අතීතකාමය

නාකි සුමුදුටත් මටත් හිටියේ එකම කෙල්ලෙකි……

Off

නාකි සුමුදු ආවේ මහරගම ජනාධිපතියේ සිට අතරමග බව මට මතකය.

එහෙම අතරමග ආ අය බොහෝදෙනෙක් එකල සිටියෝය. ඒ අයගෙන් අතරමග එන්නට සිදුවුනු කාරණය ඇසූ විට ඒ හැමෝගේම උත්තරය වුනේ තාත්තා මාරුවන තැන්වලට එන්නට වෙන නිසා ආ බවය. රජයේ රස්සාවල උන් තාත්තලා අම්මලාගේ ළමයින් ඉස්කෝල මාරුකිරීම එක අතකට අමුතු අත්දැකීමකි. එහෙම ආ සමහර අය බදුළු බණ්ඩාරවෙල අනුරාධපුර පොලොන්නරුව ආදී පලාත් ගන රස කතා කියන විට අහන් ඉන්නට ආසාය. එහෙත් දෙමාපියනට නම් මේ මාරුවීම් වදයක්ව තියෙන්නට ඇත.

එහෙත් නාකි සුමුදු ආවේ වෙන හේතුවකට බව මට යන්තමට වගේ මතකය. නාකි සුමුදු හැඩකාරයාය. අපි වාගේ හාල්මැහි සරීර නොව සුමුදුට උසට සරිලන මහතක්ද, කෙල්ලන් ආසා සුදු හමක්ද තිබුනේය. එහෙත් අපේ ”වාසනාවට” සුමුදුගේ කොණ්ඩය අකලට පැහී තිබුනෙන් අපි ඉතාම සන්තෝසයෙන් ”නාකි සුමුදුවා” කීමු. එහෙත් කල් යත්ම සුමුදුද ඒ නමම බාවිතා කරන්නට විය. අප හැමෝටම නම් ගොතා තිබුනේ මුත් මටත් අනික් සියළුදෙනාම පාහේත් එකල ඒ නම් වලට කැමැති වුනේ නැත.

සුමුදු ආ විගස අප කිහිප දෙනෙකු සමග මිතුරු විය. මා සමග මිතුරු වීමට සුමුදුට තව හේතුවක් තිබුනේය. ඒ අප දෙන්නා මහරගම වත්තෙගෙදර හන්දියේ රණවක සර් ලග ගණිත පන්තියකට යාමයි. රණවක සර් එකල නීතී විද්‍යාලයේ සිසුවෙකු වූ අතර පසුව නීතීඤයෙකුද වී නගර සභා මන්ත්‍රී කෙනෙකුද වූවා මට මතකය. රණවක සර්ගේ මල්ලී අපට ඉංග්‍රීසී ඉගැන්වූයේ එකල ඔහුද කොහේ හෝ යුරෝපා රටක යන්නට ඉන්ග්‍රීසී ඉගෙන ගනිමිනි. ඒ නිසා අපට ඔහුගේ කතා සහ සරල විනෝදය සමග ප්‍රියජනක ලෙස ඉගෙන ගන්නට පුලුවන් විය. මේ සර්ගේ නම මතක නැතත් රණවක සර් මෙන් කැත කළු නොවී, තළෙළු ප්‍රියමනාප කෙනෙකු වීම මෙන්ම අපට වඩා අවුරුදු හය හතක් වැඩිමල් වීම ගෑණු ලමයින්ගේ පන්ති ඒමේ අතිශය උනන්දුවටද අපේ ඉරිසියාවටද හේතු විය. සුපුරුදු ලෙස මට ගණං බැරි  නිසා රනවක සර්ව එපාවීමද ඉංග්‍රීසී වලට ආසා නිසා පොඩි රණවකට කැමැති වීමද ඉතා ඉක්මනින් දැනෙන්නට විය. එහෙත් ගණිත පන්තිය මගහැර සිටිය නොහැකි විය. එක ගෙදර දෙන්නෙකුගෙන් ඉගෙනීම ඊට හේතුවය. මා මගහැරීමට උත්සාහ කල අවස්ථා දෙක තුනම පොඩි රනවක නිසා අසු වී කන පිරෙන්නට ලොකු රණවකගෙන් බැනුම් ඇසුවෙමි.

ඒ නිසාම නොවෙතත් මම නොවරදවා පන්ති නම් ගියෙමි.

ඒ නාකි සුමුදු මහරගමදී හමුවී වල්පල් කතා කර කර පන්ති එන  එකත් නිසා නොවේ.  ඒ පන්තියට මගෙන් රනවක සර් සල්ලි ගත්තේ නැති එක නිසාවත් නොවේ. මාත් එක්කම දෙල්කද සිට පන්තියට ගිය බාලිකා පාසලක ලස්සන ලමයෙකු නිසාය. මේ ලමයාගේ තාත්තා අප පන්ති පටන් ගත් කාලයේම නැතිවූ නිසා කරදර මැද්දේ ආවත් ඇයගේ මවට යමක් කමක් තිබුනාය. ඒ නිසා අපට මෙන් නොව ලස්සනට අදින්නට හා පන්ති ගාස්තු ගෙවන්නට මුදල් තිබුනාය.  මේ කොතෙක් වෙතත් ඇය හා මා අතර ලෙන්ගතුකමක් ඇති වී තිබුනේය. අප දෙන්නා දෙල්කද ඉරිදාපොල බස් නැවැතුමෙන් මහරගම බලා යන සීටීබී බස් එකක නැගී (අප එකල මහරගම පන්ති යන නිසා නුගේගොඩ දෙල්කද හරහා මහරගම කියා ගත් වාරප්‍රවේශපත්‍රයෙන් උදේ වරුවේ ඉස්කෝලේද හවස පන්තිද යන දෙකම කරගතිමු. එකල මගේ වාර ප්‍රවේශපත්‍රයට අනුග්‍රහකත්වය දැක්වූයේ අපේ ගෙට ඉස්සරහාම හයිලෙවල් පාර ඉදිරිපිට වැල්ඩිං වැඩ කල සිසිර අය්යාය.) කිසි කතා බහක් නැතිව මහරගම හන්දියෙන්ම බැස්සත්, ඈ ඩ්‍රයිවර් උන්නැහේ මගේ වාසනාවට බ්‍රේක් තද කරන හැම විටම මගේ අතින් අල්ලා ගත්තාය. ආසනයක් හිස්වූ වහාම මගේ පොතුත් උදුරාගෙන වාඩිවී මම අල්ලාගෙන ඉන්නා ඉදිරිපස අසුනේ අධාරකය ඇයද අල්ලාගත්තාය.
අද ලොකු දෙයක් ගෑවුනත් වැඩි ලකයක් නැති එකේ එදා ඇගේ සුලගිල්ල මගේ අතේ වැදෙන විට අපි දෙන්නා කසාද බැද ළමයි හදා ඒ ළමයි එක්ක මගේ කාර් එකේ නුවර එළි යන එක ගැන පතරංග හීනයක් මැව්වෙමි. එහෙත් ඒවා හීනම මිස මගේ කටෙන්වත් එළියට ආවේ නැත. මගේ ආදරය එහෙමම වැඩෙමින් තිබ්බා මුත් ඇගේ හිතේ කුමක් තිබ්බාදැයි මා නොදනිමි.  කොච්චර ආදරයක් තිබ්බාද කිවහොත් මම එකවරෙක මගේ මාසීක වාර ප්‍රවේශපත්‍රය ගන්නට සිසිර අය්යා දුන් මුදල් වලින් ඇයගේ වාර ප්‍රවේශපත්‍රය අරන් දුන්නෙමි.  පරන සීසන් එකෙන් හොරාට හැංගී සතියක් දෙකක් ඉස්කෝලෙද.. පන්තිද… ගියෙමි. කොන්දොස්තර මහත්වරු දැන හෝ නොදැන මට යන්නට දුන්නද අර ලස්සන ලමයා කුමක්දෝ හේතුවකට සිසිර අය්යාගේ කනේ තියා මා අමාරුවේ දැම්මේය.
සිසිර අය්යා මට ඉතා ඉහලින් තගරියක් දමා පුස් බයිසිකලේ මා ඉන්දවාගෙන ගොස් ඊලග මාසයේ සීසන් එකත් මේ මාසයේ ඉතුරු ටිකත් උඩහමුල්ල ඩිපෝවේ වැඩකල ඔහුගේ ඥාතියෙකු හරහා අරන් දුන්නේය. මම ලැජ්ජාව වසාගන්නට බැරිව සති කිහිපයක් ඇයව මගහැරියෙමි. අන්තිමේ විජේරාමේ හෝටලයක් අයිති කොල්ලෙක් හා ඇය ඇත්තම ආදරයක් පටන් ගත්තාය. පසුව විවාහ වුනාය. දැන් අවුරුදු දෙකකට විතර පෙර  නුගේගොඩ සරසවියේදී ලොකුමහත් දියණියක් සමග මට හමුවූ විගස ඇය මා හැදින්නාය. මට අදුනාගැනීමට නොහැකි වූ විට ඈ ‘ඇයි ලමයෝ අර මටනේ සීසන් අරන් දුන්නේ පන්ති යන්න ..’ කීවාය. මම දෙවැනි වරටත් ලැජ්ජාවෙන් මිරිකුණෙමි. එහෙත් ඇගේ ඊලග ප්‍රශ්නයට මට කට උත්තර නැති විය. ‘තාමත් සීසන් අරන් දෙනවාද කෙල්ලන්ට …’කී විට මම කිසිත් නොකියා සිනාසුනෙමි. අප දෙදෙනා ආගිය තොරතුරු කතාකරමින් ඇගේ දියණිය පොත් කීපයක් මිළදී ගන්නා අතරේ කාලය කා දැමුවෙමු.

එහෙත් මට මා ගැන ආඩම්බර හිතෙන්නට යමක් සිදුවිය. අප කතා කර කර සිටි තැන පොත් රාක්කයේ තිබූ මගේ පොතක් අතට ගත් ඇගේ දියණිය පිටු කිහිපයක් පෙරලා කියවමින් සිටියාය.මා එදා සරසවියට ගියේද ඒ පොත්වල විකුණූ මුදල් ලබාගන්නටය. අපි සමුගන්නා විටත් ඇයගේ දියනිය  මගේ පොත ලැමට තුරුලු කරගෙන සිටියේ මිලදී ගන්නට වෙන්නට ඕනෑය. මම ඒ සතුට තුරුළු කරගෙන ගෙදර ආවෙමි. වාහනයේදී මගේ බිරිද ‘ මොකෝ අද හැපි මූඩ් එකෙන් ..පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හම්බ වුනාද.”  ඇසුවාය…

මා  ”නෑ” කීමී.

ඇත්තටම ඇය මගේ හිතේ හිටියාට කවදාවත්ම ඇගේ හිතේ මා සිටියේ නැති බව දනිමි.

එය සාමාන්‍ය දෙයකි. එහෙත් මගේ දුකට එදා නාකි සුමුදු පිහිට විය. ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවේ මා බලාපොරොත්තු වී සිටියාක් මෙනි. සුමුදුට එකල පෙම්වතියක් සිටියාය. මට මෙන් මගේ ඔලුවේ නොව ඇත්තටම සුමුදුට මහරගම පාසලක ලස්සන ගෑණු ළමයෙක් සිටියේය. ඒ ලමයාට ලියුම් ලිවීම මට බාර විය. එදා සිට අප ඉස්කෝලෙන් ඉවත් වන තුරු මම සුමුදු වෙනුවෙන් ලිවුම් ලීවෙමි. මගේ හදවතේ අර ළමයා වෙනුවෙන් ඉතුරු වී ගොඩ ගැහී තිබුණු සියල්ල සුමුදු හරහා සුමුදුගේ ගෑණු ළමයාට ලීවෙමි. සමහර දාට කව්, නිසැදැස් ලීවෙමි. ඒ ලියුම් කියවූ ඇය කිහිපවර ඇස් තෙමීගෙගෙන වැටෙන කදුළු පිස දමමින් ‘සුමුදු මම ඔයාට ආදරෙයි…ඔයාගේ ආදරේ මට මේ ලියුම් වලින් දැනෙනවා ..කී වග සුමුදු මට කිහිපවර කියා සිටියේය. එදාට මට සතුටක් වගේම කැන්ටිමෙන් ගල්බනිස් එකක් කිඹුලාවෙක් වරදින්නේ නැත.

එහෙත් සුමුදු ඒ ළමයාව බැන්දේ නැත. අම්මාවත් අක්කලා දෙන්නාවත් ගොඩදමන්නට හමුදාවට බැදුනේය. බැදී ඉතා ඉක්මණින්ම මුලතිව් යුද්ධයේදී අතුරුදහන් ලැයිස්තුවට ඇතුල් විය. මට අදත් සුමුදු අර ඉදුණු කෙස් ගස් දෙපැත්තට අතගගා ‘ මගේ ලියුං මෙහෙමනං උඹේ ලියුං උඹ කොහොම ලියනවා ඇත්දැයි..’ කියා ලොකු කරගත් ඇස් වලින් අසනු මතකය.

එහෙත් එතෙක් මෙතෙක් මා ලියූ කිසිදු ආදර ලියුමක් මගේ ජීවීතයට ලංවුනේ නැත. මා ඒ ගැන අද සතුටු වෙමි.

ඒ ලියුම් ඵල නොදැරීම ගැන සතුටුවෙමි.


සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල