ඉතිහාසය

පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- [2 කොටස]

Off

පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස

මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාකච්ඡා කරයි. පෙර කියූ පරිදි රොඩී ජනතාවගේ නායකයා රත්නවල්ලි ලෙසද හුලවාලියා ලෙසද හඳුන්වයි. මොවුන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මොවුන් සිදුකරන මන්ත්‍ර ‘නීච කුල බන්ධන’ හා ‘මහා මාතාංග’ යන නමින් හඳුන්වන ලදි. රොඩියන් කලක් අභිකුණ්ඨක ජීවිතයක් ගත කලේ ඔවුන්ට නිවාස තනා ගැනීමට අවසරයක් නොලද නිසාවෙනි. එනමුත් පසු කලෙක රජවරුන් මොවුන්ට වෙනමම ගම්මාන ලබා දුන් අතර ඒවා ‘ගුබ්බෑයම්’ ලෙස හදුන්වන ලදි.

 

 රොඩී කුලය ආරම්භය පිලිබඳව ජනප්‍රවාද කිහිපයක්ම පවතියි. ඉන් එකක් ලිපි මාලාවේ පලමු කොටසේ සදහන් කරන ලදි. වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන් පවසන පරිදි ඉන්දියාවේ පංචම කුල වලට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය පැවතගෙන එයි. ජනප්‍රවාද අතරින් වඩා ප්‍රමුඛ තැනක් උසුලන්නේ රොඩී ජනතාව පරාක්‍රමභාහු රජුගේ දියණියක් වන රත්නවල්ලිගෙන් පැවත එන බව කියන ජනප්‍රවාදයයි. යට මහලේ මිදුල අමදිමින් සිටි සේවකයෙකුගේ හිසට ඉහල මහලයේ සිටි රත්නවල්ලි කුමරියගේ කෙල පිඬක් නොදැනුවත්වම වැටුණි. මෙයට පලිගැනීමට යැයි සිතා එම සේවකයා මාලිගාවේ දොර අසල නිදාගනිමින් , රත්නවල්ලිව තමාට විවාහ කරනොදෙන්නේ නම් එතැනින් නැගිටින්නේ නැති බව පැවසීය. රජවාසලේදී පුද්ගලයෙක් නිරාහාරව මියයාව අවැඩක් බව සිතූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියව එම දාසයාට විවාහ කර දෙන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව එක් මතයකි. තවත් ජනප්‍රවාදයක එන්නේ රත්නවල්ලි කුමරිය දාසයෙක් සමඟ රහසින් පෙම් බැඳ එහි ප්‍රථිපලයක් වශයෙන් ඈ ගැබ්ගැනීමයි. මෙය ඇසූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියගේ උඩුකය නිරුවත් කොට කොණ්ඩය ඉහලට වෙන්න බැඳ දාසයාට පාවාදී රජමැදුරෙන් පිටමං කල බවයි. මෙයින් රොඩී ජනතාව පැවත එන බව කීම තවත් මතයකි.

රත්නවල්ලි හා බැඳුණු තවත් ජනකතාවක් පවතියි. එය පෙරදි සදහන් කල රොබට් නොක්ස්ගේ එදා හෙළඳිව කෘතියෙහි සදහන් ජනප්‍රවාදයට යම් සමානකමක් දක්වයි. රත්නවල්ලි මිනීමස් අනුභව කිරීමට ඉතා ගිජු බවක් දක්වන ලදි. රජවාසල කරණවෑමියා මේ පිලිබඳව දැන සිටියේය. පොහොය දිනක රජුට සැපයීමට දඩමස් සොයාගැනීමට නොහැකි වූයෙන් කරණවෑමියා සොහොනකට ගොස් එහි දමාගිය මිනියක් දඩමස් ලෙස සකසා රජුට පිලිගන්වන ලදි. රජු මෙයට ඉතා කැමැත්තක් දැක්වූ අතර නැවතත් මෙම මස් වර්ගයම රැගෙන එන්නයි පැවසීය. රජුට දඩමස් කියා මිනීමස් පිලිගැන්වූ බව රත්නවල්ලි කුමරිය දැනගන්නා ලදි. එහෙත් ඇය මිනීමස්වලට ගිජු වී සිටි බැවින් මේ පිලිබඳව කිසිවක් රජුට නොපවසන ලදි. කෙසේ හෝ රජු මෙම කාරණාව ගැන දැනගත් පසු රත්නවල්ලි කුමරියව කරණවෑමියාට විවාහ කරදෙන ලදි. ඉන්පසු දින හතක් නගරයේ සිඟමන් යැදීමට ඔවුන්ට අණ කල අතර ඉන්පසු නගරයෙන් නෙරපන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව තවත් මතයකි.

ඉංග්‍රීසි ජාතික එල්.ඩී.බර්නාඩ් මහතා විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සදහන් වේ. රත්නවල්ලි යනු සූර්ය වංශයෙන් පැවත එන මිනිස් දෙව්දුවකි. ඇයගේ වාසස්ථානය තෙලඹු ගසයි. අනුරාධපුරයේ තිබුනු මෙම තෙලඹු ගසට රොඩී ජනයා වන්දනාමාන කලහ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සෑදීමට තෝරාගත්තේ මෙම තෙලඹු ගස තිබූ ස්ථානයයි. රජතුමා රත්නවල්ලිට බිලි පූජා කර මෙම ස්ථානයේ ස්ථූපය සෑදීමට අවසර ගන්නා ලදි. රත්නවල්ලිගේ කැමැත්ත පරිදි මෙම ස්ථානයට රුවන්වැලිසෑය යන නම තබන ලදි.

මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් වන්නේ එල්.ඩී. බර්නාඩ් මහතා රත්නවල්ලි හා ස්වර්ණමාලි පටලවාගෙන ඇති බවයි. මේ සමඟම මට අමරදේවයන් ගායනා කරන මහගම සේකරයන් රචනා කල ගීතයක් මතකයට නැගේ.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට හඩන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඉංග්‍රීසි ජාතික හියු නෙවිල් මහතා 1887 දී ටැප්‍රොබේනියන් සඟරාවට රත්නවල්ලි කවි 13 ක් සොයා පලකරන ලදි. මෙම කවි ඔහු විසින් සොයාගෙන ඇත්තේ වන්නි ප්‍රදේශයෙනි. ඔහු සොයාගත් කවි වලින් පලමු කවි තුන නම් ;

නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

උක්ත කවි වලින් රත්නවල්ලි යනු තලඹු ගසෙහි වැඩ සිටිනා දෙව්දුවක් බවත්, තවත් කවියකින් ඈ පරාක්‍රමභාහු රජුගේ දියණියක් බවත් පවසයි. රත්නවල්ලි කවි ලියූ සහිත්‍යකරුවා ඉතිහාසය හා කාලවකවානු ගැන සැලකිල්ලක් නොදක්වා ජනවහරේ ආ සිද්ධීන් මුල් කොටගෙන මෙම කවි ලියූ බව පැහැදිලිය. රත්නපුර දිස්ත්‍රික්කයේ තුලාපිටිය කුප්පායමෙන් සොයාගත් තවත් කවි කිහිපයක් පහත දැක්වේ.

උඩුමාලෙන් බැහැපන් රත්න වල්ලියේ
සළු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
මුතු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
රොඩියට දෙන්ට බැහැපන් රත්න වල්ලියේ

අතමුල වළලු අතමුල සෙලෙවි සෙලවියේ
පාමුල ගිගිරි පාමුල සෙලෙවි සෙලෙවියේ
කරේ තියෙන මුතු දෙපොටත් නොසෙල්ලියේ
සබේ මැදට බහුකෝ රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
රුහුණේ සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
දෙපයේ ලාපු ගිගිරින් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

  අතීත රොඩී ජන ජීවිතය ගැන පෙර ලිපියේ සාකච්ඡා නොකල කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරමු.  මංකොල්ලයක් , සොරකමක් ආදී වරදකට රොඩියෙකු චෝදනා ලැබුවහොත් හුලවාලියා (රොඩී නායකයා) මේ පිලිබඳව සිරගෙයි කංකානමට දැන්විය යුතු විය. ඉන්පසු සිරගෙයි කංකානම චෝදනා ලැබූ රොඩියාව තොටුපලට රැගෙන ඒමට දිනයක් නියම කරයි. මීට හේතුව වන්නේ රොඩියෙක්ව ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට අවසර නැති නිසාවෙනි. නඩුව විභාග කර දිනයේදී සිරගෙයි කංකානම ඔරුවක නැගී රොඩියා සිටින ඉසව්වට නෑවිත් නඬුව විසදයි. මෙය නැරඹීමට චෝදනා ලැබූ රොඩියාගේ නෑදෑ හිතවතුන්ද අනෙකුත් රොඩියන්ද පැමිණෙයි. වරද ඔප්පු වුවහොත් එරමිනියා හෝ කැප්පෙට්ටියා පොල්ලකින් රොඩියාට තලයි. මේ දඩුවම දීමට වෙනත් රොඩී ගමකින් පුද්ගලයෙක් ගෙන්වයි.

මොවුන් සිඟා කෑමට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම, කොඩි ආදිය එල්ලීම සදහා ලණු සැපයීම , රජමාලිගයට මස් සැපයීම, කසල බැහැර කිරීම, මල සිරුරු බැහැර කිරීම සිදුකරන ලදි. මොවුන්ට අංගසම්පූර්ණ නිවසක් තනා ගැනීමට අවසර නොවීය.

සමාජය විසින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර මොවුන්ට සිදු කිරීම තහනම් විය. උපත, වැසිවියට පැමිණීම, විවාහය හා මරණය ආදී විශේෂ අවස්ථාවලදී අනෙක් අය සිදු කරන්නාවූ චාරිත්‍ර කිසිවක් ඔවුන්ට කිරීමට අවසර නොවීය. එනමුත් රොඩියන් ඔවුන්ටම විශේෂිත වූ චාරිත්‍ර අනුගමනය කල බව සදහන් වේ. දරුවෙකු වැඩි වියට පත්වූ විට රොඩියන්ට රධා කුලයේ කාන්තාවකගේ (රෙදි නැන්දාගේ) සේවය නොලැබුණි. මන්ද රධා කුලයේ කාන්තාවන් තමන්ට වඩා පහත් කුලයක් වන රොඩියන්ට තම සේවය ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නැති නිසාවෙනි. මොවුන්ගේ ආගම බුධු දහම වුවද බුදු දහමේ එන්නාවූ චරිත්‍ර වාරිත්‍ර කිරීමට මොවුන්ට අවසර නොවීය.

බටහිර ජාතීන් ලංකාවට පැමිණීමත් සමඟ රොඩියන්ට සිංහල සමාජය විසින් දමා තිබූ තහංචි බොහොමයක් ඉවත් කරන ලදි. සිඟාකෑම පමණක් කිරීමට තිබූ තහංචිය, කාන්තාවන්ගේ උඩුකය නිරාවරණය කර තබා ගැනීමට තිබූ තහංචිය, ආර්ථික වශයෙන් පනවා තිබූ තහංචි බටහිර ජාතීන් නැති කරන ලදි. එනමුත් සිංහල සමාජය මෙයට ඉතා අකමැත්තක් දැක්වූ බව සදහන් වේ. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් රොඩියන්ට ධර්මය දේශනා කල අතර ඔවුන් ඉතා ඉක්මනින් කිතුනු දහම වැලඳගත්තේය. මන්ද එකල සිටි බෞද්ධ සමාජය ඔවුන්ව කොන් කර තැබූ නිසාවෙනි. රොඩියන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැක. ඒ නාහල්ල හෙවත් උඩකටුව රොඩී හා නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී ලෙසය. උඩකටුව රොඩී කොටස් දෙකකට බෙදේ. ඒ තිරිංග රොඩී පෙලපත හා හල්පේ රොඩී පෙලපත ලෙසය.

මොවුන්ගේ භාෂාව වැදි භාෂාවට යම් සමානකමක් දක්වන අතර මෙම භාෂාව ගාඬි බස ලෙස හදුන්වයි. පහත දැක්වෙන ඡායාරූප මගින් රොඩී ජන වහ්‍ර පිලිබඳ දැනගත හැකියි. ඡායාරූපය මත Click කල විට වඩා පැහැදිලි රූපයක් පෙනේවි.

ලිපි මාලාවට මූලාශ්‍ර;

1) එදා හෙළදිව – රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් – සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය – ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

7) http://www.wikiwand.com/si/රොඩී

8) රත්නවල්ලිගේ දරුවෝ රොඩී ජන පුරාණය – එම්.ඩී. රාඝවන් ( පරිවර්තනය චන්ද්‍රශ්‍රී රණසිංහ)

9) https://pinthaliya.wordpress.com/2013/11/01/ස්වර්ණමාලි-හා-රත්නවල්ලි/

මේවටත් උත්තර දෙමු එහෙනන්…

1) මේකනන් හරි ලේසි ප්‍රශ්නයක්… මෙයා කව් ද?

2) සහරා කාන්තාරයට හිම වැටුනේ කවද්ද?

3) ලෝකයේ විශාලතම සොහොන තියෙන්නේ කොහේ ද?

– ඩියෝන් මිථිල ප්‍රනාන්දු
 උපුටා ගැනීම – වාසිතය බ්ලොග් අඩවිය 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල