ඉතිහාසය

ශ්‍රී ලාංකීය කිතුනු සභාව තුල විප්ලවවාදියා – තිස්ස බාලසුරිය පියතුමා

0
කිතුනු සභාව තුල විප්ලවාදියෙකු වශයෙන් නම් කල හැකි තිස්ස බාලසූරිය පියතුමා සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමියෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය වේ. එතුමන් විසින් මෙහෙයවන ලද කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය සහ සාමයික කේන්ද්‍රය පීඩාවට පත් වූවන්ට, සමාජ වෙනසක්, ප්‍රගතියක්, අපේක්ෂා කරන්නවුන්ට කදිම වේදිකාවක් විය.
ගරු තිස්ස බාලසූරිය පියතුමා වසර 1924 අගෝස්තු මස 29 දින විලියම් සහ වික්ටෝරියා යුවලට දාව අනුරාධපුර කහටගස්දිගිලිය ගමේ උපන්නේය. සිය මුලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්දයාපනය සාන්ත පැට්‍රික් විදුහලෙන්ද ලබා ගත එතුමන් පසුව සිය ද්වීතීක අධ්‍යාපනය ලදුයේ කොළඹ සාන්ත ජෝසප් විදුහලෙනි.
ඉගනීමේ දක්ෂයකු වූ තිස්ස බාලසුරිය තරුණයා අනතුරුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. ඒ වනවිට ඔහු දාහත්වන වියේ පසුවිය. වයස විසි එකේදී ඔහු අර්ථ ශාස්ත්‍රඥයකු ලෙසින් ලංකා විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඛාන් රන් පදක්කමද දිනා ගනිමිණි. 1945ක් වූ එම වසරේදීම ඔහු පුජකයකු වීම සඳහා පුහුණුවට ඇතුලත් විය.
පුජකවරය සඳහා පුහුණුවන සමයේ රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලයෙන් දර්ශණවාදය සහ දේවධර්මය උගත් අතර අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ කෘෂි ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය.
ඔක්ස්ෆර්ඩ් විශ්ව  විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ධනවාදය ප්‍රවර්ධනය කරනා ආකාරය ගැන කලකිරීමට පත්වූ මෙම තරුණ පුජක සිසුවා ඉන් ඉවත්ව ප්‍රංශයේ කතෝලික විද්‍යාථනයේ (Institut Catholic) සහ පැරිස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලදුයේය.
මෙලෙසින් ලද උසස් අධ්‍යාපනය හේතුවෙන් වසර 1960 පමණ වන විට එතුමන් ඇරිටෝටලියානු දර්ශනවාදය (Aristotelian philosophy) සහ තෝමියානු දේවධර්මවාදය (Thomas theology) සදහටම අත්හල බව පසුකලෙක පවසා ඇත. එතුමන් විසින් සම්පාදිත කෘති සහ ලිපි ප්‍රමාණය දහසකට ආසන්නය.
තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවිතය ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තුල ගත කළේය. ඉන් පළමුවැන්න වූ ඇක්වයිනස් විද්‍යාලයට 1953 වසරේදී ලේඛකාධිකාරී වශයෙන් බැඳුන එතුමන් වසර  1953 දී එහි ප්‍රධාන පුජක තනතුරට (Rector) පත් විය   බාලසුරිය පියතුමන්ගේ පාලන කාලයේදී ඇක්වයිනස් ආයතනය විශාල දියුණුවක් ලදුයේය. ආයතනයේ විෂය ධාරාවට තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය, නීතිය සහ කෘෂිකර්මාන්තය ඇතුලත් පාඨමාලා එක කෙරිණ. එතුමන්ගේ කාලයේදී ගාමිණි දිසානායක, වාසුදේව නානායක්කාර ලුෂන් රාජකරුණා වැනි පසු කලෙක ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් ඉගෙනුම ලදහ.
වසර 1971දී එතුමන් ඇක්වයිනස් විද්‍යාලයෙන් ඉවත්ව සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) පිහිටවූහ.
නිර්භය සමාජ ක්‍රියාකාරිකයෙකු වූ එතුමන් 1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි අතර ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසින්ම 1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය. ජාතික සමගිය උදෙසා සහ ආගමික සමගිය වෙනුවෙන් එතුමන් මැදිහත් විය. 1983 කළු ජූලියේ වින්දිතයන් වූ දමිල ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එතුමන් නිර්භයව නැගී සිටියහ.
කතෝලික සභාවේ මුලධර්ම වලට පටහැනි පසු කලෙක ඇදහිල්ලට එකතු වූ රුප වන්දනාව ගැන එතුමා දැඩි ලෙසින් විවේචනය කළේය. සභාවේ පුජක වරයකු ලෙසින් සිටිනා අතරදීම කතෝලික සභාව තුල තිබෙන්නාවූ වැරදි ඉගැන්වීම් ප්‍රශ්ණ කළේය.
මෙම විවේචනයේ කුටප්‍රාප්තිය ලෙසින් එතුමන් විසින් සම්පාදිත “මරියා සහ මානව විමුක්තිය” (Mary And The Human Liberation) කෘතිය නම් කළ හැක. මේ කෘතිය තුල සිදු කරනා ලද ප්‍රශ්ණ කිරීම් වලට කතෝලික සභාව පිළිතුරු දුන්නේ දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් බාලසුරිය පියතුමන්ව සභාවෙන් නෙරපා හරිමිනි. අතීතයේ මෙන්ම අදත් කතෝලික සභාව විද්‍යාත්මක, තර්කානුකූල ඉදිරිපත් කිරීම් නොඉවසන බව මෙන්ම කතෝලික සභාව වෙනස් වී නැති බව බාලසූරිය පියතුමන්ව කතෝලික සබාවෙන් නෙරපීම තුලින් ලොවට පෙන්නුම් කළේය.
කතෝලික සභාවේ මෙම තීරණය එතුමන් විසින් අභියෝගයට ලක් කළේය. එයට එරෙහිව එතුමන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර සභාවේ තීරණය වැරදි බව ලොවට  කියා සිටියේය.
තිස්ස බාලසුරිය පියතුමන්ව කතෝලික සභාවෙන් නෙරපා හැරීමට එරෙහිව ලොව ඛෙහෝ දෙනා නැගී සිටියද අවසානයේ සභාවේ දුර්දාන්ත පිරිස් වෙතින්  එල්ලවූ බලපෑම් හමුවේ  වසර දෙකක් තුල ගෙනගිය සිය අරගලය නිම කළේය.
තමාගේ හැදෑරීම් වලට අනුව නිවැරදි බවට තරයේ විශ්වාස කළ කරුණු වැරදි බවට  වතිකානුව ඉදිරියේ සිය  හෘද සාක්ෂියට විරුද්ධව එතුමන් පිළිගත්තේය.
කෙසේ වුවද වතිකානුවට පාගා දැමිය නොහැකි පුජක පිරිසක් මෙන්ම ගිහි පිරිසක් ද එතුමන් මෙරට කතෝලික සභාව වෙත දායාද කළේය. සභාව තුල ඉදිරි පෙලේ ක්‍රියාකාරීවන්නේ ඉන් සුළු පිරිසක් වුවද  බහුතරයක් ගිහි පිරිස සභාවේ වැරදි ඉගැන්වීම් ඉවත ලමින් නිහඬව කිතු දහමේ මුලිකාංග තුල ජීවත් වෙති.
මුලාශ්‍ර
http://dbsjeyaraj.com/dbsj/archives/14877
https://www.facebook.com/StJosephsChurchKanuwana/posts/524933800872420
http://peoplesforumsl.blogspot.com/2013/01/blog-post_25.html
ප්.ලි.
මගේ අම්මා තිස්ස බාලසුරිය පියතුමන් ඇක්වයිනස් විද්‍යාලයේ ප්‍රධාන පුජක ධුරය දරනා සමයේ එහි උසස් ගණිතය පිලිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය බාහිර උපාධි අපේක්ෂිකාවක වුවාය. අයුක්තිය අසාධාරණය පිළිකෙව් කිරීම මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම පසුකලෙක ගුරුවරියක වූ ඇය තුලින් විද්‍යාමාන විය. සභාවේ වැරදි ඉගැන්වීම් ප්‍රසිද්දියේ විවේචනය නොකළද ඇයගේ ඇදහිල්ල ක්‍රිස්තියානි ධර්මයේ මුලිකාංග තුල විය. ඒ තිස්ස බාලසුරිය පියතුමන්ගේ මුලිකත්වයෙන් යුතු වූ ඇක්වයිනස් විද්‍යාලයේ ආභාෂය නිසා වන්නට පුළුවන.

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල