සාහිත්‍ය කළා විචාර

නිම්නයක හුදකලා වීම සහ සිනමාහලක අතරමං වීම

Off

මනුෂ්‍ය ජීවිතයේ ඇති සංකීර්ණතා සරල ආඛ්‍යාන වලින් එළිදක්වන්නට බැරි බව ඇත්තය. එහෙත් එළියේ ඇති ප්‍රෙ‍හේලිකාවලට වඩා ලොකු ප්‍රෙහේලිකා කලා කෘතිවලින් ඉදිරිපත් කරන විට ඒවා රසිකයන් තුළ කලාත්මක සෞන්දර්යයක්වත් භාවාත්මත වින්දනයක්වත් ඇති කිරීමට සමත් නොවේ.
සංකීර්ණත්වයෙන්ම කලාත්මක සෞන්දර්යය මතු කරන කෘති අපට ඕනෑ තරම් හමු වේ. ඒවා විශිෂ්ට නිර්මාණ වන්නේ හේතු දෙකක් නිසාය. එකක් නම් කෘතියෙන් කියාපාන්නට උත්සාහ කරන දේ අවබෝධ කරගත හැකි යතුරක් ඒ කෘති වලම කොහේ හෝ එල්ලා තැබීමය. අනෙක් කරුණ නම් අරමුණු සහගතවම ප්‍රේක්ෂකයාට අවබෝධ විය හැකි අයුරින් කෘතියේ කොටස් (සිනමාවක නම් සිදුවීම්, චරිත හෝ රූප ) පෙළගැස්වීමය. මේ දෙකෙන් වියුක්ත වූ විට නිර්මාණය පහසුවෙන්ම වියවුල් සහගත වියමනක් බවට පත් වන්නට පුළුවන.
නිම්නයක හුදලකලාව තුළින් මා හඳුනාගන්නා නිර්මාණාත්මක වෑයම් දෙකකි.
01. යථාර්ථවාදය ඉක්මවා යාමට උත්සාහ කිරීම.
02. රූපකාත්මක ගොඩනැංගවීම්වලට ඉඩ කඩ දීම
කාලය හා අවකාශය අතර ඇති සබඳතාව බිඳ හෙලීම මායා යථාර්ථවාදයේ හමුවන මූලික නිර්මාණාත්මක භාවිතාවකි. නිම්නයක හුදලකාව තුළ අපිට හුම වන මුල්ම අධියථාර්ථවාදී භාවිතාව මෙයයි. විශ්ව නම් වන ප්‍රධාන චරිතය මුහුණපාන සිදුවීම්වල ඇති කාලානුරූපී බව පිළිබඳව හැගීමක් නරඹන්නාට ලබාගත නොහැක. කාලය පිළිබඳ සංකල්පය බොහෝ විට අපැහැදිලි බවක් ගනී. එමෙන්ම අවාකාශය සැබෑ ලෝකය හා ෆැන්ටසිමය ලෝකයක් අතර දෝලනය වෙයි. ඔහු සැරිසරන අවකාශය බොහෝ විට ඍජුව හඳුනාගත නොහැකිය. සිහිනමය සහ ෆැන්ටසිමය ගොඩනැංවීමෙන් වලින් අවකාශයේ සැබෑව වසා ඇති බැවිනි.
රුපකාත්මක ගොඩනැංගවීම් සහ බහු අර්ථවත් ඉදිරිපත් කිරීම්වලින් චිත්‍රපටය පිරී ඇත. කිරි හා සම්බන්ධ සිදුවීම්, අයිඩින්ටිය නැති වීම, අම්මා නැති වූ දැරිය සහ ගී ගයන දෙමළ කත මේ අතර වෙයි. එහෙත් යථාර්ථවාදී නොවන ආඛ්‍යානයක දී මේවා පාඨකයාට මතු කරගන්නට යෝජනා කරන අරුත් මොනවාදැයි අපැහැදිලිය. එවන් පැහැදිලි අරුතක් ඒවාට නැති කිරීමම නිර්මාණකරුවාගේ අරමුණවිය හැකි බව හෝ එවන් පැහැදිලි අරුත් තිබීම කලා කෘතියකින් අපේක්ෂා කළ නොහැකි බවට නිර්මාණකරනයට අදාළ තර්කයක් ගොඩනැගිය හැකිය. එහෙත් එවන් අපැහැදිලි කලාප වලින් ආඛ්‍යානය පිරී යන විට එය ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරයි. ප්‍රේක්ෂකයා අතරමං වන්නේ ඒ නීරස බව තුළය.
කෙසේ වුවත් නිම්නයක හුදකලාව යනු අපට එදිනෙදා හමු නොවන පන්නයේ සිනමා කෘතියක් නිර්මාණය කිරීමට ගත් නිර්භීත කලාත්මක වෑයමකි. ජනතාකර්ෂණය හෝ සෞන්දර්යාත්මක පූර්ණත්වය කෙසේ වුවත් රටක සිනමාවක් ඉදිරියට ගමන් කරන්නේ මෙවන් අත්හදා බැලීම් තුළිනි. ඇතැම්විට අපට හසු නොවන මානයකට අප ගෙනයාමට බූඩි දැරූ උත්සාහයක් අපට හමුනොවී මගහැරී ගියා වන්නට පුළුවන. එසේ නම් ඒ ගැන තව දුරටත් කිසියම් පැහැදිලි කිරීමක් කිරීමට ඉදිරිපත් විය යුත්තේ නිර්මාණකරුවාමය. තම නිර්මාණයේ නිර්මාණාත්මක වෑයම ගැන විවෘතව කතා කිරීමට බොහෝ නිර්මාණකරුවන් නොපෙළඹෙන නමුත් බූඩි වෙනස් ලෙස සිතන්නෙකු බැවින් ඔහුට එය කළ හැකි වනු ඇත.
එමෙන්ම කෘතිය ග්‍රහණය නොවීම පිළිබඳව නිර්මාණකරුවන් හා ප්‍රේක්ෂකයන් අතර වන සංවාදයක් ඇතැම් විට නිර්මාණාත්මක වෑයමකදී මග හැරුණු තැන් මොනවාදැයි සොයා ගැනීමට ඇති හොදම මාර්ගයක්ද විය හැකිය.
ප.ලි.
පුළුවන් හැමෝම මේ චිත්‍රපටිය බලන්න..

මුදලින්ද ජනප්‍රිය (උපුටා ගැනීම ෆේස්බුක් )

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල