දේශපාලන

ලංකාවේ මාක්ස්වාදී පල් බොරු ගැන දයලෙක්තික අධ්‍යයනයක්

Off

මෙම පැහැදිලි කිරීම කරන්නේ මවිසින් මීට පෙර ලියන ලද කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද? යන ලිපියට ෆේස්බුක්හි ප්‍රියන්ත රත්නායක විසින් පළ කරන ලද ප්‍රතිචාරයක් හා සංවාදගත වීමටයි.

ප්‍රියන්ත රත්නායක මතු කරන කාරණය මෙසේයි: //1.අජිත් ට අනුව කම්කරුවන් ගේ ජීවිත කාලකන්නි වී ඇත්තේ රජය බදු මුදල වශයෙන් ඔවුන් ගෙන් සූරා කැම නිසා. මෙතනදී කම්කරුවාගේ රිජු නිශ්පාදන සම්බන්ධය වෙන කම්කරුවා ගේ ශ්‍රමයෙහි හිමි කරු සඳහන් කරල නැ. එකෙන් ගම්‍ය වෙන්නෙ කම්කරුවා සූරා කන එකම මාධ්‍යය රාජ්‍ය බදු කියලද​? එහෙම නැත්තම් ශ්‍රම හිමි කරුගේ සූරා කැම නොගිනිය හැකියි කියලද​? අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද ?රාජ්‍ය සුබසාධනය නිසා කම්කරුවාට පෙරලා ලැබෙන වාසිය සලකල​. ඒ කියන්නෙ, පෙන්නන්න පුලුවන් ද​, කම්කරුවා රාජ්‍ය බදු නොගෙවා හිටියොත් සහ එනිසාම රාජ්‍ය සුබ සාධනය නතර වුවහොත් එමගින් කම්කරුවාගේ තත්වය කාලකන්නි නොවෙන්නෙ කොහොමද කියල?
2. පේන විදියට අජිත් ලන්කාවේ 5% කට ගොවීනුත් ඇතුලත් කරල​. කියන්න පුලුවන් ද​? මේ ගොල්ලො නඩත්තු කරන කම්කරුවන් ගෙ ප්‍රතිශතය​?//

මා ඉදිරිපත් කර තිබෙන මේ ප්‍රවාදය ගැන වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා එය පරිපූර්ණ එකක් ය කියලා මා කියන්නෙ නැහැ. හැබැයි මේක සියවසක් තිස්සේ පවතින මාක්ස්වාදී බොරුවට ප්‍රතිචාරයක්. //අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද // කියලා අහන නිසායි මම කියන්නෙ. මාක්ස්වාදීන් සම්ප්‍රදායික නිගමනවලට පැමිණි විදිය වුණත් අවුරුදු සීයක් විතර ගිහිනුත් කවුරුවත් පෙන්වා දීලා නැහැ. ඒවා අවිවාදිත පිළිගැනීම් බවට පත් කරලා, ඒ මත තමයි විග්‍රහ ගොඩ නගන්නේ. මේක කතිකාවන්ගේ සාමාන්‍ය ලක්ෂණයක්.

ධනවාදය පවතින්නේ ලාභය මත නිසා කම්කරුවාගේ අතිරික්ත ශ්‍රමය හිමි කර ගන්නා කෙනෙකු ධනවාදය තුළ හැමදාම ඉන්නවා. සමාජවාදී රාජ්‍ය ධනවාදය තුළ රජය ඒක කළා. සමාජවාදී සමාජයක රජය නම් සමාගමේ වුණත් අවසාන අයවැයෙහි ලාභ තිබුණා. ඒ ලාභ එක්කෝ නිලධාරි අසමාන විදියට කොල්ල කා ගත්තා. නැතිනම්, අනාගතය වෙනුවෙන් ආයෝජනය සඳහා තබා ගත්තා.

මේක ධනපති සමාගම් වගේ ඒවාටත් අදාළයි. ඒවායේ හිමිකරුවන් හා ඉහළ කළමනාකරුවන් ලාභය අධි පරිභෝජනයට යොදා ගන්නවා. ඉතිරියට ඔවුන් මොකක්ද කරන්නේ? රජය කරපු දේ ම තයි. ආයෝජනය කරනවා. ලාභ වැඩි කර ගැනීමට වෙන්නට පුළුවන්. හැබැයි, එකම වැඩේ.

මාක්ස්වාදීන් කවදාවත් ව්‍යවසායකයාගේ පැත්තෙන් මේක විග්‍රහ කරන්නේ නැහැ. ව්‍යවසායකයාත් ණය සඳහා පොළී, ආදායම් බදු ආදී සූරාකෑම් ගණනාවකට ලක් වෙනවා. අවසානයේදී ව්‍යවසායකයා පැත්තෙනුත් රජය සූරා කනවා.

ව්‍යවසායකයාට ධනපතියා කියලා නමක් පටබැඳලා වෛරය ඇති කිරීම මාක්ස්වාදයේ මූලික ලක්ෂණයක්. හැබැයි ව්‍යවසායකයා කියන්නේ විකල්පයක් නැති කෙනෙක්. ව්‍යවසායකයා වෙනුවට රාජ්‍යය ආදේශ වීම කියන එක විතරයි සමාජවාදී පර්යේෂණවලදි අපි දැක්කේ. මූලික වෙනසක් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒක අසාර්ථක බවත් ඔප්පු වුණා.

අපි සරල උදාහරණයකින් ලංකාවේ අප මුහුණ දෙන සූරාකෑම කරන්නේ කවුරුද කියා තේරුම් ගන්නට උත්සාහ කරමු. දෛනික ජීවිතයේදී අපව දැඩි ලෙස සූරා කන්නේ කවුරුද? සමාගම් ද? රජය ද? දැඩි ම සූරාකෑම් සිදු වන උදාහරණ කීපයක් අරගෙන බලන්න. අරක්කු බෝතලෙන්, සිගරට් එකෙන් රජය කරන සූරාකෑම කොයි තරම් විශාල ද බලන්න. දුරකථන සේවාවලින් රජය කෙතරම් සූරා කනවා ද? වාහනයක් මිළ දී ගන්නකොට කීයක් බදු ගෙවනවා ද? ලංකාවේ කිසිම ව්‍යවසායකයෙකුට මේ වගේ සූරාකෑමක් කරන්නට ලැබෙන්නේ නැහැ. එහෙම කරනවා නම් කරන්නේ ඔය කණ්ණාඩි වගේ මිනිසුන් කලාතුරකින් මිළ දී ගන්නා භාණ්ඩවලින් විතරයි. නිදහස් වෙළඳපොළ තරගකාරිත්වය නිසා ඒකාධිකාරයන් පවත්වාගෙන යන එක ලෙහෙසි නැහැ. වෙළඳ සමාගම් පාරිභෝගිකයා සූරා කන්නේ නැති බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. මා කියන්නේ රජය බදු අය කරන එක තරම් ඒක ලෙහෙසි නැති බවයි.

පෞද්ගලික ව්‍යවසායකයන් අධික සූරාකෑමක් කරන්නට නම් මිනිසුන්ගෙන් වහලුන්ගෙන් වගේ වැඩ ගන්නට ඕනැ. ඒවා දැන් කරන්නට බැහැ. ගෝලීය ශ්‍රම වෙළඳපොළේ තියෙන්නෙ ශ්‍රම හිඟයක්. පුහුණු කම්කරුවන්ට තමන් කරන වැඩ තෝරා ගන්නට පුළුවන්.

අර මං කලින් විස්තර කරපු විදියේ සූරාකෑමක් සාධාරණීකරණය කරන්නට පුළුවන් මහජන සුබසාධනයක් රජයෙන් වෙනවා ද? අඩු ගානේ කුණු ටිකවත් කළමනාකරණය කරන්නට රජයට බැරි වෙලා තිබෙනවා නේ.

සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ අනෙකුත් සුබසාධන සේවා ගැන සලකා බැලුවොත් ඔබට තේරේවි එහි තත්වය. එ්වායේ වැඩිම වියදමක් යන්නේ සේවක වැටුප්වලට. ඒ ආයතනවල ශ්‍රම ඵලදායිතාව ගැන මා කියන්නට ඕනැ නැහැ නේ. ඒක කවුරුත් දන්නවා. රාජ්‍ය සුබසාධනය ගැන මට නම් කියන්නට තිබෙන්නේ මෙච්චරයි. එය පවතින්නේ ආණ්ඩුවත්, රජයට සම්බන්ධ මධ්‍යම පංතියත් කරන සූරාකෑම යන්තමින් හෝ සාධාරණීකරණය කර ගන්නට විතරයි. තවත් සරලව කිව්වොත් බදු ගෙවන ජනතාව රැවටීමටයි. රජයේ නිලධාරීන් බොහෝ වෙලාවට ඒ රැවටීම හෝ කරන්නට උනන්දුවක් නැහැ. ඒ තරමට ඒවා අකාර්යක්ෂමයි. වර්තමානයේදී රජය මහජනයාට සපයන සේවා තරමක් හෝ උසස් තත්වයක තිබෙන්නේ මහාමාර්ග සම්බන්ධයෙන් විතරයි. හැබැයි, කොළඹ වාහන තදබදය දැවැන්ත ප්‍රශ්නයක්.

හැබැයි, මේවා කඩා වැටුණොත් වැඩ කරන ජනතාවගේ ජීවිත තවත් කාලකණ්ණි වෙන බව ඇත්ත. ඒ නිසා තමයි, අපි රජය වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒක කඩා වැටෙන එක වළක්වා ගන්නට උත්සාහ කරන්නෙ. රජයෙන් යැපෙන රාජ්‍ය විරෝධීන් පවා අපට බනින්නේ අපි රජය ආරක්ෂා කරනවා ය කියලායි. ලංකාවේ රජය පවතින්නේ හෙලවෙන දතක් වගේ අස්ථාවර තත්වයක. ඔය රජයේ සේවකයන්ට එක මාසයක් නියමිත දිනට වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් බලන්න පුළුවන් වෙයි තත්වය. මහින්දගේ කාලේ සිට ම ආණ්ඩුව විවිධ වංගු දමමින් කොහොම හරි පඩිය වෙලාවට ගෙවා ගන්නවා. හැබැයි ඒ බර දරන්නේ ඵලදායී වැඩ කරන කම්කරුවෝයි. ලංකාවේ බොහෝ විප්ලවකාරයන් රජය හා ආණ්ඩුව අතර වෙනසවත් දන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ තමන් කරන දෙයෙහි ප්‍රතිඵලය මොකක්ද කියන එක.

විකල්පයක් නොමැතිව, පවත්නා රජය බිඳ දැමීම කියන්නේ ම්ලේච්ඡත්වයට පාර කැපීමක්. එයින් ලංකාවේ සමාජය විසින් අප අත්පත් කරගෙන තිබෙන බොහෝ ජයග්‍රහණ ආපසු හැරවෙන්නට පුළුවන්.

ගොවීන් ගැනත්, ප්‍රියන්ත සඳහන් කර තිබුණා. ගොවීන් කියන්නේ ලංකාවේ ගම වගේ තවත් රොමැන්තික සංකල්පයක්. මේවායේ බොරුව හෙළිදරව් කරන්නට හුඟදෙනෙකු බයයි.

ගොවීන් ලෙස හඳුන්වා ගනිමින් රජයේ සහනාධාර අයදුම් කරන විශාල පිරිසක් ඇත්තට ම වෘත්තීය ගොවීන් නෙමෙයි.ඒ අය එක්කෝ රජයේ රැකියා කරන මධ්‍යම පන්තිකයෝ. නැතිනම් ග්‍රාමීය දිළින්දෝ. වෘත්තීය ගොවීන් ඉන්නවා. ඒ අයට රජයේ සහනාධාර එතරම් වැදගත් නැහැ. උදාහරණයකට නුවරඑළියේ එළවළු ගොවීන් අරගෙන බලන්න. පසුගිය කන්නයේ ගෝවා වවලා රුපියල් කෝටියකට වඩා ලාභ ලබපු ගොවීන් ඉන්නවා. හැබැයි මෝඩ විදියට හැමෝම ගෝවා වවපු මේ කන්නයේ හැමෝටම කෙළ වුණා. හැබැයි අර මං කියපු ගොවියා මේ සැරේ ගෝවා වැව්වෙ නැහැ. මිනිහා බලනවා මාකට් එකේ වැඩිපුර විකිණෙන ඇට ජාති මොනවද කියලා. මිනිහා වවන්නෙ අඩුවෙන් යන ජාතියක්.

ගොවීන් ය කියන ග්‍රාමීය දිළින්දන් සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ මෙයයි. රජය පොහොර සඳහා මහජන මුදල්, මහජන මුදලින් වාරිමාර්ග නඩත්තුව, මහජන මුදලින් වැඩි මිළට අස්වනු මිළ දී ගැනීම ආදී සහනාධාර සැපයිය යුත්තේ බැරෑරුම් ලෙස ගොවිතැනේ යෙදෙන, වෘත්තීය ගොවීන්ට විතරයි. ආහාර නිෂ්පාදකයන් වන ගොවීන්ට, ධීවරයන්ට රජය උදව් කළ යුතුයි. ආහාර මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ ගැන විරෝධයක් නැහැ.

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම කියන්නේ වෙන වැඩසටහනක්. ඒක ගොවියා එක්ක පටලවා ගන්නට ඕනැ නැහැ.

කම්කරුවන්ගේ ප්‍රතිශතය ගැනත් ප්‍රියන්ත අසා තිබුණා. මා නම් පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් විතරයි. ඒ ගැන මා කලින් ලිපියේ මෙහෙම ලිව්වා. //ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.//

ඒ ලිපියේ ම මා පාලක පන්තිය ගැන මෙහෙම ලිව්වා. //අප නම් ලංකාව විග්‍රහ කරන්නේ මධ්‍යම පන්තික රාජ්‍ය ධනවාදයක් ලෙසයි. ඒක දුවවන බලවේගය තමයි දේශපාලකයන් 500කින්, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 40,000කින්, රජයේ සේවකයන් ලක්ෂ 14කින් (විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකින්) සැදුම් ලත් මධ්‍යම පන්තිය. රජය සමග කොන්ත්‍රාත් කරන අය, රජයේ සහනාධාර මත පවතින ගොවියන් ආදීනුත් මෙයට ඈඳෙනවා. මේ අය එක්ක ඍජුවම ලක්ෂ 20ක් හා සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් පමණ යැපෙන්නේ රජයෙන්. ඒ යැපීම සාධාරණීකරණය කර ගන්නට යම් සුබසාධනයකුත් රජයෙන් සිදු වෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි, මේ දැවැන්ත රජය නඩත්තු කරන්නට ගෙවන බදු හා ණය තමයි අපේ ජීවිතය කාලකණ්ණි කරන ප්‍රධාන සාධක. මෙන්න මේ පන්තිය තමයි ලංකාවේ පාලක පන්තිය. ඔවුන් තමයි ආණ්ඩු හදන්නේ. එපමණක් නොවෙයි, ඔවුන් තමයි මහජන මුදල් සොරා කා උපයා ගත් ප්‍රාග්ධනයෙන් ගුණදාස අමරසේකර කියූ ආකාරයේ වසල වෙළඳ කුලයක් හදන්නේ.//

එතකොට මා පෙනී සිටින ඵලදායී වැඩ කරන ජනතාව කවුරුද?

1. විදේශ ශ්‍රමිකයන්: //මේ වන විට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රටවල රැකියා කරති. සෑම ශ්‍රී ලාංකිකයන් 12දෙනෙකුට ම එක් අයෙක් විදේශ රැකියාවක නිරතව සිටිති.
එයින් 36.28%ක් කාන්තාවෝ ය. 63.22%ක් පිරිමි වෙති. ශ්‍රී ලාංකික සංක්‍ර‍මණික කම්කරු ප්‍ර‍ජාවෙන් 34%ක් ම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් 82.5%ක් ම අඩු කුසලතා අවශ්‍ය ගෘහස්ථ රැකියාවල නියැලෙන අය වෙති. (මූලාශ්‍රය මෙතැන)

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 17දෙනෙකුගෙන් එක් අයෙක් පමණ විදේශ රැකියාවක යෙදී සිටිති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍ර‍මිකයන් විසින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට වැඩි මුදලක් එවූ හ. එය රුපියල් බිලියන 800කට අධික ය.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

2. තේ, රබර්, පොල්, කුළුබඩු හා වෙනත් සුළු අපනයන භෝග වගාවේ නියැලි කෘෂිකාර්මික කම්කරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්: මෙම සංඛ්‍යාව ගණනය කරන්නට විධිමත් පර්යේෂණ අවශ්‍යයි. තේ කර්මාන්තය සම්බන්ධයෙන් විතරක් දළ අදහසක් මෙම සටහනින් ලබා ගන්නට පුළුවන්.//ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිතව ඍජුව හා වක්‍ර‍ව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ 30ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පවසනවා. එය ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩියි. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් වීමත් සුවිශේෂ තත්වයක්. වතු ආශ්‍රිතව සේවය කරන තේ දළු නෙළන්නියන්, කර්මාන්තශාලා කම්කරුවන් හා තවත් සේවකයෝ රාශියක් සිටිනවා.

2012 වසරේ නිල ජන හා නිවාස සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 4.4%ක් ජීවත් වන්නේ වතු ආශ්‍රිතවයි. එමගින් අදහස් වන්නේ විශාල හා මධ්‍ය පරිමාණ වතු පමණයි. යටත් විජිත යුගයේදී වතු කම්කරුවන් ලෙස ශ්‍රී ලංකාවට සංක්‍ර‍මණය වූ ප්‍ර‍ජාව වර්තමානයේදී හැඳින්වෙන්නේ කඳුරට දෙමළ ජනතාව ලෙසයි.

කුඩා තේ වතු හිමියන් බොහෝ විට පවුලේ අයගේ හෝ බාහිර කම්කරුවන්ගේ හෝ සහයෝගය ඇතිව තමන්ගේ ඉඩමේ ම වැඩ කරන ගොවීන් පිරිසක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

3. රට පුරා අපනයන කර්මාන්තවල සේවය කරන කම්කරුවන්: (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

4. අවිධිමත් අංශයේ කම්කරුවන්: මේ අය අතරට ඉදිකිරීම් කම්කරුවන්, කුලී කම්කරුවන්, ගෘහ සේවක සේවිකාවන් ආදීන් අයත් වනවා. (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

5. සේවා අංශයේ කම්කරුවන්

මේ වර්ගීකරණය වුණත් පරිපූර්ණ නැහැ. මේවා ගැන සාකච්ඡා කළයුතුයි.

ඒ වගේ ම හුදෙක් ම අධි පාරිභෝජනවාදය වෙනුවෙන් ප්‍රවර්ධනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා සම්බන්ධ කම්කරුවන් ගැන ගැටලු තිබෙනවා. ඔවුහු ඵලදායී වැඩ කරන කම්කරුවෝ ද? මේක ඉතා සංකීර්ණ කාර්යයක්. හැබැයි, අපි නිකමට හිතමු ඔය ඇතැම් වෙඩිං සේවාකාරයන්, රාජ්‍ය උත්සවවල එහෙම නටන නැට්ටුවන් වගේ අය. මේ අය හෙළන ශ්‍රමය මිනිස් සමාජයේ උන්නතියට වැදගත් ද? හානිකර ද?

මා මේ ලියූ ලිපියෙහිත් ගැටලු ඇති. ඒවා සාකච්ඡා කළ යුතුයි. ඒ වගේ ම, ලංකාවේ සමාජය තේරුම් ගන්නට විධිමත් අධ්‍යයන රැසක් සිදු විය යුතුයි. ඒවා අපේ පුද්ගල ධාරිතාවෙන් බැහැර කාරණා.

අප කරන්නේ එක දෙයක් පමණයි. ඒ දැනට පොදු පිළිගැනීම තුළ පවත්නා ඝනීභූත, යල්පැන ගිය අදහස් පද්ධතියකට අභියෝග කරන එකයි.

 

-අජිත් පැරකුම් ජයසිංහ

w3ලංකා 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල