කාලීන සංවාද

ලෝකය නටවන අපේ අය

Off

අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් ‘හ්ම්’ කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ එයා තමයි බොස් වුණේ.

ඉස්කෝලේ යනකොටත් එතන ගුරුවරු ගේ බලයයි, මට වඩා ශක්තිය තියෙන අයගෙ බලයයි එක්ක මොලේ පාවිච්චි කරල ඇඟ පත තලාගන්නෙ නැතුව ඉන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ මගේ වුවමනාවට ජාති දාති දාන්න ගියා නම් කෝටු කිතයියල දෙතුන් දෙනෙකුට නෙලන්න පුළුවන් වුනත් කාගෙන් හරි ගුටි කනව. ඒ නිසා තමයි එක එක්කෙනාගෙ දක්ෂකම්, බලපුළුවන්කාරකම්, සම්බන්ධකම්, වගේ දේවල් ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න වුණේ.

ඊට පස්සෙ සමාජයට ආවමත් එහෙමයි. සමාජය ඒක ක්‍රියාත්මක වෙන සංකීර්ණ ලියූ නොලිවූ නීති, සබඳකම්, බලවත් අය සහ දුබලයන්, වගේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න පුරුදු වුණා. තරුණ කාලෙ සර්ව සාධාරණය වෙනුවෙන් සටන් කරන්න ගිහින් පාඩම් දෙක තුනකුත් ඉගෙන ගන්න වුණා. ඒවයින් ඉගෙන ගත්තෙ ලෝකෙ සර්ව සාධාරණ තැනක් නෙවෙයි ඒවගේ තැනක තමන්ගේ දේවල් සහ තමන්ගේ අය පරිස්සම් කරගන්න ඥාණය පාවිච්චි කලයුතුයි කියල. ඒ කියන්නෙ කට තිබ්බට හෝ අතපය තිබ්බට සමාජය ක්‍රියා කරණ පැත්තට එරෙහිව යාමෙන් වෙන්නේ තමන්ට තියෙන ඒවගේම ආරක්ෂා කරගත යුතුදේ නැතිවෙන්න ඉඩ සලස්වාගන්න කියන එක තේරුම් ගැණීම.

මේක මට මතක් වුණේ පසුගිය දින කීපයෙ ෆෙස්බුක් එකේ බ්ලොග් වල ලියවෙන දේවල් දැකල. යුද්ධෙ අවසාන වුණ එකේ සංවස්තරයත් එක්ක සිංහල ජාතිය, ශ්‍රී ලංකාව බේරගන්න කී බෝඩ් වලින් සටන් කරන වීරයො කියන දේවල් දැකල. සමහර අය ලෝකය ක්‍රියාත්මක වෙන හැටි ගැන කොතරම් ළදරු අවබෝධයකින් ඉන්නවද කියන එක ගැන නම් හරි පුදුමයි. ලංකාව ලෝකේ තිබෙන පුංචිම පුංචි රටක්. ජනගහණය ලෝක ජනගහණය අතින් පොඩියි. සිංහල මිනිස්සු ප්‍රමාණය ගත්තොත් ඒක ලෝකෙ ඉන්න කුඩාම ජාතියක්. ලෝකෙ ඉන්න දමිල ජනගහණය එක්ක ගත්තම ඒකෙන් දහයෙන් පංගුවකටත් වඩා අඩුයි. ඒවගේ තත්ත්වයක් යටතේ අපි සිංහල ජාතිය සහ ශ්‍රී ලංකාව කෑලි නොකැඩී අනාගතයට ගෙනියන්නෙ ඕන මොළෙන් මිසක් අත පයින් හෝ වීරකම් කියවීමෙන් නොවන බව අපි තේරුම් ගැනීම ජාතියෙත් රටෙත් අනාගතයට හොඳයි. දුටුගැමුණු රජතුමා එළාර රජුව පරාජය කරල ශ්‍රීලංකාව එක් සේසත් කරපු කාළෙ මානව හිමිකම් කැඩීම වගේ ජාත්‍යන්තර චෝදනා ආවෙ නැහැ. ඒකට හේතුව ලෝකය අද වගේ සංනිවේදනයෙන්, ගමනාගමනයෙන් දියුණු තත්ත්වෙක හිටියෙ නැති නිසා සහ තමන්ගේ ප්‍රතිවාදියාටත් ගරු කරන යුධ ක්‍රම ඒ කාලේ තිබ්බ නිසා.

අද සිංහල ජාතිය සහ ශ්‍රී ලංකාවේ අඛන්ඩතාවය තියා ගන්න නම් ලෝකෙ රටවල් කැඩිච්ච විදිහ ඒව කඩන්න උදව් කලේ කවුද ඒව කඩපු අය අනුගමනය කරපු ක්‍රියා මාර්ග මොනවද කියන එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් ඊශ්‍රායලය ඉඳන් අන්තිමට කැඩුණු සුඩානය දක්වා ඒව පිටිපස්සෙ හිටියෙ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය. දෙකට නොකැඩුණත් ලිබියාවෙ, ඉරාකයෙ වුණා වගේ රට නැතිවෙලා ගියෙත් ඒවයේ නායකයෝ බටහිර රටවලට කටේ හයිය පෙන්නන්න ගිය එක. අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න අපි කළ යුත්තේ  එම රටවල් සමඟ හොඳින් සිටීමෙන් බෙදුම්වාදීන් ඒගොල්ලන්ගේ ආශ්‍රයෙන් ඈත්කරන එක. ඡන්ද ව්‍යාපාර වලට හරි වෙන හේතු නිසා ඒ ගොල්ලො එක්ක අරියාදුවට යාමෙන් වෙන්නෙ බෙදුම්වාදීන් ඒ ගොල්ලන්ගෙ තුරුල්ලට අරින එක.

එලියට එන්නෙ මොකටද ලිඳ ඇතුලෙ හරි හොඳයි කියන ගෙම්බන්පිල මොඩ්ල් අය හිතන්නෙ එල්ටීටීයී එක පරාජය කරන්න පුළුවන් වුණේ අපේ නායකයින් සියළුම විදේශ මැදිහත්වීම් නොසලකා ක්‍රියා කරපු නිසා කියල. ලෝකේ දුවන්නේ ඊට වඩා යටි කූට්ටු නූල් සූස්තර වලින් කියල ලෝක දේශපාලනය ගැන කියවන අය දන්නව ඇති. ඇමෙරිකාවට අපේ රටට මොක වුණත් කිසිම ගාණක් නැහැ. නමුත් ඒකාලේ බලයේ හිටපු සුළු ජාතික සහ කළු ඡන්ද වලින් පැවතෙන ඩිමොක්‍රටික් පක්ෂයට නම් ඔවුන් ගේ ඡන්දදායකයින් සතුටු කරන්න විවිධ දේවල් කරන්න සිදුවුණා. කථාවක් තිබ්බා ඇමෙරිකානු මැරයින්ස් කොටුවී සිටින දමිල ජනයා බේරගන්න මුහුදෙන් එන්න උත්සාහ කරනව කියලා. මෙච්චර බලවත් ඇමෙරිකාව එහෙම ආවේ නැත්තෙ ඇයි? අපේ නායකයින්ගේ තර්ජන වලට බයවෙලාද? ඇත්ත කථාව නම් ඒකාලේ ලෝක සංවිධාන වල අපිට විරුද්ධ තීරණ ගන්න එක සහ අනිකුත් බාධක ඔක්කොම වැලැක්වූයේ ඉන්දියාව කියන එකයි. ඒකට හේතුව ඉන්දියාව කියන දේකට උඩින් මේ කලාපයේ මැදිහත් වීමක් බටහිර රටක් කරන්නේ නැහැ කියන එකයි. ජේ ආර් ජයවර්ධනත් 1987 දි ඉගෙන ගත්තෙ ඒ පාඩම.

එංගලන්තෙ ලේබර් පක්ෂෙ මිලිබෑන්ඩ් සහ තව දෙන්නෙකුත් ඒ ගොල්ලන්ගෙ ඡන්ද දායකයො සනසන්න යුද්ධෙ නවත්වන්න කියාගෙන මේ පැත්තට ආව තමයි. ඒ වුණාට ඒගොල්ලන්ගේ උත්සාහයත් අසාර්ථක වුණේ ඉන්දියාවට යුද්ධය අවසාන වෙනකම්ම යන්න ඕන වුන නිසා. ඒ ඇයි. ඒකට හේතුව තමයි 1987 දී ජේ ආර් ජයවර්ධන ඉගෙන ගත්ත පාඩම ප්‍රභාකරන් අමතක කිරීම. එල්ටීටීයී ඇතුළු මේ ත්‍රස්තවාදී සංවිධාන ඔක්කොම මුලින්ම හැදුවේ, ආයුධ සන්නද්ධ කලේ ඉන්දියාව. ඒකට ප්‍රධානම හේතුව ආර්ථික එකක්. 1977 ශ්‍රී ලංකාව විවෘත ආර්ථික කරමය පටන් ගන්න කොට සිංගප්පූරුව ඒක පටන් අරන් අවුරුදු 12 යි. 1990 වෙනකම් සංවෘත ආර්ථික ක්‍රමයක් ගෙනගිය ඉන්දියාවට චීනෙ අග තායිවානය, හොංකොං වගේ ඒගොල්ලන්ගෙ ලඟපාත තවත් සිංගප්පූරුවක් බිහිවෙලා නේරුගේ කාලෙයි සිට කොන්ග්‍රස් පක්ෂය ගෙනගිය ආර්ථික ක්‍රමයේ වැරැද්ද හෙළිවෙන්න ඕන වුණේ නහැ. අනික තමයි වොයිස් ඔෆ් ඇමෙරිකා එකට ඉඩම් දෙමින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා බටහිර රටකට දීමට උත්සාහ කිරීම වැනි ජයවර්ධන ආණ්ඩුවේ බටහිර ගැති ප්‍රතිපත්තිය. ඒකාලේ ලෝකේ ආර්ථික ක්‍රම දෙක ක්‍රියාත්මක කල බලකඳවුරු අතර තිබ්බ ශීතල යුද්ධය මතක ඇතිනෙ. රජීව් ගාන්ධි මරා දැමීමෙන් සහ ඉන්දියාවට අවනත නොවීමෙන් ප්‍රභාකරන් පොට වරද්දා ගත්තා. එය තමයි යුද්ධයේ අවසානයේ මුල.

මේ යුද්ධෙ අවසන් වෙන්න හැකි අවස්ථා දෙකෙන් එකකදී ඉන්දියාව අපිට විරුද්ධවත් අනිකේදී අපිට පක්ෂවත් හිටියා. 1987 දී ආහාර නැව් එවමින් සහ රට හරහා ගුවන් යානා වලින් ‘ආහාර’ දමමින් ගෙනගිය පූමාලේ මෙහෙයුම මතක ඇතිනෙ. එතෙන්දි ඉන්දියාව ලංකාව ආක්‍රමණය කර දෙමළ ජනයා ‘බේරගන්න’ බවට තර්ජනය කලා. සයිප්‍රසය කියන රට බිහිවෙච්ච ආකාරය ගැන දන්න කෙනෙකුට එවන් දෙයක් වුණානම් වෙන දේ හිතාගන්න පුළුවන්. ඉන්දියාව ඉදිරිපත් කරපු අනික් විසඳුම තමයි ඔවුන්ගේ හමුදා එවලා ත්‍රස්තවාදී සංවිධාන නිරායුධ කරන එක. ලංකාව පළාත් සභා බඟින් බලය බෙදන්න එකඟ වුණා. එතකොට ඒ දෙවෙනි විසඳුම භාර ගැනීම රට බෙදීමට තිබුණ අවදානමකින් එය ගලවා ගැනීමක් මිස නායකයින්ගේ නිවට කමක් නෙවෙයි. 1987 දී කලාපයට විතරක් සීමා වෙච්ච දේ 2019 වෙනකොට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් බව පත්වෙලා තිබුණේ. එල්ටීටීයී සංවිධානයත් ඉන්දියාවේ ග්‍රහණයෙන් මිදිලා ලෝකයේ බලවත් රටවල ත්‍රස්තවාදී සංවිධාන සහ දේශපාලන සංවිධාන එක්ක බැඳිලා හිටියේ. 1987 දෙ ඉන්දියාව දුන්න ආයුධ වලින් සටන් කරපු අය ලෝක ආයුධ සපයන්නන්ගේ හොඳම ගැණුම් කරුවන් වෙලා තිබුණා. 1987 දී ඉන්දියාව දෙන සල්ලි වලින් යැපුණ එල්ටීටීයී එක ලෝකෙ පුරා වසරකට ඩොලර් මිලියන 300 පමණ එකතුකරන විශාල සංවිධානයක් වෙලා. ඒ අයගෙ මුදල් බලයෙන් දේශපාලකයින් බලපෑම් කරන්නන් සල්ලි වලට අරගෙන තිබුණෙ. මෙවන් පරිසරයක ශ්‍රී ලංකා හමුදා සාර්ථක යුද්ධයක් කරන්න පුළුවන් කියල පේනකොට හතර වටෙන් එන බලපෑම් ඔක්කොම නවතා යුද්ධය ඉවර කරන්න ඉඩ සලසා දුන්නේ ඉන්දියාවයි. යුද්ධෙන් පස්සෙ ලෝකයේ බලවත් රටවල් වල බලපෑම නැවැත්තුවේ මමයි මල්ලියි කියල කයි දෙනකොට ඉන්දියාවට ඒ ගැන මුකුත් කියන්න බැරි වෙන්නේ තමිල්නාඩුවේ අය නොමඟ යැවීමට මිසක් ඒ කියන දේවල් ඇත්ත නිසා නෙවෙයි. ලෝකේ වෙන දේවල් නොතේරෙන අයට නම් මේවා මහා වීර ක්‍රියා. සමහර අය හිතන්නේ ලංකාවේ අපට ගෙම්බර් දැම්ම වගේ මුළු ලෝකෙම ඒ ගොල්ලන්ට බයේ ඒ ගොල්ලන්ට ඕන විදිහට නැටුව කියලයි.

අනික මේ රටේ දේශපාලනයට ඉන්දියාවේ සහ විදේශ වල බලපෑම් තියෙනවා කියන යථාර්තය තේරුම් ගත යුතුයි. අර සමාජයේ අපිට ඕන විදිහට ඉන්න බැහැ වගේම ලෝකය දුවන්නේ බලවත් රටවල් අදින නූල් සූස්තර උඩ බව තේරුම් ගත යුතුයි.  බණ්ඩාරණායක බටහිර තෙල් සමාගම් ජනසතු කලේ සෝවියට් දේශය සහ ඉන්දියාවේ බලපෑම් උඩ ඔවුන්ගේ ආරක්ෂාව සමඟ. ඊට කළින් අපි හිටියේ බ්‍රිතාන්‍ය සතුවූ ත්‍රිකුණාමල කඳවුර සහ කටුනායක තිබුණ ඇමෙරිකාවට පහසුකම් සපයන කඳවුර නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තිබ්බ ආරක්ෂක ගිවිසුම නිසා. ඒක අවසන් කරලා බ්‍රිතාන්‍යයන් සහ ඇමෙරිකානුවන් රටෙන් පන්නා ඉන්දියාවට අපේ අනාගතය භාරදුන්නේ බණ්ඩාරණායක. 2003 දී එජාප රජය පෙලා දැම්මේ ඉන්දියාවේ බලපෑමට. ජනතා විමුක්ති පෙරමුණටත් ඇමෙරිකානු ආක්‍රමණයට පෙර ඉරාකයෙන් මුදල් දුන්නා. තවත් බොහොමයක් තානාපති කාර්‍යාල හරහා ඔය හැමෝටම මුදල් ලැබෙනවා. 2005 ඡන්දෙදී මහින්ද රාජපක්ෂට එල්ටීටීයී එකට දෙන්න මුදල් දුන්නෙත් විදේශ රටක්. ඒ රනිල් ජනාධිපති වීමෙන් වළක්වන්න. 2015 පෙරළිය පස්සෙත් ඉන්දියාව සිටියා. එකම දේ අනික් කෙනා දින්නම ඒ ගැන චෝදනා කරනවා. රාජපක්ෂ පැරැද්දුවේ බටහිර රටවල් සහ ඉන්දියාව කියනවා වගේ. මම නම් හිතන්නේ ඉන්දියාව වෙන හැමදාම වගේ විවිධ ආකාරයේ ආධාර සිරිසේන ජනාධිපතිටත් චීනය විශාල මුදල් ආධාර මහින්දටත් දුන්නා.

ඒක නිසා ලංකාව වැනි කුඩා රටක් ලෝක ආරක්ෂාවට හෝ දේශපාලනයට බලපෑමක් කල නොහැකි රටක් අන් රටවල් බලපෑම් වලින් තොරව  ක්‍රියාත්මක වෙනවා කියන්නේ බොරු කථාවක්. අපේ රට ආරක්ෂා කරගන්න ඕන නම් විශේෂයෙන්ම ඉන්දියාව සමඟත් රටවල් කඩන්න උල්පන්දම් දීමේ ඉතිහාසයක් ඇති බටහිර රටවල් සමඟත් ඒ අයගේ හොඳ පැත්තේ සිටිය හැකි නායකත්වයක් රටේ තිබිය යුතුයි. අනික බෙදුම්වාදී සංවිධාන බටහිර රටවල සිට ක්‍රියාත්මක වීමත් ඔවුන් බලවත් වීමත් වලක්වන්න නම් අපි ඔවුන්ට අපි ගැන වැරදි කීමට ඇති අවස්ථා නැතිකල යුතුයි. ජාතිවාදී නායකයින් බලයට ඒමෙන් වෙන්නේ බෙදුම්වාදීන් බටහිර රටවල් සමඟ බලවත් වීමයි කියන එක තේරුම් ගතයුතුයි. බෙදුම්වාදීන්ට සහ උතුරේ දේශපාලකයින්ට ඔවුන්ගේ පැවැත්මට විවිධ දේවල් කල යුතුයි සහ කිව යුතුයි. ඒවා ජාතිවාදීන්ට හොඳ දේශපාලන වේදිකා තනා දෙන්නත් ලෝක භූ දේශපාලනය ගැන කිසිවක් නොදත්  මහජනයා මුලා කරන්නත් හොඳයි. යුද්ධය ඉවරවෙන කොටම මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ආවේ සුඩානයේ කල ක්‍රමයට ලංකාව  අමාරුවේ දාන්න කියන එක ඒකාලේ නායකයින්ට තේරුණේ නැහැ. ඒගොල්ලෝ ඒක පාවිච්චි කලේ විදුලි පුටුව පෙන්නලා චන්දෙ දිනන්න. එක ඡන්දයක් තිබ්බේ ඒ වගේ යෝජනාවක් සම්මත වෙන කාලෙක. ඒවගේ දේවල් වලින් ලංකාවේ අනාගතය සහ ආර්ථිකය කොච්චර අවදානමක දැම්මද? නැතිවෙච්ච ජීඑස්පී නිසා කොච්ච්චර කට්ටියකට රකියා අහිමිවුණාද? අපේ රටට ආව මිලදී ගන්නන් කීයක් බංගලා දේශයට ගියාද?

පසුගිය රජයට නම් උතුරේ තියා දකුණේ රැකියා ඇතිකිරීමට දර්ශනක් තිබුණේ නැහැ ඒගොල්ලෝ රස්සාවල් දුන්නේ හෝටල් වල සම-මුඛ-පුක පරීක්ෂණ තියල ආණ්ඩුවේ රැකියා ගාණ දෙගුණ කරල. අද රජය කරන්නේ මේ ලෝක දේශපාලනය බැලැන්ස් කරමින් තවත් කැරැල්ලකට සම්බන්ධ වීමට හැකි තරුණයක් ප්‍රමාණය අඩු කිරීමට එම පළාත්වල රැකියා ඇතිකිරීමට ක්‍රියා කිරීමයි. ඒ සඳහා එම පළාත්වල කර්මාන්තශාලා ඇතිකරන්නන්ට විශාල බදු සහ අනිකුත් සහන ප්‍රමාණයක් ලඟදී හඳුන්වා දුන්නා. උතුර සංවර්ධනය හරහා අනාගත කැරැල්ලක් වළක්වා ගැනීම යන මාතෘකාවෙන් 2010 දී මම පුවත්පත් වලට ලිවූ ලිපියක් ලංකාවෙබ් අඩවියේ තියෙනවා. පුළුවන් නම් කියවන්න.

උතුර මට්ටු කරන්න පසුගිය පාළකයින් ගේන්න කථා කරන අය ඒ දේවල් කරන්නේ රටට ආදරෙන්ද එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නැති වෙච්ච වරප්‍රසාද හෝ කොන්ත්‍රාත් ආපසු ලබා ගන්න අරමුණෙන්ද කියන එක පැහැදිලි නැහැ. නමුත් ඇත්තටම ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන අය දන්නවා ඒ අයගේ ක්‍රියා කලාප වලින් රටේ ආරක්ෂාවට වෙන්න ගිය සහ වෙන්න  පුළුවන් හානිය. අපේ රට නොබෙදී තබා ගැනීමට අවශ්‍ය වන්නේ ගැලරියට කථා කරන අය නොව ලෝක භූ දේශපාලනය ගැන අවබෝධයක් ඇති ඒ මඟින් රට ඇතිවන බලපෑම් සහ අනතුරු වළක්වාලිය හැකි පරිණත අය රටේ නායකත්වය ඉසිලීම බව මගේ මතයයි.

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය

උපුටා ගැනීම- ඉයන්ගේ අඩවිය 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල