කාලීන සංවාද

සයිටම් රජයට පවරා ගත යූතුය

0

1978 විතර ඉඳන් ඉවරයක් නොවෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයට GMOA සංවිධානය එදත් අදත් ඉල්ලා සිටින්නේ ඒවා රජයට පවරා ගන්නා ලෙසයි. එයට යටි හේතුව ගාස්තු අයකරන පෞද්ගලික විද්‍යාල වලට ශීග්‍රයෙන් ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව ඉහල දමා ගත හැකි නිසාය.

සුදුසුකම් ලබන වෛද්‍යවරුන් සංඛ්‍යාව හැකිතරම් අඩු මට්ටමක තබා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. රජයේ වියදමින් පවතින විද්‍යාල වල ඇතුලත් කරගත හැකි සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි. මෙම හේතුව නොපෙන්වා ඔවුන් පෙන්වන්නේ වෙනස් හේතුය. සායනික පුහුණුව නැතිකම, ඇතුලත් වීමේ සුදුසුකම් මඳකම ආදිය ගැන කියා සිටියත් ඒවාට විසඳුම් දීමෙන් මෙම අය සැහීමකට පත්කල නොහැක. මෙවරද රජය කරන්නේ GMOA සංවිධානය ලෙඩුන් ගැන සිතා කරන සාධාරණ ඉල්ලීමක් ලෙස සිතා එම ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට ක්‍රමයක් සැකසීමයි. ඔවුන් මෙතෙක් දක්වා සිටි මුඛ්‍ය පරමාර්ථයට රජය විසින් විසඳුම් සැපයුවත් ඔවුන් එය කිසිසේත් පිළිනොගනු ඇත. පසුගිය සතියේ ‘සායනික පුහුණුව’ සටන් පාඨය මහජනයාට අමතක වුණැයි සිතා හෙට සිට ‘අධ්‍යාපනය විකිණීමේ’ සටන් පාඨය එළි බැසීම ඉර හඳ මෙන් විශ්වාසය.

GMOA විසින් සටන් පාඨ උඩ යට මාරු කිරීම  ඔබ විස්වාස නොකරන්නේ නම් දැනට වසර කිහිපයකට පෙර සයිටම් සිසුන්ට බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක සායනික පුහුණුව දීමට විරුද්ධව ඔවුන් ගෙන ගිය සංනිවේදන ව්‍යාපාරය ගැන සොයා බලන්න. පළමුව රජය මැදිහත්ව සායනික පුහුණුව ලබාදීම වැලැක්වූ ඔවුහුම ඉන් පසුව සායනික පුහුණුව නැති නිසා ඔවුන් සුදුසුකම් නොලත් යැයි සටන් පාඨය වෙනස් කරගනී.

වරෙක බස් හිමියන් ගැන ජනතාවගේ නොකමැත්ත ඔවුන්ගේ යටිකූට්ටු අරමුණට ප්‍රයෝජනයට ගැනීමට එක සයිටම් සිසුවෙක් බස් ගැමුණුගේ දරුවකු වීම ඔවුන්ට සෑහිණ. වරෙක ඔවුන් කෝටිපතියන්ගේ දරුවන් වෙයි. ඒ දුප්පතුන්ගේ ධනපති වෛරය ඔවුන්ට අභාවිතා කිරීමටය. වරෙක සියළුම සයිටම් සිසුන් ඇතුළු වී ඇත්තේ එස් සාමාර්ථ තුනකිනි.

අසරණ ලෙඩුන්ගේ සුභ සිද්ධිය සඳහාම සටන් වදින  GMOA සංවිධානයේ සංනිවේදන ත්‍රස්තවාදය ගැන මෙතනින් කියවන්න.

රෝහල් වල අයිතිය රජය (මහජනයා) සතුය. ඒවායේ වෛද්‍ය, සාත්තු සේවක, සහ අනිකුත් වැටුප් රජය (මහජනයා) ගෙවයි. බෙහෙත් සහ අනිකුත් වියදම්ද රජය (මහජනයා) ගෙවයි. පුහුණුව සඳහා යොදා ගැනෙන ලෙඩුන්ද ලංකාවේ මහජනයාය. එහෙත් රජයේ රෝහල් වල ලෙඩුන් සහ මහජන මුදලින් සම්පූර්ණයෙන්ම නඩත්තු වන රෝහල් වල පුහුණු විය හැක්කේ මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා සිසුන්ට පමණි. එසේ නැතහොත් ත්‍රස්තවාදී GMOA විසින් අනුමත කරන සිසුන්ට පමණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව බිහිකර ගැනීම, බංග්ලාදේශය ඇතුළු විදේශ රටවලට වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන විදේශ විනිමය නතරකර ගැනීම, අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට නොහැකිවන මුදල් නොමැති අයට වන අසාධාරණය නැතිකිරීම වැනි සියළුම ප්‍රශ්ණ වලට විසඳුමක් ලෙස රජය විසින් කළයුතුයැයි මට හැඟෙන්නේ පහත ක්‍රමයයි.

ලබන වසරේ සිට වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය පස් ගුණයකින් පමණ ඉහල දැමීම කළ යුතුය. එයින් 75% පමණ උසස් පෙළ ඉහල ලකුණු වලින් බඳවා ගත යුතුය. 25% උසස් පෙළ සමත් එහෙත් මුදල් ගෙවා ඉගෙනීමට කැමති අයට වෙන් කල යුතුය. පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නා ලන්ඩන් A/L හෝ Edexcel සමත් වන අයටත් එවිට ඇතුලත් වීමට ඉඩ සැලසේ. ඒ එසේ නැත්නම් ඔවුන් රටේ විදේශ විනිමය යොදාගෙන පිටරටවල වෛද්‍ය අධ්‍යාපනයට යන බැවිනි.

සියළුම සිසුන්ට ඉගැන්වීම මුදලට සිදුවිය යුතුය. මුලදීම මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන් හැර අන් අයට සුදුසුකම් ලබා අවුරුදු 10-15 තුල ගෙවිය යුතු ණය මුදලක් ලෙස එම වියදම ලබා දිය යුතුය. වසරෙන් වසර ක්‍රමයෙන් වෙනස් වන පොලී ප්‍රමාණයන් මඟින් හැකි තරම් ඉක්මනින් ණය මුදල ගෙවා දැමීම උනන්දු කල හැක. එම මුදල් වලින් වෛද්‍ය පීඨ ධාරිතාව වැඩිකිරීමට බැංකු වලින් ලබා ගත් ණය මුදල්  ආපසු ගෙවිය හැක.

මුදල් ගෙවන සිසුන් ගෙන් අයවෙන මුදල් සහ වෛද්‍ය පීඨ වලට බැංකු ණය ලබා දී අවශ්‍ය කථිකාචාර්‍ය වරුන් බඳවා ගැනීම සහ ගොඩනැඟිලි  කුලියට ගැනීම  කල හැක. දිවා රාත්‍රී පන්ති පැවැත්වීම මඟින් ගොඩනැඟිලි අවශ්‍යතාවය තරමක් අඩු කරගත හැක.

වෛද්‍ය අධ්‍යාපනයේ පළමු වසර සහ දෙවන වසරේ වැඩි ප්‍රමාණයක් ගතවන්නේ සාමාන්‍ය පංති කාමර වල කෙරෙන ඉගැන්වීම් නිසා කථිකාචාර්‍යවරු සහ පන්තිකාමර යන දෙකොටසින් මෙම කාලය තුල අදාල අධ්‍යාපනය ලබා දිය හැක. අද සිට එම කාලය අවසන් වීමට අවුරුදු 2 1/2 පමණ ඇති නිසා අනික් අවශ්‍යතාවයන් එනම් තුන් වන වසරේ සිට පස් වන වසර සඳහා වන විශේශිත මිනිස් බල සහ අනිකුත් තාක්ෂණික අවශ්‍යතාවයන් මෙරටින් හෝ ආනයනයෙන් හෝ සපයා ගැනීමට කල් තිබේ. වැඩිපුර සිසුන් ගන්නා තරමට ආදායමද වැඩි වන බැවින් මුදල් වියදම් කර එම අවශ්‍යතා සපයා ගැනීම අපහසු නොවනු ඇත.

නවාතැන් සැපයීම රජයෙන් කිරීම අත්හිටවිය යුතුය. වෛද්‍ය පීඨය මඟින් නියම කරන ප්‍රමිතීන්ට ගැලපෙන නියමිත කුලියකට නවා තැන් සැපයිය හැකි පෞද්ගලික අංශයේ අයට එම අවස්ථාව ලබා දිය යුතුය. මුදල් නොමැති සිසුන් සඳහා නවා තැන් සඳහාද ණය මුදලක් ලබා දිය හැක. මෙවන් ක්‍රම විදේශ රටවල අදටත් ක්‍රියාත්මක වේ.

ලංකාවේ ඇති විශාල රජයේ රෝහල් සංඛ්‍යාව, ඒවායේ සිදුවන විශාල සැත්කම් ප්‍රමාණය සහ අනිකුත් සැත්කම් නොවන ව්‍යාධි කළමණාකරණ ක්‍රියා පිළිවෙත් සංඛ්‍යාව සලකන කල රටේ සිසුන්ට අමතරව විදේශ හෝ අඩුම තරමින් කලාපීය සිසුන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩිකලක් යාමට මත්තෙන් වෛද්‍ය පීඨ වලට හැකිවනු ඇත. එවන් සිසුවෙකුගෙන් අඩුම ගණනේ වසරකට ඩොලර් 25,000 ක් ගාස්තු වශයෙන් ලබා ගත හැකි අතර තවත් ඩොලර් 5,000-10,000ක් ඉඳුම් හිටුම් කෑමබීම සහ විනෝදය සඳහා එක් අයෙකු වියදම් කරයි.  ඇඟළුම් කර්මාන්තය වැනි ශුද්ධ විදේශ ආදායම අඩු කර්මාන්තයකට වඩා සියළුම inputs දේශීය වන වෛද්‍ය අධ්‍යාපන කර්මාන්තය  රටට විදේශ විනිමය උල්පතක් වනු ඇත.

මෙම ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් මහජන මුදල් වෛද්‍ය අධ්‍යාපනයට වියදම් නොවීමයි. මෙම ක්‍රමයෙන් බිහිවන දොස්තර වරුන්ටත්  මහජන මුදලින් පිනට ඉගෙනගත්තා වැනි කථා අදාල නොවනු ඇත.

මෙවන් පදනමක් යටතේ

සයිටම් රජයට පවරා ගත යූතුය.
උපුටා ගැනීම: ඉයන් ගේ අඩවිය 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල