සංචාරක හා ඡායාරුප

ජපානයේ ගොවි නිවසක දවසක්

Off

ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA –  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත් එහි වැඩි බරක් දරන්නෙ සාමාජිකයින් වන කෘෂිකාර්මික ප්‍රජාව. මුදලින් වගේම ශ්‍රමයෙන්. ඔවුන් පෞද්ගලිකව වගේම කණ්ඩායම් විදියටත් JA සමග සම්බන්ධයි. එයින් දැනුම, පුහුණුව ලබා දෙනව වගේම යම් ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත්, වෙළඳපල ගැටලු විසඳගන්නත් උදව් වෙනවා. අතරමැදියන් නැතිව තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ගොවියන්ට පහසුකම් සලසල තියෙනවා. එයින් 10% හෝ 20% ක මුදලක් JA එකට දෙනවා. ප්‍රදේශය සහ ගොවියන්ගේ ආදායම් මට්ටම අනුව මේ ගෙවන මුදල වෙනස් වෙන බව දකින්න පුළුවන්.

අපේ ගමින් ගමට තියෙන ගොවි සමිති, සමෘද්ධි සමිති විධිමත් කරනවනම්, එය සමස්ත දිවයින ආවරණය වෙන විදියට ක්‍රියාත්මක කරමින් එකම ආයතනයක් විදියට කටයුතු කරනවනම් ජපන් කෘෂි සහයෝගිතාවයෙන් ගන්න පුළුවන් පාඩම් එමටයි.

ජපානයේ ගොවි නිවසක දවසක්  

ගොවි නිවසක සංචාරක අත්දැකීමක් ලබන්නට අපිව සම්බන්ධීකරණය කළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කෘෂි විද්‍යා ආයතනයක් මඟින්. කණ්ඩායම් කිහිපයකට වෙන් කළ අපේ පිරිස රැගෙන යන්න ඒ ගොවි නිවෙස්වල හිමිකරුවන් පැමිණ සිටියා. මා ඇතුළු පිරිස කැඳවාගෙන ගියේ 70 විය ඉක්මවූ ගොවි මහත්මයෙක්. ඔහුගෙ කුඩා වෑන් රියෙන්. අපි හයිඑස් නමින් හඳුන්වන වෑන් රථයක් විය යුතුයි. බොහෝ දුර බැහැර පිටිසර ගම්මානයක්. හරිත කඳුවැටි, කෙත් යායවල්, ගොවිපළවල් පසුකරගෙන පැය දෙකක පමණ ගමනක් ගියා මතකයි.

ගොවි නිවසේ දෙන්න දෙමහල්ලෝ‍ෙ


එය ජපානයේ සාම්ප්‍රදායික ගොවි නිවසක්. නිවස වටේටම තියෙන්නෙ කුඹුරු. ( ජපානයේ නගරවල පවා හැම හිස් ඉඩකම බොහොම විධිමත්ව සකසපු කුඹුරු දකින්නට ලැබෙනවා. ) නිවසේ උන්නේ ඔහුත්, ඔහුගේ බිරිඳත් පමණයි. දරුවන් රැකී රක්ෂා සමඟ ගම අත්හැර ගිහින්. හරිම ආදරවන්ත යුවළක්. අපටත් ඔවුන් ඉතාම ළෙංගතුව සැලකුවා. දරුවන්ට බරක් නොවී අමතර ආදායමක් හොයාගන්න සංචාරක ලැගුම්පල උදව්වක් වෙලා තියෙන බවයි ඒ මව්පිය යුවළ පැවසුවේ.  

ගොවි නිවසේ විසිතුරු දසුන්

නිවසේ ඉදිරිපස පෙනුම

 

ආගමික පිළිවෙත් සිදුකරන ස්ථානය

 

ඇතකුගේ සහ ඇත් පැටවකුගේ ලී කැටයමක්

 

ලී කැටයමක්…

නිවසේම එක් කොටසක් ඒ සඳහා වෙන්කර තියෙන්නෙ. සුපිරි පහසුකම් නොවුණත් ජීවිතේට වෙනස් සුවයක්, සැනසුමක් ගේන අපූරු නිස්කලංකකමක් ඒ ගම්මානයේත්, ගොවි නිවසෙත් පැතිරිලා තිබුණා. බොහෝ විට මේ අත්දැකීම විඳින්න පැමිණෙන්නේ අධ්‍යයන කණ්ඩායම් සහ නාගරික පවුල් බවයි කියැවුණේ. දුරබැහැර ගම්මානයක් නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුයි. ඉතාම පිටිසර ගමක මේ ස්වයං රැකියාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නෙ පළාත් රජයෙන් සහ කෘෂිකර්ම සහයෝගීතාවයෙන්. ඒක තමයි විශේෂත්වය. අපේ රටවල නම් සිද්දවෙන්නෙ සහයෝගය වෙනුවට තවත් පුලුවන් නම් බදු ගහල බොහොම අමාරුවෙන් ස්වශක්තියෙන් නැගිටින මිනිස්සුන්ගෙනුත් රජයට යමක් හරිහම්බ කරගැනීමනෙ. 

සංචාරකයන් සඳහා සූදානම් කළ කුටිය

ගොවි නිවසේ තුන්වේලටම ලබා දෙන ආහාර ඔවුන්ගේ ගොවිපළෙන් වගේම ගම්මානයෙන් ලබා ගත් දෑ. වස විස නැති, රස ගුණ පිරි විශේෂ භෝජන සංග්‍රහයක්. ඒ ආහාර වේලක් සම්පූර්ණයෙන් භුක්ති විඳල අවසන් කරන්න බැරි තරම්. ඒ හැම වෙලාවකම මට සහය වුණේ අපේ සම්බන්ධීකාරිකාව වුණ නුගී සන්. ආහාර නාස්තිය ඔවුන් කෙසේවත් අනුමත කරන්නෙ නැහැ. ඉතින් මගේ කෑම වේල අපි දෙන්නම එකතු වෙලයි අවසන් කරගත්තෙ.

උදෑසන ආහාර වේලට උදව් වන නුගී සන්

 

එක් අයකුට එක් වේලකට වෙන් වන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? මේ සියල්ලම ගමෙන් ලබා ගත් දෑ

ගම්මානයට තරමක් දුරින් පැවති දිය ඇල්ල සංචාරක ආකර්ශණය ඇද බැඳ ගන්නා තැනක් විදියට දියුණු කරල තියෙනවා. දිය ඇල්ල ළඟට යන්න තිබුණෙ මේපල් ගස් යටින් වැටුණු කුඩා ගුරු පාරක් දිගේ. ඒ යන මඟ දෙපසත් පුංචි පුංචි නිර්මාණාත්මක දැයින් අලංකාරයක් එකතු කරන්නට මහන්සි අරන් තිබුණු බව පෙනුණා. 

දිය ඇල්ලට යන මඟ දෙපස හරිත පරිසරය
දිය ඇල්ල දක්වා යන පටු පාර අද්දර අවන්හලකට මඟ කියන්නෙ මෙහෙමයි…

 

දිය ඇල්ල දුර දසුනක් ලෙස

 

මේපල් පත් අතරින් දිස්වන දිය ඇල්ල

 

ගිමන් හරින්නට තනා ඇති ගිම්හාන නිවස

ස්වභාවයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන අපි අපේ ඒ ස්වභාවික ලස්සන නැතිකරගනිමින් ඉන්නවා. නමුත් ජපානය පවතින සුන්දරත්වය රැකගන්නව වගේම එය වැඩිදියුණු කරනවා. පුංචිම අසිරියකින් වුණත් පරිසරයත්, ජන ජීවිතයත් ගොඩනගන්නට ලොකු වැඩක් කරන්න ඔවුන්ට හැකියි. පිළිවෙල, පිරිසිදුකම, කාර්යක්ෂමතාව, රටට වගේම පරිසරයට තියෙන ආදරය ඒ දියුණුවේ රහස් කියලයි මට හිතෙන්නෙ.

නිවස අවට කුඹුරු යායවල්… ඈත කඳුවැටි

 

රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගොවි මහතා සහ බලු යාළුවා…

අපේ ගොවි සීයා ඒ දියඇල්ල බලන්න අපිව එක්කරගෙන ගියෙත් එයාගෙ පුංචි වෑන් එකෙන්. ඒ එන ගමනෙ මහා පරිමාණයෙන් සිදුකරන හතු වගාවක් බලන්නත් පුළුවන් වුණා. ඒ පැත්තෙ වී වගාවට වගේම හතු වගාවටත් විශේෂ තැනක් ලැබෙනවා. 

සංචාරක අපිට නිවසෙත්, ගොවිපළෙත් නිදහසේ සැරිසරන්න අවස්ථාව දීල ඒ දෙන්න දෙමහල්ලො එයාලගෙ දෛනික රාජකාරිවල නිරත වුණා. අපට යම් අදහසක් හුවමාරු කරගන්න උවමනා වුණ තැන්වලදි නුගී සන් ජපන් භාෂාව සහ ඉංග්‍රීසිය අතර අත්වැලක් වුණා. එදා රාත්‍රියෙ අපේ ගම ගෙයක වගේම ඔකාසන් ( අම්ම ) කෑම ලෑස්ති කරල දෙනකල් අපි රූපවාහිනිය බලමින් උන්නා. එදෝ යුගයට අයිති දුක්බර පෙම් කතාවක්. කොටස් විදියට යන ටෙලි කතාවක්. ගෙවිලිය නම් නොවරදවාම ටෙලිය බලන බවයි පෙනුණෙ.

ආහාර සප්පායම් වෙලා සාම්ප්‍රදායික තතමි පැදුරක සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට, නූතන විදුලි පංකාවකුත් දාගෙන අපි නිදාගත්තා. ඒ රාත්‍රිය සරලයි. සුන්දරයි..

පහුවෙනිදා උදෑසන ආහාරයෙන් පස්සෙ අපිව ආයෙම ආයතනයට ගෙනත් ඇරලුවේ හැත්තෑ වියත් ඉක්මවූ ඒ ගොවි අම්මා. ඉතා හුරුබුහුටි විදියට, පරිස්සමට ඈ වාහනය හසුරුවනවා බලන් ඉන්නත් ආසයි.

……

අපි කොහොමද අපේ රටට මේ කෘෂි සංචාරක කර්මාන්තය ආදේශ කරගන්නෙ. දැනටමත් සමහර ගොවි බිම්වල, හේන්වල, ගොවිපළවල මේ කටයුත්ත කෙරෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැඩ විදියට. අඹේවෙල ගොවිපළ මහා පරිමාණයේ වැඩක්. කොළඹ ගමයා අයියා ලියූ ගොවිපලේ නිවාඩුව සටහනත් කියෙව්වම තවත් අලුත් අදහස් ගන්න පුළුවනි. 

සංචාරක ආකර්ෂණය දිනාගන්න අපූරු අත්දැකීමක් විදියට මේ කටයුත්ත කරන්න නම් ඒකට ගැමි ගොවි ජනතාව දැනුවත් කරන්න ඕන. පිළිවෙල, පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂිතබව, අවංකකම, කැපවීම, සුහදශීලීබව වගේ ගුණාංග අත්‍යවශ්‍යයි. ලංකාවෙ අපි ළඟ අඩුවෙන්ම තියෙන්නෙත් මේ වටිනාකම්. කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාවඩා ගන්න බලාපොරොත්තුවෙන් නම් වැඩ කරන්නෙ ඒවට පැවැත්මක් නැහැ.

ඒ වගේම මේ ගොවිබිම්වල වැඩ කරමින් අත්දැකීමක් ලබන්න පාසල් සිසුන්ට ලබා දෙන අවස්ථාවත් හරිම වටිනව. එ් අත්දැකීම ගොඩක්ම වටින්නෙ නාගරික දරුවන්ට. 

තරංගනී රෙෂිකා 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල