සංචාරක හා ඡායාරුප

පරිසරයට හිතකර නිවාඩුවක් – දර පෝරණුව

Off

මේ දවස්වල හැමෝම පරිසර හිතකාමී වෙලාය. ට්‍රම්ප් ලොක්කා පරාස දූෂණය කියා එකක් නැතැයිද විද්‍යාඥයන් බොරු කියන්නේ යයිද පැවසූ පසු නව ප්‍රංශ ජනාධිපතිවරයා කාලගුණ විද්‍යාඥයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ට ප්‍රංශයට පැමිණ රැකියා  කරන ලෙස ආරාධනාවක්  ද කළේය. බ්‍රිතාන්‍යයේ දැන් කලක සිට වඩා පරිසර හිතකාමී ප්‍රදේශ හා ස්ථාන වලට නිවාඩු යෑමේ සිරිත බෝවී තිබේ.   අපේ නිවසේ 2015 මුල් කාලයේ හිරු එළියෙන් විදුලි බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පරිසර හිතකාමී ප්‍රදේශ වල නිවාඩු යෑමේ අදහස අපේ සිත් වලද තිබුණි.

සාමාන්‍යයෙන් අපි වසරකට වරක් වේල්සයේ හෝ  එංගලන්තයේ ලේක් දිස්ත්‍රික්කය,  පීක් දිස්ත්‍රික්කය හෝ ස්කොට්ලන්තය වැනි කඳු සහිත පෙදෙස් වල සංචාරයට යන්නෙමු. ඒ වසර විස්සක පමණ සිට එන පුරුද්දකි. ඒ මමත් බිරිඳත් දෙදෙනාම ඇවිදීමට (hiking) බොහෝ කැමැත්තක් දක්වන හෙයිනි.

ඉතින් සාමාන්‍යයෙන් අපි වේල්සයේ ස්නොව්දෝනියා ජාතික වනෝද්‍යානය පැත්තට යන නමුත් මෙවර ගියේ බ්‍රෙකන් බීකන් නමැති පළාතටය.  මේ පළාත්  දෙකම ලංකාවේ නුවර එලිය, ඇල්ල, දියතලාව, හෝර්ටන් තැන්න,  බදුල්ල වැනි පෙදෙස් සේ සුන්දරය. අපි නැවතුනේ “ද බීස්ට් ” නම් ගොවිපලකය. බීස්ට් කියන්නේ කුළු හරකුන්ටය. මේ පැත්තේ ඒ කාලයේ එවැනි හරක් රංචු සිටි නිසා එම නම ලැබී ඇතැයි ගොවිපල අයත් ක්‍රිස් නමැති ගොවි මහතා පැවසීය. මේ ගොවිපළ තිබෙනෙන් බ්‍රේකන් බීකන් ජාතික වනෝද්‍යානය ආසන්නයේ ය නගරයට යාබදවය.

අප නැවතුනේ මේ ගොවිපලේ බාර්න් කොන්වර්ශන්(barn conversion)  එකක් කළ  බංගලාවකය. බාර්න් යනු ඇත්තෙන්ම  වී, තිරිගු , පිදුරු වැනි ගොවිපලේ අස්වැන්න හා නොයෙකුත් ආම්පන්න ගබඩා කරන විශාල ශාලා වැනි  ඒවාය. ඉන් කුඩා ප්‍රමාණයේ ඒවා  බංගලා වලට හරවා  සංචාරකයන්ට නවාතැන් දීමෙන් ගොවිපල අයිතිකරුවන් අමතර ආදායමක් උපයා ගනී.

මේ තියෙන්නේ බංගලාවක් කරන ලද බාන් එකය

මගේ මිතුරු සරෝජ් සහ ඔහුගේ පවුලත් අපේ පවුලත් ද  සමග ලංකාවෙන්  රැගෙන ආ අරක්කු  බෝතලයකුත්, වයින් බෝතල් කිහිපයකුත් කජු බැදුම් හා බැදපු රටකජු සමග අපි වේල්ස් ගියෙමු. උයන්නට අවශ්‍ය කෑමද රැගෙන ගියේ කුස්සියකුත් තිබෙන හෙයිනි.

ඇතුළත සුව පහසුවට නිමවා තිබේ

මේ බාන් එක ඇතුලේ තිබු විසිත්ත කාමරයට අපේ නිවෙස් වල ඒ කාලයේ තිබූ දර වලින් උණුසුම සපයන පෝරණුවක් තිබුණි. පහත ඇත්තේ එයයි.

නිවසේ ඇතුළත ඇති උදුන


අපේ සිත් ගත්තේ මේ නිවසට මෙන්ම අනිත් ගොඩනැගිලි දෙකටද  (ගොවි මහතා ගේ නිවස ද ඇතුළුව) හා අසල තිබූ විශාල බාර්න් එකටද නෑමට උණු වතුර හා කාමර රත් කිරීමට තාපවිකිරක හරහා  යන උණුවතුර සපයන විශාල දර පෝරණුවයි. (Wood Burner)

ක්‍රිස් හා ඔහුගේ දර පෝරණුව

දර පෝරණුව වටේ වතුර යාම සඳහා පයිප්ප පද්ධතියක්  සවිකර තිබේ. ඒ රත්වන වතුර ඉන්පසු යැවෙන්නේ තාප හුවමාරු පද්ධතියටයි. (heat exchanger)

තාප හුවමාරු පධතිය

මෙයට අවශ්‍ය දර තමන්ගේ අක්කර 18 පමණ වන ගොවිපලෙන්ම සපයා ගන්නා බව ක්‍රිස් පැවසීය. දීර්ඝ ශීත සමයේ නිවෙස් තුනම ඉතා හොඳින් උණුසුම් ව පවත්වා ගත හැකි බවද ඔහු කිවේය. අප සිටි දිනවල කාමර ඉතා හොඳට උණුසුම්ව පැවති අතර උණු වතුරද අඩුවක් නොමැතිව ලැබුණ බැවින් ඔහු කීවේ  ඇත්තකි.

එකතු කරන ලද දැවීමට ගන්නා දර

මේ පොරනුවෙන් පිටවන් කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන පරිසර දූෂණය හා දර නාස්තිය ගැන අපි ක්‍රිස් ගෙන් විමසුවෙමු.  ක්‍රිස් ට අනුව දර මෙන්ම වෙනත් අපද්‍රව්‍යද  දහනය කරන අතර බොහෝ දර අවට මුකලානෙන් මෙන්ම ඉවත් කරන ලද ඒවාද නිසා ඒවා අපතේ යාම වැළකේ. එංගලන්තයේ ගෑස් බොයිලර් වලින්ද කාබන් ඩයොක්සයිඩ් හා සමහර විටෙක කාබන් මොනොක්සයිඩ් වායුවද පිටවන් නිසා මෙය අවම බවද ඔහුගේ අදහස විය. එසේම  ඔහුගේ ගෑස් බිලද ඉතා අඩුය . (කෑම ඉවීමට පමණක් භාවිතා වේ. )

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල