කාලීන සංවාද

කුණු ගැන රත්තරං වටිනා අත්දැකීමක්…. precious little කුණු experience!

Off

හැම තැනම කුණු ගැන කතා! මේ අසාධාරණයට ලක්වෙලා මියගිය මිනිස්සුන්ගේ මරණ වලට මාත් අනියම් වග උත්තරකරුවෙක් කියල හිතෙනකොට එන වරදකාරී හැඟීම නිසාම මම ඒ ගැන ලියන්න ගියේ නෑ. ඒත් කුණු කතා ඔක්කොම වගේ කියෙව්වා. ඒ අතර තිබුණු කවදත් සුවිශේෂ යමක් ලියන සුජීව කොකාවල ගේ The Null Device බ්ලොග් එකේ ගිය මේ කුණු කතන්දරේ කියවෙනවා කුණු උප සංස්කෘතියක් ගැන. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්න සීත කාමර වල ඉඳගෙන ඉන්න සුදු කරපටි මහත්වරුන්ට නොහැකි බවත් ඒ සඳහා ඒ උපසංස්කෘතිය සහිත භුමියේ පය ගසා ඇවිද යා යුතු බවටත් සුජීව යෝජනා කරනවා. මේ කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ මට අහම්බයෙන් එහෙම තැනකට එබිලා බලන්න ලැබුණු අවස්ථාවක්.. ඇත්තටම මට අදටත් හිතා ගන්න අමාරුයි මේ පිළිවෙල.

ඒ 2003 අවුරුද්දේ අග හෝ 2004 මුල වෙන්නොනි.. මිතොටමුල්ලට නෙවෙයි ඊට කලින් බ්ලුමැන්ඩල් වලට කොළඹ කුණු දාපු කාලේ..  මම ඒ කාලේ වැඩකලේ නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යුධ නෞකාවක ඉංජිනේරු නිළධාරී වශයෙන්.. විශාල යුධ නැව් වලනම් මේ රාජකාරියට වෙනමම Marine Engineer කෙනෙක් අනුයුක්ත කලත් කුඩා නෞකා වලදී එම රාජකාරිය භාර වෙන්නේ නැවේ ඉන්න අමතර නිලධාරියෙකුට.. මගේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමර ශිල්පී (Engine Room Artificer- ERA) නැවියෙකු හා ඉංජිනේරු කාර්මික නැවියන් කීපදෙනෙක් ඇතුලත් වෙනවා.

මේ කියන දවස්වල අපි (නැව) කොළඹ වරාය ට ඇවිත් හිටියේ. ඒ නැවේ වතුරෙන් යට කොටසේ රෙපයාර් සඳහා.. මේ රෙපෙයාර් කටයුතු කරේ Colombo Dockyard (CDL) එකෙන්.. ඒ සඳහා නැව විශේෂයෙන් සකස් කල ආධාරකයක රඳවා වතුරෙන් ඉහලට ඔසවා ගන්නවා. මේකට සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ කාලයක් ගතවෙන නිසා ඒ කාලය තුල නැවේ තියෙන අනෙකුත් අඩුපාඩු සකස් කර ගැනීමත් කාලයෙන් කාලයට එන මේන්ටෙනන්ස් වගේ දේවල් මේ කාලයටම යොදා ගෙන සිදු කිරීමත් සාමාන්‍ය පුරුද්ද.. ඉතින් මේ වඩාත් එක්ක නැවේ ඉංජිනේරු කාර්යමණ්ඩලය ඉතාමත් කාර්ය බහුල වෙනවා. මේ ටික සඳහන් කලේ හඳුන්වා දීමක් වශයෙන්..

මේ docking පීරියඩ් එකේදී නැවේ එන්ජින් හතරේම major routine maintenance එකක් යෙදිලා තිබුන නිසා අපි කරේ dock එකට ගන්න කලින් නැවේ එන්ජින් හතර ගලවල බිමින් තියා ගත්ත එක. එන්ජින් එක්කම shaft, propellers, after steering system, rudders මේවා ඔක්කොම ගලවල අයින් කරනවා. නැව් ගැන දැනීමක් නැති උතුමෝ මේ කියන කෑලි  බෑලි ඒ හැටි තකන්න ඕනි නෑ. ඔයින් මෙයින් කොහොම හරි නැවෙන් බාගයක් විතර දැන් CDL ජැටිය උඩ.. ඉංජිනේරු අංශයේ නැවියන් හෝ ගාල වැඩ.. ඔය අතරේදී අපේ ERA ට ඕනි වෙලා තියෙනවා බොහොම වටිනා සහ හොයා ගන්න අමාරුම ඒ වගේම නැවත සවි කිරීමේදී අත්‍යවශ්‍යම වෙන පිත්තල බෙයාරින් (Bearings) 4ක් වැඩි පරිස්සමට අයින් කරන්න. මේවා එන්ජින් එකයි ෂාෆ්ට් එකයි සම්භන්ද වෙන තැනට එන බෙයාරින් වගයක්. 1970 දශකයේ චීනයේ පාවිච්චි කරපු නැව් වෙච්චි අපේ ඒ යුධ නෞකාවකට spare parts හොයන්න සමහරවිට චීනෙත් නෑ කියල දන්නා නිසාම මිනිහා මේ බෙයාරින් 4 වෙනම ඔයිල් භාජනේක දාල පරිස්සමට අරන් තියල..

A kind of brass bearings (Ball Bearings)

අන්තිමට නැව undock කරන්නත් කිට්ටුව තමයි මිනිහට බෙයාරින් හතර මතක් වෙලා තියෙන්නේ.. බැලින්නම් බෙයාරින් හතර තියා බෙයාරින් දාපු ඔයිල් භාජනේවත් හොයා ගන්න නෑ. දෙලෝ රත්වෙලා ආවා මෑන් මගේ ලඟට.. එක පාරට මටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියල.. කෝකටත් ගත්ත CO (Commanding Officer හෙවත් අණදෙන නිලධාරියා)  ට කෝල් එකක්. අරං කියුව විස්තරේ.. CO ත් අම්බානට පැනික් උනා.. එකක් මේක ලංකාවේ ගන්න නෑ.. ඒ මැටිරියල් එක සහ ඩිසයින් එක නැතුව ලේත් මැෂින් එකකින් කප්පව ගන්නවත් බෑ. ඕඩර් කරලා චීනෙන් ගෙන්නන්න ගියොත් මාස ගානක් යන්න පුළුවන්. සමහරවිට චීනෙත් නැති වෙන්නත් පුළුවන්. එතකන් නැව Operational කරන්න බෑ. එන්ජින් ටික හයි කරන්නේ නැතුව නැව undock කරන්න බෑ. එක දවසක් CDL එකේ වැඩිපුර තියාගන්න උනොත් ලක්ෂ කියකින් බිල නගීද කියන්නත් බෑ. ඔක්කොටම හපන් මේක Area Commander ට සහ Navy Commander ට කියන එක.. ප්‍රශ්ණ කෝටියයි. එදා දවසෙම අපි තුන්දෙනත් බැහැල නැවේ මුළු crew එකම දාල CDL එකේ අහුමුළු සේරම ඇවිස්සුව… ම්හු.. බඩු නෑ.

ඉහ අත බදාගෙන මමත් CO සර්ත් අපේ ERA හෙවත් අස්සයා මැරිච්චි ජොකියාත් CDL ජැටිය උඩට වෙලා කල්පනා කරනවා.. කොහෙන් හරි ආපු අයිඩියාවකට අපි ගිහින් CDL එකේ security එකෙන් ඇහුව කවුද මෙහෙ කුණු අයින් කරන්නේ කියල.. බැලින්නම් එක එක ජාතියේ කුණු අයින් කරන්න එක එක කන්ට්‍රැක්ටර් ලා ඉන්නේ. උන් අතරින් oil waste අයින් කරන කන්ට්‍රැක්ටර් ගේ නම්බර් එක ඉල්ලා ගත්ත.. ගත්ත ඌට කෝල් එකක්.. මමමයි කතා කරේ. “මම නේවි එකේ කොළඹ හාබර් එකේ කෑම්ප් එකෙන් ලෙෆ්ටිනන් අහවලා” කියුවම ඌ ටිකක් සාවධානව ඇහුන්කන් දුන්න.. ඌට මුළු විස්තරේම කියල අන්තිමට මට ඇඬේන්නත් වගේ කිට්ටු වෙනකං ඉඳල ඌ කියපි “මහත්තය අපි කුණු ගෙනිච්චට ඒවා අපිට අයිති නෑ. අපි ට්‍රාන්ස්පෝර්ට් එක විතරයි කරන්නේ.. ඒවා අහවල් තැනට ගෙනිහින් අහවලාට බාර දෙනවා” කියල.. ආයෙත්  කනිපින්දන් ගහල අමාරුවෙන් අහවලා ගේ නොම්මරේ ඉල්ලගෙන ඌට කතා කරලා මුල ඉඳන් මගේ දුක් ගැනවිල්ල කියුව. ඒ වෙනකොට මට විතරක් නෙවෙයි CO ටත් ඇඬේන්න වගේ.. මුළු විස්තරයම අහල මිනිහත් කියපි “මහත්තය අපි මෙතන චෙක් කරලා බා ගන්නවා විතරයි.. කුණු තෝරන්න එන්නේ අහවලාගේ කට්ටිය..” කියල..

A busy garbage site- not in Sri Lanka
 ඔහොම අහවල්ලු තුන් හතර දෙනෙකුට කතා කරලා අන්තිමේ ඒ වෙනකොට කොළඹ කුණු කන්දේ නොනිළ අයිතිකාරයා හෙවත් කුණු ගෝඩ් ෆාදර් ව කන්ටැක් කර ගන්න අපිට පුළුවන් උනා. කන්ටැක් කියුවට ඇත්තටම ඇපොයින්ට්මන්ට් එකක් තමයි දුන්නේ පහුවෙනිදට.. හැබැයි නේවි නොවුනානම් සහ ඒ වෙනකොට කොළඹ වාරයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නේවි එකට පවරලා නොතිබුනා නම් ලොවෙත් මේ සොයා ගැනීම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි පහුවෙනිදා උදේ හරියටම දහය වෙනකොට නාල කරලා අලුත් යුනිෆෝම් එහෙම ඇඳලා මාත් CO ත් අපේ ERA ත් තුන්දෙනා CO ගේ නාහ නිල රථයෙන් බ්ලුමැන්ඩල් ගියේ ‘කුණු ලොකු බොස්’ හම්බවෙන්න.

පොරගේ ‘සෙකට්‍රි’ කියපු පාරවල් තුන හතරකින් හැරී හැරී ගියාම අපිට පලවෙනි මාර්ග බාදකේ වැටුන.. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ CO නිසාද කොහෙද බටු ඇට දෙකක් විතර උස කොලු ගැටයෙක් ඇවිත් මගෙන් ඇහුව ‘බොස් මේ කොයෙද?” කියල.. ලොකු අයියගේ නම කියපු ගමන් එතෙන හිටපු වෙන එකෙක් අතුරුදන් වෙලා තව හන්දියකින් මතුඋනා.. බටු ඇට දෙකය මට ඌව පෙන්නලා ‘අතනින් යන්න මාතියා’ කියුවම CO වාහනේ ඉස්සරහට ගත්ත.. එතනට යනකොට අරූ ආයෙම අතුරුදහන්.. වෙන එකෙක් ඇවිත් වාහනේ නැවැත්තුව.. ඌ මොකුත් අහන්නත් කලින් අපේ මග පෙන්නන්න ඊළඟ හන්දියෙන් මතුවෙලා අත වැනුවා.. මම ඔලුවෙන් මිනිහව පෙන්නුවා අලුත් මාර්ග බාදකයාට.. එතකොට ඌ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යන්න දුන්න. ඊළඟ හන්දියෙන් එහාට වාහනේ යන්න බෑ. තව දෙපොලකින් විතර හැරිලා ගියාම පාර ඉවර උනා. ඒ පාර වටේම එකම වහලක් වගේ.. හරියට ගෙයක් ඇතුලෙන් පාර ඉවර උනා වගේ. තැන් තැන් වල පොඩි යකඩ ගේට්ටු තුන හතරක් සහ එල්ලෙන මල් වගේ වැල් තිබ්බ පෝච්චි ටිකක් ඇරෙන්න මොකුත් එලියට පේන්න නෑ. එතන තිබ්බ එක ගේට්ටුවකින් අපිව ඇතුලට දාල අර හොල්මන් මග පෙන්වන්නා ආයෙම අතුරුදහන් උනා.

එතන ඇතුලේ කොල්ලෝ සහ කොලු වයස ඉක්මවල ගිය තලත්තැනි තුන් හතර දෙනෙක්ම හිටිය. උන් ඔක්කොම හොඳට ඇඳලා කරලා හිටියා.. ඒත් කවුරුවත් අපිත් එක්ක විස්තර කතා කරේවත් මොකුත් කියුවේවත් නෑ. විනාඩි කීපයක් මෙහෙම ඉඳල මම එකෙක්ගෙන් ‘ලොකු අයිය’ ගැන ඇහුව.. ‘ටිකක් ඉන්න දැන් එන්න කියයි’ කියල ඒ ගමන්ම වගේ ඔයාල ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න කියුවම කොල්ලෙක් අපිට ඉස්සර උනා. අපි ඌ පස්සෙන් වැටුන. ගේ ඇතුලේත් වට දෙක තුනක් ගිහින් ලස්සනට කාපට් කරලා හදපු ලොකු විසිත්ත කාමරේක සෝෆා එකක් පෙන්නුවා අපිට වාඩි වෙන්න. ඒ පෙන්නලා ඌ ගියා.

අපි බලාපොරොත්තු උනේ හෙන ගාම්භීර ගොරෝසු කටහඬක් තියෙන දැල් බැනියමක් ඇඳලා පච්ච කොටපු ඩයල් එකක්.. ඒත් අපි ඉස්සරහට ආවේ අවුරුදු 35ක විතර සාමාන්‍ය පෙනුමැති කොල්ලෙක්.. දුක් මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි ව්‍යාපාරිකයෙක්ගේ වගේ පෙනුමක් තමයි මෑන් ගේ තිබ්බේ.. අපේ ඉස්සරහින්ම ඇවිත් වාඩි වෙලා “මොකක්ද සර් කේස් එක?” කියල ඇහුවේ බොහොම යටහත් පහත්ව වගේ.. ඇත්තටම පොර මූ ද නැත්නම් නියම ඩයල් එක ආයේ තව ඇතුළෙද හිතා ගන්න බැරි උනත් අපේ CO මිනිහට සම්පුර්ණ විස්තරේ කියුව..
“බය වෙන්න එපා.. ඔය කියන විදියේ අයිටම් එකක් පහුගිය ටිකේ මෙහෙට ආවනම් අපිට හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඉන්නකෝ මම නියම මෑන් ව ගෙන්නන්න” කියල කියුවම තමයි අපි කතාකරල තියෙන්නේ නියම ‘අයියට’ කියල මට කන්ෆර්ම් උනේ.

මිනිහා ගෝලයෙකුට කතාකරන්න හිතනකොට ගෝලය එතන.. “… මහත්තයට එන්න කියපං.. මේ සර් ලට බොන්න මොනවහරි ගෙනෙන්” කියනකොටම අපේ CO අත උස්සල “බොන්න නම් මොකුත් ඕනේ නෑ. අපේ වැඩේ උනානම් ඇති මල්ලි” කියුවත් බොසා වත් ගෝලයා වත් ඒක කණකට ගත්තේ නෑ.

විනාඩියක් යනකොට ‘….. මහත්තය’ ආව.. අර ගේ ඉස්සරහ හිටපු එකෙක්..

“… …ජීය ඉන්නවනං එන්න කියන්න’ බොස් සාවධානව ඕඩර් එක දුන්න.. විනාඩි බාගයක් යනකොට ‘… …ජියා’ එතන.

‘මහත්තය කියන්නකෝ මූට මොකක්ද අයිටම් එක කියල.. ‘ කියපු ගමන් අපේ ERA පැහැදිලි විස්තරයක් සැපයුවා.. විස්තරේ බාගයක් කියනකොට ‘… ..ජීය’ ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්ත.. ඉවර කරන්න උනේ නෑ.. “ඒක තියෙනවා මට මතකයි” කියල ‘… …ජියා’ උත්තර දුන්න.. අන්න ඒ වෙලාවේ මටත් CO ටත් ERA ටත් දැනුනු සතුට කියන්න වචන නෑ පිංවතුනි..

“ආ.. ඒක ගෙනත් මේ මහත්තුරුන්ට දීපං.. අරුන් නැවේ තියෙන ඒවත් ඔහොම ගලවන් එනවද දන්නේ නෑ..” කියල ලොක්ක කියනකොටත් ‘… …ජියා’ ගිහිං ඉවරයි. ඒ එක්කම කේක්, බිස්කට් සහ කුල් බීම සංග්‍රහයක් අපේ ඉස්සරහ.. සතුටට මොකුත් කන්න බැරි උනත් අපි තුන්දෙනාම කුල් ඩ්‍රින්ක් එක අතට ගත්ත..

මට මේක පුදුම ප්‍රෙහෙලිකාවක්.. ඇත්තම කියුවට නැවේ ඒ වෙනකොටත් මාස ගානක් වැඩ කරලා තිබ්බට වත්, EO උනාටවත් මටවත් ඔය කියන බෙයාරින් 4 මතක තිබ්බේ නෑ. මූ කොහොමද මේක ටක්කෙටම දන්නේ.. අනික ඩොක්යාඩ් එකෙන් අතුරුදහන් වෙච්චි එක කොහොමද මේ මුඩුක්කු පේලියෙන් මතු වෙන්නේ? ඒ වෙනකොට ‘මල්ලි’ කියල කුණු අයියට කතා කරන ගානට අපේ CO පොරත් එක්ක සෙට් වෙලා වැඩිය කතා නොකරට අපිත් එක්කත් ඒ සුහදතවයම පෙන්නන නිසා මම ඕනේ එකක් කියල මිනිහගෙන් ඒ ගැන ඇහුව.. “කොහොමද ඒක කුණුත් එක්ක ඇවිත් මෙතනට එන්නේ?”

“ඔය කොළඹින් එන කුණු කොයිම වෙලාවකවත් නිකන් විසි කරලා දාන්නේ නෑ සර්.. කුණු කියන්නේ සල්ලි උල්පතක්.. එක මිනිහෙකුට එපා වෙලා විසි කරන දේවල් සමහරවිට තව මිනිහෙකුට ඕනිම දේ වෙනවා. කොළඹ විසි කරන කුණු ට්‍රැක්ටර් දහයක් ගත්තොත් නවයක්ම එහෙම තව කෙනෙකුට ඕනි වෙන නැත්නං ආපහු පාවිච්චි කරන්න පුළුවන්, වෙන වැඩක් ගන්න පුළුවන් ඒවා.. විශේෂයෙන්ම හාබර් එකෙන් ලොකු බිල්ඩින් හදන තැන්වලින් ෆැක්ටරි වලින් එහෙම ගේන කුණු අපි කවදාවත් නිකං විසි කරන්නේ නෑ. මේ ගෙවල් පේලි ඔක්කොගෙම ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මේ කුණු තෝරන එක තමයි.. දවසට දාහක් හමාරක් මහන්සියක් නැතුව හොයනවා උන්.. යකඩ, අලුමියම්, පිත්තල, පොලිතින් ප්ලාස්ටික්, පත්තර විදුරු ටින් මේ ඔක්කොම ජාති වෙන වෙනම කිරල උන්ට සල්ලි දෙනවා.. ඒවගෙන් සමහර ජාති යකඩ, ප්ලාස්ටික් පොලිතින් පත්තර එහෙම කෙලින්ම අපේ ලොරිවල රි සයිකල් කරන තැන්වලට යවනවා. සමහරු ඇවිත් අරන් යනවා.. තව කොටසක් පුච්චන්න පුත්තලමේ සිමෙන්ති පැක්ටරියට යවනවා.. තඹ, පිත්තල එහෙම එක පාරට විකුනන්නේ නෑ.. ඒවා ආයෙම තෝරලා උණු කරන්නේ නැතුව විකුනන්න පුළුවන් ඒවා වෙනම එකතු කරනවා.. අනිත්ව තලලා එකතු කරලා තියල තඹ පිත්තල ඉල්ලුම වැඩි කාලෙට වැඩි මිලට විකුනනවා.. ඔය ‘… …ජීය’ තමයි කාලෙක ඉඳල ඒවා එකතු කරන්නේ.. මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි..  ඔය ෆැක්ටරි වලින් එහෙම ගොඩක් වෙලාවට දන්නා එවුන් ඔය කෑලි හොයාගෙන එනවා. තව නාඩාර් ල එනවා ඇවිත් මිනිස්සු හොයන ජාතියේ කෑලි සල්ලි වලට අරං යනවා.. සර්ලා නේවි නොවුනනන් අද ‘… …ජියා’ ඕක දෙන්නේ ලක්ස ගානක් ඇදලා..”

Kids and teenages on Garbage Dump- fighting for daily bread

කුණු ගැන රත්තරන් කතාවක් ඒ විදියට අහන්න ලැබුනේ එදා කුණු සක්විතිගේම කටහඬින්.. මේ කතාව සුදු පිටුවල කළු අකුරෙන් කීප වතාවක් කියවල තිබ්බට එතනට යනකං ඒක එහෙමය කියල නිකමටවත් හිතුනේ නෑ.. මගේ කුතුහලේ තවත් සැරයි.. ඒ වගේම ‘ලොකු අයිය’ දැන් තවත් හිතවත් නිසා මම ආයෙම මුට්ටියක් දැම්ම.. “මට ආසයි ඔය කුණු තෝරන විදිය බලන්න”

“හඃ. හඃ.. හඃ.. මහත්තයල නේවි එකේ නිසා තමයි මෙච්චරවත් දුරක් මේකේ එන්න උනේ.. නැත්නම් ‘…… හංදියෙන් මෙහාට එන්න වෙන්නේ නෑ.. සෙට් එකත් ගලෝල කුණු වලට වෙන් කරනවා මේකේ උන්.. මේක වෙනම ලෝකයක් සර්.. මේ කුණු අපිට ගඳ නෑ.. කුණු තමයි අපේ උන්ගේ ජිවිතේ.. කුණු ගොඩවල්වල ඉන්න ඌරු මීයෝ තමයි අපේ හුරතල්ලු.. හැබැයි අපි මේ කුණු ලෝකෙන් එහාට ගියාම කොන් වෙනවා.. ඒක නිසා අපේ උන් මෙතනින් එහා ලෝකේ දිහා බලන්නේ තරහෙන්.. කුණු තෝරන පීල්ඩ් එකේ නම් සර්ලා යන්න එපා ඔය යුනිපෝමුත් ඇඳගෙන.. ඒක අමු අපායක්..” එහෙම කියනකොට ‘… …ජීය’ ආව අපේ බෙයාරින් හතරත් අරගෙන.. ෂාහ්.. අලුතෙන් ගත්ත වගේ සුපිරියට සුද්ද කරල දිලිසි දිලිසි තියෙනවා.. පුංචි පිත්තල කම්භී කෑල්ලකින්ම කොක්කක් වගේ හදල එකට අමුණලා.. ERA ගේ මූනත් ඒ එක්කම දිලිසෙනවා..
“මල්ලි ලොකු උදව්වක් මේක.. කියලවත් කර ගන්න බැරි.. අපි මාර අප්සෙට් එකේ හිටියේ.. ලක්ෂ ගානක් නම් දෙන්න නෑ.. මට පුළුවන් ඔයාගේ මේකට මහන්සියයි වියදමයි කියනවනම් සාධාරණ ගානක් දෙන්න” බැලින්නම් CO එනකොට cash imprest එකෙන්ද කොහෙද දහ දාහකුත් අරං ඇවිත්..
“පිස්සුද සර් සල්ලි ගන්න.. සල්ලි නෙවෙයි ඕනි උදව්වක් ඕනි වෙලාවක කියන්න.. ආ.. ‘… …ජියා’ මෙහෙ වරෙන්.. මේ සර්ලට ඕනෙලු උඹේ පිත්තල කඩේ බලන්න.. හඃ..හඃ,. යනිම්ගමන් එතන පොඩ්ඩක් පෙන්නපන්.. යකඩ ඉස්ටෝරුවෙන් එහාට යන්න එපා පීල්ඩ් එක පැත්තට.. කවුරුවත් දකින්න ඕනෙත් නෑ. වාහනේ එලියට යනකම් පොඩ්ඩක් පස්සෙන් හිටපං” ලොකු අයිය සමුගැනීමේ අවසරය දුන්න..

එනින් ගමන ‘… …ජීය’ අපි තුන්දෙනවා උගේ පිත්තල/ තඹ ඉස්ටෝරුවට එක්ක ගියා. ඒත් අපත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. අඩි විස්සේ හතළිහේ වගේ කාමරයක් පුරෝලා එක එක ජාතියේ තඹ පිත්තල හා වෙනත් (යකඩ නොවන) ලෝහ වල එක එක විදියේ කෑලි ලස්සනට පිළිවෙලට එල්ලලා ගැට ගහල වැල් වැල් වගේ එල්ලෙනවා.. පිත්තල screw ඇන, පිත්තල කම්බි ඇන එහෙම එක එක සයිස් වලින් බාල්දි බැරල් ගණන් පුරෝලා.. තඹ එක පැත්තක.. සාමාන්‍ය ප්‍රමාණයේ පිත්තල පහන්, ඉලත්තට්ටු, අලියා පාත්තර පවා තියෙනවා.. කුණු ගොඩවල් වලින් ඇහින්දපුව  කියල කියන්නවත් බෑ.. ඔක්කොම ලස්සනට සෝදලා සුද්ද කරලා.. එතන තිබ්බ පිත්තල වල බර අනුව වටිනාකම විතරක් ඒ කාලේ හැටියට රුපියක් කෝටියක් වත් වෙන්න ඇති. වැඩි විස්තරයක් දැන ගන්න ‘… …ජියා’ කතා කරන්නෙත් නැති නිසා බෙයාරින් හතරත් පරිස්සමෙන් අරං අපි වාහනේට ගොඩ වෙලා එන්න ආව.. ‘….. හන්දියෙන්’ මහපාරට දානකොටම එච්චර වෙලා අපි දිහා බලං හිටපු ‘… …ජියා’ අතුරුදහන් උනා..

මගේ කුණු කතාව මෙතකින් අවසානයි. කියවූ ඔබ සැමට ස්තුතියි! ඒත් ලංකාවේ කුණු කතාව කවදා ඉවරවෙයිද කියල හිතෙනකොට .. හ්ම්ම්ම්…

 

උපුටා ගැනීම : කලාහිත බ්ලොග් අඩවිය 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල