‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, විශේෂ

සම්මාන නොහොත් ගම්මාලු ……

Off

තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්‍යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක් අතරින් කිහිප දෙනෙකු තෝරා ඇගයීමට ලක් කිරීම වෙනුවෙනි.

මෙයට පෙර අතුව සම්මාන උළෙලවල් දෙකක් සිදු කෙරුණු අතර, දෙවෙනිවර මටත් දෙවෙනි ස්ථානයක් හිමි විය. ඒ ගෘහස්ථ කටයුතු කාණ්ඩයෙන්ය. තවත් එකකට මගේ නම නිර්දේශ වූ අතර, එයින් නම ඉවත් කරගැනීමට නිහතමානීවා කටයුතු කිරීමට මට සිදු වුයේ, මා කල පරිවර්තනයක් සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වීම නිසාය.  ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයේ කිසිදු විරෝධයක් නොවිණි. වෙනත් කෙනෙකුට ලැබිය යුතු ගෞරවයක්, සුදුසුකම් නොලබා මට ලැබේනම් එය දැනුවත් කිරීම මගේ යුතුකම බව මම සලකමි.  වරක් සිංහල අවුරුදු උත්සවයක වොලිබෝල් තරගාවලියකදී, මා චියර් කලේ මගේ ක්‍රීඩා සමාජයේ වැඩි මිතුරන් පිරිසක් ක්‍රීඩා කළ කණ්ඩායමටය. මා ජීවත් වූ ප්‍රදේශය අනුව මා ක්‍රීඩා කලයුතු වූයේ,  මගේ විරුද්ධවාදීන් බොහොමයක් ඇති කන්ඩායමකටය. එම තරගාවලිය අන්තර් ග්‍රාමසේවක වසම් තරගයකි. මා පුරුදු පරිදි චියර් කිරීමේ නිරත විය. අවසානයේ මගේ මිතුරන්ට ජයග්‍රහණයද, පසමිතුරන්ට අනු ශූරතාවයත් හිමි විය.  පසුදිනක මගේ නිවසට පසමිතුරු කණ්ඩායමේ ක්‍රීඩා කල ලෙසට සහතිකයක් ලැබී තිබුණි. මා චියර් කර තිබුණේ, මට විරුද්ධවය. එනිසා ඒ සහතිකයට මා මගේ සහතික ගොන්නට එකතු කර ගත්තේ නැත. මන්ද හදවතට එකඟව එයට මා හිමිකම් නොකියන නිසාය. පසුගිය වසරේ එකී සම්මානයද එලෙසය.

මේ අස්සේ මට තවත් සිද්දියක් සිහියට  නැගේ. ඒ මා කළුතර ඥානෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාළයේ සිදු වූ සිදුවීමකි. මාත් ඉන්දකත් විහාගය අවසන් වී පාසල ඇති පටුතුමග දිගේ නගරය දෙසට ඇදී එන්නට වීමු. එච්.පී.ටී. නමැති නිවාස දේපොළ වෙළඳ සමාගමේ කාර්යාලයක් මේ පටුමගේ පිහුටුවා තිබුණි. ඒ අසලා මාර්ගයේ කාන්තා පර්ස් එකක් තිබෙනු දැක, එය අහුලාගත් මා එය ඉහලට ඔසවා, මෙය කාගේද අසන්නට ප්‍රථමයෙන්, ඉන්දකයා “අපි දෙන්නා මේක බෙදා ගමු” වචනය පේලිය කියා නිම කරන්නට පෙර, එය අයිති කාන්තාව අප අසල සිටි නිසා, සියල්ල යහපත් අතට සිදු විණි. එදා සිට මට අයිති නැති දේ නොගැනීම මගේ සිරිත විය. මේ සඳහා තවත් බොහෝ උදාහරණ සැපයිය හැක. මේ ඒ සඳහා වෙලාව නොවේ. මේ බ්ලොග් සටහනද මේ වනවිට යල්පීනු තත්වයට පත් වන්න ආසන්නය. කුමක් කරන්නද, මගේ රාජකාරියේ ස්වභාවය සහ ගෘහසේවිකාව හදිසියේ සේවයෙන් ඉවත් වීම තුල මාගේ විවේකය සීමා වී ඇත. එහෙත් මා මෙය ලිය අවසන් කල යුතුමය. ඒ මෙය කියවූ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් සම්මාන ගන්නට පාර කැපුවෝ ඔබ වෙති.

හොඳයි අප දැන් මෙහි මාතෘකාව දෙසට හැරෙමු. එය “සාම්මාන නොහොත් ගම්මාලු” යනුවෙ මා නම් කළේ මන්දැයි මෙය කියවා අවසන් කරන මොහොත වනවිට ඔබට තේරුම් යනවා ඇත. ගම්මාලු නමැති වෘක්ෂය දැකිය හැක්කේ කඳුකර ප්‍රදේශ වළය. හරියටම කීවොත් ඌව කඳුකරයේය. ශ්‍රී ලාංකකියන් මෙම වෘක්ෂයේ කොටස්   ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා භාවිතා කරති. “ගසක් කැපුවා” යයි කීවොත්, එය ළී සඳහා හෝ දර සඳහා යන අපගේ පුරුදු භාවිතාව ඕනෑම කෙනෙකුගේ සිහියට එයි. සත්‍ය වශයෙන්ම මෙහි වැඩි භාවිතාව සිදු වන්නේ ළී දඬු නැතිනම් දැව නිෂ්පාදනයටය. වැඩිමනත් භාවිතා කරන්නේ යටලී, පඩිපෙළ අත්වැල් හෝ ජනෙල් දොරවල් සඳහාය. මෙය තද රතු පති ලීයකි. වාර්නිෂ් ආලේප කලවිට කදිම ගාම්භීර නිමාවක් දැකිය හැක. වරක් හපුතලේ ප්‍රදේශයේ කල රාජකාරි ගමනකදී, එහි තිබෙන රෙස්ට් හවුස් එකක පඩිපෙළ අත්වැල සහ යටලී මෙම දැවයෙන් කර ඇති බව අසා දැන ගතිමි. ඒ එහි සිත්ගන්නා නිමාව නිසාය.

නමුත් ගම්මාලු වල වැදගත් යෙදවුම වන්නේ, ඖෂධයක් ලෙසය. එය දිව්‍ය ඖෂධයකි. සමහරවිට මේ සඳහා වෙනත් ගම්මාලු වර්ගයක් යොදා ගන්නවාද යන්න මා සහතිකවම නොදනිමි. එනමුදු ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන බව අසා ඇත්තෙමි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බව අසා ඇත්තෙමි. මේ අස්සේ තවත් පඳුරු කතාවක් සිහියට එයි. දැනට විශ්‍රාම ගත් මා සේවය කරන ආයතනයේ, එක් පැරණි සේවක මහතෙකු වරක් කාගේ හෝ බසකට අනුව එය අධික මාත්‍රාවෙන් පරිභෝජනා කර රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. ඒ එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. අදද එය මාගේ මුහුණට සිනාවක් ගෙන එන කදිම අනුස්මරණයකි. ඒ එම පුද්ගලයාගේ රාජකාරි කල අවසන් කාළයේ ලිංගිකත්වය වෙත තිබූ නැඹුරුව සිහිපත් වීම නිසාය.

ඉතිං මේ සම්මාන උළෙලට ගම්මාලු වල ඇති සම්බන්ධය කුමක්ද ? අර ලයිෆ්බෝයි වෙළඳ දැන්වීමේ මෙන් “මොකක්ද සම්බන්ධෙ” යනුවෙන් කෙනෙකුට අසනු හැකිය. හොඳයි මා විස්තර කරන්නම්. මෙම සම්මාන උළෙලේ මට දැනෙන අරමුණ, තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය. එමගින් මන්දෝත්සාහී තවත් පිරිසකට නව ජීවයක් සැපයීමද සිදු වේ. නමුත් කලක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදි, බ්ලොග් අඩවිය වසා දමන්නට ඔන්න මෙන්න තත්වයේ කෙනෙකුගේ ඉඳහිට කෙරෙන ලියවිල්ලකට මෙවැනි සම්මානයක්, මරණාසන්න පුද්ගලයෙකුට ගම්මාලු සැපයීම මෙන් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ පණ ගිලිහී යා නොදී රැක ගත හැක. සමහරවිට දිගු කලක් අල්ලා සිටින්නටද හැකිය. හෙම්බෙන් හෝ ඇවිද්ද පයට සම්මානයක් හිමිකරදීම එවැනි ක්‍රියාවකි. මා බ්ලොග්කරණයේ රැදී සිටින්නට එය නව ජීවනයකි. එනමුදු ගම්මාලු නැතත් අපට මේවා වසා දමන්නට නොදී සිටින එක් පුද්ගලයෙකු වේ. ක්‍රිකට් වලට පර්සි මෙන් බ්ලොග් වලට නම් මෙන්ඩා එවැනි පුද්ගලයෙකී. ඇත්තටම ඔහු සිංහල බ්ලොග් ලෝකයට බලපෑමක් කළහැකි පුද්ගලයෙකි. ඒ දිරිගැන්වීම මගිනි. ඒ ගැන බොහෝ තැන්වල දැනටමත් කථා වී තිබේ. එනමුදු ඇවිද්ද පය ලියන සුදීකට ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. මා නිද්‍රාවට පත් සෑම මොහොතකම කමෙන්ට් නමැති වතුර බාල්දියෙන් ගැසුවේ මෙන්ඩාය. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළේ මේ  බ්ලොග් අඩවියට මෙන්ඩා දක්වන ආදරය නිසාය. එයට හේතුව කුමක්දැයි මා කිසිදින මේ කෙසඟ, කාල වර්ණ පුද්ගලයාගෙන් විමසීමක් කර නැත. මන්ද ඒ ඔහුගේ කැමැත්ත නිසාය.

නමුත් මේ සම්මානය මා අතට පත් කරන්න වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් සිටී. ඒ මගේ දෙවම්පියන්, සියළුම ගුරු බවතුන්, ලිවීමට මා දිරිමත් කළ හිතවතුන්(චන්දිමා, ප්‍රසාද්, සුරේෂ්), මගේ බ්ලොග් අඩවිය නිරතුරු කියවා කමෙන්ට් කරන ඔබසැම, විශේෂයෙන් මේ අප්‍රිකානු කථාවට පෙම් බැඳී අරුණ පෙරේරා, සෙන්නා, අජිත් සහ කල්‍යාන සහ මනෝජ්  සිහිපත් කලහැකිය. මෙහි නම් සඳහන් නොකළ එනමුදු කමෙන්ට් කළ තවත් බොහෝ දෙනෙකු වේ. ඒ සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ. දැන් ගම්මාලු බී යළිත් නැගීසිටි මා  කුමක් හෝ මෙහි ලියා තැබිය යුතුය. එය මගේ යුතුකමය. එසේ නම් බලාපොරොත්තුවෙන් හිඳින්න. මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි. එතෙක් ඔබ සැමට පුංචි විරාමයක්.

සම්මාන ලැබුණු “ගොවිපලේදී” බ්ලොග් ලිපි මාලාව සඳහා මෙතැනින් පිවිසෙන්න
උපුටා ගැනීම:

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල