සඳැස් / නිසඳැස්

පොරොන්දු දේශයේ අවතැන් මරියාවෝ…

0

පොරොන්දු දේශයේ අවතැන්

මරියාවන්ගෙ සුසුමින් ගිනියම්ව

කේපාපිලව් අහසට ගතු කියත්

මහී මාතාවෝ…

දැවි දැවී ගිනිගත් සුළඟින්

ඉරිතැලී මිහි මව් ළය

නංවා දූලි වළාවෝ

විරුද හඬ නංවත් නිහඬවම…

මල්වර දියණියන්

වහං කොට ඉටි තිරයෙන්

දැළි රවුළු ඇදි යොවුනන්

මුවා කොට මව් සෙනෙහෙන්

පුරුස බල සිඳී ගිය පණ කෙඳි

ගැට ගසනු වස් මියැදෙනා තුරු

සිය බිම්කඩ ඉල්ලා සටන් වදිත්

මරියාවෝ…

පතරංග පවුරු පදනම්

කටුකම්බි අට පොටින්

වහංගු කළ අපේ නිජ බිම්

දකින්නට වරක් තබන්නට අඩියක්

අටවාගන්නට පැලක්

මිහි මවුන් සහවාසයෙන්

ලබා අස්වනු නිවාලන්නට

පැටවුන්ගෙ කුසගිනි

ඉඩක් දෙන්නැයි ඉල්ලා

හඬා වැළපෙත් මරියාවෝ…

අට්ටාල මත නැගුණු මව් ඇසගින්

නොනැවත ගලා හැලෙනා කඳුළු ඇලි

මේ මගේ පුතු ය… මේ මගේ දූ ය…

කෝ කොයිද ඒ දරු

‘‘මී පුප් නොලදිම් – දරු ද නොලදිම්

රන් කැටි පුතා කෝ කොයි‘‘

පේදුරු තුඩුව සිට දෙවුන්දර දක්වාම

රෑ දිවා පෙන්ව පෙන්වා දරු රූ

හඬා වැළපෙත් මරියාවෝ…

හෙරොද්, පිලාත් රජ මැති ඇමති

ඒ ලේ කඳුළින්ම සෝදා දෑත් 

පිසදා ධවල පිළියෙන්

පඬුපුල් අසුන් මඟහැර

සිහසුන් අරා වැජඹෙත්…

පතිනි මවු පියොවුරෙන්

මදුරා පුරය ගිනිගත් බැව්

උහු අමතක කරත්…

පින්තූරය අන්තර්ජාලයෙනි.

කේපාපිලවු යුදහමුදා මූලස්ථානය අසල සත්‍යග්‍රහයේ නිරත මව්වරු

… 2017.04.07  – ජීවිත කාලයක කඳුළු සමඟ ගත කළ එක් දිනක්…
‘‘අපිට යේක වෙන මොනා එපා. අපේ දරුවන්ට ළමායින්ට මොකද වුණේ කියන්න. අපේ ඉඩම් ටික ආපහු දෙන්න. ඒ ඇති. අපිට දුක තමා විඳල පුරුදු. අපේ ඉඩම ලැබුණ නම් කෝම හරි ජීවත් වෙනවා.‘‘

 

උපුටා ගැනීම : තරු රසී 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල