කාලීන සංවාද

මීතොටමුල්ලෙම තවත් කතාවක්

Off

( සත්‍ය සිදුවීමකි )

පහුගිය 18 වෙනිදා හවස මීතොටමුල්ලෙ ඝාතනය කරපු මිනිස්සුන්ගෙ අවසන් කටයුතු කරපු කොලොන්නාවෙ කනත්තට ගියා ඒ මිනිස්සු වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න..  ඒ කටයුතු ඉවර වෙලා ආයෙත් ටෙරන්ස් විද්‍යාලෙට ගිහින් විදුහල්පතිනිය මුණගැහිලා ඒ වෙද්දි ඕන කරල තිබ්බ ආදාර ලිස්ට් එකත් අහගත්තා. එදා ටෙරන්ස් එකට ස්වෙච්ඡා සේවයට ආපු මගෙ මිතුරියකට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ කියපු නිසා ඇයව ටවුන්හෝල් බස් නැවතුමට ඇරලවන්න කොලොන්නාවට ආවා .. එතකොට 6.30 ට විතර ඇති.. විනාඩි දහයක් විතර ගියත් ටවුන්හෝල් පැත්‍තට යන්න බස් එකක් ආවෙ නෑ.. තවත් රෑ වෙන හින්දා ත්‍රීවිල් එකක් නවත්තලා නැගලා යන්න හදනකොට හෝල්ට් එකේ ආච්චි කෙනෙක් ඉන්නව දැකලා ත්‍රීවිල් එක නවත්තලා මම ඇහුවා

“ආන්ටි කොහෙටද යන්නෙ..? ”

“පුතේ මම බෝ ගහ ගාවට යන්නෙ .. ”

“ඒ කියන්නෙ දෙමටගොඩ පැත්තට ද ..? ”

“ඔව් පුතේ..”

” ආ එහෙනං නගින්න.. අපිත් යන්නෙ ඒ පැත්තට.. ”

ආච්චි අම්මා ත්‍රීවිල් එකට නැග්ගා .

සුදුම සුදු සායකුයි හැට්ටෙකුයි ඇඳලා හිටියෙ. කොන්ඩෙ පිටිපස්සට කරලා බැඳලා ලොකු අරලියා මල් දෙකක් ගහලා තිබ්බා..  ආච්චි සුදුයි.  කන්නඩි දාලා.. අතේ ලොකු බෑග් එකක් තිබුණා. කොන්ඩෙත් සුදුම සුදුයි.. අවුරුදු 75 ක් වගේ පෙනුම..

“පුතේ ඔයාල කොහෙටද යන්නෙ..”

“අපි ටවුන්හෝල් යන්නෙ ආන්ටි..”

“ආ.. මම මේ මළගෙදර ආවා පුතේ.. බලන්නකෝ වෙච්ච දේ නේද… ? ”

ආච්චි කතා කරද්දි වෙව්ලනවා.. සමහර වචන හරි අමාරුවෙන් සද්ද කරන්නෙ..

“ඔව් ආන්ටි ඒකනේ.. අපිත් මේ මළගෙදර ආවෙ…”

“ආ ඔයාලා කනත්තට ගියාද..”

“ඔව් ආන්ටි.. මේ ගිහින් එන ගමන්…”

“බලන්නකො පුතේ මගෙ හොඳම අඳුරන කෙනෙක්නේ නැති උනේ..  නෑවිල්ලම බැරිකමට ආවෙ.. මට සනීපත් නෑ පුතේ..
පුතාලා මෙහෙද….?? ”

“නෑ ආන්ටි.. අපි මේ ටෙරන්ස් එකට ආවා…”

“ඒ ඇයි..? ”

“උදව් කරන්න ආවෙ ආන්ටි කෑම්ප් එකේ මිනිස්සුන්ට..”

“ආ එහෙමද.. ”

“ඔව් ආන්ටි දැන් දවස් තුනක් තිස්සෙ මෙහෙ..”
“ආන්ටි කොහෙටද යන්නෙ..?”

“අනේ පුතේ මම මේ පුංචි බොරැල්ලට යන්නෙ..”

“ආ.. ගෙවල් එහෙද ආන්ටි….”

“නෑ පුතේ මම මේ ක්‍රිකට් බෝඩ් එකේ සුමතිපාල මහත්තයා හම්බෙන්න යන්නෙ….”

“තිලංග සුමතිපාල ද..?? ”

“ඔව් ඔව්..”

“අහ්.. හරි අපි එහෙන් දාන්නං ආන්ටිව..”

(නාලන්දෙ පාරෙ යමු අයියෙ කියා මම රියදුරුට කිව්වෙමි. )

“පුතා දන්නවද පාර.. අර බෝ ගහ ගාවින් යන්න තියන පාර….?? ”

“හරි ආන්ටි මම දන්නව.. අපේ ඉස්කෝලෙ ගාවනෙ…”

“බලන්නකො පුතේ මගෙ පෙන්ෂන් එක නැති කරලනෙ.. දැන් මාස තුනක්..”

“ඈ.. ඒ මොකෝ ආන්ටි ඒ..?? ”

“දන්නෙ නෑ පුතේ දැන් මාස තුනක් වෙනවා..
මම මාස දෙකකින් මගෙ බෙහෙත් අරන් නෑ පුතේ..  ”
“මම අදත් ඒ ජී ඒ ඔෆිස් එකට ගියා.. උන් කියනව පුතේ පෙන්ෂන් එක බැංකුවට එවන්න විදිහක් නෑ කියලා….”

“ඒ කිව්වෙ .?? ”

“දන්නෙ නෑ පුතේ දැන් සති ගාණක් තිස්සෙ උන් මාව රස්තියාදු කරනවා…””

( ඇගේ ඇස් වල කඳුළු මතුවෙයි.. වෙව්ලන අතින් මුහුණ පිහදයි.. )

“ඉතින් ආන්ටි දැන් තාම බෙහෙත් ගත්‍තෙ නැද්ද …? ”

“නෑ මට බෙහෙත් එපා.. ඔහොම මැරිච්චාවෙ…”

(මගේ හදවත නතරවිය. මේ අහිංසක මනුස්සයාගේ විශ්‍රාම වැටුප අවහිර කර වගකිවයුත්තන්ට කුමන තෘප්තියක් ලැබේදැයි මම දන්නේ නැත..)

(මගේ මිතුරිය දෙස බලන ආච්චි..)

” මටත් දුවෙක් ඉන්නව දුවේ..
දැන් එයාට 47 ක්..  බැඳල නෑ.. ඒ ළමයත් අසනීපෙන්.. මමයි ඒ දරුවව බලන්නෙ.. මට ලෙමන්පෆ් එකක් අරන් දෙන්නවත් සල්ලි නෑ පුතේ ඒ ළමයට..”

(අපිට කියන්නට දෙයක් නැත.. නිහඬව මම ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි..)

“සුමතිපාල මහත්තයගෙ අම්මව මම හොඳට අඳුරනවා.. අපේ තාත්‍තගෙ යාළුවො ඒ පවුලෙ අය..
දැන් එයාටවත් කියලා මේක හදාගන්න ඕනෙ පුතේ..”

” අයියෙ තැන දන්නව නේද… ” ( මම ත්‍රීවිල් අයියාගෙන් ඇසුවෙමි..)

“ඔව් මල්ලි…”

“ගේ ගාවටම යමු අයියෙ..”
..

“බලන්න පුතේ මගෙ කකුල .”

(ඇය කකුල පෙන්වයි..)

“ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලට තාම බෙහෙත් දානවා..”
“අනේ මන්දා පුතේ කවදා මේව ඉවරවෙයිද කියලා..”

(ඒ වෙද්දී බේස්ලයින් පාරෙන් ත්‍රීරෝද රතය හරවා තිබුණි..)

“අයියෙ අර පාරෙන් හරවල එහා පැත්තෙන් නවත්‍තන්න..”

“ආන්ටි අපි තැනට ආවා.. පරිස්සමෙන් යන්න එහෙනං..”

“අනේ බුදුසරණයි පුතේ.. බලන්නකො ඔයාලා මාව දැකලා ඇහුවනෙ කොහෙද යන්නෙ කියලා..
මම යනවා එහෙනං බුදුසරණයි.. ”

(කියා ඇය මිලිනා සුමතිපාල මාවතේ තිලංග සුමතිපාල මහතාගේ නිවස අසලින්ම බැස්සාය .)

“හහා ඕක මොකක්ද ආන්ටි
බුදුසරණයි..!!”

අපි ඇයට සමුදුනිමු..

( ආච්චිඅම්මාට පෙනෙන්නට සිනාසුනා පමණි )

ටවුන්හෝල් වලින් බසිනකන්ම අපි නිහඬව සිටියෙමු.. කුමක් කතා කරන්නද..
ඒ සිදුවීම මතක් වන වාරයක් පාසා මම නැවතත් කල්පනා කරමි..අසනීපයකට බෙහෙතක් ගැනීමට මෙසේ දුක් විඳින රටක් ගැන කුමක් කල්පනා කරන්නද..
තමන්ගේ අයිතිය ලබා ගැනීමට තම ගෞරවය පසෙක ලා දේශපාලන සහයක් ලබා ගැනීමට අවශ්‍ය කරන රටක අපි ජීවත් වෙමු..
තිලංග මහතා ඇයට විශ්‍රාම වැටුප නැවත සදා දුන්නාදැයි මම නොදනිමි..

තිලංගලාව නොහඳුනන හඬක් නැති මේ අත්තම්මා වැනි  අසරණ මිනිස්සු  කී දෙනෙක් තම අයිතියවත් නැතිව නිහඬවම මියැදෙනවා ඇත්ද..
කුණු කඳු නොවැටුනාට අපි සැවොම ජීවත්වන්නේ මීතොටමුල්ලකය ….!!

( ඡායාරූපය අන්තර්ජාලයෙනි )
#අකලංකාරය
– චමල් අකලංක පොල්වත්තගේ

උපුටා ගැනීම දහ අට සන්නිය 

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල