කාලීන සංවාද

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා කරමු

0
ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා විය යුතු බවට පසුගිය සති දෙක තුල තැනින් තැන මත පැනනගිනු දක්නට ලැබිණ. මේ මතයන් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය චන්ද වලදී යහපාලනය වෙනුවෙන් කැපවූ ක්‍රියාධරයන් වීමද සුවිශේෂී කරුණක් බව කිවයුතුය. මේ අතරම වියත් මග නම් සංවිධානයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරුපය නැංවීමේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයති. නමුත් සංවිධිත සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපාරයක් නම් දක්නට නැත. එයට හේතුව ලෙස මා දකින්නේ සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කළහොත් එයට විරුද්ධ මත දරන්නන්ගෙන් විසින් ගෙන එනු ලබන පීඩනය මත ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇන හිටීමේ තර්ජනයයි. මගේ මතය නම් වියත් මග පාලුගෙයි වලන් බිඳීමේ කටයුත්තක යෙදී සිටින බවය. එම ව්‍යාපෘතිය තුල සමාජය වෙත මතවාදී බලපෑමක් කළහැකි කිසිවෙකුදු (Key Opinion Makers ) දක්නට ලැබෙන්නේද නැත.
මේ ලිපිය තුලින් සාකච්චා කරනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා වශයෙන් සාර්ථක වනු ඇතිද, අසාර්ථක වනු ඇතිද යන්න නොවේ. අවම වශයෙන් ඒ මහතාට රටේ නායකයා වීමට දැනට පවතින මැතිවරණ සහ සාමාජීය සාධක මත හැකියාවක් ලැබෙන්නේද යන්න මෙහිදී අප සාකච්ඡා කරමු.
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය තරඟ කලේ ජනාධිපති ධුරයේ සිටියදීමය. එවකට ඔහු හට රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රාජ්‍ය ආයතන වල පිරිස් බලය පමණක් නොව මේ සියල්ල අවභාවිතයට එකහෙලා සුදානම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිටියහ. මේ සියල්ලට ඉහලින් ඔහු යුද්ධය ජයගත් නායකයාද විය. අමතරව බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාධරයන් සුවිසල් බහුතරයකගේ සහයෝගයද පවතින. ඔහු වෙත නොතිබුන ප්‍රධාන සාධකය වුයේ සුළු ජන චන්ද පදනම සහ සමාජ ජාලා ක්‍රියාධරයන් ගේ සහයෝගය ය.
මින් ප්‍රධාන සාධකය වන සුළු ජන පදනම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා ගැනීමට ඇති ඉඩ කඩ අවමය. යුධ ක්‍රියාන්විතය සිංහල ජනයා උත්කර්ෂයට නැංවුවද දෙමල ජන සහය නැතිකර දැමිණ. පසුගිය රජය කාලයේ කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන ගිය ආගමික ත්‍රස්ත කල්ලි රාජපක්ෂ වරුන්ගෙන් සුළු ජන පදනම තවත් ඈත් කර දැමීමට ප්‍රධාන හේතුවක් විය. ආගමික ත්‍රස්තවාදී කල්ලි නීතිය අතට ගත් විට රජය නිහඬ විය. හමුදා සහ පොලීසිය නිහඬ විය. රාජ්‍ය ආරක්ෂක ලේඛම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬ විය. දැනට අමතක මේ කරුණු මැතිවරණයකදී නැවත මිනී වලෙන් නැගිට එනු ඇත.
දෙවන ප්‍රධාන කාරණය වන්නේ මැතිවරණ පරාජයට පසුව නිදහස් පක්ෂ ක්‍රියාධරයන් ගේ සුපුරුදු බෙදීමය. එකිනෙකා ඇනකොටා ගැනීමය. මහින්ද රාජපක්ෂ මහතා පළමු මැතිවරණයට ඉදිරිපත් වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය දෙවරක් ජනාධිපතිධුරය හි කටයුතු කර තිබිණ. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතුව සිටියහ. වසර 17ක එජාප පාලනය වෙනස් කරනා ලද්දේ නව මුහුණුවරකින් පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියය. එසේ වී නමුදු ඇය රජය ගෙනගියේ පාර්ලිමේන්තුවේ එක් චන්දයක බහුතරයකිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රජ වීමට නම් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කලයුතුය. එසේ පක්ෂය එකමුතු කරන්නට මේ වනවිට රාජ පක්ෂවරුනට පක්ෂය තුල බලයක් නැත. එසේනම් එන්නට වන්නේ පොදු විපක්ශයෙනි. පොදු විපක්ෂය මහළු මඩමක් වැනි ස්ථානයකි. සිටිනා එකම ප්‍රසිද්ධ තරුණයා විමල් වීරවංශ පමණකි. ඔහු සම්බන්ධව වචන වැය කිරීමත් නාස්තියකි.
පොදු විපක්ෂයේ සමාජ ජාලා කණ්ඩායම එකිනෙකා කුලල් කා  ගනිති. පාගමන් යනවිට උන්ගේම නායකයන්ගෙන් ගුටි කති. ගුටිකා බිම වැටී එම පින්තුර සමාජ ජාලා වලම ප්‍රසිද්ධ කරති. පසුව සමාදාන වූ බව සමාජ ජාලා වලම කියති. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමාජ ජාල ප්‍රචාරණ ව්‍යාපාරය කිරීමට සිදුවනු ඇත්තේ මෙවන් ක්‍රියාධරයන් සමගය. නැතහොත් පසුගිය ජනාධිපති වරනයෙදී  ආකාරයටම කුලී ලියන්නන් දහස් ගණනක් සහ පරිගණක දහස් ගණනක් යොදාගෙන ව්‍යාජ ප්‍රෝෆයිල සහ ව්‍යාජ ගිණුම් වලින් මෝඩ චුන් එකක් ගැනීමට සිදුවනු ඇත.
ගොටාභය රාජපක්ෂ මහතාගේම වචන වලින් කිවහොත් ඔහුගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යෙදවන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණීමටය. මෙයද නරකට හිටිනු ඇත.
දැන් වියත් මග හරහා ප්‍රචාරණ කටයුතු කරන්නේ රාජ්‍ය බලය නොමැතිව මහළු මඩමක් වන්  වූ ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණ රජ වීම සිහිනයක්ම පමණක් බව පෙනෙනා නිසා වන්නට පුළුවන.
වියත් මග තුල වියත් බවක් දක්නට නැත. මාමාගේ සහ බෑනාගේ අසභ්‍ය ගීත වලට සැබෑ වියතුන් සිනාසෙන්නේ නැත. අත්පුඩි තලන්නේ නැත.
සමාජ ජාලා වල දමා තිබුණු වියත් මග ඡයාරූ තුල පසුගිය රජයේ කොටස් වෙළෙඳපල ජාවාරම් සහ රාජ්‍ය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවභාවිතාවන් වල යෙදුන බවට චෝදනා ලද පුද්ගලයන්ද ප්‍රධාන තැන් ගෙන සිටිනු දක්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයකට ඉදිරිපත් වන විට මේ කරුණු ද ඉදිරියට පැමිණෙනු ඇත.
මේවා විශ්ලේෂණය කරනා විට පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රජ කරවීමේ සිහිනය සැබෑ කරගන්නට නම් වෙනස් කලයුතු කාරනා විසල් ප්‍රමාණයක් ඇති බවය. එනම් සිහිනවක්ම පමණක් බවය.

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල