කාලීන සංවාද

අරුණි ශපීරෝ සහ මාටින් හෛඩගර් අර්ථකථනය කිරීම

Off

‘බව’ කියවන පිරිස, නැතිනම්, කියවිය හැකි පිරිස, එසේත් නැතිනම්, කියවනවානම් ‘බව’ සංස්කාරක මණ්ඩලය කැමති වන පිරිස යනුවෙන් සමස්තයක් – අසම්පූර්ණ ලෙස, බලාපොරොත්තුවේ සහ ආශාවේ නොගැලපෙන එකතුවක් ලෙස – පරිකල්පනය කිරීමට අපට හැකිනම්, එම පිරිස ඉදිරියේ අරුණි ශපීරෝ හට පිළිතුරු දීමට අවශ්‍ය නොවේ කියා කෙනෙකු පැවසීමට ඉඩ තිබේ. නිදර්ශනයක් ලෙස, ‘ඉස්ලාම් දේශපාලනය සහ මාටින් හෛඩගර්’ පිළිබඳව ඇය ලියා තිබෙනා සටහන අවසන් කර තිබෙන මේ ආකාරය බලන්න:

“යල්පැන ගිය අදහස් නිසා අද සිද්ධ වෙන හානිය ගැන සිංහෙලන් කියවන්නාට ලියන්නට යද්දී ලංකාවේ පිරිසක් ඒ යල් පැන ගිය අදහස් හදාරන බව දැනගන්නට ලැබිණ. ලංකාවට හොටු වුනත් එන්නේ වසර 5ක් 10ක් පහුවෙලා ද?!!!! අද ලංකාවේ ජාක් ඩෙරීඩා සහ ස්ලාවෝ ස්ෂිජැක් හරහා හෛඩගර් කියවන අය සිටින බව දැන ගතිමි. අනගාරික ධර්මපාල අපිට එරෙහිව උන් වෛරය ලාංකික හදවත් පතුලට යැව්වේ ‘අනාදිමත්’ කාලයකයි. අලුත් මුහුණුවරකින් එන එම අදහස් හදාරන්නට කැමති සිංහලයන් තවමත් සිටීම රටේ අවසනාවද?!!!!”

එක පැත්තකින් ඇය අපට කියා සිටින්නේ – හඟවන්නේ, ඉඟි කරන්නේ – ඩෙරීඩා සහ ජිජැක් යනු යල් පැන ගිය අදහස් කියනා පුද්ගලයන් වන බවයි. අදහස් වල කල් ඉකුත් වීමේ හැකියාව සම්බන්ධයෙන් තිබෙනා මෙම අතිසරල ප්‍රකාශය තුළ අඩංගු වන ‘අදහස්’ පිළිබඳව මෙන්ම ‘කාලය’ පිළිබඳවත් ඇති අතිශයින් දුර්වල දාර්ශනික පූර්වකල්පනයන් (ඇය සිතා සිටිනා ආකාරයට ‘අදහස්’ යනු, ‘කිරි පැකට්’ සහ ‘කුකුල් මස්’ වැනි, කල් ඉකුත්විය හැකි ආකාරයේ පැවැත්මවල් වේ) පිළිබඳව සංවාදයට ගැනීම අප අත හැරියත්, ඩෙරීඩා ගේ හෝ ජිජැක් ගේ හෝ අදහස් පිළිබඳව උනන්දුවක් දක්වන, ඉගෙන ගෙන තිබෙනා සහ ඉගෙන ගැනීමට කැමති වන පිරිස අතර මේ ආකාරයේ ප්‍රකාශයන් සඳහා පිළිගැනීමක් නොලැබෙන බව අපි දනිමු. ‘බව’ ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන්නේ මේ ආකාරයේ උනන්දුවක් තිබෙනා පිරිසක් සමගනම්, ශපීරෝ ගේ මෙවැනි ප්‍රකාශ මගින් ඔවුන් සහ අප අතර ඇති විය හැකි සංවාදයට බාධාවක් සිදු වන්නේ නැත. අනෙක් අතට, ජාක් ඩෙරීඩා සහ ස්ලැවෝයි ජිජැක්, අනගාරික ධර්මපාල සමග – ඍජුව හෝ වක්‍රව හෝ – සමාන වන ලෙස, ඔවුන් එකම දාර්ශනික හෝ දේශපාලනික හෝ ඓතිහාසික හෝ ක්‍රියාවලියකට ඇතුලත් වන ලෙස, වටහා ගන්නා පුද්ගලයෙක් සමග කළ හැකි සංවාදය කුමක්ද?

කළ හැකි එකම දෙය වන්නේ විනීත සිනහවකින් මුව සරසා, ඇයට සුභ ගමන් පතා, අප නියැලී සිටිනා, අපගේ තෝරාගැනීම් සහ තක්සේරුවන්ට අනුව වඩා වැදගත් කියා අප සිතනා, ක්‍රියාකාරකම් වෙත නැවතත් එළඹීමයි. නමුත් අපි, සමහරවිට වඩා නිවැරදි එම ප්‍රතිචාරය ලබා දීම වෙනුවට, අවසන් වරට, ශපීරෝ වෙත සංවාදාත්මක ප්‍රතිචාරයක් ගොණු කිරීමේ අවධානම ගනිමු. මේ සඳහා ඇති එකම උනන්දුව වන්නේ ඇය විසින් මෙවර සංවාදයට ‘නමක් අතහැර’ තිබීමයි: ‘අලී මිර්සේපාසි’.

හෛඩගර් අධ්‍යනය පිළිබඳව තබා මොනයම් හෝ ආකාරයක බැරෑරුම් දර්ශන සම්ප්‍රදායක් බිහි කිරීමට අපොහොසත් වී තිබෙන, එසේත් නැතිනම් එවැනි සම්ප්‍රදායක් බිහි කිරීමේ වරප්‍රසාදය අහිමි වී ගිය ශ්‍රී ලංකාවේ සිංහල කතා කරන ලෝකය තුළ මේ ආකාරයේ ‘නම් අතහැරීමේ’ උපක්‍රමය සාර්ථක වීමේ ඉඩක් තිබේ. ‘ශා! ඔන්න අරුණි ශපීරෝ වැඩේ ඔප්පු කරලා තියෙන්නේ – හෛඩගර් සහ ඉස්ලාම් දේශපාලනය අතර සම්බන්ධය දැන් නිවැරදි බව ඔප්ප්පු වී හමාරයි’…සමහරවිට, මෙවැනි ප්‍රතිචාරයක්, ප්‍රශ්නයක්, කුකුසක් පැන නැගීමට හැකිය.

නිව් යෝක් විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳව සහ මැද පෙරදිග අධ්‍යනයන් පිළිබඳව මහාචාර්යවරයෙක් වන මිර්සේපාසි යන නම ඉදිරියට දැමූ විට ‘නම් අත්හැරීමේ’ උපක්‍රමය මගින් කෙනෙක් බලාපොරොත්තු වන අරමුණ සඵල වන්නේයැයි තෙවැනි පාර්ශවයක් සිතා ගැනීමේ ඉඩක් තිබේ. අපි මෙයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

මේ ප්‍රශ්නයට ප්‍රවේශ වීමට පෙර, සංක්ෂිප්ත ලෙස, අපි ‘නම් අත්හැරීමේ’ සාමාන්‍ය උපක්‍රමය පිළිබඳව කෙටි පැහැදිළි කිරීමක් කරමු. මේ මගින් බොහෝ විට අපේක්ෂා කරන්නේ කෙනෙක් ගේ අදහස් සඳහා, එයට ඉදිරියෙන්, ආරක්ෂක බෆරයක් සවි කර ගැනීමයි – එම අදහස් වල සුරක්ෂිත බව වෙනුවෙන් ආධිපත්‍යධාරී පීතෘත්වයක සහතිකය ලබා ගැනීමයි. එවිට, එම අදහස් සමග අභිමුඛ වන වෙනත් පුද්ගලයෙක් හට සිදු වන්නේ තවදුරටත් මුල් අදහස කියූ පුද්ගලයා සමග සංවාද කිරීමට පමණක් නොවේ. ඔහුට හෝ ඇයට හෝ, ඒ සමගම, මුල් අදහස කියූ පුද්ගලයාට අමතරව ඔවුන් දෙදෙනාටම වඩා ‘විශාල’ බුද්ධිමය අධිකාරිත්වයක් ඉදිරියේ නිදහසට කරුණු දැක්වීමට සිදු වේ. නමුත්, මේ උපක්‍රමය මගින්, බොහෝ අවස්ථාවන් වලදී, කෙනෙකු විසින් සිදු කරනා තවත් මෙහෙයුමක් තිබේ. ඒ තමයි තමන්ගේ අදහස් වල නිරවුල්බව වෙනුවෙන් තර්ක, පැහැදිළි කිරීම්, සාක්ෂි ඉදිරිපත් කිරීමේ අභියෝගය සූක්ෂම ලෙස මග හැර යාම.

නිදර්ශනයක් ලෙස, ශපීරෝ මෙම රචනය තුළ කළ යුතු වන්නේ හෛඩගර් ගේ කෘති වලින් උපුටා ගැනීම් කරමින්, එම අදහස් හරහා ‘ඉස්ලාම් දේශපාලනය’ වර්ධනය වීමේ මූල ධාතු පෙන්විය හැකි බව තහවුරු කිරීමයි. මෙය එතරම් පහසු ක්‍රමවේදය නොවන බව පැහැදිලි වෙයි. හෛඩගර් අර්ථකථනය කිරීමේ ගැටලු, ඔහු සම්බන්ධයෙන් තිබෙනා විවිධ අර්ථකථන අතර තෝරා ගැනීම් ආදී අපහසු සහ සෑම විටම ඒ වනවිටත් – ‘සෑම විටම ඒ වනවිටත්’ (always-already) යනු හෛඩගර් විසින් හඳුන්වා දුන්, අද වන විට බොහෝ ජනප්‍රිය, යෙදුමකි – අසම්පූර්ණ වන ගොණු කිරීම් ඇති වන්නේ මේ ආකාරයටයි. බුද්ධිමය සහ ආයතනික – ‘නිව් යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය’ – අධිකාරියක් පසුපස සැඟවීම මගින් කෙනෙක් හට මෙම වඩා දුෂ්කර ක්‍රමවේදය මග හැර සිටීමේ අවස්ථාව හිමි වේ.

අමතර කරුණක් – මේ සම්බන්ධයෙන් අප ඉහතින් ලියූ සටහනේ දී ජිජැක් ගේ අදහසක් උපුටා දැක්වීම මගින්, අප සිදු කර තිබෙන්නේද ‘නම් අත්හැරීමේ’ උපක්‍රමය ද කියා කෙනෙක් විමසිය හැකිය. එම තර්කයේ වලංගුබව සඳහා ජිජැක් ගේ බුද්ධිමය අධිකාරිය විසින් සිදු කරනා කාර්යභාරයක් තිබූ බව සත්‍යයක් වුවත්, එමගින් අප ඉල්ලා සිටියේ ජිජැක් කියනා දෙය පිළිගන්න කියා නොවේ. ඒ වෙනුවට අප ඉතා පැහැදිළිව ඉල්ලා සිටියේ හෛඩගර් ගේ වලංගුබව සම්බන්ධයෙන් ශපීරෝ ඉදිරිපත් කරනා නිගමනයට ප්‍රතිවිරුද්ධ නිගමන වෙත පැමිණෙන අය සිටිනා බවත්, ඒ නිසා මෙයින් නිවැරදි වන්නේ කුමක්ද යන්න ඔබ පරීක්ෂා කළ යුතු බවත්ය. අප කියා සිටියේ, හෛඩගර් ‘මාරයි’ කියා ජිජැක් කියා ඇති හෙයින්, ඔබත් එය පිළිගත යුතු බව නොවේ. අප කියා සිටියේ, ඒ වෙනුවට, ශපීරෝ වැනි සිංහල බ්ලොග් ලේඛිකාවක් හෛඩගර් ගැන මෙවැනි විනිශ්චයක් ලබා දෙන විට එයට වඩා අතිශය පුළුල්, ගෝලීය පිළිගැනීමක් තිබෙනා ජිජැක් වැනි කෙනෙක් ඒ සම්බන්ධයෙන් වෙනත් නිගමනයක් ලබා දෙන හෙයින්, වඩා නිවැරදි කුමක්ද යන්න ඔබ විසින් පරීක්ෂා කර බැලිය යුතු බවයි.

නමුත් ශපීරෝ, ඇයගේ දෙවැනි සටහන තුළ, මිර්සේපාසි ගෙන හැර දක්වමින් කියා සිටින්නේ මෙවැන්නක් නොවේ. ඇය කියා සිටින්නේ මිර්සේපාසි මෙසේ කියා ඇති බවත් එය ඔබ හෛඩගර් කෘති ඇසුරින් පරීක්ෂා කර, ඔබගේ නිගමනයක් වෙත පැමිණිය යුතු බවත් නොවේ. නමුත්, අප දන්නා පරිදි, ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය වන්නේ එය නොවේ. ඔබ හෛඩගර් ගේ අදහස් විවේචනය කරන්නේනම්, එය කළ යුත්තේ හෛඩගර් ගේ අදහස් ඇසුරින්, ඒවා විවේචනය කරමින්, එම අදහස් වල මූලාශ්‍රය අපට පෙන්වමින්, ඒවා අර්ථකථනය කිරීමේ පියවර සහ තීරණ මොනවාද කියා අපට පැහැදිළි කරමිනි. ඒ වෙනුවට ශපීරෝ කර තිබෙන්නේ මෙවැන්නකි: ‘ඉස්ලාම් දේශපාලනය ඇති වීමේ එක වැදගත් මූලයක් වන්නේ හෛඩගර් වෙයි; ඔබට මා විශ්වාස නැතිනම්, බලන්න මිර්සේපාසි! පුලුවන්නම්, මිර්සේපාසි හට දෙන්න උත්තර!’

අපි මිර්සේපාසි හට උත්තර දෙමු.

සත්‍ය වශයෙන්ම මිර්සේපාසි යනු හෛඩගර් සම්බන්ධයෙන් අධිකාරිත්වයක් හිමි අර්ථකථනකරුවෙක් වන්නේද? අපගේ – සහ ශපීරෝ ගේ – අවාසනාවට මෙම ප්‍රශ්නය සඳහා ලබා දිය හැකි අවංක පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි. ‘හෛඩගර් අධ්‍යනය’ (Heidegger studies) නම් විෂය ක්ෂේත්‍රෙයේ සිටින – සහ අපි ජීවත්ව සිටින්නන් සඳහා පමණක් සීමා වන්නේනම් – ජනප්‍රිය අර්ථකථනකරුවන් වන ජොන්-ලක් නොන්සි, යර්ගන් හබර්මාස්, හියුබර්ට් ඩ්රේෆස්, ග්‍රැහැම් හාමන්, ජියානි වටිමෝ, ජෝන් කැපුටෝ, රිචඩ් පෝල්ට්, මිගුවෙල් ඩි බෙයිස්ටෙගුයි වැනි නම් අතර ඔබට කෙදිනකවත් මිර්සේපාසි ගේ නම ඇසීමට නොහැකි වනු ඇත. මෙය වටහා ගැනීම සඳහා පහසු ක්‍රමවේදය වන්නේ ඔබ ‘හෛඩගර් අධ්‍යනය’ යන විෂය ක්ෂේත්‍රෙය වෙත අවතීර්ණ වීමයි. එහි ප්‍රධාන කථිකයන්, ප්‍රමුඛයන්, ජේෂ්ඨ අර්ථකථනකරුවන්, රැඩිකල් නවකයන්, පළපුරුදු පරිවර්තකයන්, ජනප්‍රිය විවේචකයන් ආදිය ඔබට මුණ ගැසෙන්නේ එවිටයි.

මෙය හෛඩගර් සම්බන්ධයෙන් පමණක් නොව දර්ශනයේ මහා සම්ප්‍රදායේ සෑම චින්තකයෙක් සම්බන්ධයෙන්ම – ප්ලේටෝ පිළිබඳව, ඇරිස්ටෝටල් පිළිබඳව, කාන්ට් පිළිබඳව ආදී ලෙස – අදාළ වන්නකි. මේ ආකාරයේ චින්තකයන් සම්බන්ධයෙන් ජීවිත කාලයක් හදාරන, නැවත නැවතත් අර්ථකථනය කරන සම්ප්‍රදායක් තිබේ. නමුත් මේ චින්තකයන් අතිශය ජනප්‍රිය, ඓතිහාසික, ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් කර ඇති, ඉතාම පුළුල් ආකාරයේ චින්තකයන් වන නිසා එවැනි අය ගැන කෙරෙනා අදහස් පළ කිරීම් සියල්ල අයත් වන්නේ මෙම විශේෂඥ සංවාදයට පමණක් නොවේ. එක පැත්තකින් ප්ලේටෝ ගේ කෘති කියවීම ජීවිත කාලයක් පුරා සිදු කරන, ප්ලේටෝ අර්ථකථනය කිරීමේ විශාල ඉතිහාසය සමග නිරන්තර සංවාදයක සිටින, විශේෂ පුහුණුවක් ලද ශාස්ත්‍රඥයන් සිටිනා අතරම, ප්ලේටෝ ගේ අදහස් තම තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුකූලව සීමිත ලෙස භාවිතා කරනා වෙනත් බුද්ධිමය මැදිහත් වීම් ද තිබේ. මේ දෙවැනි වර්ගයේ අදහස් දැක්වීම් අයත් වන්නේ ‘ප්ලේටෝ අධ්‍යනය’ නම් නිශ්චිත විෂය ක්ෂේත්‍රයට නොවේ. ශපීරෝ සිය අදහස් දැක්වීම් සුජාතකරණය කිරීම සඳහා යොදා ගන්නා මිර්සේපාසි අයත් වන්නේ, නිශ්චිත වශයෙන්, මෙම දෙවැනි සම්ප්‍රදායටයි. ඔහු, කිසිදු අයුරකින් ‘හෛඩගර් ශාස්ත්‍රඥයෙක්’ (a Heidegger scholar) නොවෙයි. ඉහතින්ද කියා ඇති ආකාරයට මේ කරුණ පෙන්වා දිය හැකි පහසු ක්‍රමවේදය වන්නේ හෛඩගර් සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙනා සංවාදයන් දිග හැර බැලීමයි. අද ලෝකයේ හෛඩගර් සම්බන්ධයෙන් අධිකාරිත්වයක් දරන අර්ථකථනකරුවන් අතර කොතැනකවත් මිර්සේපාසි ගේ නම දක්නට නොලැබෙන බව ඔබට දැක ගැනීමට හැකි වනු ඇත්තේ ඒ ආකාරයටයි.

නමුත් මෙය කළ හැකි තවත් ක්‍රමවේදයක් තිබේ. ඒ තමයි මිර්සේපාසි හෛඩගර් පිළිබඳව හෛඩගර් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනා අදහස් වල ඇති ගැටලුකාරී බව, හෛඩගර් ගේ කෘති ඇසුරින්ම පෙන්වා දීම. අවාසනාවකට අරුණි ශපීරෝ අපට ලබා දී තිබෙනා අන්තර්ජාල සබැඳිය ඔස්සේ මිර්සේපාසි ගේ අදාළ රචනය ලබා ගැනීමට නොහැකි වේ. නමුත්, ඒ වෙනුවට, අපට ඔහුගේ Political Islam, Iran and the Enlightenment නම් කෘතිය ලබා ගැනීමට හැකි විය. ශපීරෝ සටහනේ තිබෙනා යම් යම් අදහස් ඍජුවම එම කෘතියෙන් ලබාගෙන තිබෙනා බව පෙනී යන නිසා, අපගේ ඉලක්කය වෙත ළඟා වීමට මෙය සුදුසු ප්‍රවේශයක් බව වැටහුණි.

අපි තවත් සටහනකින් හෛඩගර් සම්බන්ධයෙන් මිර්සේපාසි ලබා දෙන අර්ථකථන වල වලංගු බව විමසා බලමු.

එයට පෙර, අරුණි ශපීරෝගෙන් අප එක ඉල්ලීමක් කිරීමට කැමති වෙමු. හෛඩගර් ගැන මෙම නිගමන දෙන්න පෙර ඔබ ඔහුගේ එක කෘතියක් හෝ මුල සිට අගට කියවා තිබේදැයි, තමන්ගේම පපුවට තට්ටු කර අසන්න!

 

උපුටා ගැනීම: බව

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල