අතීතකාමය

හිනා මූණ! | බ්ලොග් වසන්තය වෙනුවෙන් චූටි මහත්තයාගේ කතාව

Off
”මා එදා කියු දේ,
අද ඔබට මතක නැතිදෝ,
කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ,
මේ වතාවේ පමණයි,
සමා දෙන්නේ මා නම්,
අයෙත් මතක නැති නම්,
කියන්නේ ම නෑ මයි…..”

අපේ අලුත් ඉංග්‍රීසි ටීචර් ඔහොම කිය කියා හිනා මූණක් මවාගෙන ජයසිරි ගාවට කිට්ටු කලා. ජයසිරි ගල්වුනා. අපිට නං හෙන සංතෝසේ! ඒත් ඒක විඳින්න වුනේ නෑ. චාන්දනී මැද්දට පැන්නා.

“හානේ…… ටීචර් ඒ ජාතියේ සිංදුත් කියනවද?”

ඒ එක්කම තමන්ගේ තාත්තගේ කැසට් පීස් කන්ද පණ වගේ ආරක්ෂා කරන රොෂාන් කට ඇරියා.

“ඇයි ඒ ජාතියේ සිංදු කිව්වම මක් වෙනවද?”

ටීචර් ඒවා කණකට ගන්නැතුව මෙහෙම කිව්වා.

“මොකද ජයසිරි අපි දැන් කරන්නේ….. හෙටයි දවස….!” ඊලඟට ටීචර් හිනා මූණ කල්පනාවට බර මූණකට හැරෙව්වා.

ඔය අලකලංචි සේරෝම මුලින්ම ඇදිලා ආවේ මෙන්න මෙහෙමයි.

ඒ මම කෙහෙල් කොටුව පැත්තට ගාටන එක පැත්තක තියලා තැපැල් කන්තෝරුවේ බිත්ති කන්ද උඩට වෙලා පාර දිහා බලාගෙන හිටපු එක නිවාඩු දවසක උදේ! ටවුමේ ඉදලා සුදත් අයියලාගේ කොළපාට කැරවෑන් එක දූවිලි අවුස්සාගෙන වේගෙන් ආවා. වෑන් එකට සෙනග පටවලා ජනේල වලින් එළියට පනින තරමට!  ඒක ඇවිල්ලා තැපැල් කන්තෝරුව ඉස්සරහා ගැහුවා බ්රෙක් පාරක්. එකත් එකටම මයිකල් මාමාගේ බටු වෑන් එක මෙයාලා පස්සේ පන්නවා. සුදත් අයියා වෑන් එක නැවැත්තුවයි ගියර් එක මාරු කරන පමාවෙන් ලෑල්ල උඩ හිටගත්තයි. වෑන් එක ආපහු බොරලු පාරේ දූවිලි අවුස්සගෙන ඉගිල්ලුනා. ඔය දූවිල්ල මෑකීගෙන යද්දි අපි දැක්කා අපේ තැපැල් කන්තෝරුව ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හිටගෙන ඉන්න කෙනෙක්. එයා අලුත් ම අලුත් රෙදිවලින්, අලුත් ම අලුත් මෝස්තරේකට මහපු, අලුත්ම අලුත් ඇඳුමක් ඇඳගෙන හිටියා. වෑන් එකේ දූවිල්ල එයාට කොච්චර නුහුරුද කියන්නේ දූවිල්ල මැකිලා තවත් සෑහෙන වෙලාවක් යනකල් එයා එයාගේ අලුත් ම ලේන්සුවෙන් මූණ වහගෙන හිටියා. එයා ලේන්සුවෙන් මූණ අහකට ගන්නකල් අපි බලාගෙන හිටියා. එයාගේ දෙපැත්තේ හිටියේ තරමක වයස පහේ දෙන්නෙක්. බාග වෙලාවට එයාගේ අම්මයි තාත්තයි වෙන්න ඇති. ඊලඟට එයාලා පාර පැනලා අපේ පැත්තට ආවා. එයාලා තාත්තා හම්බවෙලා බොහොම ගරුසරු ඇතිව තාත්තට කතා කලා. ටික වෙලාවක් කතා බහ කරපු එයාලා ආපහු යන්න ගියා. හැබැයි එයාලත් එක්ක තැපැල් කන්තෝරුව පැත්තට හමාපු සමන්පිච්ච මල් සුවඳ නම් හුළඟට දිය වෙලා යන්න තරමක වෙලාවක් ගත්තා.

එයාලා ගියාට පස්සේ තාත්තා අපට මෙහෙම කිව්වා,

“ඒ තමයි ඔයාලගේ ඉස්කෝලෙට අලුතින් එන ඉංග්‍රීසි ටීචර්….. එයා එයාගේ අම්මයි තාත්තයි එක්කලා ඉස්කෝලේ බලාගෙන යන්න ඇවිල්ලා….. ඊලඟ වාරේ ඉදලා ටීචර් ඔයාලට උගන්නයි….”

ඔන්න ආයෙමත් වතාවක් ඉංග්‍රීසි භාෂාවට අධිපති දේවියන් වහන්සේගේ නේත්‍ර මානෙට අපිව අහුවෙලා. ඉතින් උන්නාන්සෙට හිතිලා අපේ ඉස්කෝලෙට ඉංග්‍රීසි උගන්වන්න හැකි දේව දූතියක් එවන්න. එවලා අපට ඉංග්‍රිසී උගන්වන්න. ඒක මොනතරම් නං සතුටු දායක පුවතක් ද? ටීචර් ආවම මට පුලුවනි වෙන්ස්ඩේ කියන වචනයට එන සද්දේ අනුව අකුරු ලියන්නේ නැත්තේ ඇයි කියලා අහලා දැනගන්න! අයිලන්ඩ් කියලා ලියද්දි මුලට අයිඑස් දාන්නේ ඇයි කියලා දැනගන්න! එලිෆන්ට් කියලා ලියද්දි මැදට එච් අකුරු ඔබන්නේ ඇයි කියලා දැනගන්න! මම ඔය වගේ දේවල් ගැන නිවි හැනහිල්ලේ බිත්ති කන්ද උඩට වෙලා කල්පනා කරන්න පටන් ගන්න ගියා විතරයි ලියුම් බෙදන රණවීර මාමා තාත්තගෙයි පුතාගෙයි කතාවට අවසර නැතුවම මැද්දට පැන්නා.

”උගන්නයි උගන්නයි……. හැබැයි කී දවසකට ද දන්නේ නෑ……?”

රණවීර මාමා ඔහොම කතා කරන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව අපි හැමෝම දන්න නිසා ආයේ රණවීර මාමට උත්තර බඳින්න ගියේ නෑ. ඒක නිසා රණවීර මාමා ම අයෙමත් හැමදාම කියන කතාවේ ඉතුරු ටික ඇදලා ගත්තා.

“ආ…… තැපැල් මහත්තයා, ඔය ගුරුවරු දවසක් ඉදියි දෙකක් ඉදියි…. ඊට පස්සේ පැදුරටත් නොකියනේ මාරුව හදාගෙන මාරු වෙන්නේ… නීතියේ හැටියට එහෙම පුලුවන්ද? අපි රස්සාව අරගද්දි රටේ ඕනම පැත්තක රාජකාරී කරන්නයි අත්සන් කරන්නේ….. කියන්ඩකෝ අපිව ඕන තූත්තුකුඩියකට දාන්ඩ කියලා, අපි වතුරට දාපු බල්ලො වගේ දවසෙන් දෙකෙන් හැරිලා එයිද කියලා බලන්ඩ….. ඒකට මෙහෙට එන ගුරුවරු. මාස හතර පහක් දත කාගෙන කොහොමහරි ඉදලා අගෝස්තු නිවාඩුවෙදි පැන ගන්නවා…. තුන් වෙනි වාරෙ වෙද්දි ඉස්කෝලේ හේදිලා ගිහිල්ලා වගේ…..!”

කොහොම වුනත් අපට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් එනවා කියන ආරංචිය අලුත් එකක්. ඉතින් මම දන්නවා අලුත් ආරංචියක් ආපු හැටියේ කරන්න ඕන මොකද්ද කියලා. ඒ සුභ ආරංචිය මගෙන් පස්සේ මුලින්ම දැන ගත්තේ කුමාර. ඇයි දන්නෑ ඒක කිව්ව හැටියේ කුමාරගේ මූණ නිල් පාට වුනා. ඒත් අපි දෙන්නා එදා හවස් වෙන්න කලින් මුළු ගමම ගිණි තිබ්බා. අලුත් වාරේ ඉස්කෝලේ පටන් ගද්දි ඒක ලැව් ගින්නක් වගේ ඇවිළිලා ඉස්කෝලෙටත් පැතිරිලා.

ඔන්න ඔහොම ගමට ආපු ටීචර් තමා අපට ඉංග්‍රීසි සිංදුවක් පුරුදු කරන්න පටන් ගත්තෙ. ටීචර්ගේ නම හරියට මෝටරයක් කැරකෙන සද්දේ වගේ? නි-ර්-ම-ලී!

“හරි ඔයාලා හැමෝටම සුබ ආරංචියක් කියන්න තියෙනවා…. ඔයාලා දන්නවනේ සිංහල සාහිත්‍ය දිනේ…. ආන්න ඒ වගේ ඉංග්‍රීසි සාහිත්‍ය දිනයකුත් තියෙනවා…… දැන් මම මේ ඉස්කෝලේ ඉන්න නිසා මේ පාර අපේ ඉස්කොලෙත් ඉංග්‍රීසි සාහිත්‍ය දිනයක් තියෙනවා…… ඔයාලටත් වෙනවා සාහිත්‍ය දිනේට දෙයක් කරන්න….. ඔයාලා කරන දේවල් ඉස්කෝලෙන් විනිශ්චය කරනවා. දිනුවොත් කලාප තරගෙට යන්න සුදුසුකම් ලබනවා…..  මම හිතාගෙන ඉන්නේ මේ පංතියෙනුත් ගීතයක් ඉදිරිපත් කරන්න……. ඔයගොල්ල කැමතියි ද ඒකට?”

“ඕ…….ව්” අපි කතාවේ හරිහමන් බරක් පතලක් නොදැන ම කෑ ගැහුවා.

ඊලඟට අපට වැඩ අධික කාලයක් ආවා. ඒ ඉංග්‍රීසි සාහිත්‍ය දිනේ වෙනුවෙන් ගීතයක් පුරුදු වෙන්න.

ඒක වුනේ මෙහෙමයි.

මුලින් ම අපිට ගැලපෙන ගීතයක් හොයාගන්න වුනා. ඒකට ටීචර් යෝජනා කළ ගීත සීයක් විතර ප්‍රතික්ෂේප කරගෙන යද්දි ඔන්න ඒ දෛවෝපගත ගීතය අපට අහුවුනා. ඒ සිංදුව මොකද්ද දන්නවද? “ආන්ටි මොනිකා”.

ආන්ටි මොනිකා! එහෙම නැත්තම් මොනිකා නැන්දා. මේ ගීතයෙන් කියවෙන්නේ සුදු රටක මොනිකා කියලා නැන්දා කෙනෙක් කඩ පිලට යන සිද්දියක්. එයා කඩේ යන්නේ අපේ නැන්දලා වගේ හාල් පොතයි, පං මල්ලයි අරගෙන නෙමෙයි. එයා යන්නේ හැඩට ඇඳලා, තොප්පි දාලා. තොප්පියේ තියෙනවා පිහාටුවක්! එයා කඩේට යද්දි පිහාටුව හුලඟට වැනෙනවා. ගීතයේ මුලින්ම කියවෙන්නේ ඒ ගැන. ඊළඟට තොප්පිය. ඔය විදිහට අන්තිම වෙද්දි නැන්දත් තාලෙට පැද්දි පැද්දි බොහොම සැහැල්ලුවෙන්  කඩ පිලට යන හැටියි ගීතයෙන් විස්තර කරන්නේ.

මුල් ම කාරිය හැටියට ටීචර් කලේ අපිට ගීතයේ තේරුම කියලා දුන්නු එක. ඊලඟට ටීචර් තාලෙට ගීතය කිව්වා. ටීචර් කිව්වා මොනිකා නැන්දා පැද්දෙන තාලෙට අපිත් සිංදුව පද්දන්න ඕනය කියලා. එතකොට තමයි වේදිකාවෙන් පහළ ඉන්න නරඹන්නන්ගෙයි, විනිශ්චය මණ්ඩලෙයි අවධානයට නියම විදිහට අපිව ලක් වෙන්නේ. ටික දවසක් යන්න ඇරලා ටීචර් ගීතය කියන්න කලින් සභාවෙන් අවසර ගන්න හැටි කියලා දුන්නා. ඉතින් අපේ නිර්මලී ටීචර් නගරෙන් ආපු දේව දූතියක් වාගේ හරිම කැමැත්තෙන්, හරිම උනන්දුවෙන් අපිට ගීතය ඉගැන්වූවා.

කොහොමත් ටීචර් හැම තිස්සෙම වාගේ දෙයක් ගැන අලුත් විදිහට ම හිතුවා. ගීතය විතරක් නෙමෙයි, ඉංග්‍රීසි උගන්වද්දි වුනත් දෙයක් අපට අමාරුනම් ටීචර් අලුත්ම වැඩක් දාලා අපේ හිතට වදින විදිහට ඒක කියලා දුන්නා. ටීචර් හිටියේ හැම තිස්සෙම හිනාවෙලා. සමහර අමාරු වෙලාවට වුනත් එයා හිනාවක් මවාගෙන හරි ඉන්න උත්සහ කලා. කොච්චර වුනත් ඒ වෙලාවට නම් අපට ඒ වග පේනවා. ඉතින් ඒවගේ වෙලාවට අපි වඩාත් හොඳින් ටීචර් කියන කාරණා තේරුම් ගන්න උත්සහා කළා. ඉංග්‍රීසි විෂයේ අමාරු තැනක් ආ හැටියේ ටීචර් එයාගේ තඩි අත්මල්ලෙන් මොකක් හරි, එයාම හදාගත්තු උපකරණයක් ගත්තා. සමහර වෙලාවට ඒක කැපිටල් අකුර ලියලා තියෙන කාඩ්බෝඩ් දොරක් වෙන්න පුලුවනි. ඒ දොර අරිද්දි ඇතුලේ තිබුනේ සිම්පල් අකුර. සිම්පල් අකුර ඇති දොරත් ඇරියම අදාල අකුරෙන් පටන් ගන්න වචනයක් එක්ක පින්තූරයක් මතු වුනා! ඔය වගේ උපකරණ ගොඩක් ටීචර් එක්ක නිතර එහෙට මෙහෙට යන අත්මල්ලේ තිබුනා.

කොහොමහරි ඔය උපදෙස් වලින් පස්සේ මුලින්ම අපට ටිචර් එක්ක ගීතය කියලා පුහුණු වෙන්න අවස්ථාව ආවා! මුලින් මුලින් තාලේ අල්ලගන්න අපිට ටීචර්ගේ කටහඩ පස්සේ පන්නන්න වුනා. හරියට හන්දිගානේ ඉඳගෙන බයිසිකල් පිටිපස්සේ බුර බුරා පන්නන හොරිකඩ බල්ලො වගේ.  ඒත් ටික දවසක් යද්දි අපට තාලේ අහුවුනා. අපි “අයි හෑව් ඇන් ආන්ටි, ඇන් ආන්ටි මොනීකා, වෙන් ෂී ගෝස් ෂොපින් වී වෝ සෙ හුලල්ලා….“ කියලා පටන් අරගෙන ගීතය කීපාරක් නං පුරුදු වුනාද කියලා අමතක වෙන තරම් වාර ගාණක් පුහුණු වුනා. අන්තිමේ අපි ගෙදර ගියත් අපිට ඒ ගීතය ඔලුව අස්සේ පිලිරැව් දුන්නා. අපි හැමෝටම ඒ ගීතය හොඳ හැටි කට පාඩම් වුනා. හැබැයි හැමෝටම කිව්වට එක්කෙනෙක් ඇර! ඒ ජයසිරි! එයාට සිංදුව පාඩම් හිටියේම නෑ. එයා කලේ බොරුවට කට හොල්ලපු එක.

අපිට හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා. ජයසිරි කියන්නේ අපේ පංතියේ ඉන්න ආරක්ෂකයෙක් කිව්වත් ඒකේ වැරැද්දක් නෑ. පංතිය ඇතුලේ මොන කෝන්තර තිබ්බත්, ඉහල පංතියකින් හරි කමක් නෑ මොකක් හරි අරියාදුවක් අපේ පංතියට ආවොත් ජයසිරි තමා පපුව ඉස්සරට දාලා වීරයෙක් වගේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඉදිරියට යන්නේ.

දවසක් දා හවසක ඉහල පංතියක ළමයින්ට අපේ පංතියේ අමතර පංතියක් තිබිලා. ඒ ළමයි අපේ පංතියේ ගෑණු ළමයින්ගේ ඩේස් වල රතු පෑනෙන් කුරුටු ගාලා. අපි ඒ වග දැනගත්තේ පහුවදා උදේ! අපි තාම පෑන් වලින් ලියන්න පටන් අරගෙනත් නැති කාලේ අපේ පංතියේ ඩෙස් වල පෑන් වලින් කුැරුටු ගාලා කිව්වම. අනික රතු පෑන් වලින්. අපට මොන නව නිංගිරාවක්ද? ජයසිරි පංතියට ආ හැටියේ ඒ ආරංචිය අපි ජයසිරිගේ කණේ තිබ්බා. මිනිහව වෙවුලන්න ගත්තා. “අපේ ඩෙස්සොල කොහොමද අනිත් පංතියේ ළමයි කුරුටු ගාන්නේ……” මිනිහා අපේ පංතියේ නිලුකාගේ ඩෙස් එකේ රතු පෑනෙන් ඇන්ද බලි කුරුටු දිහා බලාගෙන දත් මිටි කෑවා. ඒක දැකලා ගෑණු ළමයි විතරක් නෙමෙයි අපිත් ගැස්සුනා.

අපි කිව්වා,

“ඕක අල්ලා දාමු. විවේක කාලේදී බ්ලේඩ් තලයකින් ඕවා සූරලා වැඩේ ගොඩින් බේරගමු…….” කියලා. ගෑණු ළමයිනුත් ඒකට එකඟ වුනා.

ඒත් ජයසිරිද ඇහැව්වේ! මිනිහා නිලූකයි, එයාගේ අගතියට පත් වෙච්ච යාළුවන්ටයි පොරොන්දු වුනා මේ සිදුවීමට අදාල සාධාරණය ඉෂ්ඨ කරන්න. ඒ එක්කම මිනිහා ගියා ඉහල පංතිය පැත්තට. අපි සේනාවත් පස්සෙන් ගියා. මිනිහා එයාගේ දකුණු අතේ මාපොට ඇගිල්ලෙන් දකුණු ඇහැ යට කහන ගමන් ඉහල පංතියෙ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුනා. හරියට කේසර සිංහයෙක් කැනහිල් ගුබ්බෑයමකට රිංගනවා වගේ. ඒත් අපි නං දොර ගාව නතරවුනා. ඊට පස්සේ ජයසිරි මුළු පංතිය දිහාම බැලුවා. ඉහල පංතියේ ළමයි කවුරුත් ජයසිරි දිහා වපර ඇහෙන් බැලුවා.

“ඊයේ හවස අපේ පංතියේ ගෑළලමයිගේ ඩෙස්සොල කවුරු හරි රතු පෑන්ඔලින් කුරුටු ගාලා තියෙනවා….. කවුද කියන එක අපට වැදගත් නෑ…… ඉන්ටෝල් එකට කලින් එව්වා මැකිලා තිබුනේ නැත්තං අපි එන්නේ මෙහෙම නෙමෙයි…..” ජයසිරි බොහොම තැන්පත් තාලෙන් පළපුරුදු වීරයෙක් වගේ සිංහ නාද කළා.

ජයසිරි සිංහනාද කළාට මොකද අපේ නං පපුව හිර වෙලා කොඳු නාරටිය හිරි වැටීගෙන ගියා. මොකද ඉහල පංතියටම ගිහිල්ලා එහෙම කිව්වම. වැරැද්ද කාගේ වුනත් ඒ අයටත් තියෙනවානේ අභිමානය කියලා එකක්. ඒ වුනාට මොකද අපි එළියට පනින්න හදන ඇස් ගෙඩි දෙක බලෙන් රඳවගෙන ඉද්දි වගේ භයානක බැල්මකින් ඉහල පංතිය දිහා බලාගෙන හිටියා.

ඔය වගේ කියනවා නම් ජයසිරි ගැන කියන්න වීර කතා ඕන හැටියේ! ඒත් ඔන්න ඔය වගේ වීර කතා වලින් පිරුනු ඉතිහාසයක් ඇති ජයසිරිට තමා මේ ගීතය පාඩම් කරගන්න බැරි වෙලා තියෙන්නේ. හිතලා බලන්නකෝ ජයසිරි ඉන්න තත්වය මොන වගේ එකක් ද කියලා. ඇත්තම කිව්වොත් ජයසිරි හන්දා වැඩිපුරම අමාරුවේ වැටුනේ අපේ ටීචර්. ටීචර්ට දැන් ජයසිරිව ගීතය කියන කණ්ඩායමෙන් අයින් කරන්නත් බෑ. ඒ එයාට දුක හිතෙයි කියලා. පංතියේ ළමයි ඉස්සරහා මේ ලෝකේ තියෙන හොඳම වචන වලින් කිව්වත් අන්තිම ප්‍රතිඵලය ජයසිරි පැත්තකට වෙන එක. අවංකව කිව්වොත් එයාට ගීතය කියන්න බැරි එයාගේ උනන්දුවේ අඩුවක් නිසා නෙමයෙි. එයා හොඳටම උනන්දු වුනා සිංදුව කොහොමහරි කටපාඩම් කරගන්න. ඉතින් එහෙම කෙනෙක් වේදිකාවේ පහල බලාගෙන ඉද්දි අපි කොහොමද හිත හදාගෙන සිංදුව කියන්නේ.

දවසක් දා අපි ඇහැව්වා ජයසිරිගෙන් මේකට හේතුව.

“මට සිංදුව පාඩම් කරද්දි මතක හිටිනවා. ඒත් දෙවෙනි පේලිය කියද්දි පළවෙනි පේලිය අමතක වෙනවා. කොහොමහරි මතක තියාගෙන ඔයාලත් එක්ක කියන්න හදද්දි  පළවෙනි පේලිය මොකද්ද දෙවෙනි පේලිය මොකද්ද කියලා පැටලෙනවා. ඒ සේරම දේවල් ලිහාගෙන සිංදුව කියද්දි ඔයාලා එක්ක තාලෙට කියන්න බෑ. ඒකයි මම සිංදුව පැත්තක දාලා ඕගොල්ල එක්ක බොරුවට කට හොල්ලන්නෙ. මට පේන්නේ මට හරියට කට හොල්ලගන්නත් බෑ වගේ. එහෙම වුනොත් උත්සවේ දාට ඒක විනිශ්චය මණ්ඩලේ දැකලා හොදටම ලකුණු කැපෙයි……..” අසරණ වූනු වීරයා අමාරුවෙන් අපි ඉස්සරහා වචන ගැටගහගත්තා.

අපි ඒක කාටත් හොරා නිර්මලී ටීචර්ගේ කණේ තිබ්බා. නිර්මලී ටීචර් පුලුවන් හැම විදිහටම ජයසිරිට අපිත් එක්කලා වේදිකාවට ගොඩවෙන්න මඟක් හදා ගන්න ඉණි කපලා දුන්නා. ඒත් මිනිහා කොච්චර උත්සහ කළත් ඒවා එයාගේ අතින් ම ගඟට වැටුනා. හැමදේ ගැනම අලුත් විදිහට හිතන නිර්මලී ටීචර්ටත් ඉතින් ඊටත් වඩා ඒ වෙනුවෙන් නම් කරන්න දෙයක් ඉතුරු වුනේ නෑ.

කොහොමහරි අපි සාහිත්‍ය උත්සවයට කලින් දවසේ අන්තිම පුහුණු වීම කලා. ටීචර් කිව්වා අපි ඉතා හොඳට ගීතය ගායනා කරනවා කියලා. එදාටත් මෙහෙම කිව්වොත් අපිව කලාප තරගයට ඉදිරිපත් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා කියලා. ඒත් අපේ ජයසිරි! එදත් ජයසිරි බොහොම පළපුරුදු තාලෙට කට හෙල්ලුවා විතරයි.

කොහොමත් අපි අන්තිම මොහොත වෙනකල් උත්සහය අත ඇරියේ නෑ. ජයසිරිත් එහෙමයි. එයාටත් ඕන වුනේ තමන්ගේ ඉස්කෝලේ ළමයි, දෙමාපියෝ, ගුරුවරු ඉස්සරහා වීරයෙක් වගේ වේදිකාව උඩට නැගලා ඉංග්‍රිසියෙන් ගීතයක් කියන්න. අපි හැමෝගෙම හීනේ එකයි. ඒත් හැම පුහුණුවීම් වාරෙකම ජයසිරි ඉස්සරටත් වඩා හොඳට කට හෙල්ලුවා මිසක ගීතය නං කිව්වේ නෑ.

“මොකද ජයසිරි අපි දැන් කරන්නේ….. හෙටයි දවස….!” ආන්න ඒ වෙලාවේ තමයි අපේ නිර්මලී ටීචර් හිනා මූණක් මවාගෙන අර මම මුලින්ම කියාපු ගීතය කිය කියා ජයසිරිට කිට්ටු කලේ.

උත්සවය දවස උදා වුනා.

එදා අපි කවුරුත් හිටියේ හොඳටම උද‍්‍යයෝගයෙන්. මුලු ඉස්කෝලෙම ප්‍රධාන ශාලාවට එක්රොක් වුනා. දෙමාපියන්ට වෙනම ආසන පනවලා තිබුනා. අපි කවුරුත් එකා වගේ එකමුතුව හිටියා. ටික වෙලාවක් ගත වෙද්දි අපේ ටීචරුත් අමාරුවෙන් ළමයි අතරින් අපිව හොයාගෙන ආවා. “හැමෝම ලෑස්තිද?” ටීචර් බොහොම උනන්දුවෙන් ඇහැව්වා. අපි “ඔව්” කිව්වා. උත්සවය පටන් ගත්තා. අපි නොයිවසිල්ලෙන් හිටියේ අපේ අංකය එනතුරු. නොයිවසිල්ලෙන් කිව්වට මොකද බඩ ඇතුලේ වී හුළං කරනවා වගේ.

ගීත ගායනා කරන අය ගීත ගායනා කළා, කතා පවත්වපු අය කතා පැවැත්වූවා, නාට්‍ය කරන අය ඒවා කළා. අපි හැමදේම හොඳට බලාගෙන හිටියා. තරමක වෙලාවක් ගත වෙද්දි ඉහල පංතියක සංවිධායකයෙක් ඇවිදින් ඊලඟ අංකය අපේ ඉදිරිපත් කිරීමයි කියලා දැනුවත් කලා. ටීචර් කිව්වා අපි පුහුණු වුනු තාලෙට නියම විදිහට ගීතය ගායනා කරන්න කියලා. අපි ලොකු හුස්මක් ගත්තා. ඒ අස්සේ ජයසිරි අත ඉස්සුවා.

“ටීචර් මට නිකං උණ ගැනෙන්න වගේ….. කලන්තෙත් වගේ…..” එහෙම කිව්වට අපි දන්නවා මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. ජයසිරිට ඇති උණක් නෑ. එයා දැන් මේ අවස්ථාවෙන් මඟ අරින්නයි යන්නේ. ඒත් ඒ වෙනුවෙන් අපට දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ. මොකද දැන් වේදිකාවේ ඉදිරිපත් කරන අංකය අහවරවුනු හැටියේ නිවේදක තැන අපේ පංතියේ නම කියනවා. එතකොට අපි නොපමාව වේදිකාවට ගොඩවෙන්න එපැයි. මොනවා වුනත් අපිට ජයසිරි ගැන මොකද්දෝ දුකක් ඇති වුනා. එයා කොච්චර කැමැත්තෙන් ඉන්න ඇතිද එයාගේ දෙමාපියෝ ඉස්සරහා ඉංග්‍රිසියෙන් ගීතයක් ගායනා කරලා තමන්ගේ තරම පෙන්වන්න. ඒත් එයා අන්තිම මොහොත වෙනතුරු කොච්චර උත්සහ කළත් ඒ දේ එයාට ඉටු කරගන්න බැරි වුනා. කෙහොම හරි ඒ කතාව ඇහුනා විතරයි වහාම නිර්මලී ටීචර් ජයසිරිව අපි ඉන්න පේලියෙන් අයින් කලා. දැන් කොහොමත් ගීත ගායනා කණ්ඩායමේ ජයසිරි නෑ. එයාව කවුරුත් ඉවත් කලෙත් නෑ. එයාමනේ අයින් වුනේ. ඒ මදැයි දැන් එයාට හිත හදාගන්න.  කොහොමහරි ටීචර් එහෙම කරලා “හරි ඔයාලා වේදිකාවට ගොඩවෙන්න….. මම කියලා දුන්නු හැටියට ම කරන්න” කියලා අන්තිම අවවාදේ දුන්නා. එහෙම කියලා ටීචර් ජයසිරිව එතනින් එක්කගෙන ගියා.

මෙතුවක් වෙලා තමන්ගේ ඉදිරිපත් කිරීම කරපු ළමයි ඒක අහවර කරලා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරලා වේදිකාවෙන් බැහැලා ගියා. නිවේදක තැන අපේ පංතියේ නම කිව්වා.

අපි පුහුණු වුනු විදිහට වේදිකාව උඩට ගිහින් නියම තැන් වල හිටගත්තා. මුල් පේලියේ මැද හිටපු සමන්ත අඩි තුනක් ඉස්සරහට ගියා. ඊලඟට, “ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ලිමන්, වියා ගොයින් ටු සිං අ සෝං…” කිව්වා. ආපස්සට හැරෙන්නේ නැතුව පස්සෙන් පස්සට අඩි තුනක් ආවා. එතකොට එයා හිටපු තැනමයි! ටීචර් කියලා දුන්නු විදිහටම! ඊට පස්සේ වේදිකාවෙන් පහල ප්‍රෙක්ෂකාගාරයට ඇහෙන්නේ දැනෙන්නේ නැති සද්දෙකින් “වන් ටූ ත්‍රී” කිව්වා. ත්‍රී කියලා මොහොතකට පස්සේ අපි අපේ සම්පුර්ණ ශක්තියම දාලා සිංදුව කියන්න පටන් ගත්තා. ඇත්තටම පටන් ගත්තා කිව්වට පටන් ගන්න හොඳ හුස්මක් ඉහලට ඇද්දා විතරයි! මෙන්න මහ අමුතු දෙයක් වුනා!

ඒ මොකද්ද? සායකුයි හැට්ටයකුයි ඇඳගත්තු ලොකු පං තොප්පියක් පැළඳගත්තු කෙනෙක් අපේ වේදිකාවේ වම් පැත්තේ පෙනී හිටියා. අපි බැලුවා මේ කවුද කියලා. ඒ මොකද එහෙම දෙයක් අපි කවදාවත් පුහුණුවීමකදී දැකලා හරි කතා කරගෙන හරි තිබුනේ නෑ. ඒත් අපිට එයාව අඳුරගන්න එක ඒ හැටි අමාැරු වුනේ නෑ. ඒ තමයි ජයසිරි! ජයසිරි හදිසියේ ගෑණු කෙනෙක් වගේ ඇඳගෙන වේදිකාවට ගොඩ වෙලා. මෙහෙම සැළසුමක් ගැන ටීචර් අපට මීට කලින් කවදාවත් කියලා තිබුනේ නෑ. ඒත් අපි ඉහලට ගත්තු හුස්මට පිටවෙන්න දීලා අලුත් හුස්මක් අරගෙන ගීතය පටන් ගත්තා.

මෙන්න සිංදුවත් එක්ක ජයසිරි නටන්න තියාගත්තා. එයා වේදිකාවේ වම් පැත්තේ ඉඳලා දකුණට නට නටා යනවා. ආපහු හැරිලා හිටපු තැනට නට නටා එනවා. ඒ අස්සේ බොරුවට කටත් හොල්ලනවා. ඒක නං මිනිහට කොහොමත් පුරුදුයිනේ! මේක මොන තරම් කෝළං නැටුමක්ද කියලා පහදන්න මට තේරෙන්නේ නෑ? මෙතුවක් වෙලා ගීත ඉදිරිපත් කරපු අය ගීත මිසක්කා ඒකට නැටුම් ඉදිරිපත් කළේ නෑ. නැටුම් අංක තියෙන්නේ වෙනම! ගීත වෙනම. ඒත් අපේ ජයසිරි මේ සේරෝම දේවල් උඩුයටිකුරු කරගෙන ගීතයට නටනවා. අපි මොනිකා නැන්දගේ තොප්පිය වැනෙනවා කියද්දි පං තොප්පිය අල්ලගෙන නටනවා.  අපි මොනිකා නැන්දගේ සාය වැනෙනවා කියද්දි ජයසිරි සාය අල්ලගෙන නටනවා. එයා පිරිමි ළමයෙක් වුනාට නැන්දා කෙනෙක් වාගේ ඉන පද්දලා යද්දි මේ ලෝකේ හොඳ සිහියෙන් ඉන්න කිසිම කෙනෙකුට හිනාව නම් නවත්ත ගන්න බෑ.

මේ සිද්දිය හන්දා මුලු ඉංග්‍රිසි සාහිත්‍ය දිනේම අලුතෙන් පණ ගහලා ආවා. ප්‍රෙක්ෂකාගාරය නියෝජනය කරන ගුරුවරු, ළමයි, දෙමාපියෝ සේරෝම දෙනා බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්තා. ඒක දැකලා අපිට යෝධ බල යෝධ ශක්තිය ආවා. අපි ගීතය කිව්වා ප්‍රධාන ශාලාවේ දැල් කවුලු දෙදරුම් කන්න. මේ අවස්ථාව කොච්චර උද්වේගකර වුනාද කියන්නේ නට නටා හිටපු ජයසිරිට මොනිකා නැන්දා වැහුනා! දැන් නටන්නේ ජයසිරි නෙමෙයි මොනිකා නැන්දගේ සමයම! ඔය විදිහට අපි සිංදුව කියාගෙන කියාගෙන ගියා. ජයසිරි නටාගෙන නටාගෙන ගියා. මට තේරෙන්නේ නෑ අපේ ගීතය නිසා ප්‍රේක්ෂකාගාරය හිනාවෙන් කුල්මත් වුනාද, හිනාවෙන් හෙම්බත් වුනාද කියන්න. කොහොමහරි ඔහොම කියාගෙන ගිහිං ගීතය අහවර කරන වෙලාව ආවා. අපි පුහුණු වුනු විදිහට ගීතය අහවර කරන්න හිතාගෙන ගීතයේ අන්තිම පේලිය ඇදලා කිව්වා. මොනිකා නැන්දත් ඉණ ඒ තාලෙටම රවුමක් පද්දලා වේදිකාව මැද අත්දෙක දෙපැත්තට දාගෙනම ගල් වුනා. ඒ එක්කලා මුලු ප්‍රෙක්ෂකාගාරයම ගල්වුනා. මොහොතක් ඒ විදිහට කාලය ගත වුනා. ඊලඟ මොහොතේ ප්‍රෙක්ෂකාගාරයෙන් ප්‍රධාන ශාලාවේ බිත්ති හෙල්ලෙන්න අත්පොළසන් වැදුනා. විනිශ්චය මණ්ඩලේ හිටපු විදුහල්පති තුමා පවා සේරම දේවල් නවත්තලා ප්‍රෙක්ෂකාගාරය එක්ක එක්කහු වෙලා අත්පොළසන් දුන්නා.

ඔන්න ඔය විදිහට අපේ පළවෙනි ඉංග්‍රීසි සාහිත්‍ය දින ඉදිරිපත් කිරීම කාටත් අමතක නොවන මතකයක් වෙලා අහවර වුනා.

ප්‍රීති ඝෝෂා මැද්දේ අපි වේදිකාවෙ පිටිපස්සේ දොරෙන් බැස්සා. අපි ජයසිරි දිහා බැලුවා. ජයසිරිගේ කට කණේ! ඇයි කවදාවත් හිතුව දෙයක් ද මේ සිද්ද වුනේ. ඒක නිසා මම ජයසිරිගෙන් මෙහෙම ඇහැව්වා.

“ඔයයි ටීචරුයි කලින් සැළසුම් කරළද මෙහෙම කලේ……”

“පිස්සුද, මම බොරු උණක් ගත්තට, දුකේ හිටියේ ඕගොල්ල එක්ක සිංදුව කියන්න බැරි වෙන එකට…., ඒත් ටීචර් නං කලින් සැළසුම් කරලා වගේ…., ඒයා මේ ඇඳුම් එයාගේ අර තඩි අත් මල්ලේ ඔබාගෙන ඇවිල්ලා තිබුනේ……”

“නෑ…..”

“නෑ නෙමෙයි ඔව්……! මට ඕන වුනේ කොහොමහරි  අම්මලාට පේන්න වේදිකාවට නඟින්න…… ටීචර් යෝජනාව කළ හැටියේ මම උඩින් කැමති වුනේ මේ ඇඳුම් ඇඳගන්න….!”

අපි ඔහොම කතා කරකර වේදිකාව පිටිපස්සේ දොරටුවෙන් බැහැලා ප්‍රධාන ශාලාවෙන් පිටවුනා. නිර්මලී ටීචර් අපි එන මඟ බලාගෙන හිටියා. අපි ටීචර් ගාවට දුවගෙන ගියා. ජයසිරි පිරිස අස්සෙන් බේරිලා ඉස්සරහටම ගිහිල්ලා සමහර වෙලාවට ටීචර් ඉන්නවා වගේ ඉණට අත්දෙක තියාගෙන ටීචර් දිහා බලාගෙන හිටගත්තා. මිනිහගේ මූණෙන් එකයි හිනාව. එයා බලාගෙන හිටියේ පරදින්න නියමිත යුද්ධයක් අන්තිම මොහොතේ ජයග්‍රහනයකට හරවපු යුධ වීරයෙක් වගේ.  ඒ පාර නිර්මලී ටීචරුත් ඉණට අත්දෙත තියාගත්තා. නිර්මලී ටීචර් පුරුදු විදිහට හිනා මූණක් මවා ගත්තා. ඒත් මොහොතකින් හිනාව මැවුනු ටීචර්ගේ කම්මුල් දිගේ ඇස්වළින් ගලාගෙන ආපු කඳුලු බිංදු පහලට ගලාගෙන ගියා. අපි තවත් ටිකක් ටීචර්ට කිට්ටු වෙලා ටීචර්ගේ හිනා මූණ දිහා බලාගෙන හිටියා. ජයසිරිත් එක්කම!

…………………………………..
– කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

තුන් වන බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියැවුනු මේ කතාව දරුවන්ගේ අභිමානය ඔප්නැංවීම වෙනුවෙන් සිය නිර්මාණාත්මක චින්තනය අසීමාන්තිකව වෙහෙසවන ලෝකයේ සියලුම ගුරුවර ගුරුවරියන් වෙනුවෙනි!

බ්ලොග් වසන්තය ඡන්ද පොළට මෙතනින් යන්න>>> 

උපුටා ගැනීම: සයිබර් යාය 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල