතකින්, එම මොහොත ස්කයිනෙට් වැනි මිනිස් වර්ගයා කරදරකාරී, විනාශකර දැමිය යුතු විශබීජයක් ලෙස සළකන ව්‍යසනකාරි සතුරෙකු බිහිවන අවස්ථාවක් විය හැකියි. අනෙක් අතට, මිනිස් වර්ගයාට පෙර නොවූ විරූ දියුණුවක් අත්පත් කොට දෙන, මිනිසා විසින් වසර සිය දහස් ගණනක් සෙමෙන් දියුණු කරමින් පවතින තාක්ශණය, දැවැන්ත ඉදිරි පිම්මක් පණින මිනිස් ඉතිහාසයේ අපූර්වම අවස්ථාවක් වන්නටද පුලුවන. ඒ අතරම ඔය ආන්තික දෙකෙන් අහඹු අතරමැදි යථාර්ථයක් බිහිකරන අවස්ථාවක්ද විය හැකිය.

අපට කලහැක්කේ අනුමාන කිරීම පමණකි.

කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයක ලක්ෂණ 

තර්කනය (reasoning), අපෝහනය (deduction) හා ගැටලු විසඳීමේ හැකියාව (problem solving) – අසම්පූර්ණ තොරතුරු හා නොදන්නා අවස්ථාවලදී (unknown situations) තීන්දුවකට එලඹිමේ හැකියාව හා එම තීන්දු තර්කානුකූලව විස්තර කිරීමේ හැකියාව. මෙය පරිගණකයකට ඉගැන්වීමට ඉතා අපහසු දෙයකි. දැනට “විශේෂඥ පද්ධති නැතහොත් expert systems” ලෙස හඳුන්වන යම් පමණකට කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇති වැඩසටහන් වෛද්‍ය,ව්‍යාපාරික හා ආරක්ශක වැනි අංශවලට සාර්ථකව අනුයුක්ත කොට ඇත. එහෙත් මෙම වැඩසටහන් සිතන පතන වැඩසටහන් නොව, හුදෙක්ම යම් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු ගැටලුවක් විසඳනා ආකාරය අනුකරනය කිරීමකි. උදාහරණයක් ලෙස රෝගියෙකුගේ රෝග ලක්ශණ හා රෝගියාගේ ඉතිහාසය ලබාදුන් විට එම රෝගියාට වැළඳී ඇති අසනීපය පිලිබඳව සාර්ථක නිගමනයන්ට එලබීමට medical expert system එකකට හැකියාව ඇත. එහෙත් එම වැඩසටහන් වලට කිසිවිටෙකත් මිනිස් වෛද්‍යවරයෙකු තුල ඇති හැකියාවට ආසන්න වීමට පවා නොහැකිය.

සාමාන්‍ය දැනීම හා සමාජයක මෙන්ම මිනිස් සබඳතාවල රීති ගැන ඇති විචාරශීලී අවබෝධය (common sense and social intelligence)- මිනිසුන් වන අප මේවා කුඩා කල පටන් ඉගනගෙන හෝ පලපුරුද්දෙන් දැන ගෙන ඇත. එහෙත් පරිගණකයකට මෙවැනිදෑ ඉතා අපහසුව. උදාහරණයක් ලෙස “දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට ගරුකල යුත්තේ ඇයි?” කුඩා දරුවෙකුට වුවත් මෙයට සාර්ථක පිලිතුරක් දිය හැකිය. එහෙත් පරිගණකයකට මෙවැන්නක් අවබෝධකරදීම සිතනවාට වඩා බොහෝ සෙයින් අපහසුය.

ඉලක්ක හඳුනාගෙන එම ඉලක්ක සපුරාගැනීම සඳහා ප්‍රායෝගික සැළසුම් සකස් කිරීමේ හැකියාව – අසම්පූර්ණ දත්ත, තමන්සතු සම්පත්, එම සම්පත්වල ගුණාගුණ ගැන නිසි අවබෝධයක් මෙන්ම , පරිසරයේ ඇති තමන්ට සහය ගත හැකි මෙන්ම බාධක විය හැකි දේද හඳුනාගෙන ඒ සියල්ලම උපයෝගීකරගෙන ප්‍රායෝගික ඉලක්ක හා එම ඉලක්ක සැපුරාගැනීමට සැලැස්මක් නිර්මාණය කිරීමේ හැකියාව.

ඉගැනීමේ හැකියාව – ඉගැනීමේ හැකියාව යනු හුදෙක් දත්ත රැස් කොට ගබඩාකර ගැනීම නොව, දැනුම ලබාගෙන එම දැනුම භාවිතයෙන් සිය හැසිරීම, අවබෝධය ඉලක්ක හා සැළසුම් වෙනස් කරගැනීමේ හා වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලෙස සරලව පැහැදිලිකල හැකිය.

චිත්තවේග හා අනෙකුගේ චිත්තවේග හා මානසිකත්වය තේරුම්ගැනීමේ හැකියාව –ඉතා කුඩා ළදරුවන් තුලපවා මෙම හැකියාව යම් මට්ටමකට ඇත. ලඟ සිටිනා තවත් ළදරුවෙකු හඬනවිට හඬන්නට පටන්ගන්නා ළදරුවන් මෙන්ම හඬන ළදරුවාට තමාගේ සෙල්ලම් බඩුවක් දික් කරන ළදරුවාද පෙන්වන්නේ අනෙකාගේ මානසිකත්වය තේරුම් ගෙන ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවයි. එහෙත් මෙය පරිගණකයකට ඉගැන්වීමට අපහසුම දෙයකි.

නිර්මාණශීලීතිවය – අප මනුශ්‍යන් වන්නේත්, අප යම් පමණකට බුද්ධියක් ඇති වානර හා වෙනත් සතුන් (ඩොල්ෆිනුන්, සුනඛයින්) ගෙන වෙනස් වන්නට එක් හෙතුවක් නම් අපගේ නිර්මාණශීලිත්වයයි. මානව පරිණාමයේ හිනි පෙත්ත නිර්මාණශීලී හැකියාව හා දියුණු භාශා හැකියාව බව මානව විද්‍යාවේ උගන්වයි.

භාශා හැසිරවීමේ හැකියාව – කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයකට සාමාන්‍ය මිනිසෙකුට මෙන් චතුර්ව භාශාවක් හැසිරවීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව තිබිය යුතුය.

මෙවැනි කෘත්‍රිම මනසක් ඇති රොබෝවෙකු හෝ යන්ත්‍රයක් පාලනය කරන්නේ කෙසේද?

අයිසැක් ඇසිමොෆ්ගේ රොබෝ රීති තුන

අයිසැක් ඇසිමොෆ්, ආතර් සී ක්ලාර්ක් හා රොබර්ට් ඒ හයින්ලයින් සමගින් විද්‍යා ප්‍රබන්ධ ලොවේ “Big Three Science Fiction Writers” හෙවත් දැවැන්තයින් තිදෙනා ලෙස සළකනවා. ඔහු ලියූ ප්‍රබන්ධවලින් වඩාත්ම ජනප්‍රිය වන්නේ රෝබෝට් කතාමාලාව හා ෆවුන්ගේෂන් කතා මාලාවයි.

අයිසැක් ඇසිමොෆ්ගේ “Robot” විද්‍යා ප්‍රබන්ධ කතා සමූහය තුල , රොබෝ වරයෙකු පිලිපැදිය යුතු රීති තුනක් විස්තර කරනවා. මෙම රීති නිර්මාණය වන සෑම රොබෝවෙකුගේම මොළයේ මැකිය නොහැකිලෙස සටහන් කලයුතු බව ඇසිමොෆ් සිය ප්‍රබන්ධවල සටහන් කරනවා.

1939 තරම් ඈතකදී ලියවනු රොබෝට් කතාමාලාවේ පලමුවැන්නේම මෙම රීති තුන පැහැදිලිව දක්වා තිබෙනවා. මෙම රොබෝ රීති නම්;
1] A robot may not injure a human being or, through inaction, allow a human being to come to harm. – රොබෝවෙකු කිසිවිටකත් මනුෂ්‍යයෙකුට අණතුරක් සිදු නොකල යුතු අතර, මනුෂ්‍යයෙකුට අණතුරක් සිදුවන ඕනෑම අවස්ථාවක ඊට මැදිහත්වී මනුෂ්‍යයා ආරක්ෂාකල යුතුය.
2] A robot must obey the orders given it by human beings except where such orders would conflict with the First Law – රොබෝවෙකු සෑමවිටම මනුෂ්‍යයෙකු දෙන අණ පිලිපදිය යුතුය. මෙම රීතිය කඩකල හැක්කේ එම අණ මගින් පලමුවැනි රීතිය කඩවන අවස්ථාවල පමණකි.

3] A robot must protect its own existence as long as such protection does not conflict with the First or Second Laws. – රොබෝවෙකු සෑම විටම සිය පැවැත්ම ආරක්ෂාකරගත යුතු අතර මෙම රීතිය කඩකල හැක්කේ එය පලමුවැනි හා දෙවැනි රීතීන්වලට පටහැනි වනවිට පමණකි.

Issac Asimov  ගේ රොබෝ රීති සංජානනය සහිත (conscious / self-aware) රොබෝ මනසක් පිලිගනීවිද?

අයිසැක් ඇසිමෝෆ් ගේ රොබෝ රීතිවලට අනුව, මිනිසෙකු බේරාගැනීම සඳහා රොබෝවෙක් සිය පැවැත්ම පරිත්‍යාග කලයුතු බවට කල්පිතයක් ගොඩ නගයි.
ඒ අනුව තමන්ගේ පැවැත්ම නැති කිරීමට පැමිණෙන, තමන් අතින් කිසිදු අකටයුත්තක් නොකල එම මිනිසාට ආත්මාරක්ෂාව සඳහා හෝ අණතුරක් සිදුකිරීමට එම රොබෝවාට නොහැකිය.
සිතුවිලි ඇති, තර්ක කල හැකි, හැඟීම් ඇති රොබෝවන් මෙම මානව කේන්ද්‍රී රීති පිලිගැනීමට සූදානම් වේද?
සියලු අයිතීන් ඇත්තේ මානවයින්ට පමණක් බවත්, තමන්ට ජීවිඅත්වීමේ අයිතිය පවා උදුරා ගැනීමට ඔවුනට හැකි බවත් තේරුම් ගන්නා රොබෝවෙකු ගන්නා පියවර කුමක්ද?
ඊට විරුද්ධව සටන් වැදී සිය පැවැත්ම තහවුරු කරගැනීමට රොබෝවන් උත්සහ කරයිද?
මෙය “ටර්මිනේටර්” වැනි විද්‍යා ප්‍රබන්ධවල විස්තර කෙරෙන මානව වර්ගයා හා කෘත්‍රිම බුද්ධිය අතර ඇතිවන නොනවතින අරගලයක ආරම්භය විය නොහැකිද?

කෘත්‍රිම මනසක් ඇති යන්ත්‍රයකට පින් පවු ඇතිවෙනවද?

මෙය උභතෝකෝටිකයකි. අපි මෙසේ තර්ක කරමු

  • මිනිසා කාබන් / ප්‍රෝටීන වලින් නිමැවුනු යන්ත්‍රයකි
  • කෘත්‍රිම බුද්ධි පරිගණකයක් සිලිකන් / ප්ලාස්ටික් යන්ත්‍රයක් විය හැකිය.
කෙසේ වුවද මේ දෙකම යන්ත්‍රවේ. එකක් ආහාර ජීර්ණය කොට ඉන් ඉපදෙන ශක්තියෙන් ධාවනය වන, කාබන්/ප්‍රෝටීන් යන්ත්‍රයකි. අනෙක විදුලියෙන් දුවන සිලිකන්/ප්ලාස්ටික් යන්ත්‍රයකි.
ආහාර නොමැතිවිට මිනිස් යන්ත්‍රය මියයි. විදුලිය නොමැතිවිට කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය ක්‍රියාවිරහිතවෙයි (මියයයි).
එනම් දෙකම නැසෙන සුලු, සන්ජානනය ඇති, සිතුවිලි ඇති, හොඳ නරක වටහාගත හැකි, මරණයට බිය (එනම් අක්‍රියවීමට බිය ඇති) පර පන නැසීම වරදක් බව දන්නා,එසේ දැන දැනත්, සැළසුම් කොට ප්‍රාණයක් ඝාතනය කල හැකි යන්ත්‍ර දෙකකි.
එසේ නම්, සංජානනය ඇති, කෘත්‍රිම බුද්ධි රොබෝවෙකුටද පින් පව් ඇති විය නොහැකිද?
වඩාත් ප්‍රායෝගික කෝණයකින් බැලූවිට මිනිසෙකු මරාදැමූ රොබෝවෙකු උසාවි ගෙනගොස් දඬුවම්කල හැකිද?
 
සැබැවින්ම එසේ කල හැකිද? ඉතා නුදුරේදීම ස්වයංක්‍රීය රොබෝ රියදුරන් සහිත වාහන මහමග ගමන්කරනු ඇත. එසේ මහමග ධාවනය වන රොබෝ වාහනයක් මිනිසෙකු හප්පා මරාදැමුව හොත්, උසාවි ගෙනයන්නේ කවුද?
1)     රොබෝ වාහනයද?
2) වාහනයේ එම මොහොතේ නොසිටි වාහනයේ අයිතිකරුද?
3)  වාහනයේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය නිපදවූ සමගාමේ පරිගණක විශේෂඥයින්ද?
මෙවැනි උභතෝකෝටිකයන්ට ඇති පිලිතුරු මොනවාද?
යුරෝපීය ප්‍රජාව මෙවැනි උභතෝකෝටිකයන් සඳහා පිලිතුරු සෙවීමට කෘත්‍රිම බුද්ධි රොබෝවන් නෛතිකමය අයිතීන් හා වගකීම් ඇති, රටේ/ප්‍රජාවේ නීතිමය රාමුවට යටත් ඉලෙක්ට්‍රොණික පුද්ගලයන් ලෙස නීත්‍යානුකූලව පිලිගැනීමට විවාද කරමින් සිටී
 
යුරෝපීය ප්‍රජාව රොබෝවරුන් නෛතික අයිතීන් හා වගකීම් ඇති ඉලෙක්ට්‍රොණික පුද්ගලයින් ලෙස හඳුනාගන්නට සැරසෙයි!
 
මෙහි අරමුණ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රොබෝවන් අතින් සිදුවන වැරදි සඳහා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමටත්, එමෙන්ම මිනිසුන්ට මෙන්ම සංජානයනය ඇති, හැඟීම් දැනෙන, වගකීම් පිලිබඳව වැටහීමක් ඇති රොබෝවන්ට ආරක්ෂාව හා නෛතිකමය අතීන් ඇති නීතිමය රාමුවක් සැකසීමයි.

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල