‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, විශේෂ

නෙලුං යායට පසුවදනක් A back word for lotus field

Off

මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.

බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් එවෙලේම හදා තියන්නටත්, කහපාට බාජනේ පිරෙන්නට වතුර පුරවා තියන්නටත්, අනෙකුත් දෛනික අවශ්‍යතා සදහා වැලි පිරවූ KP හතරක් තියන්නටත්  බලලුන්ගේ යහපත තකා ජනෙල් දොරවල් වසා තැබිමටත් සංවිධායක මණ්ඩලය යෝජනා කරන්නේය. ඒ අනුව සෘජු හෝ වක්‍රාකාරයකින් බලල් අණ්ඩ හෝ හොස්ස යොදාගෙන ජනෙල් පියං ඇරගෙන පැනයාමක්, ලැටිස් පේලියේ ලී අතරිං රිංගීමක්, ගෙදර බඩුමුට්ටු ආසනාසි කිරීමක්, නැංදාගේ කොණ්ඩබූල් සෙල්ලම පිරිස යොදාගැනීමක් (දැනටමත් කොන්ඩ බූල් තුන හතරක්ම සෙල්ලම් කිරීම සඳහා බලලුන්ට නිකුත් කර ඇත), පිටතට ශබ්දය ඇසෙන පරිදි කා ගැනීම පිඹගැනීම හෝ වලිග පුප්පා ගැනීමක්, හෑන්ඩ්ෆ්‍රී, වයර්, ඩේටා කේබල් ආදිය හැපීම හෝ සෙල්ලම් පිණිස යොදාගැනීමක්, පුටු කොට්ටාවල නියපොතු මැදීමක්, මේසය උඩ තබා ඇති මැටි බුජම හෝ අනෙකුත් ස්ථානවල අලංකාරය පිණිස තබා ඇති බිඳෙන සුළු ඔලු බක්කන්, බබ්බුන්, වලස් ගෙඩියන් ආදිය පෙරලීමක්, සබ්බූපරේ කට ඇතුලින් හොස්ස දැමීමට උත්සාහ කිරීම හෝ බලල් අණ්ඩ දමා එතුල ඇත්තේ මොන කෙංගෙඩියදැයි බැලීමට උත්සාහ කිරීමක්, නිවස තුළ හුදෙකලාව ගමන් යන කඩියන් හෝ වොක්වාගන් වර්ගයේ කැරපොත්තන් අතින් වැසීම, පෙරලීම, ඉව කිරීම හෝ ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීම නැතහොත් පරාණය හානිවන පරිදි ඔවුන්ගේ ශරීර මත ඉඳගැනීම වැනි මාර්ග නීති කඩ කිරීමක් නොකිරීමට බලලුන් මෙයින් එකඟ වන්නේය.

ටිකිරී සඳමාලි මහත්මිය ප්‍රකාශ කලේ මාමයි නැංදයි දෙන්නම ඕනෑ දිබ්බාගයක ගියාට කමක්නැති බවත් ජනේලය ඇරදා යන්නේ නම් තමුන්ට ඕනෑ හැටියට රස්තියාදුවේ යමින් ජීවත්වන්නට පුළුවං බවත්ය. නමුත් මෙයට එකහෙලාම විරුද්ද වූ තල් සූකිරි පැණියා කියා හිටියේ මේ තමුංගේ සරීරේ හැදෙන කාලය බවත් මේ කාලයට කොච්චරවත්ම කන්ට ඕනෑ බවත් පැය දෙකක් යන්න මත්තෙන් ගෘහස්ත එක්සත් කුහුඹුවන්ගේ ඒකාබද්ද සංගමේ පැමිණ කෑම ජාති සේරම ඇදගෙන යන හංදා දවල්ට කන්න ලහඳුවත් ඉතුරු නොවන බවත් එහෙම හීතල වෙච්චි, කූඹි කාපු, හුලං වැදිච්චි එව්වා කන්න ලොං දිග ඉතාමත් ලක්සන පූසෙක් වන තමුන්ට බැරි බවත්ය. වහළය උඩ සිට ඇමතූ චියං බාප්පා සහ බෑනාද පැවසුවේ මේ ක්‍රමය යටතේ ටිකිරී සහ සූකිරි විසින් තමන්ට ඉතුරු කරන ආහාර සලාකය නොලැබී යාමට ඉඩ ඇති නිසා ඒකාබද්ධ ඕ අකුර පාඩං කරන්නංගේ සංගමය වශයෙං  තමුන්ද මේ යෝජනාවට විරුද්ධවන බවයි.

 

ඒ අනුව මේ පාරත් නෙලුං උස්සවේට මාමාව  තනියම යවන එක සුදුසු බව අතක් සහ වලිග දෙකක් ඔසවා තීරණය කරන ලදී. ඉන් පසුව විසඳීමට තිබුණේ ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ ගැටළුවය. හනුමාන් කියා සිටියේ තමුන්ට ඉලෙක්ට්‍රික් වසයෙන් පිස්සු කෙලින්නට ඇති හංදා ගමන එන්නට බැරි බවය. සොයාගැනීම කියා හිටියේ වැස්සොත් එහෙම තමුන් නොදන්නා බවත් වැස්සෙ නැතත් දූවිලි කන්නට සිද්ද වෙනු ඇති බවත්ය. අන්තිමට තීරණය කෙරුනේ හොඳම ක්‍රමය බස්සෙකේ තනියම යන එක බවත්ය. සිකුරාදා හැංදෑවේ අටං අයියා තර්ජනය කරමින් කියා හිටියේ “තෝ නෑවිත් පොල්ල තිබ්බොත් බලාගමු” බවය.
පහුගිය පාර බස්සෙකේදී සිද්දවූ හරිය මතක හිංදා ටීවීයෙකක්, කැසට්ටෙකක්, බපල් එකක් තියා ඉස්පීකරයක් අමුනන්න වහලේ හිලක් හෝ වෑර් දෙපොටක්වත් නැති බස් එකක් තෝරාගන්නට මට සිද්දවිය. දුර ගමන් යාමේදී මනුස්සයෙක්ට බලපාන ලොකුම අබග්ගය වන ටෙලිපෝන් එකේ බැට්ටි බැහිල්ලට පිලියමක් ලෙස අන්දිරිස් පෝන් එක නිදිකර තැබීමටත් ඉෂානි නංගිගෙන් නිකං ලැබුනාවූ ජනේල ටෙලිපෝන් එක විතරක් ඇහැරවා තියාගන්නටත් කටයුතු කරන ලදී. බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, බලංගොඩ කඳු අතරින් අඹරා රත්තපුර, කරවිට අවිස්සාවේල්ල තැනිතලාවේ පොලා, කොස්ගම, මීපේ හුළගෙං හුලං කර ගොඩගමිං මාව බිමට ඇදදාන ලදී. ජනේල දුරකථනයේ සිතියම ටක්කෙටම හරි බව පෙන්නමින් කාගෙංවත් අහන්නේ නැතිව ගොඩගම හංදියෙන් බැස හරි බස්සෙකට නගින්නට මට පුළුවං විය. ඊළඟ පාර හරියටම දිය මුල්ලට (Waters edge) හැරෙන තැනට කිට්ටුම හෝල්ටෙකෙං මාව බිමට බස්සවන්නටද ටෙලිපෝන් එකට පුළුවං උනේය. මට හෙනම සන්තෝසයක් ඇති උනේය. ඒ හංදා ටෙලිපෝන් එක ගැන ඇති අචල, අකලංක, හදබැඳි විස්සාසය උඩ එතැන ඉඳං පාරත් ටෙලිපෝන් එකෙම්ම ඇසූ අතර ටෙලිපෝන් එක කියා හිටියේ එහෙම්මම දිගට ගිහිං කරෝලිස් මාවතෙං හැරී පහලට ගිහිං තව කොහෙංදෝ රිංගන්න කියාය. අනුංගේ පිලිකන්නක් අස්සෙං යන්න ඔන්න මෙන්න කියා තියෙද්දී කොතනක හෝ වැරැද්දක් වී ඇති බව පෙනෙන්නට තිවු නිසා පාර අයිනේ ඉස්තෝප්පුවක සිටි කෙනෙක්ගෙං ඇසූ විට කියා හිටියේ
“කංද උඩට නැගලා කෙලීඊඊඊඊම්ම පහලට බැහැලා අරෙහට යන්න”
කියලාය. අන්තිමට ටෙලිපෝන්නෙකට එරෙහිව යාමෙන් යන්තම් පාර හොයාගෙන දිය මුල්ලේ පිලිකන්න පැත්තෙං ඇතුල්වී දාඩිය පෙරාගෙන සාලාව ඇතුළට යාගන්නට මට පුළුවං විය.
උස්සවය ගැන වැඩි යමක් නොකියන්නේ ඒක කෙරෙන්න ඕනෑ හැටියට සිද්දවුන නිසාත් එතන සංවිධාන කටයුතු ආදිය ගැන විචාරන්නට තබා කන්නට බොන්නට දුන් ජාතිවල නං දැනගෙන ඉන්නට තරංවත් දැනුමක් මට නොතිබූ නිසාය. මට කියන්නට තියෙන්නේ කවුරු නමුත් විය පැහැදං කර හරි අපූරු උස්සවයක් සංවිධානය කර තිබුනු බවය. තිලකසිරි මහතා, තමුංගේ හැටි ලියන දොස්තර මහතා, දහඅට සන්නියේ පොල්වත්ත මලෙයා, කාර් පිස්සා, බුකියේ ක්‍රිකට් ගහන නිශාන්ත ආදී කොට ඇති අලුත් කාණ්ඩයක් හම්බෙන්නට ලැබුණ එක වටින්නේය.
සම්මාන දීමේදී ආකාස කසුන්ගේ හිතවතිය සත්‍යාට සම්මාන දෙකක්ම ලැබීම ගැන මට හරි සතුටුය. ගියවර සම්මාන උස්සවේ අගදී ලියූ පෝස්ට් එකේ අගට කසුන් ගැන ලියූ දේ මේ අවුරුද්දේ උත්සවේදී ඵලදරා තිබීම ගැන මට සතුටුය. මං හැමදාම කියෝන නිදහස් සිතිවිලි බ්ලොග් එකට වසරේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානෙ ලැබීමත් හෙනම සතුටක්ය. ඒ අතරේ චාමරලෑ පන්ති බාර ගුරුතුමීටත් මටත් දෙවෙනි තැන හම්බෙච්ච එක ගැනත් සතුටුය. කොටිම්ම සම්මාන උස්සවේ පුරාවට හෙනම සතුටක්ය.

 

 

 

සම්මාන උස්සවේ අහවර වී ගෙදර එන අතරමග “මං එරන්දි” අක්කාටත් “මං එයාගෙ හස්බන්ඩ්” අයියාටත් “මං එයාලගෙ බබා” දුවටත් අපි හිංදා කරදර වන්නට විය. අපිට මගිං කන්න බොන්නටත් අරං දී කුරුවිටට ගෙනත් දාගන්නටත් ඒ අයට සිද්දවිය. ඒ ගැන ඊයෙ රැයේම කැලේ පිපුණ මලේ වස්සලා ලියා තිබුණේය. අන්තිමට අපිට තවත් හොඳ යාළුවෝ ජෝඩුවක්ම හංම්බුවුනේය. ළඟදීම ඒ දෙන්නා බලන්නට යන්න හිතා ඉන්නා හිංදා ඒ පවුල ගැන වෙනමම ලිපියක් ලියන්නට ඕනාය.
ඉතිං මං ලියන යාංහෑලි කියවන හිතවතුනි, බුකියෙන්, දුරකථනයෙන්, ඊමේල්, වයිබර්, ස්කයිප්, ආදී එක එක ආකාරවලින් මට කතා කර දිරිගන්වන කොමෙන්ට් කරන හිතවතුනි, අපිව ආණ්ඩු මට්ටු කරන අටං අයියේ, ප්‍රසන්නයියේ, සින්ඩිකේටර්, බ්ලොග් රෝල්, පේස්බුක් පිටු, කටකතා, සංවාද, කතාබහ, ආදී හැම දෙයකින්ම මං ලියන දේවල් අනික් අයටත් බෙදාහරින හිතවතුනි, නෙළුම්යාය සම්මාන උත්සවය සංවිධානය කළ මං නොදන්නා හිතවතුනි, ඒ වෙනුවෙන් වියපැහැදම් කල අනුග්‍රාහක භවතුනි, නෙළුම් යාය වෙනුවෙන් අපිට පෙනෙන මානේ සිටිනා සුමිත් කළණසිරි, අජිත් ධර්මකීර්ති, ලක්මාල් කන්දෙවිදාන මහත්වරුණි, යාංහෑල්ලේ ලියන්නා වශයෙන් මට දුන්නා වූ වටිනාකම වෙනුවෙන් ඔබට ස්තූති කරමි. ඒ වගේම යාංහෑල්ල වෙනදා වගේම සැලකිල්ලෙං ලියාගෙන යන බවට ඔබට පොරොන්දු වෙමි.
සුරංග රන්ජිත් – යාන් හෑල්ල 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල