දේශපාලන

වෛද්‍යවරයා කවුද? මොනවද කරන්නෙ?

Off

මිචෙල් ෆුකෝගේ දාර්ශනික අදහස් මඟින් වෛද්‍යවරයා තේරුම් කිරීම.

 අතීතයේ රාජකීය පෙළැන්තියට පමණක් සීමා වූ වෛද්‍ය වෘත්තියට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් පහළ පන්තියේ පුද්ගලයන්ට ද ඇතුළු වීමට හැකියාව ලැබිණ. එහි පරමාර්ථය වන්නේ සමාජයේ වූ විවිධ  විෂමතාව හේතුවෙන් රෝගීභාවයට පත්වන වන පහළ පන්තියේම ජනතාව සුවපත් කිරීම බව අප උපකල්පනය කිරීම කොතරම් නිවැරැුදිද? රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ දියුණුවට සමගාමීව වෛද්‍ය විද්‍යාව ලෝකය පුරා ජනප‍්‍රිය වෙමින් පවතින අතරම දූපතක් බඳු වෛද්‍ය වෘත්තිකයා ‘ජීවිතයේ ගැලවුම්කාර දෙවියන්’ යැයි වූ මිථ්‍යා විශ්වාසයන් ද නොවෙනස්ව  පවතී.

සායනයේ ඓතිහාසිකත්වය පිළිබඳව ලාංකීය සමාජ කතිකාව පෝෂණය නොවීම මෙහි මූලික ගැටලූවයි. යුරෝපය තුළ මෙම කතිකාව පෝෂණය කළ දාර්ශනිකයා වන්නේ මිචෙල් ෆුකෝ ය. ලංකාවට යුරෝපීය හාම්පුතාගෙන් වෛද්‍ය විද්‍යාවත්, රෝහල් සහ විශ්වවිද්‍යාල යන ගොඩනැඟිලිත් ලැබුණද සමාජයට මෙම දාර්ශනික පසුබිම ලැබුණේ නැත. නාගරික සමාජ කතිකාවේ පවතින මෙම දාර්ශනික ඌනතාවය නිසා නිදහස් අධ්‍යාපනය නම් ගැමි මෝඩයන්ට තැබූ ඉනිමෙඟ් නැග වෛද්‍ය වෘත්තියට පැමිණි සිරියාවතීගේ පුතාලා දුවලා සමාජයේ බුද්ධිමතුන් ලෙස පෙනී සිටින අවාසනාවන්ත තත්ත්වයකට අපට මුහුණ දීමට සිදුවී ඇත.

වෛද්‍ය වෘත්තිකයා සහ බුද්ධිමතුන් පටලවා ගැනීම මෙන්ම වෛද්‍යවරුන් බුද්ධිමතුන් ලෙස හැඳින්වීම අප කතිකාව තුළ ඇති ඉතා භයානක දුර්වලතාවකි. වෛද්‍යවරයා සමාජයට හිසරදයක් වන මූලික රෝග නිධානය වන්නේ එයයි. මිචෙල් ෆුකෝ ඔහුගේ The Birth of the Clinicකෘතියෙන් පෙන්වා දෙන පරිදි වෛද්‍යවරයා යනු රෝගී ශරීර නරඹමින් දැක්ම (Gaze)පුහුණුවන්නෙකු වේ. සායනික පුහුණුවේ සිට රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරයාගේ වාට්ටුවේ සේවය කරමින් ශිෂ්‍ය වෛද්‍යවරයා රෝගී ශරීර නැරඹීමට පුහුණු වේ. ඇසෙන් නරඹන අපගමනය වූ ශරීරය එනම් රෝග ලක්ෂණ සහිත ව්‍යාධිවේදී ශරීරය තුළ ඔහු දකින සියලූම ලක්ෂණ සඳහා වූ කේතගත භාෂාවක් වෛද්‍ය විද්‍යාව තුළ ගොඩනඟා ඇත. වෛද්‍යවරයාගේ කාර්යය වන්නේ වෛද්‍ය භාෂාවේ කේතය නිවැරැුදිව හඳුනාගෙන අදාළ ප‍්‍රතිකාරය නියම කිරීමයි. මෙය මෝටර් කාර්මිකයෙකු එන්ජිමක ශබ්දය මොහොතක් අසා සිට එන්ජිමේ කුමන කොටසේ ගැටලූ‍ව ඇත්දැයි නිගමනය කරනවාට සෑම අතින්ම සමානය. වෛද්‍යවරයාගේ ඇති වෙනස වන්නේ කන හෝ ස්පර්ශයට වඩා ඇස පුහුණු කර තිබීමයි. නමුත් දැන් අපට මෝටර් රථ ස්කෑන් කිරීම මඟින් සියලූ‍ දෝෂ පහසුවෙන් හඳුනාගත හැක. එමෙන්ම ශරීරය ද  ස්කෑන් කර කල්තියා ඇති විය හැකි  රෝග හඳුනාගෙන ඒවායෙන් වැළකී සිටිය හැකිය. මේ නිසා වෛද්‍යවරයාගේ ඇසේ ආධිපත්‍ය දියුණු සමාජයක් තුළ දියවෙමින් පවතී.

power and medicine

power and medicine

ආධුනික වෛද්‍යවරයකුට රෝගයක විවිධ අවධි නරඹා නිවැරැුදි ප‍්‍රතිකාරය නියම කිරීමේ පුහුණුව ලබා ගැනීමට ඉතා දිගු කාලයක් ගත වේ. මේ සඳහා ඔහුට රෝහල්වලට පැමිණෙන දහස් ගණනක් වූ රෝගීන්ගෙන් අවශ්‍ය අය තෝරාගෙන රෝහල තුළ කොටු කරගැනීමේ බලය හිමි වී ඇත. රෝහල් තුළ ගාල් කර ගන්නා බහුතර දුප්පත් රෝගීන්ගේ සමාජ කාර්යය වන්නේ මෙවැනි වෛද්‍යවරුන්ට දැක්ම පුහුණු වීමට අවශ්‍ය ප‍්‍රදර්ශන වස්තු බවට පත්වීමයි. ඊට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් ඇතැම් විට එම රෝගියාට දිගු කාලයක රෝගී විඳවීමකින් පසු යම් මට්ටමක සුවයක් ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත. නමුත් බොහෝ විට සිදු වන්නේ පහළ පන්තියේ නොවැදගත් ජීවිත රෝහල තුළ ලියාපදිංචි කර රෝගය ටිකෙන් ටික වර්ධනය වීමට ඉඩ දී අහිංසකයන්ව සායනික වස්තූන් බවට පත්කර ගැනීමයි. අවසානයේ වෛද්‍යවරු මෙසේ  දියුණු කරගන්නා නැරඹුම් ශ‍්‍රමය ඉහළ පන්තිය රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා අලෙවි කරමින් විශාල ආර්ථික ක‍්‍රියාවලියක නිරත වේ.

‘රෝහල් එපා’ යන්න ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රධාන තේමාවක් විය. ෆුකෝ පෙන්වා දෙන පරිදි රෝහල යනු නූතන බල සම්බන්ධතා ක‍්‍රියාත්මක වන  ශික්ෂණ ආයතනයකි. රෝහලේ ගෘහ නිර්මාණය සකස් වී ඇත්තේ විවිධ රෝගීන්ව වෙන් කිරීම, කොටු කිරීම සහ වෛද්‍යවරුන්ට නැරඹීම පහසු වන ආකාරයටය. නීත්‍යානුකූලව අපගමිකයා රෝගියෙකු ලෙස නම් කරන්නේ වෛද්‍යවරුන් විසිනි. එමෙන්ම මෙම රෝගීන් නිවැරැදි කර නැවත ආර්ථික ක‍්‍රියාවලියට එක් කිරීම, නිවැරැදි කිරීමට සුදුසු නොවන රෝගීන් රෝහල තුළ සායනික වස්තු ලෙස තබා ගැනීම, ඇති විය හැකි බෝවන රෝග සහ වසංගත පිළිබඳව පාලකයා දැනුවත් කිරීම ආදී කාර්යයන් වෛද්‍ය නිලධාරියා සතුවේ.

ආත්මයක් සහිත සිතන පතන පුද්ගලයෙකු රෝගියෙකු ලෙස තමා ඉදිරියට පැමිණෙන්නේ යැයි වෛද්‍යවරයා සලකන්නේ නැත. ඔහුගේ ආශාව දිශානත වී ඇත්තේ ජීවිතය හරහා මරණය  නැරඹීමටයි. වෛද්‍යවරයා තම වෘත්තීය කුසලතාව පිළිබඳ බොහෝ දේ ඉගෙන ගන්නේ මරණය වෙත ගමන් කරනා රෝගීන්ගෙනි. ඔහු නැරඹීමට ආශා කරන්නේ මරණයයි. වෛද්‍යවරුන් යනු ශරීරය කපා බැලීමේ ආශාවෙන් පෙළෙන නැරඹුම්කාමී ආත්මයන්ය. ඔවුන් ඔබට කරුණාවෙන් කතා කරන්නේ ඔබට ඇති ආදරයකට නොව ඔබ තුළ ඇති මරණීය රෝගය නැරඹීමේ ආශාව වෙනුවෙනි.

Biopower

Bio-power

රෝහල්වල දිගු පෝළිම් අඩුකර නිරෝගී සමාජයක් බිහිකිරීම දේශපාලනික කාර්යයකි. එය වෛද්‍යවරුන්ගේ කාර්යක් හෝ වගකීමක් නොවේ. දියුණු සමාජයක වෛද්‍යවරයාගේ කාර්යය ලෙස ඉතුරු වන්නේ පුරවැසියාට තම හදවත ඇතුළු ශරීරය නිසි පරිදි තබා ගැනීමේ උපදෙස් ලබා දීම පමණි. පැරණි නැරඹුම්කාමී වෛද්‍යවරයා යනු දුෂ්ට සමාජයක් සිහිකරවන නටබුන් බවට පත්විය යුතුය. කෙසේ වෙතත් ලංකික සමාජය වඩ වඩාත් වෛද්‍යකරණයට ලක් වෙමින් පවතී. එමෙන්ම වෛද්‍යවරයා පිළිබඳව සමාජ කතිකාව ගොඩනැඟී ඇත්තේ ඔහුට නැති ගුණාංගයන් ආරෝපණය කරමිනි. වෛද්‍යවරයාගේ මැදිහත් වීම සෑමවිටම  මිනිසුන්ට ඇති ජීවිතය පිළිබඳ ආශාව සමඟ බැඳී තිබේ. නමුත් වෛද්‍යවරයාට දැක්ම ක‍්‍රියාත්මක කිරීම හැර කළ හැකි අලුත් දෙයක් නැත. ඔහුගේ දැක්ම සෑමවිටම නිශ්ශබ්දය. න්‍යායන්, පරිකල්පන සහ හැගීම්වලින් තොරය.

 අනුෂ්ක ආරියරත්න

 

උපුටා ගැනීම – ත්‍රිමාණ 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල