විවිධාංග, විශේෂ

මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්

Off

විචාරක තුමාගේ බ්ලොග් ලිපි කාලයක් තිස්සේ කියැවූ කෙනෙක් මම.  ඔහු බ්ලොග් ලෝකයේ සිටියේ 2011 ඉඳන්. හමුදාවේ අයගේ ලිපි කියවන්නේ මොකද කියල වරෙක කෙනෙක් මගෙන් ඇහුව. ඒ අර චෝදනා ආපු කාලෙක. පස්සේ මම විචාරක තුමාගේ බ්ලොගයයි කල්‍යාණ මිත්‍ර ගේ බ්ලොගයයි  ඔහුට හඳුන්වල දුන්න.  එක්කෙනෙක් හමුදාවේ හිටියේ . අනික් එක්කෙනා නේවි එකේ. කියවල එන්න කියල.

මේ තියෙන්නේ විච අන්තිමට වගේ ලියපු එකක්.

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

හමුදාවේ ඉන්නෙත් උඹල අපි වගේ මිනිස්සු. හිතක් පපුවක් තියෙන. ඕන කෙනෙකුට විවේචනය කරන්න  පුළුවන්. ඒත් ඒ බූට් එක දාගන්න කම් ඒ රස්සාව ගැන තේරුම් ගන්න අමාරුයි. පඩි ගෙව්වත් උඹල අපි වගේ උන් යන්නැති රස්සාවකට හැමෝම පඩිය නිසා යනවා කියල හෑල්ලු කරන්න  එපා කියල මම ඔහුට කිව්වා. සමාජයේ නරක යැයි  සම්මත මිනිස්සු ඉන්නවා නම් එහෙම අය හමුදාවල නොවේ වෙන ඕනම  තැනක , ආයතනයක, සංස්ථාවක ඉන්න පුළුවන්.  ඒත් මුළු සමාජයක්ම එහෙම නරක කෙනක් ගෙන් හෝ දෙදෙනෙකු ගෙන් මනින්න බැහැ වගේ හමුදාවක් මනින්නත් එහෙම බැහැ.

මේ තුවක්කු ගැන ලියපු එකක්. 

මේජර් ගුණරත්න මහත්මයාගේ හමුදා ජීවිතය ගැන මම දන්නේ නැහැ. බ්ලොග්කරුවෙකු වශයෙන් තමා මා  ඔහුව හඳුනා ගත්තේ. ඔහුව මුහුණින් දැක හඳුනා ගත්තේ  2016 වසර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී. වැඩි වෙලාවක් සතුටු සාමිචියේ යෙදෙන්න  බැරි වුණා. විචා, ඔමා නංගි ගාව ඉඳගෙන හැමෝටම විහිළු කර කර හිටිය. හමුදාවේ හිටිය කෙනෙක් වගේ නෙමේ බොහොම සෞම්‍ය ගති තියෙන විදුහල්පති කෙනෙක් වගේ.  එදත් හැබැයි වෙනත් මරණයකට යන්න  ඕන වෙලා හදිසියෙන් වගේ ආවේ කිව්වා.  හරිම ආසයි  හවස එකතු වෙලා කතා කරන්න. ඒත් ළඟම  ඥාතියෙක් නිසා යන්න වෙනවා කියල නිහතමානීව ඒ ගැන සමාව ඉල්ලුව. ඒ තමයි විචා. මම කිව්වා විචා මොහොතකට හරි සහභාගී වෙන්න ආපු එක ලොකු දෙයක් කියල.

අපිට වඩාත් ඉස්මතුවෙලා පෙනුනේ,  වයසට ගියහම ජිවිතේ ගැන කළ කිරිල හදිසියේම පන්සල පැත්තේ යන කෙනක් වෙනුවට ආගම දහම අදහන ගමන්  තරුණ තරුණියන් එක්ක හරි හරියට බ්ලොග් ලියපු හැටි. වාද කරපු හැටි. සමහරකුට බ්ලොග් එකක් අරින්න, ලියන්න කියා දුන් හැටි. සංචාරයකට ගියහම හොඳ පින්තුර ටිකක් අරන් ඒ ගැන ලියපු හැටි. හමුදාව පිලිබඳ අප නොදන්නා  තොරතුරු කිවූ හැටි. හමුදාවකට ජනතාවකට වඩා සමීප වෙන්න පුළුවන් නම් විචා වගේ අයගේ ක්‍රියා මාර්ගය තමා අනුගමනය කරන්න  ඕනේ.

විචා අසනීප වෙලා කියල මුලින්ම කිවේ ප්‍රා . බලන්න ගිහිල්ලත් තිබුන. අටමා, කල්‍යාණ, රුවන් චන්දිම සහ මම තීරණය කළා මෙවර නෙලුම් යාය විශේෂ සම්මානය පිදිය යුත්තේ ඔහුට කියල. ඒ බව දන්වන්න  ඔහුට දුරකතනයෙන්  කතා කළ වෙලේ විචා බොහොම හැඟුම්බර වුණා.  මටත් ඒ හැඟීම්බර බව දැනුනා.  අජිත් මට සතුටයි දුකයි දෙකම මේ අවස්ථාවේ එනවා. මට ලියන්න  අමාරුයි දැන්. ආයි කවද  ලියන්න වෙයිද දන්නේ නැහැ. සම්මාන උළෙලට කොහොම හරි එනවා කිව්වා. මට වාහනය පදවන්න අමාරුයි. කවුරු හරි හොයා ගන්නම් කියලත් කීවා. නමුත් එදා දවසේ විචාට සෑහෙන්න අමාරුයි. ඒ නිසා ඔහුට ඒමට හැකි වූයේ නැහැ.

ප්‍රා සහ ඉවාන්  ඔහුට ගිහින් සම්මානය භාර දීල තිබ්බ. ගුණරත්න මහත්මිය කියල තිබ්බ ඒ දවස්  කිහිපයම විචා  ඒ ගැන ගොඩක් සතුටින් හිටිය කියල. “සමහර විටක දවසට පැය දහ අටක් පරිගණකය සමග ඔට්ටු වේවි ලියපු ඒවාට කවුරුහරි අගය කරාවි කියල මම ඔයාල ට කිව්වා නේද කියල.  ”
ඔබට ඒ අවසන් අවස්ථාවේ හරි එහෙම  සතුටක් දෙන්න ලැබීම ගැන අපට ගොඩක් සතුටුයි.  බොහෝ බ්ලොග් කරුවන් නොයෙකුත් උපකාර ආදිය කළ  බව දැන ගන්න ලැබුන.
ඇත්තටම එක දවසක් පමණක් ළඟින් දැක  කතා කරලා අනිත් හැම වෙලේම වර්චුවල් අවකාශයේ හමුවුනත් මේ මරණය මෙපමණ   දැනෙන්නේ ඇයි කියලත් හිතුන. බ්ලොග් ලෝකයේ තවත් එක් සොඳුරු මිනිසෙකුගේ  නික්ම යාමක් නිසා.

ආදරණිය  විචාරක තුමා – ඔබට නිවන් සුව.


ප.ලි:

දේශකයා මේ තොරතුරු ෆේස්බුක් හි පල කර තිබුණි 

සංවේගයෙන් දැනුම්දීමයි.
2011 දී බ්ලොග් ලොවට පිවිස, තමා සතු දැනුම සමාජයට මුදා හැරීමට කටයුතු කළ අප කව්රුත් දන්නා අයුරින් නම්, විචාරක, විචා, විචාමාමා (මම කියන්නෙ නාකිවිසේ) මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු 2017 මැයි 01 වැනිදා සවස 3.00ට කුරුණෑගල පොදු සුසානභූමියේදි සිදු කිරීමට නියමිතය. දේහය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. සුභ ගමන් නාකිවිසේ මාමේ
අංක 100, දිද්දෙනිය වත්ත පළමු පියවර,
බෝයගනේ
වර්ඩ්ප්‍රෙස් අඩවිය හරහා බ්ලොග් වලට පිවිසි ඒ මහතා පසුව blogspot අඩවියක්ද පවත්වාගෙන යමින් එම අඩවි දෙකම යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදි. බ්ලොග් ලොව වෙතරානුවා (Veteran) මේජර් ගුණරත්න මහතාණෙනි, ඔබට සුභ ගමන්..
තොරතුරු ලබාදීම සම්බන්ධව ගස් ගබ්බා මහතාට ස්තුතියි.

රුවන් ජයතුංග මෙය ලියා  තිබේ.

ඉන්දික කොඩිතුවක්කු මෙසේ සටහනක් තබා ඇත.

විචාරක යනු විශ්‍රාම යෑමෙන් පසුව බ්ලොග් ලියන්නට එකතු වූයෙකි. එහෙත් ඔහු සිතින් තරුණව, ඔහුගේ දරුවන් වයස් වූ බහුතරය හා සමව සතුටින් සහ ජවයෙන් යුතුව අන්තර්ජාලයට සිංහලෙන් දැණුම බෙදන්නට එක්විය.
අදටත් ඊමේල් මගින් අතින් අත යැවෙන පහත සඳහන් සබැඳියේ ඇති ගිනි අවි, උණ්ඩ ඈ හමුදාමය උපකරණ, නීති සහ භාවිතය ගැන වූ අති සාරගර්භ ලිපි වල නියම රචකයා ඔහු බව දන්නේ සිංහල බ්ලොග් පාඨකයන්ම අපමණි. කලක් අසනීපව සිටි විචාරක අද සවස නික්ම ගිය බව දැනගන්නට ලැබුනි.

බෝධිනී සමරතුංග

good bye dearest blog friend, wicharaka…සුබ ගමන් විචාරකතුමනි…. ඔහු අප සමග ලියූ බ්ලොග්කරුවෙක්. මම අනිත්කොන බ්ලොග් එක ලියද්දී වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියූ සංග්‍රාමයට පසු පොත් ගැන කියා මගේ ලිවීමට බොහෝ දිරි දුන් කෙනෙකි. ඔහු ගේ නික්ම යෑම දුකකි….අමා මහ නිවනින් සැනසීම පතන්නෙමි….

අටමා ගෙන් :

මාම කියන්ඩද මචං කියන්ඩද අයියා කියන්ඩද සර් කියන්ඩද අක්කට ඉගැන්නුවට මට ඉගැන්නුවයැ අනික ඒකිත් නැති කොට සීයා කියලවත් කියන්ඩද එහෙම නමක් අපේ යාළුකමට තිබුනෙම නැනේ නාකියෝ ස්තුතියි උඹට වෙන මොකටවත් නෙමෙයි පැන්සොන් ජීවිතේ පන්සලටයි මරණාදාර සමිතියට අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා හොයන්ඩයි වැය නොකර හවසට මං ගෙදර ආවහම කියවන්ඩ දෙයක් ලියලා තිබ්බට.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල