කාලීන සංවාද

මීතොටමුල්ල කුණු කන්ද

Off

මීතොටමුල්ල කුණු කන්ඳ පිහිටා ඇති පොතුවිල්කුඹුර 2008 වසර දක්වා කොලොන්නාව සහ මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශිය සභා කිහිපයක කුණු දැමීමට භාවිතා වූ කුඩා බිම් කඩකි. 2008 වසරේ දීකොළඹ කුණු එකතු කෙරුණු බ්ලූමැන්ඩල් කුණු කන්ද එතැනින් අහවර කරත්ම එම කුණු මීතොටමුල්ල පොතුවිල් කුඹුරට ගෙනවිත් ගොඩ බාන්න විය.2009 වසරේ දී කොළඹ නගර සභාවට විරුධව ප්‍රදේශවාසීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ වසර දෙකක් තුළ කුණු දැමීම නතර කරන ලෙසත් අක්කර දෙකකට පමණක් එය සීමා කරන ලෙසත් ය. මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක STFR/3H/2015 සහ STFR/318/2015 යටතේ එම නඩු දෙක තිබේ.එහෙත් අධිකරණ නියෝග පවා පිළිකන්නේ කුණු ගානට දමා සෑම ආන්ඩුවක්ම කටයුතු කර ඇත.ඒ අනුව අද වන විට එය අක්කර 20ට ආසන්න වෙමින් තිබේ.කුණු කන්ඳේ උස මීටර් 200 ඉක්මවා ඇත.දිනකට එහි හැලෙන කුණු ප්‍රමාණය ටොන් 800කි.කොලොන්නාව,මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශිය සභා සහ නගරසභා වලට අයත්ව ග්‍රාමසේවා වසම් 8ක් මෙකී කුණු කන්ඳ අවට තිබේ.
ඒ සේදවත්ත,වේලේවත්ත,කොටුවිල,කුරුණිය වත්ත,කිත්තම්පහුව,වෙහෙරගොඩ,වෙන්න වත්ත,සහ හල්මුල්ල ය.මේ ග්‍රාමයන් සියල්ලම කලුපාට වතුරෙන් පසුගිය ගංවතුරේ දී දරුණුවටම යට වූ අතර එහි බොහෝදෙනා අතීශයම දිලිඳු ආර්ථිකයන් හිමි පිරිස් වේ.

‘අපේ දරුවො තාම මැරුණෙ නෑ.මේව බලන්න,කියන්න ඉන්න පාලකයො ඉන්නෙ අපේ දරුවොත් අපිත් ඔක්කොම එක්ක මැරිල යනකම්.මේ කුණු කන්ඳ මේ ආන්ඩුව අයින් කරන්නෙත් නෑ.දැන් මේ දරුව මැරිල ඉන්න ගෙදර පිටිපස්සෙන් අලුතෙන් කුණු දාන්න පාරක් කපාගෙන යනවා.ගංවතුර වෙලාවෙ කුණු කන්ද කඩන් වැටුණ.වතුරට යට වුණා.ආයෙ පහුගිය දවසක කඩාගෙන වැටුණ.මේක තව උස වෙද්දි එක්කො අපි කුණු කන්ඳ එක්කම ගිලේවි.නැත්තම් කුණු වලට යට වෙලාම මැරේවි.මේක මෙතනින් ඉවත් කරනව කියල කලින් ආන්ඩුවත් කිව්ව.මේ අන්ඩුවත් කිව්ව.ලඟදි කොහාටද ගෙනියන්නත් කතා වුණා.ඒත් මේක තවමත් එහෙම්මයි.මේ හැමෝම අපිව රවට්ටල ජන්දෙ අරගෙන ආයෙ කුණු ගොඩටම තල්ලු කරල ආයෙ ජන්දයක් එනකම් ඉන්නව.අපිට දැන් මේ ජීවිත එපා වෙලා.’ මිය ගිය තෙනුලි දියණියගේ නැන්දනිය සඳමාලි පෙරේරා මහත්මිය තම අත දරුවන් ගැන ද තම ජීවිත ගැන ද එසේ සුසුම්ලයි.

පසුගිය ගංවතුරත් සමඟ ගංවතුරෙන් බැට කෑ සියල්ලගේ ටොන් දස දහස් ගණනක කුණු ද ගොඩ බාන ලද්දේ මීතොටමුල්ලටය.කොළඹ කුණු එන්නේත් මීතොටමුල්ලට ය.ඒ දිනවල තාර මෙන් කලු පාට කුණු සේදුණු වතුරෙන් යටව තිබූ මීතොටමුල්ල අවට නිවාස වලට කුණු කන්ඳ ද නාය ගියේය.ඉන්පසුව මීට ටික දිනකට පෙර නැවතත් කුණු කන්ඳේ ප්‍රදේශයක් නාය ගිය අතර එම අවස්ථාවේ දී වැසියන් උද්ගෝෂණයක් ද පෙර සුපුරුදු පරිදිම සිදු කරන ලදී.මීතොටමුල්ලේ මීට වසරකට පමණ පෙර දී සිදු කරන ලද සමීක්ෂණ්යක් අනුව කුණු කන්ඳේ බරපතළකම මොනවට පැහැදිලි වේ.එහි පවුල් 1000කට ආසන්න පිරිසකගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව 60%කට චර්ම රෝගය.තවත් 60%කට කුමණ හෝ ස්වසන රෝගයකි. රජය නිසි වෛද්‍ය කඳවුරක් හෝ මී උණ පාලනයට අවශ්‍ය ප්‍රතිකර්ම යොදනාවදැයි මෙතෙක් දුටුවෙක් නොමැතිය.මෙකී මිහිපිට අපා නිවාස වලට වෙනත් විකල්පයක් සෙවීමට හෝ මිළ කළ නොහැකි වටිනාකමක් ඇති කුණු කන්ඳ වෙනත් ප්‍රතිචක්‍රීය කරන වැඩ පිළිවෙලකට ලක් කරන්න ඉකුත් ආන්ඩු ද අලුත් ආන්ඩු ද අපොහොසත් වී ඇත.අවාසනාව නම් කුණු කන්ඳ පෙන්නා කලින් කලට එන ආන්ඩු විවිධ ව්‍යාප්‍රුති කරන බව කියා ජන්දය ගන්නා අතර පසුව එහි වෙසෙන්නෝ කුණු තරම්වත් නොවටිනා ලෙස අතහැර දැමීමය.පසුගිය දා මෙම කුණු ජා ඇල ප්‍රදේශයට ගෙන යන බවට ගිය රාවයත් සමඟ එම ප්‍රදේශයේ පිරිස් පාරට බැස උද්ඝෝෂණය කළ අතර එම ව්‍යාප්‍රුතිය මේ වන විට අකුළාගෙන තිබේ.එමෙන්ම මීතොටමුල්ලේ කුණු විල්පත්තු රක්ෂිතයේ කොටසකට ගෙන යාමට තීරණය කර ඇති බවත් ඊට අගමැතිවරයා පවා එකඟතාව පළ කර තිබූ බවත් පසුගියදා ඉරුදින අනාවරණය කළේය.රජයේ මැති ඇමැතිවරුන් පසුගිය දින කීපය පුරාම කීවේ එංගලන්ත සමාඟමක් හෝ ඕස්ට්‍රේලියානු සමාඟමක් සමඟ එක්ව මෙම කුණු ප්‍රතිචක්‍රීය කරණය සඳහා ව්‍යාප්‍රුති අරඹන බවය.නමුත් මෙතෙක් ඒවා ඉවත දැමූ කුණු රොඩු සේම බොරු පොරොන්දු සහ වචන බවට පමණක් පත් ව තිබේ.

මීතොටමුල්ල ආසන්න ග්‍රාම සේවා විස්තර අනුව එහි ජනගහනය 39761කි.පවුල් 8278කි.කුණු කන්ඳ පාමුල නිවාස සම්පූර්ණයෙන් විනාශ වූවෝ අනවසරව ජීවත් වන්නන් බැවින් රජයේ ලේකන වලට නොයන්නෝ වෙති.එහි නිවාස අඩක් විනාශව ඇත.ඔවුන්ට නව නිවාස හදාගන්න හෝ කැඩී බිඳී ගිය නිවාස අලුත්වැඩියා කිරීමට ආර්ථිකයන් නොමැත්තෝය.කලු පාට අසූචි වලක් වටා දිරපු ලෑලි ගසා ඔවුන් ජීවත් වන බව එහි පිටතින් යන්නෙකුට පැහැදිලි වනු ඇත.ඒවායෙහි බරපතළකම කොතෙක් ද යත් හයවන ගැමුණු හේවා බලකායේ ස්වේච්ජා සහන කන්ඩායම් පසුගිය ගංවතුර සමයේ පිරිසිදු කිරීම් අතහැර දැමුවේ එහි අගක් මුලක් සොයා ගත නොහැකිව ය.ආර්ථිකව ද සාමාජීයව ද අසරණ ඔවුන් වෙනුවෙන් පසුගිය රජය හෝ නව රජය මෙතෙක් ඉටුකළ හෝ ඉටු කිරීමට නියමිත සාධාරණයක් පේනමානයේ නොමැත.පසුගිය රජයේ කුඩු වලට නම ගෑවුණු උදවිය ද,මිනීමැරුම් වලට මරණ දඬුවම ලද්දෝ වෙනුවෙන් ද පෙනී සිටි ගෝඨාභයලා කළේ යහපත් ජීවිත වෙනුවෙන් කුණු කන්ඳට එරෙහි වූවන්ට හමුදාව ලවා ගැස්ස වීමය.තාත්තා මතින් බලයට ආ හිරුණිකාලා ද දුමින්දලාගේ ජඩකම් පෙන්වමින් බලයට ආ මරික්කාර් ලාද බලය ගත් පසුව කුණු සේම එහි වෙසෙන මිනිසුන්ව ද අමතක කර තිබේ.මෙගා පොලිස් හරහා කොළඹ සුරපුරයක් කරන්න යන පාඨලීලා ද කුණු කන්ඳ ගැන තවමත් ස්ථිර පිළිතුරක් දීමට අපොහොසත් ය.ඒ වෙනුවට ඉදිරියේ දී ගෙන එන සංකල්ප ගැන කියමින් පමණක් සිටී.පරිසර විෂය භාර ජනාධිපතිවරයා අද වනතුරු මහා බරපතළ පාරිසරික හානිය ගැන පුවත්පතෙන් හෝ තවමත් නොදැක්කා විය යුතුය.මිනීමැරුම් චෝදනා ලද්දන් පිළිබඳව කිඹුල් කඳුලු සලනවා සේම මැරි මැරී ජීවත් වන්නන් ගැන දැන්වත් සොයා බැලීම වටී.වෙනත් රටවල පුණර්ජනනීය බලශක්ති පිළිබඳව මාධ්‍යයට පැමිණ ටොන් ගණන් කියවනවා වෙනුවට අගමැතිවරයා ද බලශක්ති ඇමතිවරුද ලංකාවේ විශාලම කුණු කන්ඳ යම් ප්‍රයෝජනවත් වැඩකට යෙදවීමට කටයුතු කළ යුතුය.

පසුගිය ඔක්තෝබර් 25 ලියූ සටහනකි…

කසුන් පුස්සවෙල

-උපුටා ගැනීම – ෆේස්බුක්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල