සඳැස් / නිසඳැස්

දයාබර නොරිකෝ !

Off

දයාබර නොරිකෝ….

මේ පාලු රාත්‍රිය ඉහිලුම් නොදෙන තරමටම හිතට වද දෙනව.මට ඔයාගෙ නිල් ඇස් වෙන කවරදාටත් වඩා මතක් වෙනව නොරිකෝ..මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නෙ ඔයාව සදහටම අතහැරල මම මේ ආව ගමන ඉක්මන් වැඩියි කියල.ඒත් දැන් පසුතැවිලි වෙනවට වඩා මට කරන්න වෙන මුකුත්ම ඉතිරි වෙලා නැති බව ඔයාට තේරෙනව නේද..?ආදරෙන් අපිට ඉතුරු උනේ මේ වේදනාව මේ පසුතැවිල්ල මේ කඳුල විතරමද නොරිකෝ….

පාලු සුසානෙක සොහොන් කොතක් යට හිරවෙච්ච මගේ ආත්මය ඔයාගෙ ආදරේ ආයෙ ආයෙ ඉල්ල ඉල්ල කෑ ගහනව මගෙ නොරිකෝ.ඉස්සරහට සීතල තව වැඩි වේවි,හිම කුණාටු හතර වටින්ම මාව වට කර ගනීවි.මගේ ශරීරෙ පොලවට පස් උනාට මගේ ආත්මෙට මේ හීතල දැනෙනව නොරිකෝ.මේ වගේ වෙලාවක ඔයා ළඟින් උන්නානම් ඉස්සර වගේම අපිට පාලු අවන්හලක එක ළඟින් වාඩි වෙලා කෝපි බොන්න තිබුණ.තොරතෝංචියක් නැතුව කතා කරන ඔයාගෙ හුරතල් බල බල සකුරා මල් හැලිච්ච පාරවල් දිගේ ඔහේ ඇවිදන් යන්න ආයෙ කවදාවත්ම අපිට බෑ නේද නොරිකෝ…?

මේ මළවුන්ගෙ මාසෙ . මම දන්නවා නොවරදීම අද හෙට දවසක ඔයා ඒවි මාව බලන්න.හැමදාම වගේ එදාටත් ඔයා මගේ සොහොන පාමුළ වැටීගෙන කඳුලු හලාවි.මම ඔයාට අඬන්න එපා කියන්නෙ නෑ නොරිකෝ.ඒ ඔයාගෙ කඳුලු මට අගේ නැති නිසානම් නෙවෙයි.හීතලට ගල් වෙච්ච මගේ ආත්මෙට දැන් දැනෙන එකම උණුහුම ඔයාගෙ ඔය කඳුළක රස්නෙ විතරමයි නොරිකො.මම දැන් ඔයාගේ කඳුලු වලට හරි පෙරේතයි.
ඉතින් මම මඟ බලන් ඉන්නවා… ඉක්මනින්ම එන්න මගෙ නොරිකෝ… ඔය කඳුළකින් මගේ ආත්මෙ අවදිකරන්න……

මං ,
ඔයාගේම දෙවෙන්දොරා

සුබෙකි මල් විතරක්ම
එපා අරගෙන එන්න
ඔය කඳුළු කෙංඩියත්
අරන් හනිකට එන්න
ගල් වෙච්ච ආත්මෙට
ඒ කඳුළු ඉසලන්න
හීතලේ පාලුවේ බෑ
මෙහෙම තනිවෙන්න

උපුටා ගැනීම – සොඳුරු සඳවතී 

 

  1. නීල දෙනෙත කඳුළු පිරෙයි දුකින්දරා
    බාල නොවුණු සෙනෙහස එයි හදින් නෙරා
    ආල කුසුම් පරවුණෙ ඇයි සිහින ඉරා
    තාල තබා මම එනවා ඉවසන් මගෙ දෙවෙන්දොරා….

  2. නොරිකෝ සං ආයේ එන්න
    සකුරා මල් සුවඳ දැනෙනවා
    සඳ විතරක් පාර කියනවා
    නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා
    නොරිකෝ සං ආයේ එන්න

    හිම කබාය නෑ උණුසුම්
    නුඹේ උවන මට සැනසුම්
    පාර දිගේ මල් හැලිලා
    නුඹේ නමට අමතනවා //
    නොරිකෝ සං ආයේ එන්න //

    සකේ බින්දු බින්දු පිරුණ
    බඳුන දෙකට බෙදාගන්න
    හිතේ පිරුණු ආදර කවි
    නුඹේ නමට යලි ගයන්න //
    නොරිකෝ සං ආයේ එන්න //

    ගායනය – දයාන් විතාරණ
    ගී පද – දිනිති දීපිකා
    සංගීතය – මහේෂ් විතාන

    මේ සිංදුව අහල ඇති. මේක ලිව්වෙත් බ්ලොගර් කෙනෙක්ම තමා

  3. මට මේ පොත් දෙකම කියවල ඉවර කරන කොට දැනුනෙ පුදුම වේදනාවක්.
    ඔබේ මේ පෝස්ටුව කියෙවුවහම ආයෙම ඒ වේදනාව දැනෙන්න ගත්තෙ හදවතට ම දැනෙන්න ලියල තියන නිසයි…එදා නම් ඒ වේදනාව කොහොම හරි හිතෙන් අයින් කර ගත්තෙ මෙන්න මෙහෙම අකුරු කරලා

    ඔබ ඔබේ මව් බිමේ තනි වුනේ නොරිකොසන්,
    නොතේරෙන නිසාවෙනි ඔබට අපගේ වදන්,
    ළැබ දෙන්න සිහලුන්ගේ උරුමකම සෙනෙහසින්,
    බිය වුනෙමි ඔබ සුමුදු සියුමැල්ල නිසාවෙන්,

    නොසිතාම මා මුවින් ඔබට කියවූ වදන්,
    අබියසදි කඳුළු නැඟුවා නෙතට මොහොතකින්,
    සිහල බිම තුළ ඔබට ඒ කඳුළු නැගුනොතින්,
    කටුක අමිහිරි වේවි මගේ සෙනෙහස ඉතින්,

    සෙනෙහසක ලකුණුවත් නොතිබුනා නම් අනේ,
    මගේ මව්බිමින් මා නොයෙන්නෙමි කිසිදිනේ,
    ඔබ නමින් ඇංද සිතුවමක් මා හද කොනේ,
    මිල නොකර අදත් ඇත මිනිස් හද පුදසුනේ,

    ඔබ ලඟින් හිඳින්නට කබුකි ශාලාවට,
    තරුණයන් නොයෙන්නෙද ඔබට ලං වන්නට,
    පිපෙන සකුරා මලින් ගැවසි ගත් උයනට,
    යන්න ඔබ හට නැති ද කව්රුවත් තනියට,

    අප දෙදෙන ගත කෙරුව අවසාන දා සිතේ,
    රැව් දිදී සිහි වේවි කීරි ගැහෙමින් ගතේ,
    මගේ සෙනෙහස ඔබට පෙන්වන්න මා අතේ,
    කිසිවකුත් නැත, තිබුනෙ නිහඬ බව හදවතේ,

    ඔබේ හඬ නොඇසෙන්නේ ඇයි ද මට නොරිකොසන්,
    කඳුගැටයෙ රැහැයියෝ හඬාවී එක හඬින්,
    මළවුන්ගේ අවුරුද්ද ලබන්නේ හෙට බැවින්,
    එන්න බැලුමට මෙමා සුබකි මල් මිට අරන්,

    නකජිමා සොහොන මට ගෙන දේවි සිහිළැලී,
    නමුදු මට පෙනෙන්නේ ඔබ සලන කඳුළැලි,
    මගෙ නොකර ගත් නිසාවෙන් ඔබව මනාලී,
    මා කෙරූ වරද මට වැටහේවි සියුමැලී,

    කාලයට ඉඩ දෙන්න ඉවසිලිව නොරිකොසන්,
    මළවුන්ගෙ ගම් මැදට එන්නෙපා පසු පසින්,
    මෙහි එන්න අවසරය ඔබ ලබන තුරු ලොවින්,
    මා බලා සිටින්නම්… නොරිකොසන් ඔබෙ නමින්!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල